රථවාහන පොලීසියේ අස්වැසිල්ල විනාශ කළ මහියංගණයේ මහා අනතුර | සිළුමිණ

රථවාහන පොලීසියේ අස්වැසිල්ල විනාශ කළ මහියංගණයේ මහා අනතුර

අප්‍රේල් 17 දා අලුයම වන විට මහියංගණ නගරවැසියන් වෙළා සිටි නින්ද අතරේ එක්වරම බෝම්බයක් පිපිරෙන හඬක් වැනි මහා ශබ්දයකින් ඔවුන්ට එක්වර අවදි වන්නට සිදු විය. ශබ්දය පැමිණි දෙසට දිව ගිය අයට දැකගන්නට ලැබුණු දෙයින් ඔවුහු ලොමුදැහැගත්හ.

නුවර දෙසින් පැමිණි වෑන් රථයක් තමන් ආ මාර්ගයෙන් ඉවතට ගොස් අනෙක් පස මාර්ගයේ ත්‍රිකුණමලයේ සිට දියතලාව දක්වා ගමන් කරමින් තිබූ පෞද්ගලික බස් රථයක් ගැටි තිබිණි. වෑන් රිය දැඩි සේ හානියට පත්ව තිබුණු අතර, එහි ගමන් ගත් පිරිස ඒ සුන්බුන් ගොඩේ සිරව සිටියහ. ඔවුන්ගෙන් දෙදෙනෙක් ඒ වන විටත් මරු තුරුලේය.

පොලීසිය හා ප්‍රදේශවාසීහු පැමිණ තුවාලකරුවන් යුහුසුලුව මහියංගණ රෝහලට රැගෙන යෑමට උත්සාහ දරන්නට වූහ. වේගයෙන් විත් ගැටීම නිසා සුනුවිසුනුව ගිය වෑන් රියේ සිර වුණු තුවාලකරුවන් බේරාගැනීමට ඔවුන්ට මහත් වෙහෙසක් දරන්නට සිදු විය. තුවාලකරුවන් මහියංගණ රෝහලට රැගෙන ගියද දරුණු තුවාල ලැබ සිටි 10 දෙනකුගේ දිවි ඒ වන විටත් මරු තුරුලට ගොසිනි. දැඩි සේ තුවාල ලැබූ දැරියන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බැවින් බදුල්ල රෝහල වෙත මාරු කර යැවුණි.

“අනේ පව්! මේ අය කො‍හෙන් ආපු අයද දන්නෙ නැහැ...“

ඒ ප්‍රශ්නය කාගේත් සිතට නැඟුණේ අන් කවරක් නිසා වත් නොවේ. ඒ වන විට වෑන් රියේ පැමිණි කිසිවකුදු සිහියක් පතක් තිබෙන මට්ටමක නොසිටි නිසාය. වාහනයද සම්පූර්ණයෙන්ම විනාශ වී තිබූ අතර, ඔවුන් කාගේ කවුද - කොහේ සිට පැමිණි අයදැයි එකවර තීරණයකට එන්නට තරම් සාධක නොතිබිණි. පසුව දැනගන්නට ලැබුණේ මේ පිරිස මඩකලපුව කල්ලඩි ප්‍රදේශයේ බවයි.

වසර 20කට වැඩි කාලයක් ඕමානයේ සේවය කළ වෙලින්ටන් ජොබ්ස් ශ්‍රී ලංකාවට පැමිණියේ මීට දින කිහිපයකට ඉහතදීය. වසරකට වතාවක් පමණ ලංකාවට ඇවිත් යන ඔහු තවත් දින කිහිපයකින් නැවත විදේශගත වීමේ අපේක්ෂාවෙන් සිටියේය.

වෙලින්ටන් සමඟ වෑන් රථයේ ගමන් ගත් ඔහුගේ බිරිය වන සිල්වියා ජොබ්ස්ගේද දියණිය වූ නිසාලිස් ඇලෙක්සැන්ඩර් සහ ඇයගේ සැමියා වූ ලිස්ටර් ඇලෙක්සැන්ඩර්ගේද අවසන් සුසුම් වාතලයට එක්ව තිබිණි. නිසාලිස් යුවළගේ සිව් හැවිරිදි ආදරණීය නිවුන් දියණියන් වන හනාලි ඇලෙක්සැන්ඩර් සහ පයිගා ඇලෙක්සැන්ඩර් දැරියන්ටද මරුගේ ග්‍රහණයෙන් බේරීමට හැකියාවක් ලැබී තිබුණේ නැත.

මඩකලපුවේ යතුරුපැදි අලුත්වැඩියා කරන්නකු වූ ජූඩ් හෙන්රික්ස්, ඔහුගේ බිරිය වූ මරියා ක්‍රිසන්සියා සහ වෑන් රිය පැදවූ හයිට් හෙන්රික්ස් (පුතු) සහ ෂෙරෙබි හෙන්රික්ස්ද (දියණිය) වේදනාබර මරණයකට ගොදුරුව තිබිණි.

