හිපියොත් එක්ක ආපු කුඩු රට කුඩුපට්ටම් කළ හැටි | සිළුමිණ

හිපියොත් එක්ක ආපු කුඩු රට කුඩුපට්ටම් කළ හැටි

අපේ රටේ තරුණ පරම්පරාව අතර හෙරොයින් මත්කුඩු වර්ගය ප්‍රචලිත වන්නේ 70 දශකයේ අවසන් භාගයත් 80 දශකයේ මුල් භාගයත් අතර කාලවකවානුවේදීය. ඒ “හිපියන්“ ලෙසින් මෙරට සංචාරයට පැමිණි විදේශිකයන් පිරිසක් මඟිනි. මුලින්ම හෙරොයින් භාවිතයට ඇබ්බැහි වන්නේ සංචාරක මඟපෙන්වන්නෝය.

ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වූ හෙරොයින් උවදුරට එරෙහිව ක්‍රියාත්මක වීමට තරම් ශක්තිමත් නීති පද්ධතියක් අපේ රටේ එකල නොවීය. ඒ අනුව බලධාරීන් වහාම ක්‍රියාත්මක වෙමින් අබිං සහ අන්තරාදායක ඖෂධ වර්ග පිළිබද ආඥාපනත 1984 අංක 13 දරන සංශෝධන පනතින් ශක්තිමත් කරන්නේ මත්කුඩු ජාවාරමට එරෙහිව ඉහළම දඩුවම වන මරණිය දණ්ඩනය පවා ලබාදිය හැකි ආකාරයටය.

ගංජා, අබිං, සහ අනෙකුත් අන්තරාදායක මත්ද්‍රව්‍ය භාවිතා කිරීම්, ප්‍රවාහනය, කිරීම් සම්බන්ධයෙන් තොරතුරු රැස්කිරීම් ඒවා මර්දනය කිරීම් සහ විමර්ශනය සදහා 1973 වර්ෂයේ අප්‍රේල් 01 වෙනිදා පිහිටුවනු ලැබූ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය පවා ඒ වන විටත් පැවැතියේ ප්‍රාථමික මට්ටමේය. ඒ මට්ටමින් හෝ එවැනි ආයතනයක් පිහිටුවන්නට දුරදක්නා නුවනින් කටයුතු කර ඇත්තේ සුන්දරලිංගම් නැමැති නියෝජ්‍ය පොලිස්පතිවරයාය. අද වන විට දකුණු ආසියාතික කලාපයේ මත්ද්‍රව්‍ය පාලනයේ මෙහෙයුම් මධ්‍යස්ථානය ලෙස ක්‍රියාත්මක වන්නේද පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විම විශේෂත්වයකි.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ සංඛ්‍යා දත්තයන් අනාරවණය කරන ආකාරයට 1995 වසරේ සිට 2018 වසර දක්වා ගෙවී ගිය 24 වසර තුළ පමණක් අත්අඩංගුවට ගෙන ඇති හෙරොයින් ප්‍රමාණය කිලෝ 2976යි ග්රෑම් 459කි. ඒ වැටලීම් තුන් ලක්ෂ හැට තුන්දහස් දෙසිය හැට අටකදීය. එම වැටලීම්වලින් අත්අඩංගුවට ගැනුණු පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂ හතරකට වැඩිය. එක් පුද්ගලයෙකු මත්ද්‍රව්‍ය සමඟ කිහිප වරක් පොලිස් අත්අඩංගුවට පත්වීම්ද එම සංඛ්‍යාව තුළ අන්තර් ගතය.

එසේ අත්අඩංගුවට ගත් අයගෙන් වැඩි පිරිසක් සිංහල ජාතිකයෝය. එය සමස්ත අත්අඩංගුවට ගැනීම් වලින් සියයට 50කට වැඩි ප්‍රමාණයකි. අත්අඩංගුවට ගැනීම්වලින් දෙවැනි තැන ගන්නේ දෙමළ ජාතිකයෝය. එම ගණන සියයට 25ක් වැනි ප්‍රතිශතයකි. මුස්ලිම් ජාතිකයන් සිටින්නේ තෙවැනි තැනය. එම සංඛ්‍යාව සියයට 20කි.

