දැනගෙන ගනිමු ලීසිං... | සිළුමිණ

දැනගෙන ගනිමු ලීසිං...

ලීසිං... අද කාටත් සමීප දෙයක්. එහෙත් අපි පළමුවෙන්ම අවබෝධ කරගත යුත්තේ ලීසිං සමාගමට අප යන්නේ දැනුමක් ඇතිවද නැතිවද යන්න ගැනයි.

ලීසිං ගන්න ගියහම හැම ලීසිං සමාගමක්ම වගේ අහනව ලීසිං පහසුකම් ලබා දෙන විට තම ආයතනයට පළමුව වාරික කීයක් ගෙවනවද කියල. ඒ කියන්නෙ අපි ගන්න මුදල රුපියල් ලක්ෂ 10 ක් කියල හිතමු. අවුරුදු හතරකට පොලියත් එක්ක මාසෙකට රුපියල් 30000ක් ගෙවන්න තියෙනවා කියල හිතමු. ලීසිං ණය ගන්නත් කලින් අපි වාරික තුනක් හතරක් ගෙවන්න ඕන කියනවා. එතකොට මාසෙකට ගෙවන්න තියෙන ගාණ අඩුවෙනව කියලත් කියනව. ඇත්තෙන්ම අඩුවෙනව නෙමෙයිනේ. අපි මුලින් වාරික තුනක් හතරක් ගෙවන‍කොට අපි වාරිකවලින් කිහිපයක් කලින් ගෙවලා ඉවරයි. ඉතින් වාරිකය අඩු වෙන එක අමුතුවෙන් කියන්න ඕන නැහැ. ඒත් මේ විදිහට අපිව අන්දවල තමයි හුඟක් ආයතන ලීසිං දෙන්නෙ. අපි මුලින් කතා කරපු ගාණම හිතමු. ලක්ෂ10ක ලීසිං ගත්ත කෙනෙක් වාරිකයක් හැටියට රුපියල් 30,000ක් ගෙවනව නම් ආරම්භයේදී වාරික 4ක් ගෙව්වොත් රුපියල් 120,000ක් ගෙවල තියෙනවා. අපිට ගෙවන්න සල්ලි නැත්නං අපිට දෙන ලීසිං ණයෙන්ම අඩු කරල දෙන්න තරම් මේ ලීසිං ණය සපයන ආයතන හරිම කරුණාවන්තයි!

