ශ්‍රී ලංකා කණ්ඩායමේ තේරීම ගැන අසන්තගේ විග්‍රහය | සිළුමිණ

ශ්‍රී ලංකා කණ්ඩායමේ තේරීම ගැන අසන්තගේ විග්‍රහය

අකිලව ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට යන 19 දෙනා අතරටවත් තෝරා ගැනීමේ හැකියාව තිබුණා නම් අනිවාර්යෙන් ම අතිරේක ක්‍රීඩකයකු විදියට නෙවෙයි, 15 දෙනා අතරට ගන්නවා. එයාව අතිරේක ක්‍රීඩකයෙක් විදියට තියන්න වුවමනාවක් නෑ. අකිලගේ ප්‍රශ්නය තියෙන්නේ ඉරියව්ව වෙනස් කළාට පස්සේ. එයාට තවමත් පන්දු යැවීමේ රිද්මයට ඇවිත් දක්ෂතා අතරට එන්න බැරිවෙලා තියෙනවා.

පිට දඟ පන්දු යවන්නෙක්

අකිල කණ්ඩායමට එනවා නම් එන්නේ පිට දඟ පන්දු යවන්නෙක් විදියට. දැන් ධනංජය සිල්වාත් පිට දඟ පන්දු යවන්නෙක් විදියට කණ්ඩායමට විශාල දායකත්වයක් දක්වනවා. ඒ වගේ ම අකිලට වඩා ධනංජය ඉදිරියෙන් ඉන්නවා කියලා පැහැදිලියි. ඒ වගේ ම මේ තරගාවලියට අපිට පිට දඟ පන්දු යවන්නෝ දෙන්නෙක් ගෙනියන්න අමාරුයි. ඒ නිසා තමයි අපි පාදඟ පන්දු යවන්නෝ විදියට ජෙෆ්රි වැන්ඩසේ සහ ජීවන් මෙන්ඩිස් කණ්ඩායමට ඇතුළු කර ගත්තේ. අකිලගේ ඉරියව්ව වෙනස් කළාට පස්සේ රිද්මය ගිලිහී ගිහින් තිබෙනවා. ඒ නිසා තමයි එයාව එළියෙන් තියලා, ඒ අවස්ථාව ධනංජයට දුන්නේ. ධනංජය පිට දඟ පන්දු යවන්නෙකු විදියට හැම පන්දු 26කට වරක් ම කඩුල්ලක් ගන්න කොට අකිල පන්දු 50කට වගේ තමයි කඩුල්ලක් අරගෙන තියෙන්නේ. පිතිකරු පන්දු යවන්නකු විදියට වැඩි බර තියලා තමයි ධනංජය ටීම් එකට අරගෙන තියෙන්නේ. ඉන්දියාවේ රවිචන්ද්‍රන් අශ්වින් එළියට යනකොට තමයි රවින්ද්‍ර ජඩේජා ඇතුළට ඇවිත් ඉන්නේ. ඔවුන් පවා මේ දේවල් කරන්නේ කණ්ඩායමේ සමබරතාව පවත්වාගෙන යන්නයි.

කාලයකට පස්සේ

ළහිරු තිරිමාන්න - මිලින්ද සිරිවර්ධන, ජීවන් මෙන්ඩිස් ගත්තත් කාලයකට පස්සේ තමයි කණ්ඩායමට ඇවිත් තියෙන්නේ.

ළහිරු නවසීලන්ත, ඔස්ට්‍රේලියා සහ දකුණු අප්‍රිකානු ටෙස්ට් සංචිතවලට ඇතුළත් වුණා. හැබැයි පහුගිය කාලයේ මොන හේතුවකට එක්දින තරගවලින් ඉවත් කළාද කියන්න දන්නේ නෑ. 2015 අවසන් ලෝක කුසලාන තරගාවලියේ සංගා, ඩිල්ෂාන්ට පස්සේ අංක තුන පිතිකරුවා වුණේ ළහිරු තිරිමාන්නයි. අන්තර් පළාත් එක්දින තරගාවලියේදී පවා එයා ආරම්භක පිතිකරුවකු විදියට තියෙන පළපුරුද්ද පෙන්නුම් කළා. අන්තර් පළාත් එක්දින තරගාවලියේ ශතකයක් සහ අර්ධ ශතකයක් ලබා ගනිමින් ආරම්භක පිතිකරුවාගේ භූමිකාව එයා හොඳට පෙන්නුම් කළා.

