ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ඕනෑම ක්‍රියාවක් මැඬපවත්වනවා | සිළුමිණ

ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ඕනෑම ක්‍රියාවක් මැඬපවත්වනවා

ජාතික ආරක්ෂාව අරබයා රජය මේ වන විට ගෙන ඇති පියවර, ජනතාව මේ අවස්ථාවේ කටයුතු කළ යුතු ආකාරය, වර්තමාන සමාජයේ ජනතාව අතර ඇති මතිමතාන්තර සහ ඒවායේ නිරවද්‍යතාව යන කරුණු සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්, ජනරාල් (විශ්‍රාමික) ශාන්ත කෝට්ටේගොඩ මහතා සමඟ 'සිළුමිණ' කළ සාකච්ඡාවකි.

වර්තමානයේ රටේ ආරක්ෂාව ගැන ආරක්ෂක ලේකම්වරයා වශයෙන් ඔබ සෑහීමට පත් වනවාද?

ඇත්ත වශයෙන්ම ඔව්. සියලු අන්තවාදීන් නැති කළා කියා මම කියන්නෙ නැහැ. එහෙත් ඔවුන්ගේ පරමාර්ථය මේ වන විට අප නැති කර තිබෙනවා. ත්‍රිවිධ හමුදාව හා පොලීසිය නිරතුරුවම ආරක්ෂක කටයුතුවල නියැළී සිටිනවා.

එහෙත් තවම පාසල් සිසුන්ගේ පැමිණීම අඩුයි...

අප පාසල් සඳහා හැකි උපරිම ආරක්ෂක විධිවිධාන සලසා තිබෙනවා. කෙසේ වුවත් මවුපියන් තුළ සාධාරණ බියක් ඇති. එහෙත් අප මේ වන විට බොහෝ දුරට මේ අන්තවාදීන්ගේ ක්‍රියා නවත්වා තිබෙනවා. ඔවුන්ගෙන් සැලකිය යුතු පිරිසක් 21 වැනිදා මියගියා. එමෙන්ම පසුව තවත් කිහිප දෙනෙක් සියදිවි නසාගත්තා. තවත් අය අත්අඩංගුවට ගත්තා. නමුත් අපට නැඟෙනහිරදී පසුගියදා දකින්න ලැබුණා ඇතැම් මවුපියන් දරුවන් පාසල් නොයවා ටියුෂන් යවන බවක්. පාසල්වල ආරක්ෂාව තිබෙනවා. ටියුෂන් පන්තිවල ආරක්ෂාව තිබෙනවාදැයි කල්පනා කළ යුතුයි.

එහෙත් ඇතැම් පිරිස් පවසනවා පාසල්වල ආරක්ෂාවක් නැති බව...

සමහර පාසල්වල ශිෂ්‍යභට කණ්ඩායම් පවා මේ වන විට ආරක්ෂක වැඩට සහාය දෙනවා. මවුපියන්, ආදි සිසුන් සහාය දෙනවා. ඒත් ඇතැම් අය දේශපාලන අරමුණු මුදුන් පත් කරගන්න මෙය අවස්ථාවක් කරගන්න හදනවාදැයි මා දන්නේ නැහැ. ඒත් මට පේන්නෙ ඇතැම් අයගේ පෞද්ගලික න්‍යායපත්‍ර පාසල් මඟින් ක්‍රියාත්මක කරන්න හදන බවක්.

අද බස් රථ, වාහන පාරේ අඩුයි. ජනතාව තවමත් පාරට බහින්නේ අවශ්‍යම කරුණකට පමණයි...

අන්තවාදී ක්‍රියාවෙන් පසුව ජනතාව බියට පත් වුණා. එහෙත් මේ වන විට ත්‍රිවිධ හමුදාවත්, පොලීසියත් තත්ත්වය පාලනය කර තිබෙනවා. ඒත් තම-තමන්ගේ ආරක්ෂාව ගැන මේ අවස්ථාවේ විශේෂයෙන්ම කල්පනා කළ යුතුයි. උදාහරණයක් ලෙස කියනවා නම්: මේ අවස්ථාවේ යම් සැණකෙළියක් පවත්වන්න කණ්ඩායමක් අපේක්ෂා කරනවා නම් ඔවුන් තීරණය කළ යුතුයි එය සුදුසුද නැද්ද යන වග, ඒ වගේම සැණකෙළියට යන අයත් කල්පනා කළ යුතුයි මම යනවාද නැද්ද යන වග. රටේ ආරක්ෂාව සම්බන්ධව අපි කටයුතු කරන්නම්. ඒත් ජනතා සහයෝගය ඒ සඳහා වැඩියෙන්ම අවශ්‍ය වනවා. මැයි දින රැස්වීම් අවලංගු කළා මෙන් ජනතාව රැස් වන අවස්ථා මේ කාලසීමාවේ ‍සිදු නොකිරීමයි වැදගත් වන්නේ.

