සහජීවනය රකින්න පාරට බැස්ස මන්නාරමේ මිනිස්සු | Page 2 | සිළුමිණ

සහජීවනය රකින්න පාරට බැස්ස මන්නාරමේ මිනිස්සු

රසුල දිල්හාර ගමගේ

මන්නාරමේ බෞද්ධයන් නොවන වැසියෝ රජයෙන් මෑතකදී ප්‍රකාශයට පත් කළ ත්‍රිපිටකාභිවන්දනා වැඩ සටහනේදී ඉදිරියෙන්ම සිටියහ.

ඔවුන් ඒ කාලය පුරාවටම බෞද්ධ සිරිත් විරිත් හා විවිධ පුණ්‍ය ක්‍රියාවලට සහභාගී වෙමින් සතියක් මුළුල්ලේම තමන්ගේ ආගම දහම පසෙක තබා බෞද්ධයෝ වූහ.

මේ ක්‍රියාව බොහෝ දෙනාගේ පැසසුමට ලක් විය. මේ අතරවාරයේදී මන්නාරමේ විවිධ පළාත්වල පිහිටි විවිධ ආගම්වලට අයත් ආගමික ස්ථානවලට ප්‍රහාරයන් එල්ල විණි.

මන්නාරමේ බෞද්ධයන් වාසය කළත් බෞද්ධ සිද්ධස්ථාන තිබුණත් ඒවාට ප්‍රහාර එල්ල නොවිණි. අනෙක් සෑම ආගමකටම අයත් සිද්ධස්ථානවලට ප්‍රහාරයන් එල්ල වූ අතර ඇතැම් ආගමික ස්ථානවල තිබූ ප්‍රතිමා මහපාරට ගෙනැවිත් පොළොවේ ගසා කුඩු පට්ට්ම කොට තිබිණි.

වෙනත් ප්‍රදේශයකදී එවැන්නක් සිදුවූවා නම් අන්‍ය ආගමික සිද්ධස්ථානවලට පහර දීමේ වරද පැටවෙන්නේ බෞද්ධයන් වෙතය. ඊට ප්‍රධාන හේතුව වන්නේ මන්නාරමේ බෞද්ධයන් ස්වල්ප පිරිසක් වාසය කිරීමත් බෞද්ධ සිද්ධස්ථානවලට මේ ප්‍රහාරවලදී කිසිම අනතුරක් සිදු නොවීමත් නිසාය.

එහෙත් මන්නාරමේ බෞද්ධයන් නොවන කිසිවෙක් හෝ කිසිම සංවිධානයක අයෙක් මේ දේ කළේ බෞද්ධයන් යැයි නොකීහ. ඊට සම්බන්ධ වුවෝ හෝ අනුබල දුන් අය බෞද්ධයන් යැයි නොකීහ. ඒ අතරවාරයේදී මන්නාරමේ ආගමික සිද්ධස්ථානවලට ප්‍රහාර එල්ල වීමත් ඒවායෙහි වූ ප්‍රතිමා තොරණ දේපළ ඇතුළු දේට අලාභහානි සිදු කිරීමත් අතොරක් නැතිව සිදු විණි.

මන්නාරමේ වැසියෝ මේ සිද්ධින් තවදුරටත් ඉවසා සිටීමට නොහැකිව විශාල උද්ඝෝෂණයක් සංවිධානය කළහ. ඒ මන්නාරම දිසාපති කාර්යාලය ඉදිරිපිටදීය.මේ උද්ඝෝෂණයට සහ සම්බන්ධ වූවෝ අතර සිංහල දෙමළ හා මුස්ලිම් ජනයාද වූහ. ඔවුන් එක හෙළාම කියා සිටියේ මන්නාරමේ වැසියන් අතර පවතින සාමය සමාදානය හා සංහිඳියාව බිඳ දැමීමට පිරිසක් විසින් මේ පහත් ක්‍රියාවන් සිදු කරන බවය.

ඒ නිසාම මන්නාරමේ සියලු සංවර්ධන කටයුතුවලට එය විශාල බාධාවක් මෙන්ම ආධාර උපකාර නොලැබෙන තත්ත්වයක් උද්ගත වන බවද උද්ඝෝෂණකරුවෝ කියා සිටියහ. මන්නාරම කාන්තා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සභාපතිනී එස්.සෙල්වසෝතී කියා සිටින්නේ මන්නාරම තුළ කිසිම ජාතිවාදී අදහස්වලින් ඔළුව කුරුවල් කරගත් පිරිසක් නැති බවය.

''මන්නාරමේ කිසිම පළාතක ජාතිවාදයක් නෑ. මඩු ප්‍රදේශයේ විතරක් නෙමෙයි තවත් පළාත් ගණනාවකම සිංහල වැසියෝ ජීවත් වෙනවා. විල්පත්තුවේ, මන්නාරම කෙළවරේ ඉන්න සිංහල මිනිස්සු නිතරම කියන්නේ ඒ අයට උදව් උපකාර කරන්නේ මුස්ලිම් හා දෙමළ ජනතාව කියලයි.