ඒ අනුව ඥාති පවුල් දෙකක 10 දෙනකු ඒ වන විට මරු තුරුලේය‍.

ජූඩ් හෙන්රික්ස්ගේ දියණියක වූ ෂෙහානි හෙන්රික්ස් සහ ජා-ඇළ සිට පැමිණි ඥාති දියණියක වූ රෙෂානි බල්කර්ෂා බදුල්ල රෝහලේය.

මේ පිරිස ජා-ඇළ ප්‍රදේශයේ සිටි ඥාතීන් බැලීමට යන්නට සිටියේ මහත් ආශාවෙනි. ඒ අනුව කුලියට ගත් වෑන් රියක නැඟුණු ඒ පිරිස මඩකලපුවෙන් රාත්‍රියේම පිටත් වූහ. මේ ගමනට ජූඩ් හෙන්රික්ස් සහ බිරියත්, පුතාත්, දියණියන් දෙදෙනාත්, වෙලින්ටන් ජොබ්ස්ගේ මහතාගේ බිරිය, දියණිය, බෑනා සහ ඔවුන්ගේ සිව් හැවිරිදි දියණියන් දෙදෙනාත් මේ ගමනට එක්ව සිටියේ මහත් සතුටිනි. ජ-ඇළ නිවෙසේ විනොදයෙන් ගත කර, නුවරඑළිය ප්‍රදේශය හරහා සුන්දර ස්ථාන රැසක් නරඹා නැවතත් මඩකලපුවට පැමිණීම ඔවුන්ගේ අපේක්ෂාව විය. ඒ අනුව මේ පිරිස නුවරඑළියට පැමිණ සිත් සේ සතුටු වන්නට වූහ. 16 වැනිදා රාත්‍රියේ “අපි දැන් නුවරින් පිටත් වෙනවා“ යැයි ඔවුහු මඩකලපුවේ ඥාතීන්ට දුරකතන ඇමතුමක් දී පැවසූහ. ඒ එන ඉරණම් ගමනට දෛවය විසින් ජා-ඇළ නිවෙසේ ඥාති දියණියක්ද එකතු වූවාය. එකොළොස් දෙනකු සමඟ පිටත් වූ වෑන් රථය 12 දෙනකු සමඟ ආපසු එන්නේ ඒ අනුවය. අලුයම 1.30 ආසන්න වෙද්දී වෑන් රථය මහියංගණය ආසන්නයට ගමන් කරමින් සිටින්නට විය. වෑන් රියේ සුක්කනාම භාරව සිටියේ හෙයිඩ් හෙන්රික්ස්ය.

රථය මහියංගණ ජාතික පාසලට ආසන්න වෙමින් තිබිණි. ඒ මොහොතේ වෑන් රියේ වැඩි දෙනකු පසු වන්නට ඇත්තේ තද නින්දේය. වෑන් රිය අසුරු සැණින් මාර්ගයෙන් අනෙක් පසට ඇදී, ත්‍රිකුණමලයේ සිට දියතලාවට යමින් සිටි බස් රථයක මුහුණට මුහුණ ගැටුණේ රියැදුරුට කිසිවක් සිතාගන්නට කාලයක් ඉතිරි නොකරමිනි.

ඒ වන විට මඩකලපුවේ සිට දියතලාව බලා යමින් සිටි බස් රයේ පිරිස මහියංගණයේදී තේ පානය කර පිටත් වී ගත වන්නේ ටික වේලාවකි. බස් රියේ රියැදුරාට අනුව වෑන් රථය වැරදි මං තීරුවේ අධික වේගයෙන් පැමිණ බස් රියේ මුහුණත ගැටී ඇත.

වැන් රිය පදවා ඇත්තේ වයස අවුරැදු 19ක තරුණයෙකි. රියැදුරු බලපත ගෙන මාස තුනක් වත් නැති බව කියන මේ තරුණයා රථය පදවන්නේ තවත් ජීවිත 11ක්ද දරාගෙනය. තමාගේම පවුලේ සාමාජිකයන් සමඟ ඔහු දින තුනක් තිස්සේ වාහනය ජා-ඇළටත්, එයින් පසු නුවරඑළියටත්, පසුව මහනුවර, මහියංගණය හරහා මඩකලපුව දක්වාත් කිලෝ මීටර සිය ගණනක් රිය පැදවීමේ අත්දැකීමද නිසැකවම ලබන්නට ඇත. එහෙත් ඔහුට රිය පැදවීමේ පවතින අත්දැකීම් මඳකම හෝ දිගු දුරක් රිය ධාවනය කිරීම හේතුවෙන් ඇති වූ අධික වෙහෙස සහ නිදි මත හෝ මේ අනතුරට හේතු වූවා යැයි අනුමාන කළ හැකිය. අද මෙරට සිදු වන රිය අනතුරු අතුරින් රියැදුරාට නින්ද යෑම නිසා සිදු වන අනතුරු ප්‍රමාණය විශාලය.