ලබන සඳුදා දුම්රිය ස්ථාන ඇතුළු ප්‍රදේශ කිහිපයකට ප්‍රහාර එල්ල කරන බවට තොරතුරු ලැබී තිබෙන බව අපට වාර්තා වනවා. ඒ සම්බන්ධව ඔබ දැනුවත්ද?

ඔය වගේම කතාවක් පහුගිය සතියේත් පැතිරුණා: පාලම් පුපුරවන්න සිටින බවක්. ඒත් ඒ දිනය නම් පහු වුණා. මම විශේෂයෙන්ම කියන්න ඕනෑ අපට ලැබෙන සියලු තොරතුරු අප විශ්ලේෂණය කරනවා. කටකතාවක් වුණත් අප බැහැර කරන්නේ නැහැ. ඒ ගැන විමර්ශනය කරනවා. අප ජනතාවගෙන් ඉල්ලන්නේ දූසමාන ආරංචි ඔස්සේ කටයුතු කරන්න එපා කියලයි.

අන්තවාදීන්ගේ මේ ක්‍රියා දෙස බැලූ විට පෙනී යන කරුණක් තමයි ඔවුන් මේ සඳහා වසර කිහිපයක්ම සූදානම්ව සිටි බව...

ඔවුන් සෑහෙන කාලයක් මේ සඳහා සූදානම් වූ බව පේනවා. ඒත් දැන් ඔවුන් අවි-ආයුධ, පුපුරන ද්‍රව්‍ය පවා මහමඟ දමා යන තත්ත්වයට පත් වෙලා. කොහොමත් මේ පිරිසට ලොකු අවි-ආයුධ තිබෙන බව අපට වාර්තා වී නැහැ. ඒ කරුණු කොහොම වුණත් අප දැන් ඒ අයගේ ක්‍රියාවලට බාධා පමුණුවා තිබෙනවා. මේ මෙහෙයුම් නොනවත්වා දිගටම කරගෙන යනවා. යළි ඔවුන්ට නැඟී සිටීමට ඉඩක් නොතබාම අප කටයුතු කරමින් ඉන්නෙ. මේ වන විට සියලු මෙහෙයුම් සාර්ථකව දිවයින පුරා සිදු වනවා. මම හිතනවා සියලු අන්තවාදි ක්‍රියා ළඟඳීම මැඬපවත්වන්න පුළුවන් වෙයි කියලා.

පොලීසියේ කාර්යයන් සම්බන්ධව ඔබ සෑහීමකට පත් වනවාද?

පොලීසියත් මේ අවස්ථාවේදී ත්‍රිවිධ හමුදාව සමඟ එක්ව විශාල කාර්යභාරයක් කරනවා. එය අගය කළ යුතුයි.

එහෙත් වැල්ලම්පිටිය තඹ කම්හලේදී අත්අඩංගුවට ගත් සේවකයන් 9 දෙනාට මේ වන විට ඇප ලැබී තිබෙනවා. මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළ අයකු යටතේ සේවය කළ ඔවුන්ට ඇප ලැබී ඇත්තේ පොලීසිය නිසියාකාරව කටයුතු නොකළ නිසා බවයි වාර්තා වන්නේ...

ඒ ගැන නිසි පරිදි කියන්න මම දන්නෙ නැහැ. එහෙත් ඒ අය නිදහස් කර නැහැ; ඇප දීලයි තියෙන්නෙ. අනිත් එක පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැහැදිලිවම කිව්වා ඒ සම්බන්ධව විමර්ශනයක් කරනවා කියලා.

පොලීසි මඟින් අත්අඩංගුවට ගන්නා පුද්ගලයන් සම්බන්ධව නීතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවන බවට සමාජ කණ්ඩායම්වලින් චෝදනා නැ‍ඟෙනවා...

එක එක කටකතා පතුරුවන්න පුළුවන්. එහෙත් අවශ්‍ය පරිදි කටයුතු කරනවා. රැඳවුම් නියෝග මත රඳවාගෙන අවශ්‍ය අයගෙන් ප්‍රශ්න කරනවා. විශේෂයෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා ත්‍රස්ත විමර්ශන ඒකකයෙන් පරීක්ෂණ නිසි පරිදි කෙරෙන බවයි මම දන්නේ.

