පිටකොටු එන අහිංසකයන්ට කුණු කවන නරුමයෝ! | Page 2 | සිළුමිණ

පිටකොටු එන අහිංසකයන්ට කුණු කවන නරුමයෝ!

දිනය: 2019. 04. 09

වේලාව: උදෑසන 9.45

ස්ථානය: පිටකොටුව බෝගහ අවට

සිංහල-දෙමළ අලුත් අවුරුද්ද සැමරීම සඳහා ලහි-ලහියේ ලක-ලෑස්ති වන සිය-දහස් ගණන් ජනතාව පිටකොටුව සහ අවට පිහිටි වෙළෙඳසල්වලට ඇදී එමින් සිටියේ කුහුඹු රෑනක් ලෙසිනි. මේ අතරතුරේ පිටකොටුව බෝධීන් වහන්සේ ඉදිරිපිට දැවැන්ත මෙහෙයුමකට කටයුතු සූදානම් වන බව ඒ වන විට එහි යමින් එමින් සිටි කිසිවකුත් දැන සිටියේ නැත.

කල් ඉකුත් වූ හා අපිරිසුදු ආහාර අලෙවි කරන පුද්ගලයන් රැසක් පිළිබඳ ලැබුණු තොරතුරුවලට අනුව කොළඹ නගර සභා සෞඛ්‍ය ඒකකයේ වෛද්‍යවරු, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සහ ඔවුන්ගේ සහායට තවත් පිරිසක් මේ මෙහෙයුමට සූදානම්ව සිටියහ.

පෙර සැලසුම් කරගත් ආකාරයට කණ්ඩායම් පහකට බෙදුණු මේ පිරිසෙන් එක් කණ්ඩායමක් බෝධීන් වහන්සේගේ දකුණු පසට වන්නට පිහිටි අතුරු මාර්ගය දෙපස ඇති පලතුරු වෙළෙඳ කුටි පරීක්ෂා කිරීමට යොමු විය. තවත් කණ්ඩායම් දෙකක් මැනිං වෙළෙඳපොළ දෙසටත්, කොටුව දෙසටත් ගමන් ගනිමින් වෙළෙඳසල් පරීක්ෂාව ඇරඹූහ.

• රට පලතුරු යට කුණු පලතුරු

බෝධිය අසලින් පිරික්සුම් ආරම්භ කරන ලද කණ්ඩායමේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට දොඩම් සහ මැන්ඩරීන් පෙට්ටියක යට තට්ටුවේ පිහිටි පිටරටින් ගෙන්වන දොඩම් යට කොටස නරක්ව තිබූ අතර පුස් කා ඇති අයුරුද දැකගත හැකි විය. මෙහි අලෙවිකරු හොඳ මට්ටමේ පලතුරු අතරට නරක් වූ පලතුරු ගෙඩි කිහිපයක් එක් කරමින් අලෙවි කරන ආකාරය මෙහිදී නිරීක්ෂණය කළ හැකි විය. මෙලෙස අලෙවි කිරීමට සූදානම් කර තිබූ ආහාරයට නුසුදුසු තත්ත්වයේ ඇපල් සහ දොඩම් ගෙඩි 300කට ආසන්න ප්‍රමාණයක් සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සොය‍ාගත් අතර, ඒවා එම ස්ථානයේදීම භූමිතෙල් දමා විනාශ කර පලතුරු වෙළෙන්දාට විරුද්ධව නඩු පවරනු ලැබීය. මේ ආකාරයට වෙළෙඳ කුටි දහයක පලතුරු වෙළෙඳුන්ට නඩු පැවරූ අතර, පලතුරු විශාල ප්‍රමාණයක් විනාශ කිරීමට පියවර ගනු ලැබීය.

කුඩා වෙළෙඳ කුටි පිරික්සීමෙන් පසු පලතුරු තොග වශයෙන් අලෙවි කරන මහා පරිමාණ වෙළෙඳසල්ද පරීක්ෂාවට ලක් කරනු ලැබිණි. පිටකොටුව බෝධීන් වහන්සේගේ වම් පස අතුරු මාර්ගයේ එක පේළියකට පිහිටි මේ වෙළෙඳසල්හි ඉදිරිපස කොටසෙහි තොග වශයෙන් ලබාගන්නා පුද්ගලයන්ට තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා පලතුරු පෙට්ටි විවෘත කර තබා ඇති අතර, ඇතුළත විශාල ප්‍රමාණයේ ශීතාගාර තුළ පලතුරු පෙට්ටි ගබඩා කර තිබේ.

• මල කෑ - පුස් බැඳි ශීතාගාර

කිසිදු ප්‍රමිතියකින් තොරව ඉදි කර ඇති මේ ශීතාගාරවල උඩ කොටස සහ දෙපැත්තේ බිත්ති කොටස්වල ජලය කාන්දු වී මලකඩ සෑදී ඇති අතර, තැන තැන විශාල වශයෙන් පුස් බැඳ‍ී ඇති අයුරුද දැකගත හැකි විය. සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් මේ ශීතාගාර සහ පලතුරු පරීක්ෂා කරන අතරතුර සෑම ශීතාගාරයකම තිබී ආහාරයට නුසුදුසු තත්ත්වයේ පලතුරු විශාල ප්‍රමාණයක් සොයාගනු ලැබීය. කල් ඉකුත් පලතුරු මෙන්ම රසායනික ද්‍රව්‍ය එක් කර තිබූ පලතුරුද මේ අතර දැකගත හැකි විය.

