ශ්‍රී ලංකාව බලාපොරොත්තු පොදි බැඳගෙන ලෝක කුසලානයට යයි | සිළුමිණ

ශ්‍රී ලංකාව බලාපොරොත්තු පොදි බැඳගෙන ලෝක කුසලානයට යයි

එළඹෙන දොළොස්වැනි ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම පසුගිය දා එංගලන්තය බලා පිටත්ව ගියහ. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට තවත් සති කිහිපයක් තිබියදීම ශ්‍රී ලංකා කණ්ඩායම කල් ඇතුව පිටව ගියේ එරට දේශගුණික තත්ත්වයන්ට හැඩගැසීම, ලෝක කුසලානයට පෙර පුහුණුවීම් කටයුතු කිරීම සහ ස්කොට්ලන්තය සමඟ පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරග දෙකට සහභාගි වීම සඳහාය.

ස්කොට්ලන්තය සමඟ පැවැත්වීමට නියමිත තරගාවලිය ආරම්භ වීමට පෙර, එනම් 18 වනදාට පෙර දින 08ක පුහුණු කඳවුරක් සඳහා පාසල් ක්‍රීඩාංගණය භාවිතා කරනු ඇත. එයට පසුව ලෝක කුසලානය ආරම්භ කිරීමට සතියකට පමණ පෙර දකුණු අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාව සමඟ තවත් පුහුණු තරග දෙකක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වීමට නියමිත අතර එම තරග පිළිවෙළින් මැයි මස 24 සහ මැයි මස 27 වැනිදා පැවැත්වේ. ඉන්පසුව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු ක්‍රිකට් තරගය, 2015 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අනුශූරයන් බවට පත්වූ නවසීලන්තය සමඟ ජූනි මස 01 වැනිදා කාර්ඩිෆ් හිදී පැවැත්වේ.

12 වන වතාවට පැවැත්වෙන මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී බහුතරයක් දෙනා ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳ සිටින්නේ දැඩි විශ්වාසයකින් නොවේ. එයට මූලික හේතුව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පසුගිය 02 වැනිදා නිකුත් කරන ලද නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ ලේඛනයට අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සිය එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ලබාගත් දුර්වලම ශ්‍රේණිගත කිරීමේ ස්ථානය වන 09 වැනි ස්ථානය දක්වා පහතට ඇදවැටී තිබීමයි.

පසුගිය වසරක කාලය පුරා ශ්‍රී ලංකා කණ්ඩායම අන්තර්ජාතික එක්දින ක්‍රිකට් තරග 23කට සහභාගී වී ඇති අතර ඉන් ශ්‍රී ලංකාව ජය ගෙන ඇත්තේ තරග 5ක් පමණි. කෙසේ නමුත් ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතයේ සිටින ක්‍රීඩකයින් බොහෝ දෙනා සහ නායකයා ගෙවී ගිය වසරකට ආසන්න කාලය තුළ කිසිඳු අන්තර්ජාතික එක්දින ක්‍රිකට් තරගයකට ක්‍රීඩා කර නැත.

“ICC විසින් සංවිධානය කරන තරගාවලි තුළ අපේ කණ්ඩායම ඉතාමත් හොඳ දස්කම් දක්වලා තියෙනවා. මේ සංචිතයේ අත්දැකීම් බහුල ක්‍රීඩකයන් කිහිපදෙනෙක්ම ඉන්නවා. මේ ලැබිලා තියෙන කණ්ඩායමෙන් ලොකු දෙයක් කරන්න පුළුවන්. ඒක මට විශ්වාසයි. අපි අපේ උපරිම දස්කම් දක්වලා ලෝක කුසලානය කොහොම හරි මෙරටට රැගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන සහාය ඒකට ලොකු ශක්තියක් වෙයි.” දිමුත් කරුණාරත්න පවසයි. “කණ්ඩායම හොඳ මානසික තත්ත්වයක ඉන්නවා. පසුගිය දිනවල පැවැති තත්ත්වය පුහුණුවීම් ආරම්භ කළාට පසුව යථා තත්ත්වයට පත්වුණා. කණ්ඩායමට අලුතින් ආපු ක්‍රීඩකයොත් මීට පෙර ජාතික කණ්ඩායම නියෝජනය කළ අය. ඒ ක්‍රීඩකයන් පළාත් තරගාවලියේදී දස්කම් දක්වලා තමයි කණ්ඩායමට ආවේ. කණ්ඩායමේ හැසිරීම් රටාව අනුව සැලසුම් හදන්න බලාපොරොත්තු වෙනවා”