බුද්ධි අංශවල අඩාළ වීමක් දක්නට ලැබෙනවාද?

නැහැ. බුද්ධි අංශ හොඳින්ම ක්‍රියාත්මකයි. අපට හොඳින් තොරතුරු ලැබෙනවා.

රටේ මේ තරම් ප්‍රශ්නයක් ඇති වෙලා තිබෙන අවස්ථාවේ ඔබට කෝටි ගානක නවීන වාහනයක් ඇණවුම් කළ බවක් දැනගන්න තිබෙනවා...

මා බොහොම කනගාටු වුණා, ඒ ප්‍රවෘත්තිය මාධ්‍ය ඔස්සේ දුටු අවස්ථාවේ. මම මේ තනතුර බාර ගත්තේ මේ අවස්ථාවේදී රට පත්ව ඇති තත්ත්වයෙන් ගොඩ ඒමට පුරවැසියකු ලෙස අත දීමටයි. අපි කොටි ත්‍රස්තවාදීන්ට එරෙහිව වසර ගණනාවක් සටන් මෙහෙයවූවා. එහිදී මා හමුදාපති ලෙස සැලකිය යුතු කාර්යයක් කළා කියලා හිතනවා. මම වාහන ඉල්ලුවෙත් නැහැ; ඇණවුම් කළෙත් නැහැ. ඒ වැරැදි ප්‍රවෘත්තිය නිසා ජනතාව තුළ අප කෙරෙහි කලකිරීමක් ඇති වන්න පුළුවන්, මේ මිනිස්සු මේ තනතුරුවලට එන්නේ සුඛ විහරණය බලාගෙනද කියලා. අවුව-වැස්ස නොබලා රට වෙනුවෙන් කටයුතු කළ අපට ලොකු කනගාටුවක් දැනෙනවා එවන් වැරදි පුවත් මැවීම ගැන.

ඔබ හිටපු හමුදාපතිවරයකු ලෙස, මේ අන්තවාදි ත්‍රස්තවාදි කල්ලි අනාගතයේ යළිත් හිස එසවීම වැළැක්වීමට කුමන ක්‍රියාමාර්ගයක් ගත යුතුයි කියා සිතනවාද?

අප කොටි ත්‍රස්තවාදය නැති කළා. එහෙත් මේ ප්‍රශ්නය ඊට වඩා වෙනස් මුහුණුවරක් ගෙන තියෙන්නේ. ඒත් මේ අන්තවාදය මර්දනය කරන්න පුළුවන්. ඒ සඳහා අප මේ වන විට විවිධ ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. දිනපතා සිදු කරන මේ මෙහෙයුම් එහි එක් පියවරක්. ඒ වගේම 24 පැයම ආරක්ෂක අංශ අවදියෙන් තැබීම අනෙක් පියවරයි. ඊට අමතරව තවත් විශේෂ ක්‍රියාමාර්ග කිහිපයක් ගෙන තිබෙනවා.

ඒ ගැනත් පැහැදිලි කළොත්...

ආරක්ෂක හේතු මත ඒ ගැන දැන්ම පවසන්න බැහැ. අවශ්‍ය කටයුතු මේ අවස්ථාවේ අප කරගෙන යනවා.

අන්තර්ජාතිකව අපට සහාය දෙන්න රටවල් රැසක් මේ වන විට කැමැත්ත පළ කර තිබෙනවා. ඔබ ඒ සහාය ගැනීමට අපේක්ෂා කරනවාද?

හමුදාවේ ශක්තිය ගැන මට 200%ක් විශ්වාසයි. මම කලින් කිව්වා වගේ එල්ටීටීඊය වැනි ගරිල්ලා සංවිධානයක් මර්දනය කරන්න ශක්තියක් අපේ හමුදාවලට තිබුණා. ඒ නිසා අපට හමුදා සහායක් අවශ්‍ය නැහැ. එහෙත් ඒ සඳහා වන තාක්ෂණික දැනුම ඇතුළු අනෙක් සහාය අප බලාපොරොත්තු වනවා.

ජනාධිපතිතුමාගෙන් හා අගමැතිතුමාගෙන් මේ සඳහා ඔබට ලැබෙන සහයෝගය කෙබඳුදද?

මේ තනතුරට මා පත් කෙළේ ජනාධිපතිතුමා, එතුමා ඉතා හොඳ සහයෝගයක් දෙනවා. ඒ අනුව අප කටයුතු කරනවා. අගමැතිතුමා තවම මට හමු වුණේ නැහැ. ඒ එක්කම පැවසිය යුතුයි ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ වගේම පොලිස්පතිවරයාගේ සහායත් මට ඉතා හොඳින් ලැබෙනවා.