අදාළ රාජ්‍ය ආයතන විසින් මේ ශීතාගාර මසකට වරක් හෝ පරීක්ෂා කර ප්‍රමිතිය තහවුරු කළ යුතු බවටත්, එලෙස ප්‍රමිතියෙන් තොර ශීතාගාරවල පලතුරු අලෙවිය තහනම් කළ යුතු බවටත් සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් රජයට ඉල්ලීමක් සිදු කරන බව වැටලීමට සහභාගි වූ සෞඛ්‍ය පරීක්ෂකවරුන් කිහිප දෙනෙක්ම පැවසීය.

පලතුරු ගබඩා කළ යුතු ක්‍රමවේද සියල්ල උල්ලංඝනය කරමින් මේ ස්ථානවල පලතුරු ගබඩා කර තිබූ අතර ඒ තත්ත්වය වහා වෙනස් කර ඉතා ඉක්මනින් අදාළ ක්‍රම‍වේදයන්ට අනුව පලතුරු ගබඩා කරන ලෙස මෙහිදී වෙළෙඳසල් හිමියන්ට අවවාද කෙරුණු අතර ආහාරයට නුසුදුසු පලතුරු අලෙවි කළ වෙළෙඳසල් හිමියන්ට නඩු පවරනු ලැබීය. පලතුරු දහස් ගණනක්ද මෙහිදී විනාශ කරනු ලැබිණි. ඇපල්, මිදි, පෙයාස්, දොඩම්, මැන්ඩරින්, දෙළුම්, අඹ ඇතුළු තවත් පලතුරු රැසක් මෙලෙස විනාශ කළ ඒවා අතර විය.

• පණුවන් ගැසූ කරවල

මේ අතර මැනිං වෙළෙඳපොළ දෙසට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුගෙන් අප සිටි කණ්ඩායම් වෛද්‍ය සුභාෂ් මෙන්ඩිස් මහතා වෙත ඇමතුමක් ලැබිණි.

“සර්, මේ පැත්තට ඉක්මනින් එන්න. විශාල ප්‍රමාණ‍යේ කරවල තොගයක් පණුවො ගහලා තියෙනවා...” යැයි එයින් කියවිණි.

වෛද්‍යවරයා සමඟ සෞඛ්‍ය පරීක්ෂකවරු දෙදෙනෙක් මැනිං වෙළෙඳපොළ බලා වහා පිටත් වූහ. සෞඛ්‍ය පරීක්ෂකවරු සිවු දෙනෙක් කරවල වෙළෙඳසලක් ඉදිරිපිට ඒ කරවල තොගය පරීක්ෂා කරමින් සිටියහ. කරවල වැඩි ප්‍රමාණයක පණුවන් සිටිනු දැක ගත හැකි විය. එලෙසම පුස් වලින් වැසී තිබෙන කරවල කූරිද මේ අතර විය. කරවල කිලෝග්රෑම් 400කට ආසන්න ප්‍රමාණයක් එහිදී අත්අඩංගුවට පත්ව තිබූ අතර, වෙළෙඳසල් දෙකක් මේවා අලෙවි කිරීමට සූදානම් වන අවස්ථාවේ වැටලීම් සිදුවිය.

සහල් වෙළෙඳසලක්ද පරීක්ෂාවට ලක් කළ අවස්ථාවේ එහි සහල් ගබඩා කර ඇති ආකාරය ප්‍රමිතියෙන් තොරව බව සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙළෙඳ මහතුන්ට අවබෝධ කර දුන් අතර, වරද පිළිගත් සහල් වෙළෙන්දා එය ප්‍රමිතියට අනුව ගබඩා කිරීමට ඉක්මනින් පියවර ගන්නා බවට පොරොන්දු විය.

• වස-විස මුසු පිසූ අහර

‘කඩ කෑම’ එසේත් නැත් නම් හෝටල්වලින් ආහාරපාන මිල දී ගැනීම අද සමාජය තුළ ඉතා ජනප්‍රිය තත්ත්වයකට පත්ව ඇත. මේ හේතුවෙන්ද නොයෙක් ලෙඩ රෝගවලට ජනතාව මුහුණ පා සිටිති. සෞඛ්‍ය පරීක්ෂකවරුන් පුරා පැය 5කට අධික කාලයක් වෙළෙඳසල් 70ක් පමණ පරීක්ෂා කළ අතර, එහිදී නුසුදුසු තත්ත්වයේ ආහාරපාන අලෙවි කළ වෙළෙඳසල් 29 කට එරෙහිව නඩු පවරා, ආහාරපාන විශාල තොගයක් විනාශ කර දැමීමටද පියවර ගැනිණි. මෙහිදී අනාවරණය වූයේ ආහාරපාන අලෙවි කරන ස්ථාන 100ක් පරීක්ෂා කළ හොත් 35කට ආසන්න සංඛ්‍යාවක් කුමන හෝ වැරැද්දකට හසුවන බවයි.