ටිකක් හිතල බලන්න. මේකත් තව ණයක් වගේ නේද? බලාගෙන යනකොට ඒ අඩු මුදල ගෙවන්නත් තවත් ණයක් ගන්න වෙනවා. ලක්ෂ 10ක ණයක් ගන්න යන කෙනාට 120,000ක් වගේ මුදලක් අඩු වෙනව කියන්න හොඳට ඇඟට දැනෙන දෙයක්. මේ බව හුඟක් දෙනා දැන ගන්නෙ ලීසිං වාරිකය ගන්න ගියාමයි. වාහනයට අවශ්‍ය මුදල ලක්ෂ 10න් දැන් ගෙවන්නෙ ලක්ෂ 9ටත් අඩු ගානක්. ඉතිරි ලක්ෂයකටත් වැඩි මුදල හොයා ගන්න හතර වටේ දුවන්න ඕක. තියෙන රත්රන් බඩු උගස් කරල හරි ඉතිරි මුදල හොයාගන්නව. මේ අපිට වරදින එක තැනක්. අනිත් කරුණ තමයි ලීසිං ගන්න කලින් ආපහු ගෙවන කාලසීමාව ගැන හොඳින් හිතන්න වෙනවා. මොකද, අතින් රුපියල් ලක්ෂ 10ක් විතර ගෙවල තවත් රුපියල් ලක්ෂ 10ක් ලීසිං කරල වාහනයක් ගත්තොත් ඒකට අපි හිතමු ලක්ෂ 10ට මාසෙකට රුපියල් 30,000ක් පොලියත් එක්ක වාරිකය ගෙවන්න වෙනව කියල අවුරුදු හතරක කාල සීමාවකට. අපි අවුරුදු දෙකක් විතර ගෙවද්දි රුපියල් 30,000 වාරික 24ක් කියන්නෙ රුපියල් 720,000ක් විතර ගෙවල තියෙනවා. අපිට හැකියාවක් ලැබෙනව ඉතිරි මුදල සියල්ල ගෙවන්න. ණය ගෙවල මේ බරින් නිදහස් වෙන්න හිතනවා. පොතේ හැටියට නම් මුළු මුදලෙන් තව ලක්ෂ 5ක් විතරයි‍ ගෙවන්න වෙන්නෙ. ඒ කියන්නෙ ගෙවන කාලයෙන් බාගයක් ගෙවල ඉවරයි නෙ. ඒත් ලීසිං ණය ගත්ත ආයතනයට ගිහින් ආපහු ගෙවන්න ගියාම පොලියත් එක්ක ‍සේරම වාරික එකපාර ගෙවන්න කියනව. ඒ වෙලාවට දැනෙන සතුට කියල නිම කරන්න බැහැ නේද! ඒ කියන්නෙ අපි ගෙවන්න තියෙන රුපියල් 30,000ක් බැගින් ඉතිරි සියලු වාරික එක පාරම ගෙවන්න කියනව. ලීසිං වාරික කලින් ගෙවල ඉවර කරන්න ගියාම සමහර බැංකුවල යම් සහනයක් දෙනව. ඒ කියන්නෙ ගෙවන්න තියෙන පොලියෙන් 50%ක් විතර අඩු කරනවා. ඒත් බොහෝ ලීසිං සමාගම් සත 5ක් මුදලක් අඩු කරන්නෙ නැහැ. ඉතිරි වාරික සේරම ගෙවන්න කියනව. අපි නීතියෙන් බැඳිල ඉන්නව ගෙවන්න. ඒක තමයි ලීසිං නීතිය. මේ සේරම කරුණු අපි දැනගන්න ඕනෑ ලීසිං ගන්න කලින්. ලීසිං ගත්තට පස්සෙ ආයෙත් මුකුත් කරන්න බැහැ.

ලොකුම කරදරේ මේක නෙමෙයි නෙ... අපිට වාහනේ විකුණන්න ඕන වුණොත්. ඒ වෙලාවට අලුත් ගැනුම්කරුවට ඒ ඉතිරි මුදල තමන් වෙනුවෙන් ගෙවන්න බැහැ. එයා අලුතින් ගිවිසුමක් ආයතනයත් එක්ක අස්සන් කරන්න වෙනවා. ඒත් අපි වෙන වාහනයක් ගන්න හදිසියට වාහනේ විකුණනවා නම් ඉතිරි මුදල් සේරම පොලියත් ගෙවන්න වෙනවා. සමහර විට අලුත් වාහනේට ලීසිං ගන්නෙත් ඒ සමාගමෙන්ම වෙන්න පුළුවන්. දැන් මොකද වෙන්නෙ? අපි මුලින් තිබුණු වාහනේටත් ඉදිරි අවුරුදු දෙකට පොලියත් ගෙවල. අලුතින් ගන්න වාහනේටත් පොලිය ගෙවන්න වෙනවා. සමහරු ලීසිං තියෙන වාහන විකුණන්නෙ ලීසිං සමාගමට හොරෙන්. ඒ කියන්නෙ නීතිඥයෙක් ළඟ අස්සන් කරල ගිවිසුමක් ගහගන්නව අලුත් ගැනුම්කරුවා දිගටම ලීසිං ගෙවනව කියල. ඒව ලීසිං සමාගමට හරි යන්නෙ නැහැ. සමාගම දැන ගත්තොත් වාහනය වෙනත් කෙනෙකුට දීල කියල ආයිත් දෙපාරක් හිතන්න දෙයක් නැහැ වාහනේ අරගෙන යනවා. ඒ ලීසිං කොන්දේසිවල හැටි.

