දැවී අළු වුණු පැරීසියේ හදවත | සිළුමිණ

දැවී අළු වුණු පැරීසියේ හදවත

නොත්‍රදාමය යන වදන අපට හුරුවූයේ ඒ සමඟින් ඈඳුණු සුප්‍රසිද්ධ සිනමා පටය නිසාය. ප්‍රංසයේ සුප්‍රසිද්ධ නවකතාකරුවකු කවියකු හා නාට්‍ය රචකයකු වූ වික්ටර් හියුගෝ විසින් 1831 දී ප්‍රංස බසින් රචනා කරන ලද සුපතළ නවකතාවේ ඉංග්‍රිසි පරිවර්තනය වන ‘The Hunchback of Notre Dame’ කෘතිය ඇසුරෙන් නිර්මාණය කළ සිනමාපටයෙනි. ජේසුතුමන්ගේ සිරසෙහි රැඳි ශුද්ධ වූ කටු ඔටුන්න තැන්පත් කර තිබූ ප්‍රංසයේ නොත්‍රදාම් මහා දේවස්ථානය ගැන අසා තිබුණද ඒ ගැන කතාබහ යළි අවදිවූයේ පසුගිය 15වැනිදා ලොවම කම්පා කරමින් එහි හටගත් ගින්න හේතුවෙනි.

ප්‍රංසයේ සුප්‍රසිද්ධ සේන් නදී මධ්‍යයේ දූපතක පිහිටි මේ මහා දේවස්ථානය ප්‍රංසයේ සාඩම්බරයට හේතුවූ ස්ථාන අතරින් ප්‍රධාන තැනක් ගන්නේය. හත්වැනි ලුවී රජු විසින් 1163 වසරේදී ඉදිකිරීම් ආරම්භ කරන ලද මේ දැවැන්ත සිද්ධස්ථානයේ ඉදිකිරීම් නිමව ඇත්තේ 1345දීය. මධ්‍යකාලීන ගොතික් ගෘහ නිර්මාණ ශිල්පයේ මහා මාණික්‍යය ලෙස සැලකෙන නොත්‍රදාම් දේවස්ථානය 1790 ප්‍රංස විප්ලව සමයේ විනාශයට යමින් නොසලකා හැර තිබිණ.

නැපෝලියන් බොනපාට් 1804 දී අධිරාජ්‍යයා ලෙස ඔටුනු පැලැඳුවේ ද මේ දේවස්ථානයේදී බව සඳහන්ය. අතිශයින් ජරාජීර්ණව තිබූ මේ මහා දේවස්ථානය ගැන පාලකයන් ගේ දෑස් හැරුණේ වික්ටර් හියුගෝ ගේ ඉහතකී නවකතාව නිසාය. නවකතාවෙන් හෙළිකළ තොරතුරු 1844 සිට 1864 අතර කාලයේදී දේවස්ථානය ප්‍රතිසංස්කරණය ආරම්භ කිරීමට හේතු විය.

නොත්‍රදාම් යන්නෙහි අරුත ‘අප ස්වාමි දුව’ යන්නය. ප්‍රංසයේ හදවත බඳු නොත්‍රදාමය දැක බලා ගැනිමට වසරකට නරඹන්නෝ මිලියන 13කට වැඩි සංඛ්‍යාවක් ඇදී එති. වරකට දේවමෙහෙය සඳහා 6000කට වැඩි බැතිමතුන් පිරිසකට රැඳි සිටිය හැකි මේ දේවස්ථානයේ ගින්න හටගන්නා අවස්ථාවේද නරඹන්නන් විශාල පිරිසක් රැඳී සිටියහ.