හෙරොයින් භාවිතා කිරීම් සහ ජාවාරම් කිරීම් සම්බන්ධයෙන් මේ කාල සීමාව තුළ වැඩියෙන්ම අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 30 වැඩි පිරිස්ය. ප්‍රතිශතයක් ලෙස ගත් කල එම සංඛ්‍යාව සියයට 50 කට වැඩිය. දෙවැනි තැන ගන්නේ වයස අවුරුදු 25ත් 29 අතර පසුවන්නෝය. එම සංඛ්‍යාව සියයට 32කි. වයස අවුරුදු 20ත් 24 ත් අතර පසු වන්නන් සිටින්නේ තෙවැනි තැනය. එම සංඛ්‍යාව සියයට 10-12 අතර ප්‍රතිශතයකි.

මේ අයගෙන් 86 දෙනෙකුම මේ වන විට සිටින්නේ මරණීය දණ්ඩනයට නියමවීය. ඔවුන්ගෙන් 74 දෙනෙක් මෙරට පුරවැසියෝය. ඒ අයගෙන් 07 දෙනෙක්ම කාන්තාවෝය. සෙසු 12 දෙනා විදේශිකයෝය. ඒ අතර වැඩියෙන්ම සිටින්නෝ ඉන්දියානුවෝ සහ පකිස්තානුවෝය.

මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිරදඩුවම් ලැබ සිටින්නෝ 197 දෙනෙක් සිටිති. ඒ අයගෙන් 102 දෙදෙනෙක් මෙරට වැසියෝය. ඒ අය අතර කාන්තාවන් පමණක් 27 දෙනෙක් සිටිති. ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියම වී සිටින්නන් අතරද විදේශිකයෝ 95 දෙනෙක් සිටිති. ඒ අය අතරද කාන්තාවෝ 04 දෙනෙකි.

මේ වන විට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අපේ රටේ තරුණ පරපුරෙන් සැලකිය යුතු පිරිසක් බිලිගෙන හමාරය. මත්ද්‍රව්‍ය වරදවල් සම්බන්ධයෙන් පොලිසිය වාර්ෂිකව අත්අඩංගුවට ගන්නා පුද්ගල සංඛ්‍යාව ඊට කදිම සාක්ෂියකි. පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂක ලෙස සේවයේ නිරතව සිටි 2001 වසරේදී ඔහු සදහන් කරනු ලැබුවේ මත්කුඩු භාවිතයට ඇබ්බැහි වූවන් 40000ක් පමණ රටේ සිටින බවය. 2004 වසරේ ඔහු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ලෙස පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන විට පවසන්නේ එම සංඛ්‍යාව ලක්ෂයේ සීමාවට ආසන්න බවකි. දැන් එම තත්ත්වය කොතරම් වෙනසකට ලක්ව ඇතිදැයි ගණන් බැලීමක් මෑතකදී සිදු වී ඇතැයි පෙනී යන්නේ නැත.

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය අවසන් වරට කර ඇති සමීක්ෂණයට අනුව ඔවුන්ගේ තක්සේරුව වී ඇත්තේද ලක්ෂයකට ආසන්න පිරිසක් හෙරොයින් භාවිතා කරන බවය. එකී සමීක්ෂණයට අනුව ගංජා භාවිතා කරන්නෝ ලක්ෂ දෙකකි.

ඒ සියලු සංඛ්‍යා එළියට එන්නේ සමීක්ෂණ මඟින් කළ අනුමාන කිරීම් ඔස්සේ මිස සැබෑ ලෙසම රටේ මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්ගේ සංඛ්‍යාව නොවේය. ඒ තත්වය මත අපේ රටේ මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින්නන්ගේ සැබෑ දත්තයන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් මේ වන විට සකස් කර හමාරය. ඒ පොලිස් පරිපාලන අංශයභාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ උපදෙසින් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත ඇතුළු මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් කඝදැවැන්ත මෙහෙයුමකින් අනතුරුවය. ඊට අනුව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සතුව හෙරොයින් භාවිතයට ඇබ්බැහිවූවන්ගේ පමණක් 67654 ක ලේඛනයක් ඇත්තේ ඔවුන්ගේ නම් ගම් සහ ලිපිනයන්ද සහිතවය.

ඊට අනුව හෙරොයින් භාවිතයට ඇබ්බැහි වූවන් වැඩිම පිරිසක් සිටින්නේ බස්නාහිර පළාතේය. එම ගණන 29445දෙනෙකි. දෙවැනි තැන ගන්නේ දකුණු පළාතය. එම පළාතේ නාමිකව හදුනාගෙන සිටින හෙරොයින් භාවිතයට ඇබ්බැහි වූවන් ගණන 9458 දෙනෙකි. වයඹ, මධ්‍යම සහ සබරගමු පළාත් පිළිවෙලින් තෙවැනි, සිවුවැනි සහ පස්වැනි ස්ථානවල සිටී.