නීතිඥයන් ළඟ ගිවිසුම් ගැහුවට වැඩක් නැහැ. ඒකත් නීතියක් කැඩීමක් මොකද අපි එක් පාර්ශ්වයක් එක්ක ගිවිසුමක් තියෙද්දි තවත් පාර්ශ්වයක් එක්ක ගිවිසුමක් අස්සන් කරන්නෙ කොහොමද? මේ කිසි දෙයක් අපිට ලීසිං ගන්න තියෙන හදිස්සියට තේරෙන්නෙ නැහැ. ඒ විතරක් නෙමෙයි ලීසිං කරල වාහනයක් අරගෙන හරියට වාරික ගෙවන්න බැරි වුණොත් මොකද වෙන්නෙ. ඉස්සර වෙලාම අදාළ ලීසිං සමාගමෙන් ලියුම් එවනව හිඟ වාරික ගෙවන්න කියල. පිළිතුරක් නැත් නම් වාහනය ගෙනැත් බාර දෙන්න කියල ලියුම් එවනව. ඒකටත් පිළිතුරක් නැහැනෙ. කවුද කැමැති වාහනේ ගිහින් බාර දෙන්න. ඊට පස්සෙ වාහනේ උස්සගෙන අරගෙන එන්න කියල කට්ටියකට බාර දෙනවා. වාහන එහෙම උස්සන් අරගෙන එන්න බාර දෙන්න වෙනම කට්ටියක් ඉන්නව. එයාලට වාහන ලෝකයේ කියන්නේ 'සීසර්' ල කියල. මේ සීසර්ල ට වාහන උස්සල හොඳට හුරු පුරුදුයි. එයාල කට්ටියක් එක්ක එකතු වෙලා එන්නෙ. ඉස්සරවෙලාම ගිහින් පොලිසියේ පැමිණිල්ලක් දානවා ලීසිං ගෙවල නැහැ කියලා. වාහ‍නේ අදාළ සමාගමට නැත්නම් බැංකුවට අයිති බවත් කියනව.

ඒක නොදෙන නිසා අරගෙන යන්න ආව කියනවා. ඒ විදිහට ගිහින් වාහනේ අරගෙන යනවා. එයාලත් එක්ක රණ්ඩු‍වෙන්න ගහගන්න එක නම් ඒ තරම් නුවණට හුරු දෙයක් නෙමෙයි. මොකද මේ හැම කෙනෙක්ම හොඳට අත්දැකීම් තියෙන අය. එයාල ඕන ‍දේකට ඔට්ටු වෙන්නයි එන්නෙ. අන්තිමට වාහනෙත් නැතිවෙලා ඉස්පිරිතාලෙත් ඉන්න වෙන්න පුළුවන්. කාටවත් තවත් කෙනෙකුට පහර දෙන්න කිසිම අයිතියක් නැහැ. ඒ රටේ නීතිය වුණත් වාහනේ තබා ගැනීමේ ඉඳල වැරැදි 100ක් විතර එයාලට පෙන්නන්න පුළුවන්. සමහර විට නීතිය හමුවට යන්න වෙන්නත් පුළුවන් තමන් පහර දුන්නා කියලා. ඒ විතරක් නෙමෙයි වාහනය 'සීසර්' මහත්තුරුන් අරගෙන යන‍‍කොට ඒකෙ සමහර කොටස් ඒ අය ගලවල අරන් තියෙනව. පරිස්සමට වෙන්න ඇති. ඒ කියන්නෙ. ‍එක්කෙනෙක් වාහනේ තියෙන හොඳ සී ඩී සෙට් එක ගලවාගන්නවා. තව එක්කෙනෙක් හොද ටයර් ටික ගලවල පරණ දුවන්න බැරි ටයර් ටිකක් දානවා. තව එක්කෙනක් අමතර රෝදය ගන්නවා මේ විදිහට වාහනේ කොටස් අරගෙන වාහනේ සමාගමට ගිහින් බාර දෙන්නේ. අන්තිමට වාහනේ ඉතිරි මුදල‍ ගෙවල ආපහු ගෙනියන්න ආපුවහම ගෙනියන්න වෙන්නේ ඒ අඩුපාඩු එක්ක තමයි. ඒ ටික දාන්න තව රුපියල් ලක්ෂයක් හමාරක් විතර යයි.