ඔවුන් නිරුපද්‍ර­ැතව පිටතට යැවීමට බලධාරීහු කටයුතු කළහ. ඒ වෙද්දී දේවස්ථානය පුළුල් ප්‍රතිසංස්කරණයකට ලක් කරමින් පැවැති අතර එසේ තිබියදීත් සෑම ඉරිදා දිනකම පැවැත්වෙන දේව මෙහෙයට ද විශාල පිරිසක් සහභාගිවූ බව වාර්තා වේ. 2017 වසරේදී නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත ලිපියක් ලියමින් නොත්‍රදාමය දැඩි ප්‍රතිසංස්කරණයකට ලක් කළ යුතු බව පවසා තිබුණේ කාලය හා දේශගුණය හේතුවෙන් ගොඩනැගිල්ලට සිදුව ඇති හානි පිළිබඳ පූර්ණ විස්තරයක්ද සමඟිනි. සිදු කෙරෙමින් පැවතුණේ ඩොලර් මිලියන 180ක් පමණ වැයවෙතැයි අපේක්ෂා කළ එම පිළිසකර කිරීම්ය. ගින්න නිසා වසර 850ක් පැරැණි නොත්‍රදාම් දේවස්ථානයේ විශාල කොටස් සමූහයක් වැනසී ගියේය.

ගින්න ඇරඹෙන විට සවස දේවමෙහෙය ආරම්භ වූවා පමණි. ප්‍රැන්සිස් ෂේවියර් ලොචේ 70 හැවිරිදි බැතිමතෙකි. ඔහු ඒ මොහොතේ සිය ගණනක් වූ බැතිමතුන් සමඟ දේවමෙහෙයට සහභාගිවෙමින් සිටියේය.

“සවස 6.20 වෙද්දී එකපාරටම ගිනි අනතුරු සංඥා නාදවෙන්න ගත්තා. ඒ වෙලාවේ ගින්නක ලකුණක්වත් තිබුණේ නෑ. ආරක්ෂක භටයන් නරඹන්න පැමිණ සිටි අය ඉවත් කරන්න පටන් ගත්තා. ඒත් බැතිමතුන් ඉවත් නොවී දේව මෙහෙය දිගටම පැවැත්වුණා. පොලිස් නිලධාරියකු පැමිණ ‘මෙය විහිළුවක් නොවෙයි. ඔබ මෙතැනින් ඉවත්විය යුතුයි’ කියා පුජකතුමන්ට පැවසූවිටයි ගින්න ගැන අපට වැටහුණේ. තවත් මිනිත්තු 20කට පමණ පසු දෙවැනි ගිනි අනතුරු සංඥාව නාද වුණා. එවිට ගින්න පේන්න පටන් අරන්”.

ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවන භටයන් 400ක් යෙදවූවත් ඒමොහොතේ පැවැති මාර්ග තදබදය නිසා ඔවුන්ට දේවස්ථානයට ළඟාවීම ප්‍රමාද විය. ඒ වෙද්දී බලධාරීහු ට්විටර් පණිවුඩ මගින් සිද්ධිය ගැන ජනතාව දැනුවත් කළහ. රාත්‍රී අටට පමණ දේවස්ථානයේ ඓතිහාසික කොත ගිනිගෙන කඩා වැටෙද්දී දහස් ගණන් පැරිස් නුවරුන් කම්පිතව සුසුම් හෙළූහ. උඩට එසවුණු මහා පන්දමක් ඇද වැටෙන්නාක් මෙන් ඇද වැටුණු එම කොත දේවස්ථානයට 19වැනි සියවසේදී එක්වූවකි. පැරිසියේ ආරක්ෂක ශාන්තුවරයාගේ දන්ත හා අස්ථි කොටස් ද හිසකෙස් ද එහි තැන්පත් කර තිබී ඇත. ගින්නෙන් මතුවූ දුම අහස් ගැබ සිසාරා පැතිර යද්දී නොත්‍රදාමය පේන ඉසව්වේ සේන් නදී තෙරට ළඟාවූ දහස් සංඛ්‍යාත පැරිස් නුවරු දෑස් පියා දෑත් ඉහළට ඔසවාගෙන මේ ගින්න නිවේවායි පතමින් යාච්ඤා කළහ.