ආරම්භය ප්‍රශ්නයක්

දික්වැල්ල සහ දනුෂ්ක ගුණතිලක තමයි මෙච්චර දවසක් ආරම්භක පිතිකරුවන් විදියට කටයුතු කළේ. හැබැයි පහුගිය කාලයේ ඒ දෙන්නගේ ම රිද්මය පහතට වැටිලා කියලා පැහැදිලිව ම පේන්න තිබුණා. අන්තර් පළාත් තරගාවලියේ පවා මැච් හතරට ලකුණු 30කටත් යන්න බැරි වුණා. එහෙම තත්ත්වයක් තියෙනකොට අපට ආරම්භක පිතිකරුවන්ගේ ලොකු ප්‍රශ්නයක් තිබුණා. ඒ ගැන අපට ලොකුවට හිතන්න වුනා. නැත්නම් පරණ විදියට ම ගියා නම් පළමු පන්දු වාර 15 විතර වන කොට අපේ විකට් 3 - 4 ක් වැටිලා. අපට එංගලන්තයේදී පළපුරුද්ද ගැන අවධානය යොමු කරන්න ඕනෑ වුණා.

6 - 7 වැදගත් ස්ථාන

ඒ වගේ ම අපේ අවධානය යොමු වූ වැදගත් ස්ථානයක් වුණේ පිතිකරු අනුපිළිවෙළෙහි 6 සහ 7 වැනි ස්ථාන. මෙතැන කවුරු ක්‍රීඩා කළත් එයාට පිතිකරුවාගේ වගකීමට අමතරව පන්දු යැවීමේ වගකීමත් පැවැරෙනවා. එහෙම නැතුව අපට යන්න අමාරුයි වගේ ම කණ්ඩායමේ සමබරතාවය රැක ගන්නත් අමාරුයි. අංක හයට ධනංජයට හෝ මිලින්දට ක්‍රීඩා කරන්න පුළුවන්. කුසල් ජනිත් අංක තුනට, කුසල් මෙන්ඩිස් අංක හතර. ඇන්ජලෝ මැතිව්ස් අංක පහට. එතකොට හයවැනියාට එන ක්‍රීඩකයාට පිතිකරුවාගේ භූමිකාවට අමතරව පන්දු යවන්නාගේ භූමිකාවටත් වැඩි අවධානයක් යොමු කරන්න වෙනවා.

පන්දු යවන්නන්ට පීඩනය

තරගයකට යන ටීම් එ‍ෙක් පන්දු යවන්නනන්ට පීඩනය වැඩි කරන්න බෑ. ඒ නිසා තමයි පිතිකරු අංශයට වැඩි බරක් තියෙන පන්දු යවන්නන් ගැනත් වැඩි අවධානයක් යොමු කරන්න හිතුවේ. ඒ වගේ ම මේ අංක හයට ක්‍රීඩා කරන ක්‍රීඩකයාගේ පළපුරුද්ද හරිම වැදගත්. අංක 6 - 7 ක්‍රීඩා කරන ක්‍රීඩකයන් දෙන්නාට ශතකයකට යන්න අමාරුයි. හැබැයි ලකුණු 60 - 70 කට ලෙහෙසියෙන් ම යන්න පුළුවන් නම් ඒක හරියට වටිනවා. ඒ වගේ ම පන්දු වාර සියල්ලම නැති වුණත් කිහිපයක් හරි දා ගන්න පුළුවන් නම් ඒක පසු පෙළට වගේ ම ප්‍රධාන පන්දු යවන්නන්ටත් අති‍ෙර්ක වාසියක් වෙනවා. ඒ වගේම ටීම් එක බැලන්ස් කර ගන්න ඒක ලොකු වාසියක් වෙනවා. ලෝක කුසලානයට යන කොට අපට පළපුරුද්ද වගේ ම, ටීම් එක බැලන්ස් කර ගන්න යම් යම් කැප කිරීම් කරන්න සිද්ධ වෙනවා. 11 දෙනාගෙන් හොඳ පන්දු යවන්නෝ පහක් එක්ක අපට තරගකට යන්න පුළුවන් තැනක අපි ටීම් එකක් විදියට නෑ. ඒ නිසා ම පිතිකරු අංශයට බර තියෙන පන්දු යවන්නෝ දෙන්නෙක් එක්කවත් යන්න වෙනවා. නැත්නම් අපි අමාරුවේ වැටෙනවා. ඉන්දියාවේ යාදෙව් ශංකර්, ඔස්ට්‍රේලියාවේ මැක්ස්වෙල්, ටොයිනස්, එංගලන්තයේ මොයින් අලී, රෂීඩ් වගේ අය ඉන්නවා. මේ අයට ටීම් එකක් බැලැන්ස් කර ගන්න හරි ලෙහෙසි. අපි පිතිකරුවන් හයයි, පන්දු යවන්නෝ පහක් එක්ක ගියොත් අමාරුවේ වැටෙනවා.

