සිරිපා උරුමය හා භාරකාරත්වය | සිළුමිණ

සිරිපා උරුමය හා භාරකාරත්වය

වසරක් පාසා සිදු කෙරෙන ශ්‍රී පාද වන්දනා සමය පසුගිය උඳුවප් පුර පසළොස්වක දිනයෙන් ඇරඹිණි. වන්දනා සමය නිමවන්නේ මේ වසරේ වෙසක් පුර පසළොස්වක දිනයෙන් ය. ලොව පුරා වෙසෙන විවිධ ආගම් අදහන්නන්ගේ වන්දනාමානයට පත්ව ඇති ශ්‍රී පාදස්ථානය ප්‍රසිද්ධියට හා ගෞරවයට පාත්‍ර වී ඇත්තේ සමනල කඳු මුඳුනේ සටහන් ව ඇතැයි සැලකෙන පාද ලාංඡනයක් හේතුකොට ගෙන ය. සිංහල බෞද්ධයන්ට අනුව එහි ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද සටහනයි; මහ මදිකයන්ට ඔවුන්ගේ මතය අනුව එය ආදම්ගේ පා සටහනයි; ක්‍රිස්තු භක්තිකයන් විශ්වාස කරනුයේ මෙම පා සටහන ශාන්ත තෝමස් නම් ක්‍රිස්තියානි මුනිවරයාගේ බවයි. හින්දු භක්තිකයන්ට එය ශිව දෙවියන්ගේ පා සටහනයි.

මේ විශ්වාසයත් හා ප්‍රසිද්ධිය හේතු කොටගෙන ශත වර්ෂ ගණනාවක් තිස්සේ ස්වදේශිකයන්ට අමතරව ලොව පුරා නානා දෙසින් ලංකාවට පැමිණෙන වන්දනා කරුවන් මෙන්ම සංචාරකයන් ද මේ කන්ද තරණය කරති. වර්තමානයේ සමනල නැග්ම පහසු කරුණක් වුව ද අතීතයේදී එය තරණය කිරීම අති දුෂ්කර වූ කරුණක් විය.

එවන් ස්ථානයක් වූ සමනල කන්ද මේ සා විශාල ජන කණ්ඩායම් වල වන්දනාමානයට පාත්‍ර වන පූජනීය ස්ථානයක් බවට පත් වූයේ කෙසේද යන්න විමසා බැලිය යුතු වැදගත් කරුණකි.

සිරිපා උරුමය පිළිබඳ ව ද විවිධ මත දක්වන නිසා එහි චෛතිහාසික කරුණු හාරා අවුස්සා බැලිය යුතුය.

වර්තමානයේ ශ්‍රී පාදස්ථානය සිංහල බෞද්ධයන්ගේ පරිපාලනයට යටත්ව පවතී.

සියලු ම ආගමිකයන්ගේ පුද පූජා වලට ලක්වන ස්ථානයක් මෙසේ බෞද්ධයන්ගේ පාලනයට යටත්ව පැවැතීම සිංහල ජාතිකවාදය නිසා සිදු වී ඇති දෙයක් බව පවසන අයද සිටිති. ඒ නිසා ශ්‍රී පාදස්ථානය බෞද්ධයන් යටතේ පාලනය වීම අසාධාරණයක් ද යන්න විමසා බැලිය යුතු කරුණක් ව පවතී. එය විමසා බැලීම සඳහා ශ්‍රී පාද වන්දනාවේ ඓතිහාසික තොරතුරු හාරා අවුස්සා බැලීමට සිදු වේ.

බුදුන් ජීවමාන කාලයේ මෙන්ම ඊට බොහෝ පෙර කාලයක සිට ම ලංකාවේ සමන් දෙවියන් ඇදහීම ප්‍රචලිතව පැවති බව සිතිය හැකිය.

රාමායනයට අනුව ලක්ෂ්මණ හා විභීෂණ දේවත්වයට පත් ‍‍කොට දිවයිනේ එක් එක් පෙදෙස් අධිගෘහිත දෙවියන් බවට පත්කර ඇති බැව් පුරාවෘත්ත අනුව පෙනේ. විභීෂණ කැලණිය ප්‍රදේශයට අධිපති වූ අතර ලක්ෂ්මණ සමනල අඩවියට අධිපති දෙවියා බවට පත් විය. පසුව සුමන සමන් දෙවි ලෙස ප්‍රචලිත ව ඇත්තේ ලක්ෂ්මණ බව පෙනේ.