නොත්‍රදාමයේ වහලය තනි ඕක් දැවයෙන් නිමවූවකි. ප්‍රංස වනාන්තර අක්කර 52ක අති පැරැණි දැවැන්ත ඕක් ගස් 1500ක පමණ දැව 1160 වසරේ සිට වහලය තැනීම සඳහා යොදාගෙන තිබේ. එනිසාම එය හැඳින්වෙන්නේ ‘මහා වනාන්තරය’ යන අන්වර්ථ නාමයෙනි. වහලයේ බාල්ක සඳහා යොදාගෙන ඇත්තේ වසර 850කට වඩා පැරැණි වනාන්තරවලින් ලබා ගත් දැවය. මුළුමනින්ම විනාශවී ඇති මේ දැවමය වහලය යළි ගොඩනැංවීම සඳහා මුළු මහත් ප්‍රංසයේම වනාන්තරවල ඇති දැවැන්ත වෘක්ෂ ප්‍රමාණවත් නොවේයැයි වාර්තා වේ.

මෙනිසා නොත්‍රදාම දේවස්ථානය පෙර තිබූ පරිදි ගොඩනැංවීම සිහිනයක් බව ගෘහනිර්මාණ ශිල්පිහු පවසති. 13වැනි ශත වර්ෂයේ සිට පවතින ලැටිස් හා ලියකම් බොහොමයක් විනාශව ඇති අතර උස බිත්තිවල ගලින් කළ කොටස් තවමත් පෙනෙන්නට ඇතත් එම ගල් ගින්නට හසුවී දුර්වලව ඇතැයි සැක කෙරේ. ගලින් කළ ඉදිකිරීම් හා දේවස්ථානයේ ප්‍රධාන කොටස් බොහොමයක් බේරාගෙන ඇතත් ගිනි නිවිම් මෙහෙයුමේදී එල්ල කළ ජල ප්‍රහාර නිසා ගොඩනැගිලි සැකිල්ලට සිදුව ඇති හානිය තවම අපැහැදිලිය.

නොත්‍රදාමය කිතුණුවන් අතර ගෞරවයට ලක්වන්නේ එහි තැන්පත්ව තිබූ ‘කටු ඔටුන්න’ නිසාය. ජේසුතුමන් කුරුසියේ ඇණ ගසද්දී සිරසේ රැඳවුණු ශුද්ධ වූ ‘කටු ඔටුන්න’ මෙයම යැයි විශ්වාස කෙරේ. මුලදී මෙම ශුද්ධ වස්තුව පැරිසියේ වෙනත් පල්ලියක තිබී පසුව නොත්‍රදාමයට ගෙනැවිත් තැන්පත් කර තිබේ. ගින්න පැතිරෙද්දී මුලින්ම එය බේරා ගෙන පිටතට ගැනීමට ගිනිභටයන් කටයුතු කර ඇත. බේරා ගනු ලැබූ ‘කටු ඔටුන්න’ හා ශාන්ත පාවුළුතුමාගේ කබාය තාවකාලිකව පැරිස් සිටි ශාලාවේ තැන්පත් කර තිබේ. ජේසුතුමන් ඇණ ගැසූ කුරුසියේ ශේෂ කොටස් ද තිබී ඇත්තේ මෙහිය. එම ශේෂ කොටස් හා ශුද්ධ වූ ඇණ ද බේරා ගැනීමට ගිනි භටයෝ සමත් වූහ.

දේවස්ථානය නරඹන්නට පැමිණෙන්නන් අතර ‘රෝස කවුළු’ නමින් ප්‍රසිද්ධ වර්ණවත් වීදුරුවලින් යුතු විශාල කවුළු තුනකි. ගින්නෙන් ඒවා බේරී තිබීම ගැන කවුරුත් සතුට පළ කරති. නොත්‍රදාමය ශත වර්ෂ ගණනාවක් තිස්සේ සුරැකි මිලකළ නොහැකි අගනා මානව ආකෘති, කලාකෘති හා ශුද්ධ වස්තූන් තැන්පත් කර තිබූ ස්ථානයකි. ගින්න නිසා මේ අගනාදේ සදහටම නැතිවේයැයි බොහෝ දෙනා බිය පළ කරති. බේරා ගැනුණු අගනා කෘති හා ශුද්ධ වස්තු දැනට පැරිසියේ ලූවර් කෞතුකාගාරයේ තැන්පත් කර ඇත.

