ලැප්ටොප් හොරා කොටු කරගත් සරසවි රහස් පරීක්ෂකයෝ | සිළුමිණ

ලැප්ටොප් හොරා කොටු කරගත් සරසවි රහස් පරීක්ෂකයෝ

රැකියාවට එන විදියට හැමදාම ටිකිරි මැණිකේ නැඟලා කොළඹ ඇවිත්

හොරාට වැරැදුණේ පේරාදෙණිය ඉංජිනේරු පීඨ සිසුන්ට කළ වංචාවෙන්

ඉඳහිට කෝච්චියේ කොහෝ හෝ යන අපට එහි සිටින විවිධාකාර චරිත දුටු විට ඇති වන්නේ විමතියකි. එහි ගමන් ගන්නා මඟීන් හැරුණු විට ආධාර ඉල්ලන රෝගීන්, සංගීත කණ්ඩායම්, සිඟන්නන්, සර්කස් පෙන්වන්නන්, වෙළෙන්දන් ආදි වූ දෙනා අතර සොරුන්ද නැතිවා නොවේ. පික් පොකට් ගසන්නන්, චේන් කඩන්නන් ගමන් මලු සොරා ගන්නන් අතර සිටින අලුත්ම සොරකු පිළිබඳ පසුගියදා අපට තොරතුරු දැනගන්නට ලැබිණි.

ඒ නුවර සිට කොළඹට එන පෙට්ටි පහේ ටිකිරි මැණිකේ කෝච්චියේ එන මඟීන්ගේ ලැප්ටොප් සොරා ගන්නා අයෙකු පිළිබඳය. වේයන්ගොඩ පදිංචි එම පුද්ගලයා විවාහ වී සිටින්නේ නුවර ප්‍රදේශයෙනි. රැකියාවට යන්නේ යැයි කියා කෝච්චියේ නැඟී එන ඔහුගේ එකම රස්සාව දුම්රිය මඟීන්ගේ ලැප්ටොප් සොරා ගැනීම බව ඔහුගේ පවුලේ කිසිවෙකු දැන සිටියේ නැත. කලක් තිස්සේ හොර රහසින් කරගෙන ගිය ඔහුගේ රැකියාව කුමක්දැයි රටටම හෙළි කර දෙන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජීනේරු පිඨයේ සිසුන් දෙදෙනෙකුය.

කොට්ටෝරුවා හැම ගහටම කෙටුවත් කෙසෙල් ගසට කෙටු දාට හොට පැටලෙනවා යැයි කියමනක් අප අතර ඇත. අවසානයේ මේ සොරාටද සිදු වුයේ කොට්ටෝරුවාට සිදු වූ දෙයමය.

කුෂාන් මීමනගේ හා විමුක්ති මධූෂංක තරුණයන් දෙදෙනා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන අතර ඔවුහු සිකුරාදට නිවෙසට පැමිණෙති. ඒ එන්නේ ටිකිරි මැණිකේ දුම්රියෙනි. කෙසේ හෝ ඉකුත් මාර්තු 22 දා විශ්වවිද්‍යාලයේ සිට නිවෙසට පැමිණීම සඳහා තම මිත්‍රයකු ද සමඟ කුෂාන් ටිකිරි මැණිකේ දුම්රියට ගොඩ විය. ඒ වන විට වේලාව උදෑසන 10.56ට පමණය.

“ඒ වේලාවෙ දුම්රියේ අපි හිටපු මැදිරියේ රැක් ඔක්කෝම පිරිලා තිබුණේ. මම මගේ බෑග් එක කකුල් දෙක ගාවම තියාගෙන ෆුට්බෝඩ් එකේ හිටියේ. ටික වේලාවක් ගියා. අසල හිටපු මනුස්සයෙක් මා එක්ක හිනා වුණා. මමත් මනුස්සකමටනේ කියලා හිනා වුණා. මට එක පාරටම හිතුණා ඒ මනුස්සයා හරි අහිංසකයි කියලා. කෝච්චිය බලන ඉහළ කෝට්ටේ හරියට එනකොට මට බෑග් එක කකුල් දෙක ගාව තියාගෙන ඉන්න එක එපා වුණා. ටික වේලාවකින් මා එක්ක හිනා වුණ අහිංසක මනුස්සයා මට රැක් එකක් පෙන්නුවා. මම බෑග් එක එතැනින් තිබ්බා.