මහාවංශය ප්‍රකාරව බුදුන්වහන්සේගේ පා සලකුණ සමනල කඳු මුඳුනේ පිහිටුවා ඇත්තේ සුමන සමන් දෙවියන්ගේ ආරාධනාවෙනි. සමනල කන්ද බුදු සමයට සම්බන්ධව තිබූ බවට පිළිගත හැකි මුල් ම සාක්ෂිය හමුවන්නේ “මහාවංශ” යෙනි.

මහාවංශයේ 32 පරිච්ඡේදයේ සඳහන් වන භාවනානුයෝගීව වැඩ සිටි මලියදේව නම් රහත් හිමියන් පුමුඛ නවසියයක් භික්ෂූන් රජතුමා තනහාල් වලින් පිසූ බත් දන් දුන් බව දැක්වේ. ඒ අනුව සමනල කන්ද භික්ෂූන් වහන්සේලා අරණ්‍යගතව විසූ ස්ථානයකි.

එහෙත් පසු කලෙක සිට පැවැත එන පුරාවෘත්ත අනුව පළමුවරට සමනල කන්දේ ශ්‍රී පාද ලාංඡනය සොයා ගත් බවට විශ්වාස කරනුයේ වළගම්බා රජතුමා ය. ඒ ක්‍රි.පූර්ව 104 දී ය. මෙය බොහෝදුරට පිළිගත හැකි කරුණක් ලෙස “ADAMS – PEAK – legendary traditionl and Historic Notices” යනුවෙන් ග්‍රන්ථයක් ලියන “විලියම් ස්කීන්” මහතා සඳහන් කර ඇත.

මේ ග්‍රන්ථය “ශ්‍රී පාද සමනල ජනප්‍රවාද පුරාවෘත්ත හා ඓතිහාසික තොරතුරු” මැයෙන් යසපාල වනසිංහ මහතා විසින් සිංහලට නඟා ඇත.

විලියම් ස්කීන් සඳහන් කරන පරිදි වළගම්බාහු රටේ පාලකයා වී මාස පහකින් මලබාර් ආක්‍රමණිකයන් විසින් ඔහු බලයෙන් පහ කළේය.

වළගම්බා රජතුමා වසර 14ක් වනගතව ගත කිරීමේදී සමනල අඩවියේ දී මුවෙක් පසුපස එළවා යන විට ශ්‍රී පාද ලාංඡනය දැක එය යකඩ වැටකින් ආවරණය කළ බව ද ජනප්‍රවාදයේ එන බව දැක්වේ.

වළගම්බා රජතුමා ආක්‍රමණිකයන් පලවා හැර නැවත බලයට පත්වීමෙන් පසු ක්‍රි.පූ 88 දී භික්ෂූන් 500 නමක් මාතලේ අළුලෙනට වැඩමවා ධර්ම සංඝායනාවක් කොට එතෙක් අවුරුදු 217ක් මුඛ පරම්පරාගතව පැවැත ආ මිහිඳු හිමියන් වදාළ බුද්ධ ධර්මය ග්‍රන්ථාරූඩ කිරීමට පියවර ගත්තේ ය. එසේම එතුමා සමන් දෙවියන්ගේ බාරයට පත්කර ඇති සමනල අඩවිය භික්ෂු සංඝයා උදෙසා අරණ්‍ය සේනාසනයක් බවට පත් කළ බවද වංශ කතාවල සඳහන් වේ.

මේ ශ්‍රී පාදය ගැන ඓතිහාසික තොරතුරු මුඛ පරම්පරාගතව පැවැති අතර පළමු ලිඛිත සඳහන හමුවන්නේ මහාවංශයේ 60 වැනි පරිච්ඡේදයෙනි. එහි සඳහන් වන පරිදි 1වැනි විජයබාහු රජතුමා ශ්‍රී පාද වන්දනාවේ ගොස් ඇත. මහාවංශ සඳහන මේ රජතුමාගේ අඹගමු ශිලා ලිපියෙන් ද තහවුරු වේ.

සිරිපා වන්දනාවේ යන අය සඳහා දන් වැට පිණිස ගිලීමලය වෙන්කර දුන් රජතුමා ඌව මාර්ගයෙන් එන අය සඳහා ද කෙසෙල් ගමුව හරහා එන අය සඳහා ද දාන ශාලා ඉදි කළ බව අඹගමු ශිලා ලිපියෙන් දැක්වේ. එසේම රජතුමා හීන කුලවල අය සඳහා වෙන ම මළුවක් කළ බවද “අඹගමු ලිපියේ” දැක්වේ.