මහා ලේඛක වික්ටර් හියුගෝ ගේ කෘතියේ සඳහන් නොත්‍රදාමයේ සීනු කුලුනු දෙක බේරා ගැනීමට ගිනිභටයෝ සමත් වූහ. 1240 සහ 1250දී ඉදිකළ මේ කුලුනු උතුරු හා දකුණු කුලුනු ලෙස නම්කර තිබේ. දකුණු කුලුණේ සවිකර ඇති සීනුව හඳුන්වන්නේ ‘එමැනුවෙලා’ නමිනි. දෙවැනි ලෝක යුද්ධය අවසානයේ මෙන්ම ප්‍රංස ඉතිහාසයේ වැදගත් අවස්ථා සනිටුහන් කරමින් නාද කෙරෙන එම සීනුවට ගින්නෙන් හානි සිදුව නොමැත. මෑතකාලීනව ලොව වඩාත් ප්‍රසිද්ධ සංගීත භාණ්ඩය වශයෙන් සැලකෙන්නේ මධ්‍යතන යුගයට අයත් යැයි සැලකෙන මෙහි ඇති මහා පියානෝවය. එයද බේරා ගනු ලැබ ඇත.

ප්‍රංස ගිනි භටයන්ට ගින්න මැඩ පැවැත්වීමට පැය 9කට ආසන්න කාලයක් ගතව ඇත. නොත්‍රදාමයේ ගින්න නිවීම සිය රාජකාරි සමයේ මුහුණ දුන් භාරදූරම කර්තව්‍යය යැයිද මුළු ගොඩනැගිල්ලම අහිමිවේයැයි තමන්බියපත් වූ බවද ඊට එක්වූ ගිනි භටයන් ප්‍රකාශ කර තිබිණි.

ගින්න නිවා දැමීම ප්‍රංස ගිනි භටයන් සිදු කළ හාස්කමක් හා සමාන යැයි එම ප්‍රයත්නය පසසමින් ලන්ඩනයේ ගිනි විශේෂඥ මාහාචාර්ය ගිලිමෝ රේයින් පැවසීය. ගින්න හට ගැනීමට පෙර දේවස්ථානයේ සේවකයන් 30ක් පමණ සිට ඇති අතර ආරක්ෂක නිලධාරීහු ඒ සැමගෙන්ම ප්‍රශ්න කළහ.

දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු කෙරුණු සමාගම් සේවයකයන් ඒ වෙද්දී දවසේ සේවය නිමකර නික්ම ගොස් සිට ඇත. සිදුව ඇති හානිය පිළිබඳ තක්සේරු කිරීම් දැන් ආරම්භ කර ඇති අතර දේවස්ථානයේ ඉතිරිව ඇති කොටස් හා එහි ව්‍යුහාත්මක ශක්තිය මුලින්ම පරික්ෂාවට ලක්කෙරේ. පෙනීයන අන්දමට දේවස්ථාන ආකෘතිය කඩාවැටීමේ අවදානමක් ඇතැයිද විශේෂඥයෝ සඳහන් කරති.