පිතිකරුවන්

අපේ ටීම් එකේ 11 දෙනාම ගත්තොත් ලකුණු අතරට හැම තරගයකදීම එන්නේ නැති එකේ අවුලක් තියෙනවා. එහෙම වුණාම තරගයක් දිනන්න අමාරුයි. ඒ වගේ ම නම් දැරූ පිතිකරුවන් පවා හැම වෙලාවේම ලකුණු අතර නෑ. එක්කෙනෙක් දෙන්නෙක් ලකුණු අතරට ඇවිත් තරගයක් දිනන්න අමාරුයි. ඒ එක්කම ටීම් එකේ රිද්මය පවත්වාගෙන යන්නත් තුන් ඉරියව් ක්‍රීඩකයන් ගැන අවධානය යොමු කරන්න වෙනවා.

දිමුත් - ළහිරු - කුසල්

ආරම්භක පිතිකරුවන් තුන් දෙනෙක් මේ සංචිතයේ ඉන්නවා. ඒ නායක දිමුත් කරුණාරත්න, ළහිරු තිරිමාන්න සහ කුසල් ජනිත් පෙරේරා. නායකයාට ඕනෑ විදියට මේ තුන්දෙනාගෙන් ආරම්භ කරන්න පුළුවනි. ඒ වගේ ම කැමැති විදියට වෙනස් කර ගන්න පුළුවන්. ඕනෑ නම් ධනංජයට අංක තුන ස්ථානයේ ක්‍රීඩා කරන්න පුළුවන්. තේරීම් කමිටුව විදියට අපි ඒ අයට හැම දෙයක් ම කියලා දෙන්න යන්නේ නෑ. ඒ ගොල්ලෝ තීරණය කරලාා හොඳ ම ටීම් එක තරගයකට ක්‍රීඩා කරන එක තමයි හොඳ දේ.

ඕනෑ නම් දිමුත් සහ කුසල් ජනිත් පටන් අරගෙන ළහිරුට අංක තුන ක්‍රීඩා කරන්න පුළුවන්. දිමුත් සහ අවිශ්ක ප්‍රනාන්දු පටන් අ‍රගෙන කුසල් ජනිත් අංක තුනට ක්‍රීඩා කරන්න පුළුවන්. පුහුණුකරු සහ නායකයා තීරණය කරයි කොහොමද තරගයකට ප්ලෑන් එක හදා ගන්නේ කියලා. අපි දිමුත්ට 15 ක් දීලා තියෙන්නේ තරගයකට හොඳම 11 දෙනා හදා ගන්න පුළුවන් විදියටයි.

ආරම්භක පිතිකරුවන් ගත්තම පසුගිය මැච් 10 දීම ලකුණු අතර නෑ. ඒ නිසයි වෙනසක් කරන්න හිතුවේ. ඒ අය ලකුණු අතර හිටියා නම් අවස්ථාව දෙන්න තිබුණා. ආරම්භක පිතිකරුවන් ගැන වැඩි අවධානයක් යොමු කරන්න ඕනෑ වුණේ ඒ නිසයි. කුසල් ජනිත්, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා ඉතිරි ස්ථානවල ක්‍රීඩා කරනවා. මේ අයගේ ස්ථානවල වෙනසක් වෙලා නෑ. ආරම්භක පිතිකරුවන් පවා ලකුණු අතර හිටියා නම් වෙනසකට යන්න වෙන්නේ නෑ.

හැකියාව තිබුණට ලසිත් ෆේල්

ලසිත්ට හැකියාව තිබෙනවා. හැකියාව තිබුණට ටීම් එකක් විදියට ක්‍රීඩා කරන්නේ නෑ. දිමුත් විසිරිලා තිබෙන ටීම් එක ‍එකතු කරගෙන ටෙස්ට් තරගාවලිය ජය ගත්තා. දිමුත්ට ටීම් එකතු කිරීමේ හැකියාව තිබුණා. ලසිත්ගේ නායකත්වය ගැන මට ප්‍රශ්නයක් නෑ. එයාගේ ප්‍රශ්නය එයා ඉදිරියෙන් ගියාට ඉතිරි 10 දෙනා පස්සේ ඉන්නේ. එකට ටීම් එක ඇදගෙන යන්න හැකියාවක් එයාට නෑ කියන එක අපි පසුගිය තරගවලදී දැක්කා.