ක්‍රි.ව. 1153 දී රාජ්‍යත්වයට පත් පළමු වන පරාක්‍රමභාහු රජතුමා සංඝයා වහන්සේ පිරිවරාගෙන ශ්‍රී පාද වන්දනාවේ ගිය බව රාජාවලියේ සඳහන් වේ. එතුමා ශ්‍රී පාද කඳු මුඳුනේ සමන් දෙවියන් ‍උදෙසා දේවාලයක් ඉදිකළ බව ද එහි සඳහන් වේ.

පොලොන්නරුවේ රජ කළ නිශ්ශංකමල්ල රජුද යුද හමුදාව සමඟ ශ්‍රී පාද වන්දනාවේ ගිය බව ඔහුගේ පොලොන්නරුව හැටදාගේ ශිලා ලිපියේ සඳහන් වේ.

දඹදෙණියේ රජ කළ දෙවන පරාක්‍රමබාහු රජතුමා ශ්‍රී පාදස්ථානයට මාර්ග කරවා පින් කම් කළ බව චූල වංශයේ සහ පූජාවලියේ සඳහන් වේ. පොලොන්නරු යුගයෙන් පසු යුගවල ශ්‍රී පාදස්ථානයට ප්‍රචලිත බෞද්ධ සිද්ධස්ථානයක් ලෙස පැවැති බවට කොතෙකුත් සාධක ඇත.

ක්‍රි.ව. 800 පමණ වන තුරු ශ්‍රී පාද ලාංඡනය පිළිබඳ භික්ෂූන්ගේ අවධානයක් හෝ සැලකිල්ලක් තිබී නැත. “ශිව නොලි පාදම්” මතය කරලියට පැමිණ ඇත්තේ ක්‍රි.ව. 1017 දී චෝල ආක්‍රමණිකයන් ලංකා‍ව ආක්‍රමණය කොට බලයට පත් වූවාට පසුවය.

මෙම අවධියේදී රටේ අභ්‍යන්තරයේ ද බලය තහවුරු කරගෙන සිටි භික්ෂූන් බෞද්ධයන්ගේ ශ්‍රී පාදය “ශිව නොලි පාදම්” බවට පත්කර ගන්නට ඇතැයි “විලියම් ස්කීන්” සඳහන් කරයි. ක්‍රි.ව. 1247 ඉබන් බතුතා ලංකාවට පැමිණෙන විට ශ්‍රී පාදය මෙන්ම “ශිව නොලි පාදම්” වන්දනාවද තහවුරු වී තිබුණ බව ඔහුගේ චාරිකා සටහන්වල දැක්වේ.

ක්‍රි.ව. 1554 – 1593 කාලයේ සීතාවක රජ කළ පළවෙනි රාජසිංහ රජතුමා ශිව ආගම වැලැදගෙන බෞද්ධ භික්ෂූන්ට හිරිහැර කරමින්, බෞද්ධ පොත් පත් ගිනි තබමින් බෞද්ධයාට මහත් හිරිහැර පැමිණ වූහ. එතුමා ශ්‍රී පාදස්ථානයේ භාරකාරත්වය භික්ෂූන්ගෙන් ඉවත් කොට ශිව භක්තිකයන්ට පැවැරීය.

එතැන් සිට ශත වර්ෂ එක හමාරක පමණ කාලයක් ශ්‍රී පාදස්ථානයේ භාරකාරත්වය හා පාලනය බමුණු සන්නාසියන් අත පැවැතුණි. ශ්‍රී පාදස්ථානය ඔවුන්ගෙන් මුදා ගෙන යළි බෞද්ධයන් අතට පත් කර ඇත්තේ ක්‍රි.ව. 1747 දී රජ පැමිණි කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා ය. ඒ රජතුමා වැලිවිට අසරණ සරණ සරණංකර හිමිපාණන්ගේ මඟ පෙන්වීම යටතේ යළිත් මෙරට උපසම්පදාව පිහිටු වීමට කටයුතු කළේය.