දේවස්ථානය යළි ගොඩනැංවීමට විශාල මුදලක් හා වසර ගණනාවක් ගතවෙතැයි අනුමාන කෙරේ. ප්‍රංස ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් නොත්‍රදාමය යළි ගොඩනංවන බවට ප්‍රතිඥා දුන් අතර එලෙස යළි ගොඩනැංවෙන දේවස්ථානය ඉතා අලංකාර වනු ඇති බවද පවසයි. ප්‍රංසයේ ධනවත් පවුල් තුනක් ඩොලර් මිලියන 700ක් පරිත්‍යාග කරමින් දේවස්ථානය යළි ගොඩනැංවීම සඳහා අරමුදලක් ආරම්භ කරද්දී ලොව පුරා පරිත්‍යාගශීලිහු කෝටි ප්‍රකෝටි ගණනින් එම අරමුදල පුරවමින් සිටිති. මේ සටහන ලියන අවස්ථාවේ එම මුදල යූරෝ බිලියනය ඉක්මවා තිබිණි.

ප්‍රංසයෙන් බිහිව සිටින ලෝක බිලියනපතිහු නොත්‍රදාමය යළි ගොඩනංවීමේ මහා සංග්‍රාමයට උරදී සිටිති. “නොත්‍රදාමය ප්‍රංස සංස්කෘතියේ හා එකමුතුකමේ සංකේතයයි” යනුවෙන් පවසන ඔවුහු තම සංස්කෘතික මාණික්‍යයට යළි ජීවය දීම සැමගේම ඒකායන පරමාර්ථය යැයි ද පවසති.

මේ අතරේ සමාජ මාධ්‍ය ජාල නොත්‍රදාමයේ ගින්න ගැන විවිධ කතා පතුරයි. ස්කොට්ලන්තයේ කාන්තාවක් තමන් දේවස්ථානයේ ගින්නේ මාධ්‍ය ප්‍රචාර නරඹමින් සිටියදී දේවස්ථාන කොත් කැරැල්ලේ ගින්නේ දුමාරය අතරින් තමන් ජේසුතුමන්ගේ රුව දුටු බව සමාජ මාධ්‍යවලට එක් කර ඇත.

එය දැන් ලොවපුරා ළැව් ගින්නක් මෙන් පැතිර යයි. නොත්‍රදාම් දේවස්ථානයට වූ මහා විනාශයෙන් ලොවම කම්පාවෙද්දී ජිහාඩ් කල්ලිය සිය සතුට පළ කරමින් ගින්නේ සේයාරූ සිය මාධ්‍ය ජාලයට එක්කර නැවත එවැන්නක් සිදුවීම ගැන අනතුරු අඟවා ඇත.


ශුද්ධ වූ කටු ඔටුන්න

ජේසුතුමන් කුරුසියේ ඇණ ගසද්දී සිරස පැලැඳි ශුද්ධ වූ කටු ඔටුන්නේ පැවැත්ම පිළිබඳ සිද්ධාන්තය ආරම්භ වන්නේ ක්‍රිස්තු වර්ෂ 6 වැනි සියවසේදීය. ජෙරුසෙලමේ සිටි ක්‍රිස්තියානි ජනයා එකල එය හොඳින් ආරක්ෂා කළහ. 

කොන්ස්තන්තිනෝපලයේ ලතින් අධිරාජයා කුරුස යුද්ධය සමයේදී බිඳවැටෙමින් පැවැති සිය අධිරාජ්‍යය රැකගනු වස් 9 වැනි ලුයිස් රජුගේ සහාය ලබාගැනීමට සන්තෝසමක් ලෙස ශුද්ධ වූ කටු ඔටුන්න ලුයිස් රජුට දී තිබේ. ලුයිස් රජු ශුද්ධ වූ කටු ඔටුන්න ප්‍රංසයට රැගෙනවිත් පැරිසියේ වෙනත් දේවස්ථානයක තැන්පත් කරනු ලැබ පසුව නොත්‍රදාම දේවස්ථානයේ තැන්පත් කර තිබේ. ජේසුතුමන් ඇණ ගැසූ ශුද්ධ වූ කුරුසියේ ශේෂයන් හා ඇණද තැන්පත් කර තිබුණේ නොත්‍රදාමයේය. එම කුරුස එලෙසම ආරක්ෂා සහිතව තැන්පත් කෙරිණි.

අදහස්