එකී සංඛ්‍යා දත්තයන්ට අනුව අඩුම පිරිසක් හෙරොයින් භාවිතයට ඇබ්බැහි වී සිටින්නේ නැගෙනහිර පළාතේය. එම ගණන 151කි. අඩුම දෙවැනි තැන ගන්නේ උතුරු පළාතය. එම ගණන 361කි. අඩුම තෙවැනි තැන හිමි කරගෙන සිටින්නේ ඌව පළාතය. එහි පැහැදිලිව හදුනාගත් හෙරොයින්වලට ඇබ්බැහිවූවන් සිටින්නේ 1173 දෙනෙකි.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා සඳහන් කරන ආකාරයට එමඟින් පෙන්නුම් කරන්නේ රටේම සිටින හෙරොයින්වලට ඇබ්බැහිවී සිටින්නන්ගේ සැබෑ සංඛ්‍යාව නොව පැහැදිලිවම හෙරොයින් වලට ඇබ්බැහි වී සිටින බවට හඳුනාගත් කොටසකි. හඳුනා නොගත් පිරිස මෙයට වඩා දෙතුන් ගුණයක් වන්නටද හැකිය. ඒ අය අප්‍රසිද්ධියේ හෝ පොලිසියට හසු නොවී මත්ද්‍රව්‍ය භාවිතා කරන්නෝය. ආරක්ෂක අංශවලත් පොලිසියේත් එවැන්නන් සුළුපිරිසක් සිටිනු ඇත. එසේම රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ද සැලකිය යුතු පිරිසක් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින බව සඳහන්ය.

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ප්‍රධානියා ලෙස සේවයේ නිරතව සිටි වකවානුවේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ලේඛනගත “ඒ“ ගණයේ ප්‍රධාන මත්කුඩු ජාවාරම්කරුවන් සිටියේ 143 දෙනෙක් පමණි. එසේම “ බී “ ගණයේ සිටි මත්කුඩු ජාවාරම්කරුවන්ගේ ගණන 100කි. නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා පවසන්නේ දැන් එසේ වර්ග කළ නොහැකි තරමටම මත්කුඩු ජාවාරම්කරුවන් රටේ සිටින බවය. හතු පිපෙන්නාක් මෙන් අලුත් ජාවාරම්කරුවන් බිහිවීමේ ප්‍රවණතාවක් පසුගිය වකවානුවේ දක්නට ලැබුණු බවද ඔහු පෙන්වා දෙයි. ඩුබායි, ඉන්දියාව,සීසෙල්ස්, මලයාසියාව, ප්‍රංශය සහ ඉතාලිය යන රටවල රැඳී සිටිමින් මෙරට මහා පරිමාණයේ මත්කුඩු ජාවාරමේ නිරතව සිටින්නන් 12 දෙනෙකු නම් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මේ වන විටත් හඳුනාගෙන සිටිති.

නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා සඳහන් කරන්නේ අපේ රටට ඒ අය හෙරොයින් වැඩි වශයෙන්ම රැගෙන එන්නේ මුහුදු මාර්ග ඔස්සේ බවය. එම ප්‍රමාණය මෙරටට රැගෙන එන හෙරොයින්වලින් සියයට 90ක් පමණ වන බව සජීව මැදවත්ත මහතා පෙන්වා දෙයි. එසේ මුහුදු මාර්ග ඔස්සේත් ගුවන් මඟිනුත් ගෙන එන මත්කුඩු පාලනය කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙසින් නාවික හමුදාව, ශ්‍රී ලංකා රේගුව, පොලිස් විශේෂ කාර්ය බළකාය ඇතුළු වගකිව යුතු ආයතන සමඟ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මේ වන විටත් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව සජීව මැදවත්ත මහතා කියයි.

“මත්ද්‍රව්‍ය උවදුර පිටතින් පෙනෙනවාට වඩා ඇතුළතින් දරුණුයි. අපේ රටේ සියදිවි හානිකර ගැනීම්වලින් වැඩි ප්‍රමාණයක් සිදු වන්නේ මත්ද්‍රව්‍ය භාවිතා කිරීම් හේතුවෙන් සිදු වන අහිතකර පලවිපාක නිසා. ගැඹුරින් සොයා බැලුවොත් පෙනී යනවා පවුල් ආරවුලට මුල මත්ද්‍රව්‍ය බව“ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ විග්‍රහයට අනුව මත්ද්‍රව්‍ය භාවිතය ජීවත් වීමේ අයිතියට කරන්නේ එවන් බලපෑමකි.