පසුගිය කාලයේ ලසිත්ට තරග 12 ක් දුන්නා. එයාට පාලනය කර ගන්න බැරි ප්‍රශ්න පවා තියෙනවා කියලා පැහැදිලියි. අන්තිමේ අපිට තේරීම් කමිටුව විදියට තීරණය කරන්න වුණා රට විදියට ඉදිරියට යන, කණ්ඩායම විදියට ක්‍රීඩා කරන්න එකමුතුකම තියා ගන්න පුළුවන් නායකයකු යටතේ ලෝක කුසලානයට යන්න. ලසිත්ගේ නායකත්වයේ වරදක් දකින්නේ නෑ. ඒත් එයාට ටීම් එක විදියට එකට ගන්න බැරි කමක් තියෙනවා. හැබැයි දිමුත්ට නායකයකු විදියට ක්‍රීඩකයෝ පාලනය කර ගෙන ඉදිරියට යාමේ හැකියාව තියෙනවා.

ලසිත්ට කතා කළා

මම මාලිංගට කතා කළා. ඒ කතා කරලා කිව්වේ නායකත්වය ගැන මට, තේරීම් කමිටුවට ගැටලුවක් නෑ. නායකත්වය හොඳයි. ලසිත් ඉදිරියෙන් ගියාට, එතැන ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි ටීම් එකක් විදියට එකතු කර ගන්න බැරිකම. නායකයා විදියට ඉදිරියට ගියාට, ටීම් එක පරදිනවා. අපට මේකට විසඳුමක් තියෙන්න ඕනෑ, මම මේ දේවල් එකින් එක මාලිංගට පැහැදිලි කරලා දුන්නා.

ලසිත්ට තියෙන සමහර ප්‍රශ්න එයාට අදාළත් නෑ. දැන් අපට තියෙන ප්‍රශ්නය තමයි ටීම් එකක් විදියට ඉදිරියට යන්නේ කොහොමද කියන එක. අපි තරග 12ක් එයාට දුන්නා. 11 ක් පරාදයි. එකක් විසඳුමක් නෑ. එහෙම වුණාම එයාටත් වගකීමක් තියෙනවා. අප තවදුරටත් මේ පරාජයන් වැලත් එක්ක ඉදිරියට යනවාද නැද්ද කියලා තීරණය කරන්න වෙලා තියෙනවා. නැවත නැවතත් කියනවා නම් එයාගේ නායකත්වය ගැන ගැටලුවක් නෑ. නායකත්වයේ ලක්ෂණ තියෙනවා. ඒ හැම දෙයක් ම වටිනවා. හැබැයි එයාට ටීම් එක එකතු කර ගන්න බැරිකමක් තිබෙනවා. මේ ලසිත්ගේ ප්‍රශ්නය වගේ ම ලසිත් ඇඹුල්දෙනිය, දසුන් ශානක, අසේල ගුණරත්න තවමත් ආබාධ තත්වයේ ඉන්නේ. අසේලගේ ඇඟිල්ලක් බිඳිලා තියෙන්නේ. තවමත් හරියට බැට් එකක්වත් අල්ලන්න බෑ.

චන්දිමාල්ට ඉඩක් නෑ

දිනේෂ් චන්දිමාල්ට මේ සංචිතයේ ඉඩක් වෙන්න කරන්න අමාරුයි. කුසල් ජනිත් ප්‍රධාන කඩුලු රකින්නා විදියට කණ්ඩායමට එකතු වෙනවා. කුසල් මෙන්ඩිස් අතිරේක කඩුල්ල රකින්නා. කුසල් ජනිත් කඩුලු රකින්නා විදියට එනකොට එයාට ආබාධ අඩුයි. වෛද්‍යවරු පවා මෙය ප්‍රකාශ කරනවා. මම දන්න කාලයේ ඉඳලා කුසල් ජනිත් කඩුලු රැකීම කළේ.