ආයෙත් මම ෆුට්බෝඩ් එකටම ආවා. ටිකකින් මම බෑග් එක තියෙන රැක් එක දිහා බැලුවා. මට දැනුණා මගේ බෑග් එක මම තියපු තැන නැහැ කියලා . මම හැම තැනම බෑග් එක හෙව්වා. මිනිස්සුන්ගෙන් ඇහුවා. අර මනුස්සයා ගැනත් ඇහුවා. ඒ මනුස්සයා පේන්න නැහැ. මිනිහා බැහැලා ගිහින් තියෙන්නේ මගෙ බෑග් එක අරගෙන. මට කරන්නේ මොනවද කියලා හිතා ගන්න බැරි වුණා.

මම ගම්පහදි කෝච්චියෙන් බැස්සා. යාළුවා ගියා කොළඹටම. එයා තවත් හොයලා බලන්නම් කියලා. කරන්නේ මොනවද කියලවත් මට කල්පනාවක් තිබුණේ නැහැ. මම ගම්පහ පොලිසියට ගියා . පැමිණිල්ලක් දැම්මා. පොලිසියෙන් කිව්වා හම්බු වුණොත් කියන්නම් කියලා. මගේ තාත්තගේ යාළුවෙකු වන නිමල් කාරියවසම් අන්කල් එයාගේ දැන ඇඳුනුම්කම්වලින් පොලිසියෙන් අපට උදව් අරන් දුන්නා. මම ෆේස් බුක් එකේ පෝස්ට් එකක් දැම්මා. යාළුවෝ ඒක ෂෙයාර් කරලා තිබුණා. ලැප් එක ගැන තොරතුරු නැතිව සති දෙකක් විතර ගෙවිලා ගියා.”

කුෂාන් පවසන්නේ තමන්ට වූ සිද්ධිය ගැනය. ලැප් එක පිළිබඳ කිසිදු ආරංචියක් නැතිව සතිය දෙක ගෙවිලා යද්දි යළිත් ලැප් හොරාගේ අත දිගු වන්නේ කුෂාන්ගේ මිත්‍රයකුගේ ලැප් එකටය. එදිනද සිකුරාදා දිනයකි. කොච්චිය ද වෙනදා කෝච්චියමය. ඊට සති කිහිපයකට පෙර ද දුම්රියේදි මිත්‍රයකුගේ තවත් ලැප් ටොප් එකක් නැති වෙයි. ඒ සියලු සිදු වීම්වල ඇති සමානකම පිළිබඳ කතා බහ කරන මිත්‍රයෝ සොරා අල්ලාගැනිමට තිරණය කරති. ඔවුන්ට ගම්පහ , රඹුක්කන වේයන්ගොඩ පොලීසිවලින්ද සහාය ලැබෙයි.

මිතුරෝ වේයන්ගොඩ දුම්රිය පොළ ආසන්නයේ ඇති පාරවල් වෙළෙඳ සල් ආදි සියල්ල පිළිබඳ තොරතුරු සොයති. අසල කඩවල් වල CCTV කැමරා ආදියද පරික්ෂාවට ලක් කරති. ඒ සියල්ලට පොලිසියේද සහාය ලැබේ. අවසානයේ ඔවුන් ක්‍රියාත්මක වන්නේ තවත් සිකුරාදා දිනයකදීය .

“අපි අප්‍රේල් පස් වෙනිදා වැඩේ ප්ලෑන් කළා. මමයි යාළුවොයි කෝච්යේ ආවා. උදේ 10.38 වෙන කොට අපි පේරාදෙණිය ස්ටේසමට ආවා. අපි එකිනෙකා අඳුනන්නේ නැති විදිහට තමයි කෝච්චියට ගොඩ වුණේ. මේ අතරේ මගේ යාළුවා ලැප් හොරාව අඳුනා ගත්තා. අපි මුල ඉඳලාම තිරණයකට ආවා හොරාට ගහන්නේ නැහැ කියලා. පොලිසිය මඟදිගට අපෙන් තොරතුරු අහනවා. අපියි පොලිසියයි අතර සම්බන්ධතාව දිගින් දිගටම තිබුණා. අපේ සරසවියේ මල්ලි කොනෙක් දුම්රියේ හිටියා. අපි එයාව දැනුවත් කළා. එදා එයා එයාගේ ලැප්ටොප් එක දාපු බෑග් එක රැක් එකේ දාලා තිබුණේ. අපි එයාට කිව්වා ඒ බැග් එක අතට ගන්න කියලා. අපි ගෙදරින් ලැස්ති කරගෙන ආවා පරණ ලැප් එකක් දාපු බෑග් එකක්. ඒක තිබුණේ රැක් එකේ. ලැප් හොරාට හොඳ දැනුමක් තියෙනවා ලැප්ටොප් තියෙන බැග් අදුන ගන්න. අපි දුම්රියේදි මිනිහා ගැන ඇහැ ගහගෙනමයි ආවේ. කොහොම හරි රඹුක්කන දුම්රිය නැවතුම් පොළේදී හොරා බැස්සා . මිනිහා බැස්සේ වතුර බොන්න. නමුත් මිනිහා ආයේ නැග්ගේ නෑ. බිමට බැහැලා හිටිය යාළුවා නැග්ගා. අනෙක් යාළුවා බිමට බැස්සා. දැන් හොරා රඹුක්කන ඉස්ටේසමේ.