එසේම රටේ සිදු වන දරුණු ගණයේ අපරාධවලින් සියයට 80කටම බලපා ඇත්තේ ද මත්ද්‍රව්‍යයයි. මැදවතක්ත මහතා සඳහන් කරන්නේ නිවෙස් බිදුම්,සොරකම් සහ කොල්ලකෑම්වලින් සියයට 80කට මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවන් සම්බන්ධ බවය. සොරකම් සහ මංකොල්ලකෑම්වලට යොමු වන්නේ මත්ද්‍රව්‍ය භාවිතයට මුදල් සොයාගන්නටය. ඔහු පෙන්වා දෙන්නේ මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් වැඩියෙන් සිටින ප්‍රදේශවල සොරකම් සහ කොල්කෑම් ඉහළ අගයක් ගන්නා බවය.

එපමණක් නොව, රටේ සිදු වන රිය අනතුරු බොහෝමයකටම නොපෙනෙන සාධකයක් බවට පත්ව ඇත්තේද මත්ද්‍රව්‍යයි.

“මත්පැන් පානය කර රිය පදවන රියැදුරන් නීතියේ රැහැනට හසු කර ගන්නට නීතිමය ප්‍රතිපාදන අපේ රටේ තිබෙනවා. ඒත් මත්ද්‍රව්‍ය භාවිතා කර රිය ධාවනය කිරීම වරදක් කරලා නැහැ. මත්ද්‍රව්‍ය භාවිතා කර වාහන පදවා කළ අනතුරු ඕනෑ තරම් තිබෙනවා. ඒ නිසා ඒ සම්බන්ධයෙනුත් ඉදිරියේදී නීති පැනවීමට අවශ්‍ය කටයුතු සිදු වෙමින් පවතිනවා. මත්ද්‍රව්‍ය භාවිතා කර රිය පදවන්නන් හඳුනා ගැනීමට හැකි නවීන උපකරන ලෝකයේ භාවිතා වෙනවා. වැඩි කල් යන්නට මත්තෙන් එම උපකරණ අපේ රටටත් ගෙන ඒවි“ මත්ද්‍රව්‍ය වලට එරෙහි ඉදිරි පියවර ගැන නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා කීවේ එසේය.

පාසල් පද්ධතිය තුළට රිංගා සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිසුන් ගිල ගැනීමට මුල්පියවර තබා හමාරය. තවදුරටත් මේ තත්වය පවතින්නට ඉඩ හැරියොත් සිදු වන්නේ රටම විනාශ මුඛයටය යෑමය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ තත්ත්වය අවබෝධ කර ගනිමින් කිසිදු රාජ්‍ය නායකයෙකු ඉදිරිපත් නොවූ ආකාරයට මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි සටනට දැන් අත තබා හමාරය. ඒ එල්ලුම් ගහට පණ දෙන්නට අවශ්‍ය මූලික පියවර ගනිමිනි. එතෙක් මෙතෙක් කාලය තුළ 2173 දෙනෙකු එල්ලා මරා ඇතත් ඒ අතර මත්ද්‍රව්‍ය ජාවාරමට වරදකරුවන් වූවන් සිටියේ නැත. ඒ වෙන කිසිවක් නිසා නොව, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව මරණීය දණ්ඩනය පනවමින් නීති සකස් කරන විට එල්ලුම් ගහ මියැදී තිබුණු බැවිනි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සූදානම් වන්නේ වසර 43 කට පසු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව එල්ලුම් ගහට පණ දෙන්නටය. ඒ මත්ද්‍රව්‍ය ජාවාරමට වරදකරු වෙමින් මරණීය දණ්ඩනය යම් පුද්ගලයෙකුට නියම වූ පමණින්ම නොව මරණීය දණ්ඩනය නියම වී බන්ධනාගාරගතව සිටිමින් ජංගම දුරකතන යොදාගෙන නැවත නැවතත් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටින්නන් වෙනුවෙනි.

මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් පුනරුත්ථාපනය කිරීමට ජාතික අධිකාරියක් නුදුරේම ස්ථාපිත වීමට නියමිතය. එම අධිකාරිය පිහිටුවීමත් සමඟ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය නම් වශයෙන් හඳුනාගත් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවන් විශාල වශයෙන් පුනරුත්ථාපනය කර මතින් මුදාගන්නට හැකිවනු ඇත.

අදහස්