“නායකත්වය කියන්නෙ ලොකු අභියෝගයක්. අභියෝගය විශාල වන තරමට ඒක ජය ගන්න පහසුයි. දකුණු අප්‍රිකාවේදී නායකත්වය ලැබෙන කොටත් මම නායකයන් සිවුදෙනෙක් යටතේ ක්‍රීඩා කර තිබුණා. මට කරන්න පුළුවන් දේවල් කරලා ලෝක කුසලානය රටට ගේන්න තමයි බලාපොරොත්තුවෙන් ඉන්නේ. මට සියලු දෙනාම උදව් කරනවා. මට අනිවාර්යෙන්ම එංගලන්තයට ගියාමත් සහයෝගය ලැබෙයි. මැතිව්ස් සහ මම පාසලේ ඉදන් ක්‍රීඩා කරනවා. අපි දෙන්නා අතරේ හොඳ සම්බන්ධතාවක් තියෙනවා. ඔහු මට දැනටමත් හොඳ සහයෝගයක් දෙනවා.

“මාලිංග එක්ක කතා කළා. ඔහුගේ සහයොග්ය තියෙනවා. අයි.පී.එල්. තරගාවලිය අවසන් වෙලා ඔහු කණ්ඩායමට එකතු වෙනවා. ඊට පස්සේ එයා එක්ක කතා බහ කරලා ඉදිරිය සැලසුම් කරනවා.

“මම දැනට ආරම්භක පිතිකරු ලෙස කටයුතු කරන්න තමයි බලාපොරොත්තුව. අවශ්‍ය වුණොත් අංක තුන දක්වා පහළට යන්නත් ලෑස්තියි. ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන්නේ වසර හතරකට පසුවයි. අපි එංගලන්තයට ගියාම අපිට ඉන්නේ කණ්ඩායම පමණයි. ඒ නිසා සියලු දෙනාගෙම සහයෝගය අපිට ඉතාම වැදගත්.”

ශ්‍රී ලංකා කණ්ඩායමත් සමඟ ඇමති ආරක්‍ෂක අංශයේ දෙදෙනකු පිටව ගිය අතර ඒ සමගම අයි.සී.සී.යෙන්ද විශේෂ ආරක්‍ෂාවක් ලබා දීමට නියමිතය.

ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ සහ තේරීම් කමිටු සභාපති සහ කණ්ඩායම් කළමනාකරු අසන්ත ද මෙල් ු ද එංගලන්තය බලා ගිය කණ්ඩායමට එක්ව සිටිති.

ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතය:

දිමුත් කරුණාරත්න (නායක), අවිෂ්ක ප්‍රනාන්දු, ළහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, ඇන්ජලෝ මැතිව්ස්, මිලින්ද සිරිවර්ධන, ධනංජය ද සිල්වා, ඉසුරු උදාන, තිසර පෙරේරා, නුවන් ප්‍රදීප්, ලසිත් මාලිංග, සුරංග ලක්මාල්, ජෙෆ්රි වැන්ඩසේ සහ ජීවන් මෙන්ඩිස්

අතිරේක ක්‍රීඩකයෝ: ඕෂද ප්‍රනාන්දු, ඇන්ජලෝ පෙරේරා, කසුන් රාජිත සහ වනිඳු හසරංග.

අදහස්