අදාළ බැංකුවෙන් නැත්නම් සමාගමෙන් ඇහුවොත් කියන්නෙ වාහනේ තිබුණෙ ඔහොම තමයි කියල. අපි හිතමුකො ලීසිං කරල ගත්ත වාහනේ හිඟ මුදල් ගෙවා ගන්න විදිහක් නැහැ කියල. අදාළ බැංකුව නැත්නම් ලීසිං ආයතනය රුපියල් ලක්ෂ 10ක් ලීසිං දීල තියෙනව. අතිනුත් රුපියල් ලක්ෂ 5ක් දීල තමයි අරගෙන තියෙන්නෙ. ලක්ෂ දෙකක් විතර වාහනේට වාරිකත් ගෙවල තියෙනව. ඒ කියන්නෙ අපි වාහනේට ලක්ෂ 7ක් වියදම් කරල තියෙනව. වාහනේ අරගෙන යනව අදාළ සමාගමේ නැත්නම් බැංකුවේ උපදෙස් උඩ. ඉතිරි මුදල ගෙවල ගන්න විදිහක් හිමිකරුට නැහැ. ගෙවන්න විදිහක් නැති නිසා අදාළ සමාගමෙන් පුවත්පත්වල දැන්වීම් දානව වාහනේ විකුණන්න තියෙනව කියල, ලීසිං සමාගම දැන් ගණන් හදනව. ලක්ෂ 10න් ලක්ෂ එකහමාරක් විතර පළමු වාරික ලැබුණා. ලක්ෂ දෙකක් ගෙවල තිබ්බ ඉතිරි හරිය පොලියනේ. එතකොට තව ලක්ෂ අටහමාරක් ලැබෙන්න ඕන. ඊළඟට ප්‍රමාද ගාස්තු, අතිරේක පොලිය, වෙන්දේසි ගාස්තු, පරිපාලන වියදම් වගේම වාහනේ හිමිකරුගෙන් අරගෙන එන්න ‘සීසර්‘ ලට දීපු ගාස්තුත් එක්ක තවත් ලක්ෂ දෙක හමාරක් විතර මේ ගාණට එකතු වෙනවා. එතකොට සමාගමට අය විය යුතු ගණන ලක්ෂ 11ක් විතර වෙනවා. වාහනේ වෙන්දේසි කරන්නේ සීසර්ල අරගෙන ගිය අඩුපාඩුත් එක්ක.