මන්නාරමේ ඉන්න දෙමළ මුස්ලිම් ජනතාවට සිංහල අයගෙන් ගොඩාක් උදව් ලැබෙනවා. මේ කාලේ විතරක් නෙමෙයි, යුද්ධ කාලේ මන්නාරමේ හිටිය මුස්ලිම් සිංහල මිනිස්සු කොටි විසින් පන්නලා දානකල්ම මේ සියලුම ජාතීන් හිටියේ සහෝදරයන් වගේ.

දැන් යුද්දෙ ඉවරයි. ආයෙත් මන්නාරමට සිංහල මිනිස්සුයි මුස්ලිම් මිනිස්සුයි ඇවිත් ඉන්නවා. ඔවුන් සහෝදරයෝ වගේ ජීවත් වෙනවා. ජාතීන් අතරේ කිසිම භේදයක් නෑ වගේම තමයි ආගම් අතරත් කිසිම භේදයක් නෑ.

මන්නාරමේ මඩු පල්ලියට මේ හැමෝම යනවා. මුස්ලිම් සිංහල කියලා වෙනසක් නෑ. ඊළඟට තිරුකේතීස්වරන් කෝවිලට මේ හැමෝම යනවා. ඒ අයට ඕනේ දෙවියන් වැදලා ආශිර්වාද ගන්න මිසක් ආගමක් පාවලා දෙන්න විනාශ කරන්න නෙමෙයි.

නමුත් මෑතක සිට මන්නාරමේ විවිධ තැන්වල ආගමික ස්ථානවලට පහර දෙනවා. ඒවා විනාශ කරනවා. අපි විශ්වාස කරන්නේ මේ කිසිම දෙයක් කරන්නේ මන්නාරමේ ඉන්න සිංහල දෙමළ මුස්ලිම් වැසියෝ නෙමෙයි. පිටින් ඇවිත් සංවිධානාත්මක පිරිසක් තමයි මේවා කරන්නේ.

මේ මිනිස්සු මෙහෙම කරන එකට හේතු කීපයක්ම තියනවා. එකක් තමයි ඉඩම් අත්පත් කරගැනීම . මන්නාරමේ විවිධ අවශ්‍යතා සඳහා මේ දවස්වල කට්ටිය දකුණේ ඉඳලා ඉඩම් හොයාගෙන එනවා. ඔවුන් ඉල්ලන්නේ එක් තැනකින් අක්කර සීයක් දෙසීයක්. එහෙම දෙන්න කවුරුවත් කැමති නෑ. අපිට හිතෙන්නේ මන්නාරමේ මිනිස්සු අතර විශාල අරගලයක් හදලා ඒ අය මේ ඉඩම් ගන්න ක්‍රමයක් හදනවා කියලයි.

අනෙක් කාරණය තමයි විල්පත්තුවේ කතාව. විල්පත්තුවට නැඟෙන විරෝධයත් මේ ආගමික ස්ථාන විනාශ කිරීමත් අතර සම්බන්ධයක් තියනවා. නමුත් මන්නාරම කියන්නේ වෙන එකක්. විල්පත්තුව කියන්නේ වෙන එකක්.

ඉතින් මෙහෙම හේතූ කීපයක් නිසා තමයි මන්නාරමේ ආගමික ස්ථානවලට ප්‍රහාර එල්ල කරලා මන්නාරමේ වැසියන්ගේ එදිනෙදා ජන ජීවිතය අවුල් කරන්න හදන්නේ. ඒක නිසා අපි මේ විරෝධය දක්වන්නේ වහාම මේක නවත්තන්න කියලයි. ඒ වගේම අපි ආරක්ෂක අංශවලින් ඉල්ලා සිටින්නේ කොහොම හරි මේ පිරිස අත් අඩංගුවට අරගෙන මුළු ලෝකෙටම මේකේ ඇත්ත නැත්ත පෙන්නලා දෙන්න කියලයි.''

ඇත්තෙන්ම මන්නාරමේ සිදු වන දේ තේරුම්ගැනීම අපහසුය. මන්නාරම ඉරුක්කලම්පිඩ්ඩි ජුම්මා මුස්ලිම් පල්ලියේ මවුලවි ඉෂාක් මොහොමදු සෙය්යදූ කියා සිටියේ කවරෙකුගේ හෝ ජාතියකට ආගමකට එරෙහිව කටයුතු නොකළ යුතු බවයි.

''මන්නාරමේ අපේ පල්ලිවලට හානි කළා. ඒ වගේම හින්දු ආගමේ තැන් ගණනාවකට පහර දුන්න ප්‍රතිමා විනාශ කළා. ක්‍රිස්තියානි ආගමේ තැන්වලටත් මෙහෙම කළා. අපි මේ හැම ක්‍රියාවක්ම තරයේ හෙළා දකිනවා.

