සීගිරි දඹුලු සංචාරක කර්මාන්තයේ පහත වැටීමක් | Page 2 | සිළුමිණ

සීගිරි දඹුලු සංචාරක කර්මාන්තයේ පහත වැටීමක්

විදෙස් විනිමය රටට ලබා දෙමින් ආර්ථිකයට ශක්තියක් වූ සංචාරක ව්‍යාපාරයට පසුගිය පාස්කු ඉරු දින ප්‍රහාරයත් සමග මරු පහරක් එල්ල විය.දෙස් විදෙස් සංචාරකයින්ගේ ඉමහත් ආකර්ෂණයට පාත්‍ර වූ මාතලේ දිස්ත්‍රික්කයේ ඓතිහාසික සිද්ධස්ථාන දැක බලා ගැනීමට පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාව අද වන විට අවම මට්ටමක පවතී.මේ තත්ත්වය නිසා සංචාරක ව්‍යාපාරය සිය ජීවිකාව කරගත් බොහෝ පිරිසකගේ රැකියාද අහිමිව යාමේ තර්ජනයකට මුහුණ පා ඇත.මේ අතර සංචාරක හෝටල් නඩත්තු කරගැනීමට නොහැකිවීම නිසා එම ස්ථානවල සේවකයන් ඉවත් කිරීමට හෝටල් හිමියන්ට සිදුව ඇත.එමෙන්ම බහුතරයක් ලැගුම් හල් වසා දමා ඇත. මේ අතර සංචාරකයන් වෙනුවෙන් අලි සෆාරි සහ ගොන් සෆාරි පවත්වාගෙන ගිය පිරිස්වලට දිගු කලක් පවත්වාගෙන ගිය මෙම රැකියා අතහැර දමන්නට සිදුව තිබේ.මේ සම්බන්දයෙන් සීගිරිය සංස්කෘතික ව්‍යාපෘති නිළධාරීන් පවසන්නේ වෙනදා දේශීය සංචාරකයින් 3000ක් 4000ක් අතර පිරිසක් සීගිරිය නැරඹීමට පැමිණි අතර මේ වන විට එය 100ත් 150ත් දක්වා අඩු වී ඇති බවයි.විදෙස් සංචාරකයින්ගේ පැමිණීම 1000ත් 1500ත් අතර ප්‍රමාණයේ සිට 150ත් 200ත් අතර ප්‍රමාණයක් දක්වා පහළ වැටී ඇති බව ඔවුහු වැඩිදුර පවසති.තවද සීගිරිය නැරඹීමට පැමිණෙන සංචාරකයින්ගේ ආරක්ෂාව සඳහා සංස්කෘතික අරමුදලේ ආරක්ෂකයින් මෙන්ම ගුවන් හමුදා සහ පොලිස් ආරක්ෂාවද ලබා දී ඇති බැවින් ආරක්ෂාව සම්බන්දයෙන් අනියත බියක් ඇති කරගත යුතු නැතැයි නිළධාරීහූ පවසති. සීගිරිය නැරඹීම සඳහා කිසිදු බියකින් තොරව සීගිරිය නැරඹීමට පැමිණෙන ලෙස දෙස් විදෙස් සංචාරකයින්ගෙන් සීගිරි සංස්කෘතික නිළ්ධාරීන් ඉල්ලා සිටියි.

Comments