සාමාන්‍යයෙන් සිංහල අලුත් අවුරුදු කාලයට රිය අනතුරු සාපෙක්ෂව වැ වෙයි. පසුගිය වසරේ අවුරුදු තෙදින තුළ පුද්ගලයන් 51 දෙනකු රිය අනතුරු හේතුවෙන් මරු මුවට පත් වූ අතර, මේ වසරේ එකී දින තුනේ මරු තුරුලට යන්නේ 20 දෙනෙක් පමණි. ඒ සා ප්‍රමාණයකින් හෝ මේ කාලය තුළ අනතුරු අඩු කරගන්නට පොලීසියට 3000ක බළ ඇණියක් මහපාර වෙනුවෙන් යොදවන්නට සිදු විය. ඔවුන්ගේ මේ දැඩි කැප වීමෙන් යම් අස්වැසිල්ලක් ලබන්නට ඇත්තේ මෙදා පාර රිය අනතුරු මෙපමණ ගණනකින් අඩු වුණා ය යන උද්දාමයද සමඟින් විය හැකිය. එහෙත් ඔවුන්ට එවැනි අස්වැසිල්ලකට පැය 24ක් හෝ නොතබා මහියංගණයෙන් එක්වරම 10 දෙනකු මරු තුරුලට යන තරමේ අනතුරක් සිදු විය. එයින් පෙනෙන්නේ පොලීසිය මහ පාරේ 24 පැයේ රැඳවූ පමණින් මේ අර්බුදය නොවිසඳෙන බවය.

පසුගියදා කොළඹදී පැවැති ‘මාර්ග ආරක්ෂාව පිළිබඳව කොළඹ අන්තර්ජාතික සමුළුව‘ නම් වූ මේ පිළිබඳ පර්යේෂණ කරන විද්වතුන්ගේ සමුළුවකදී මෙරටට දැවැන්ත ව්‍යසනයක් වී ඇති රිය අනතුරු අවම කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ගැන කතා බහට ලක් විණි. එහිදී මීට අදාළ පාර්ශ්ව සියල්ල නියෝජනය වන ජනාධිපති කාර්යසාධක බළකායක් පත් කිරීම ඒ හරහා යම් ක්‍රියාත්මක සැලැස්මක් සකස් කිරීම, නීති-රීති සංශෝධන, පාසල් විෂය මාලාවලට රිය අනතුරු සම්බන්ධව ඇතුළු කිරීම ආදි යෝජනා ගණනාවක්ද ඇතුළත් විය. මෙරට රථවාහන පදවන රියැදුරන් සම්බන්ධයෙන් මෙහිදී විශේෂ විද්‍යාත්මක අධ්‍යයනයක් කළ යුතුව ඇත්තේ ඔවුන්ගේ තීරණ ගැනීමේ දුර්වලතා, විනයක් සහ හික්මීමක් නැති වීම. අධික වෙසෙකාරිව හෝ බීමතින් රිය පැදවීම බොහෝ විට රිය අනතුරු බහුල වීමට හේතුවක් ලෙස සඳහන් වන නිසාය.

මේ අතරේ පසුගියදා විගණකාධිපති දෙපාර්තමේන්තුවේ වාර්තාවක් උපුටා දක්වමින් ඩේලි නිව්ස් පුවත්පත තම ප්‍රධාන පුවතින් වාර්තා කළේ මහාමාර්ගයේ පවතින විවිධ ඉංජිනේරුමය දුර්වලතාද බොහෝ අනතුරුවලට හේතු වී ඇති බවය. මේ විගණන වාර්තාවට අනුව 2015 වසරේ ස්ථාන 295ක මාර්ග අනතුරු 368ක් සිදුව ඇති අතර ඒ අනතුරුවලට බලපා ඇත්තේ පදික මාරුව බස් නැවතුමක් ආසන්නයේ පිහිටීමය. ඒ පිහිටීම් වෙනස් කළේ නම් මේ අනතුරු අවම කරගත හැකිව තිබූ බව එ වාර්තාව පෙන්වා දෙයි. මේ විගණන වාර්තාවෙන් එළිදුටු තවත් එක් කරුණක් වන්නේ අක්‍රමවත් සහ අනාරක්ෂිත දුරකතන සහ විදුලි කණුද 2015 රිය අනතුරු 108කට වගකියා ඇති බවය. ඇතැම් මාර්ගවල අනතුරු ඇඟවීමේ සංඥාවලින් තොරව මාර්ග මැද පවතින වළ-ගොඩැලි ඇතුළු කඩතොලු යතුරුපැදි හා වෙනත් වාහන අනතුරුවලටද හේතු වන බව පෙනී ගොස් තිබේ. අද දිනකට මහා මාර්ගයේ හය-හත් දෙනකු ජීවිත අහිමි කරගන්නා අතර විසි-තිස් දෙනකු අත්පා කඩා-බිඳගෙන රෝහල්ගත වෙති. ඒ අනුව බලන කල පවතින මේ දරුණු ව්‍යසනය හමුවේ කඩිනම් ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට හොඳම කාලය වී ඇත.

අදහස්