අපට ක්‍රීඩකයකු ඉවත් කිරී‍ෙම් කිසිම වුවමනාවක් නෑ. දිනේෂ්ට ස්ථානයක් වෙන් කිරීමේ ගැටලුවක් තියෙනවා. දිනේෂ්ව හයට ගේන්න බෑ. එහෙම වුණොත් පළමු හය දෙනාට ම පන්දු යවන්න බෑ. එහෙම වුණාම ටීම් එක බැලන්ස් කර ගන්න බැරි වෙනවා. එයාගේ පිටියේ පන්දු රැකීම ගැනත් අපට හිතන්න වෙනවා.

දිනේෂ් කණ්ඩායමට එනවා නම් අංක තුනේ ක්‍රීඩා කරන්න ඕනෑ. ඒත් අපි ටීම් එකක් විදියට ලකුණු 300 - 350 කට යනවා නම් මුල් පිතිකරුවන් වේගයෙන් ලකුණු රැස් කරන්න ඕනෑ. එහෙම නම් ආරක්ෂාකාරී වෙනවාට වඩා ප්‍රහාරය ගැනත් අවධානය යොමු කරන්න ඕනෑ. අපට අංක 3 - 4 ට ක්‍රීඩා කරන පිතිකරුවන් හෙමින් ලකුණු රැස් කරලා හරි යන්නේ නෑ. පළමු පන්දු වාර 15දී ලොකු ලකුණු ගණනකට යන්න ඕනෑ.

දිමුත්....

හෙට පිටියට යනවා, නම් 11 ක් දෙන්න කිව්වා ම දිමුත් 11 ටීම් එකක් දුන්නා. මම ඒ ටීම් එක නම් කරන්නේ නෑ. ඒ සියලුම දෙනා එකතු කරන එක තමයි අපේ කාර්යය වෙන්නේ. මේ දේ කරන එක ලෙහෙසි නෑ. ඉන්දියාවේ රිෂාට් පාන්ට් තරුණ ක්‍රීඩකයෙක් ඒ වගේ ම දක්ෂයෙක්. හැබැයි ඉන්දියාව අවස්ථාව දෙන්නේ දිනේෂ් කාර්තික්ට. කාර්තික්ට වයස 33 යි. හැබැයි පළපුරුදු ක්‍රීඩකයෙක්. ඔවුන් කණ්ඩායම තේරුවේ ඒ විදියට.

අපේ පිතිකරුවන් පසුගිය කාලයේදීම ලකුණු අතර හිටියේ නෑ. ඒ නිසා ම අපි හැම වෙලාවේ ම පිතිකරුවන් ශක්තිමත් කරන්න ඕනෑ. අපේ අංක 6 - 7 ශක්තිමත් කරන ගමන් ම පන්දු යැවීමේ අංශය ගැනත් අවධානය යොමු කරන්න ඕනෑ. එහෙම නැතුව මේ ගමන යන එක ලෙහෙසි නෑ. එහෙම නැතුව චන්දිමාල් ගැන මට ගැටලුවක් නෑ.

දික්වැල්ල ගත්තත් එහෙම තමයි. අන්තර් පළාත් තරග 4 දි ලකුණු 30 යි. දකුණු අප්‍රිකාවේ මැච් 7 යි. ඉලක්කම් එකේ ලකුණුවලින් එහාට යන්න බැරි වුණා. අපි එළියට බැහැලා යන කොට ජනතාව අහනවා බෝල දෙකයි, ඕවර දෙකයි, TV එක දාලා එහා පැත්තට හැරෙන කොට අවුට්. ඒ වගේ තත්ත්වයකදි දික්වැල්ල එක්ක තව කොච්චර දුර යන්න ද කියලා හිතා ගන්න බෑ.

දකුණු අප්‍රිකානු එක්දින තරගාවලියේදී දිමුත් ගැන අපට බලන්න අවස්ථාව තිබුණේ නෑ. දික්වැල්ල සහ ධනුෂ්ක ලකුණු අතර හිටියේ. නවසීලන්ත සහ ඔස්ට්‍රේලියානු තරගාවලි අතරතුර ධනුෂ්ක ආබාධයන්ට ලක්වුණා. ධනුෂ්ක ආබාධයට ලක්වුණාට පස්සේ තාමත් හරි රිද්මයට ඇවිත් නෑ. දික්වැල්ල පවා ඔස‍්ට්‍රේලියානු තරගාවලියේ ලකුණු අතර හිටියත් දකුණු අප්‍රිකානු තරගාවලියේ අසාර්ථක වුණා.

අදහස්