වාහනේ රුපියල් ලක්ෂ 10කට විතර වෙන්දේසි වුණොත් සමාගම බලනව තම සමාගමට ලක්ෂ 11ක් ඕන. ලැබුණෙ ලක්ෂ 10යි. දැන් ලක්ෂයක් අඩුයි. ඒ අඩු ලක්ෂය ගෙවන්න කියල හිමිකරුට ලියුමක් එවනව. ඒ ලියුම ආවහම දැනෙන සනිපය කියල නිම කරන්න බැරිව ඇති. ඇයි දෙයියනේ ලීසිං සමාගම වාහනෙත් අරගෙන ගිහින්, අතින් ලක්ෂ 5ක් වාහනේ ගන්නත් දුන්න, ඒ මදිවට වාරිකත් ලක්ෂ දෙකක් ගෙවලා දැන් තවත් ලක්ෂයක් ඉල්ලනවා. කාටද කියන්නෙ. ගෙවන්නෙ නෑ. මොකද වෙන්නෙ. ලීසිං සමාගම ඒ ඉතිරි ලක්ෂයක මුදල ලබා ගන්න නඩු දානවා. මේ කිසි දෙයක් නොදැන නේද ඔබ ලීසීං අර ගන්නෙ. පොඩ්ඩක් සති අන්ත පත්තර ටික අරගෙන බලන්න ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණන්න වාහන කොයිතරම් දාල තියෙනවද කියල? ඒ සේරම වගේ අර සීසර්ල ගෙනාපු වාහන. සමහර වාහන අරගෙන ඇවිල්ල තියෙන්නෙ ගමන් බිමන් යන ගමන්. මඟුල් ගෙදරක් යන කට්ටියක් මඟුල් තියෙන උත්සව ශාලාව ළඟ බහිනකොට වාහනේ අරගෙන ගිය කතාවක් අපට කලින් වාර්තා වුණා. සායම එතැනම ඉවරයිනෙ. කාර්යාල සේවා සපයන වෑන් රථ නෝනල මහත්තුරුත් එක්කම අරගෙන ගිහින් ඒ අය කාර්යාලවල බස්සල වෑන් රථ අරගෙන ගිහින් තියෙනව. වාහනේ කොහේ හරි හංගල පාරෙ දුවන්නෙ නැතුව තමයි වාරික නොගෙවන වාහන තියා ගන්න වෙන්නෙ.

ඒත් එහෙමත් බැහැ ‘සීසර්‘ල වාහනේ නොගෙනාවොත් බැංකුවෙන් හරි අදාළ සමාගමෙන් හරි නඩු දානවා. එතකොට වැරැදි දෙකකට අහුවෙනවා. ලීසිං නොගෙවීමයි. ලීසිං සමාගමට අයත් වාහනයක් අස්ථාන ගත කිරීමයි. සමහර ලීසිං සමාගම්වල සේරම වාරික ගෙවල ඉවර වුණාට පස්සෙ වුණත් අයිතිය පවරන්න රුපියල් 25000ක් 30000ක් වගේ ලොකු මුදලක් ඉල්ලනව. අපි මේ සම්බන්ධව මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඩබ්ලිව්. රණවීර මහතාගෙන් විමසුවා. ඒ මහතා පැවසුවේත් ලීසිං ගැන නොදැන බොහෝ දෙනා අතරමං වන බවයි. බොහෝ දෙනා තමන්ට ලීසිං ගන්න තියෙන අවශ්‍යතාවය නිසා ආදායම වැඩි කර පෙන්වන බවත් ඒ මහතා කිව්වා. ගෙවන්න ගියහම අපහසුතාවයට පත් වෙන බවයි රණවීර මහතා පවසන්නේ.

ලීසිං සමාගමක් වාහනයක් ලීසිං කරන්න අවශ්‍ය හැම වියදමක්ම වාහනයේ ගැනුම්කරුගෙන් අය කරනු ලබන බව දැනගත යුතු බවත් ඒ මහතා පෙන්වා දෙනවා. ලීසිං සමාගම වාහනයක් ආපහු බාර දෙන්න කියල එවනු ලියුම්වලට යන මුද්දර ගාස්තු. ගෙවන්න කියල යතුරු පැදියකින් පැමිණ දැන්වුවහොත් ඒ සඳහා වන ගාස්තු පවා අදාළ සමාගම අය කරනු ලබන බවත් ඒ මහතා පෙන්වා දෙනවා. එසේ වුවත් වාහනය අවසානයේදී පවරා දීමට හිමිකරුගෙන් කිසිදු මුදලක් අය කිරීමට බලයක් නැති බවත් එවැනි සිදුවීම් සිදුවන්නේ නම් මහ බැංකුවේ බැංකු නොවන අංශයට පැමිණිලි කළ හැකි බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

අදහස්