වැලිවිට හිමියන් කළ උදාර සේවය සලකා උන්වහන්සේට සංඝරාජ පදවිය පිරිනැමූ රජතුමා ශ්‍රී පාදස්ථානයේ භාරකාරත්වය ද සන්නස් පත්‍රයකින් පිරිනමා ඇත. ඇත්ත වශයෙන් ම රජතුමා සංඝරාජ හිමියන්ට සන්නස් පත්‍රය පිරි නැමුවත් ශ්‍රී පාදස්ථානයේ භාරකාරත්වය සමඟ පහතරට නායක ධූරය වේහැල්ලේ හිමියන්ට පවරා ඇත.

රාජාධිරාජසිංහ රජතුමා ක්‍රි.ව. 1782 දී රාජ්‍යත්වයට පත්වන තුරු හිමිවරුන් හතර නමක් පැල්මඩුල්ලේ වාසය කරමින් ශ්‍රී පාදස්ථානයේ භාරකාරත්වය දරා ඇත. ඉන් අවසානවරට මේ ධූර දෙක ම දරා ඇත්තේ මාතර වාසය කළ කොරතොට හිමියන් විසිනි.

උන්වහන්සේ ඒ තනතුරෙන් ඉවත්කර ඇත්තේ මල්වත්තේ නායක හිමියන් වූ මොරතොට හිමියන්ගේ පෙලඹවීම මත ය. එයින් පසු අවුරුදු 40 ක් පමණ ශ්‍රී පාදස්ථානයේ භාරකාරත්වය දරා ඇත්තේ මල්වතු විහාරයේ නායක හිමියන් ය.

1826 දී මල්වත්තේ නායක හිමියන් අපවත් වූ විට රත්නපුර ආණ්ඩුවේ ඒජන්ත වරයා වූ “ජියෝ ටර්නර්” මහතා ආණ්ඩුවට දන්වා ඇත්තේ ශ්‍රී පාදස්ථානයේ භාරකාරත්වය ගාල්ලේ මේධංකර හිමියන්ට පවරන ලෙසයි. ඒ මහතා එසේ දන්වා ඇත්තේ රත්නපුර දිස්ත්‍රිකයේ මල්වතු පාර්ශ්වයේ උපසම්පදාව ලත් භික්ෂූන් කැදවා වෙන් වෙන්ව අදහස් විමසීමේන් පසු ව ය. ඒ අනුව ගාල්ලේ හිමියන්ට ශ්‍රී පාදස්ථානයේ භාරකාරත්වය පැවැරූ පසු පිළිවෙළින් සුමංගල හිමියන්, පරකුඹුරේ හිමියන්, සහ ගලගම හිමියන් ශ්‍රී පාදස්ථානයේ භාරකාර පදවිය දරා ඇත.

1866 දී ගලගම හිමියන් අපවත් වූ පසු එවකට ලංකාවේ මල්වත්ත පාර්ශ්වයේ සිල්වත් කමින්, උගත් කමින්, හා බුද්ධිමත්කමින් ඉහළ ස්ථානයකට පත් ව මහත් ගෞරවයට පාත්‍රව සිටි හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන්ට ශ්‍රී පාදස්ථානයේ භාරකාර පදවිය පිරිනමන ලදි. එයින් පසුව ශ්‍රී පාදස්ථානයේ භාරකාර පදවිය පිරිනමන ලදි. එයින් පසුව ශ්‍රී පාදස්ථානයේ භාරකාර පදවිය භික්ෂූන් වහන්සේලා කීප නමක් දරා ඇත.

1954 දී ශ්‍රී පාදස්ථානයේ භාරකාර පදවියට පත් මොරොන්තුඩුවේ ධම්මානන්ද හිමියන් විසින් ශ්‍රී පාදස්ථානයේ පරිපාලන කටයුතු වල විශාල වෙනසක් කර ඇති අතර එහි නිල පූජා විධි ක්‍රමයක් ද ඇති කළේ උන්වහන්සේ ය. පසුගිය සමයේ හඳපාන්ගොඩ විමල නා හිමියන් ශ්‍රී පාදස්ථානයේ භාරකාරත්වය ඉසිලූ අතර වර්තමානයේ භාරකාර පදවිය උසුලන්නේ බෙංගමුවේ ධම්ම දින්න හිමියන් ය.

දැනට ශ්‍රී පාදස්ථානයේ භාරකාර පදවිය පත් කරනු ලබන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ මල්වතු පාර්ශ්වයේ උපසම්පදා භික්ෂූන්ගේ ඡන්දයෙනි.

Comments