වේයන්ගොඩ ඉන්න පොලිස් ටීම් එක රඹුක්කන ස්ටේසමට ආවා. රඹුක්කන පොලිසියේ අපරාධ අංශයේ නිලධාරින් සිවිල් පිට එතැනට ආවා. ඒ එන අතරේ ස්ටේසමේ ගාඩ්ල දැනුවත් කරලා තිබුණ නිසා ගාඩ්ලා හොරා අල්ලා ගත්තා. හොරාට අපි මිනිහාගේ පින්තුර පෙන්නුවා CCTV කැමරාවලින් ගත්ත. ඒවා දැක්කම මිනිහට කට උත්තර නැතිව ගියා. ” විශ්වවිද්‍යාල සිසුවා පවසන්නේ මිතුරන් හා එක්ව කළ මෙහෙයුම පිළිබඳයි.

කෝච්චියේ ලැප්ටොප් සොරකම් කළ සොරා අල්ලා දීමෙන් මේ කතාව අවසන් වන්නේ නැත. මුල සිටම එම සිදුවීම සමඟ සිටි වේයන්ගොඩ පොලිසියේ සැරයන් නීල් පද්මසිරි (19089) පැවැසුවේ එම සොරා විසින් සොරා ගන්නා ලද ලැප්ටොප් දොළහක්, සහ ටැබ් එකක් සොයාගත් බවය.

තරුණයන් පවසන අන්දමට ලැප් සොරා අමුතුම එකෙකි. දුම්රියේ දී සොරා ගනු ලබන ලැප්ටොප් රුපියල් 30,000කට මෙන්ම රුපියල් 5000කටත් විකුණා ඇත. ඔහු එම ලැප්ටොප්වල ඇති සියල්ල ෆෝමැට් කර ලැප්ටොප් එක තමන්ගේ එකක් ලෙස කඩවලට දී ඇත. එමෙන්ම සොරාගන්නා ලද බෑග්වල ඇති වෙනත් දේ පොත් පත්, චාජර්, රෙදි ආදිය පොදු වැසිකිළි අසලට විසි කර ඇත.

අපරාධයක් , සොරකමක් කර සැඟවි සිටිය නොහැකිය. කෙදිනක හෝ සියල්ල හෙළි වනු ඇත. ටිකිරි මැණිකේ දුම්රියේ ලැප්ටොප් හොරාට ද සිදු වූයේ එයමය.

“අපට පොලිසියෙන් වගේම දුම්රිය නැවතුම්වල වෙළඳසල්වල අයගෙන් දුම්රිය නිලධාරින්ගේන සහාය ලැබුණා. ඒ හැමෝටම ස්තුතියි. මගේ මිත්‍රෙයා් දෙන්නා නොසිටින්න අපට හොරා අල්ල ගන්න ලැබෙන්නේ නැහැ.

සිද්ධිය පිළිබඳ කරන ලද විමසීමකදි කුෂාන් පැවැසිය. දැන් මේවන විට ලැප් සොරා සිටින්නේ රක්ෂිත බන්ධනාගාරය බාරයේය. සැබැවින්ම මේ රටේ සිඳුවන සොරකම් වල සොරුන් ඇල්ලීමට මහජනතාව සහ පොලිසිය එක්ව කටයුතු කරන්නේ නම් තත්වය මීටත් වඩා යහපත් වනු ඇත.

ඉසවි

අදහස්