ආහාර පිසීම සඳහා මොවුන් භාවිත කරන නොයෙක් වැරදි ක්‍රම මෙන්ම නොයෙක් රසකාරක ඊට එක් කිරීමද පිළිකාවලට අතවැනීමක් බවත් නොයෙක් මාරාන්තික රෝග බිහි කිරීමක් ලෙසත් වෛද්‍යවරු පෙන්වා දෙති. මෙලෙස ආහාරපාන ප්‍රමිතියෙන් තොරව අලෙවි කරන හෝටල් වටලන සැම අවස්ථාවකම ඒවා සීල් තබා නෛතික පියවර ගැනීමට කොළඹ මහනගර සභාවේ සෞඛ්‍ය ඒකකය කටයුතු කළ මුත් නැවත නැවත මෙය සිදු වෙමින් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති.

ඒ අනුව ආහාරපාන අලෙවිසල්වලට ප්‍රමිතිය පිළිබඳ මෙන්ම ගුණාත්මක භාවය පිළිබඳවද ජාතික මට්ටමින් ක්‍රියාත්මක වන නීති-රීති පනවා, ඒවා අකුරටම ක්‍රියාත්මක කිරීමට අදාළ ආයතන නොපමාව අවධානය යොමු කළ යුතුය. ආහාරපාන කල් තබාගැනීම සඳහා ප්‍රමිතියෙන් තොර රසායනික ද්‍රව්‍ය එක් කිරීම පිළිකා මෙන්ම වෙනත් බොහෝ මාරාන්තික රෝගවලට මඟ පාදන බව වෛද්‍යවරු දිගින් දිගටම අවධානය කරති. ඒ අනුව මේ සම්බන්ධවද රජය දැඩි පියවරක් ගත යුතු කාලයක් උදා වී ඇතැයි මතක් කර සිටින්නෙමු.

• ප්‍රමිතිය හා නියාමනය

ආහාර වෙළෙඳසලක් ආරම්භ කරන්නේ නම් ඒ සඳහා යම් පුහුණුවක් යම් ප්‍රමිතියක් පිළිබඳව වගකීමක් ඒ පුද්ගලයන්ට ලබා දිය යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සඳහන් කරති. හිතෙන හිතෙන පුද්ගලයා හිතෙන හිතෙන තැන ආහාරපාන සකස් කරමින් අලෙවි කිරීම ඉතා වේගයෙන් පැතිර යන අතර මේ හේතුවෙන් භයානක ප්‍රතිඵල රැසක් මේ වන විටත් ඉස්මතු වී ඇති බව ඔවුහු සඳහන් කරති.

මේ සඳහා රාජ්‍ය මට්ටමින් සංවාදයක් ඇති කර, දියුණු රටවල ආහාරපාන අලෙවිය සඳහා භාවිත කරන ක්‍රමවේද මෙරටට හඳුන්වා දී හෝටල් සංස්කෘතිය නව මාවතක් කරා ගෙන යා යුතු කාලය එළඹ තිබේ. ඒ සඳහා රජය ඇතුළු අනෙකුත් ආයතන පියවර ගන්නා තුරු ජනතාව බලා සිටිති.

මේ දිනවල පවතින දැඩි අවු රශ්මියද නොතකා පැය පහකට අධික කාලයක් පිටකොටුව ප්‍රදේශය පීරමින් කොළඹ නගර සභාවේ සෞඛ්‍ය ඒකකය සිදු කළ මේ මෙහෙයුමේ යම් ප්‍රතිඵලයක් ඇතත් හොර වෙළෙඳුන්ට හා ජාවාරම්කරුවන්ට මැඬ ලීම සඳහා මෙයින් සෑහීමකට පත් වීමට පුළුවන්කමක් නැති බව අපට පෙන්වා දිය හැකිය. මේ මාෆියාව පරාජය කිරීමට ආයතන රැසක් එක්ව නව නීති පනවමින් දැඩි අවධානයකින් යුතුව කටයුතු කළ යුතුව තිබේ.

අපේ සංස්කෘතියට අනුව අපි නරක් වූ ආහාරයක් කිසි විටෙක සතෙකුට වත් නොදෙන ජාතියකි. එසේ වත්දීත් මුදලට ලොල් වී දැන-දැනම මේ වැරදි කරන්නෝ තමන්ටද දරුවන් සිටින පුද්ගලයෝය. නීතිය කෙසේ ක්‍රියාත්මක වුවත්, තම-තමන්ගේ හෘදයසාක්ෂියෙන්ද මේ පිළිබඳ විමසා සිටින්නැයි මෙලෙස වස-විස මුසු අහර අලෙවි කරන පුද්ගලයන්ට අපි මතක් කර සිටින්නෙමු.

ඡායාරූප - දුෂ්මන්ත මායාදුන්න

Comments