මන්නාරම නගරයට එකතු වුණු සිංහල දෙමළ මුස්ලිම් ජනතාව කියා සිටින්නේ අපිට නිදහසේ ඉන්න දෙන්න කියලයි.

මේ ඉන්න හැම කෙනාම යුද්දෙන් පීඩා විඳලා යුද්දෙන් බැටකාලා ගොඩාක් දු වින්ද අයයි. ආයේ මේ අයට යුද්දයක් නෙමෙයි වෙන මොනවටවත් රණ්ඩු වෙන්නවත් ඕනේ නැහැ. ඒක නිසා අපි කියන්නේ මේ ආගමික ස්ථානවලට පහර දෙන ක්‍රියාව වහාම නතර වෙන්න ඕනේ. ජාතීන් අතරේ ප්‍රශ්න ඇති කරන්න හදන එකත් නවතින්න ඕනේ. එහෙම නැතුව මන්නාරමේ මේ විදිහේ ජාතීවාදී ප්‍රශ්න ආගම් ප්‍රශ්න තියනවා කියලා රටේම ආරංචි පැතිරුණාම මන්නාරමට කිසිම කෙනෙක් උදව් කරන්නේ නෑ. අඩුම ගානේ ආණ්ඩුවවත් මන්නාරමේ මිනිස්සුන්ට සලකන්නේ නැති වෙනවා. මේක මහා අපරාධයක් ඒකයි අපි සියලු දෙනාම උත්සාහ කරන්නේ මේ ප්‍රශ්නය මෙතැනින්ම අවසන් කර ගන්න.

මන්නාරමේ අනාදිමත් කාලයක් ජීවත් වූ සිංහල හා මුස්ලිම් පවුල් මන්නාරමෙන් පලවා හරින ලද්දේ කොටි සංවිධානය විසිනි. වර්ෂ 1990 වසරේදී මුස්ලිම් ජනයා පලවා හැරීමට පෙර 1985 දී මන්නාරමේ අඩම්පන් ඇතුළු පළාත් කීපයක ජීවත් වූ සිංහල වැසියන්ගෙන් කීප දෙනෙක්ම කොටි සාමාජිකයන් විසින් මරා දමන ලදහ. මේ හේතුව නිසා මන්නාරමේ කොණ්ඩච්චි සිලාවතුර ඇතුළු පළාත් කීපයක සිටි සිංහල වැසියෝ මන්නාරම අතහැර පලා ගියහ. ඔවුහු මේ වන විට යළි මන්නාරමට පැමිණෙමින් සිටිති.

ඇතමෙකු පැමිණ වසර කීපයක්ම ගත වී ඇත. සිලාවතුරට නුදුරින් පිහිටි ගම්මානවල කීප දෙනෙකුද මේ උද්ඝෝෂණයට සහභාගී වූ අතර ඔවුන්ගෙන් එම්.පී.ලීලාවතී කියා සිටියේ ඔවුන් තවමත් අනුන්ගේ ආධාර හා උපකාර මත යැපෙන පිරිසක් බවය. මන්නාරම පිළිබඳ වැරදි චිත්‍රයක් කවරෙකු විසින් හෝ ලෝකයාට මවා නොපෙන්වන ලෙසයි.

''මන්නාරමේ සිලාවතුර පළාතේ ජීවත් වන සිංහල වැසියන්ට තවමත් පහසුකම් නෑ. ඒ යට ඒ පහසුකම් ලබා දෙන්නේ දෙමළ නිලධාරීන්. මුස්ලිම් දේශපාලනඥයන් උපකාර කරනවා. මේ ආගමික ස්ථාන විනාශ කිරීම නිසා සැකයට ලක් වෙන්නේ අපිවයි. ඒකට හේතුව ලංකාවේ පහුගිය දවස් වල වුණු සිදුවීම් දෙස බලන කොට ඒවා එහෙම සිද්ධ වුණු එකයි.

මන්නාරමේ ඉන්න අය දන්නවා මේවා කරන්නේ අපි නෙමෙයි කියලා. ඒත් පිට කවුරු හරි මේ මුස්ලිම් දේශපාලනඥයන්ටත් දෙමළ නිලධාරීන්ටත් කිව්වොත් මේ දේවල් කරන්නේ අපි කියලා අපිට කිසිම දෙයක් ලැබෙන්නේ නැති වෙයි.

අපි ලයිට් ඉල්ලනවා. වතුර ඉල්ලනවා. අපිට ස්ථිර නිවාස ඉල්ලනවා. ඒවා ලබා දෙන්න දැන් වැඩකටයුතු සිද්ධ වෙමින් පවතිනවා. ඉතින් මේ විදිහේ අනවශ්‍ය දේවල් සිද්ධ වෙන්න පටන් ගත්තම ඒ පව් ගෙවන්න වෙන්නෙ අපිට.

Comments