නැඟෙනහිර පළාත තමයි මේ අන්තවාදීන්ගේ මෙහෙයුම් හා අනෙක් කටයුතු සඳහා වැඩිවශයෙන් උපයෝගි කරගෙන ඇත්තේ. ඒ සම්බන්ධව මේ වන විට හා ඉදිරියේදී ගනු ලබන විශේෂ ක්‍රියාමාර්ග තිබෙනවාද?

මෙහිදී විශේෂයෙන්ම පැවසිය යුතුයි: උතුරේ යුද්ධය පවතිද්දී අප අනුගමනය කළේ සියලු දෙමළ ජාතිකයන් ත්‍රස්තවාදීන් නොවන බවට වූ සංකල්පයක්.

ඒ සංකල්පයම තමයි අප මේ වන විට නැඟෙනහිර පළාතටත් ක්‍රියාත්මක කර ඇත්තේ. ඒ නිසා අපට අන්තවාදීන් සොයාගැනීම ගැටලුවක් නොවන තත්ත්වයක් බව පෙනෙනවා.

නැඟෙනහිර පළාතේ ජනතාවගේ ප්‍රතිචාරය කෙබඳුද?

අපට පහුගිය දිනවල වැඩියෙන්ම මේ අන්තවාදීන් සම්බන්ධ තොරතුරු දී ඇත්තේ මුස්ලිම් ජාතිකයන්. එයින් අප වටහාගත යුතුයි ඔවුන් අන්තවාදයට විරුද්ධව සිටින බව.

ඒ වගේම අපට අවශ්‍ය වන්නේ තොරතුරුයි. ඒ තොරතුරු ඔස්සේ අපට ඊළඟ පියවර කරා යන්න පුළුවන්.

පසුගිය දිනක ජනාධිපතිතුමාත් මමත් ඇතුළු ආරක්ෂක අංශ පිරිස් නැඟෙනහිර පළාතේදී හමු වූ අවස්ථාවක ඒ ජනයා පැවසුවේ ආරක්ෂක අංශ ඔවුන්ට කිසිදු කරදරයක් බාධාවක් නොවන අයුරින් පරීක්ෂණ කටයුතු සිදු කළ බවයි. වෘත්තීය හමුදාවක ක්‍රියාකාරිත්වය අප එයින් මැනවින් පෙන්නුම් කළා. ඒ වගේම ඒක සංහිඳියාවටත් ලොකු දායකත්වයක්.

මේ අන්තවාදීන්ට විශාල වශයෙන් අන්තර්ජාතික අරමුදල් ලැබී ඇති බව වාර්තා වනවා. ඒ සම්බන්ධයෙන් යම් පරීක්ෂණයක් හෝ ඉදිරියේදී එවන් මුදල් ලැබීම් වළක්වන්න ක්‍රමවේදයක් ගෙන තිබෙනවාද?

ඒ ගැන අවධානය යොමු කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කරන්න අප බලාපොරොත්තු වනවා. ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ඕනෑම ක්‍රියාවක් වෙනුවෙන් අප කටයුතු කරනවා.

සරණාගතයන් අපේ රටේ රඳවාගැනීම ආරක්ෂාවට ගැටලුවක් බව සමාජයේ මතයක් ගොඩනැඟී තිබෙනවා. ඒ ගැන අවධානය යොමු කර තිබෙනවාද?

ඔවුන් පැමිණෙන රටවල් අනුවයි ගැටලු මතු වන්නේ. ජනාධිපතිතුමා ඒ ගැන අවධානය යොමු කර තිබෙනවා.

ආරක්ෂක ලේකම්වරයා ලෙස ඔබ ජනතාවගෙන් අපේක්ෂා කරන්නේ කුමක්ද?

විශේෂයෙන්ම කටකතා නොපිළිගන්නා ලෙස ඉල්ලා සිටිනවා. දූසමාන ආරංචි විශ්වාස කර කලබල නොවන ලෙසත්, යම් තොරතුරක් ලද විගස අපට දැනුම් දෙන ලෙසත් මා ඉල්ලා සිටිනවා.

මේ සියලු අර්බුද පැනනැඟී ඇත්තේ ඉකුත් පාස්කු ඉරිදා සිදු වූ ප්‍රහාරය නිසයි. එහි වගකිව යුත්තන් කවුරුන් ලෙසද ඔබ දකින්නේ?

ජනාධිපතිතුමා ඒ ගැන කොමිසමක් පත් කර තිබෙන්නේ කවුරුන් හෝ වගකිව යුත්තන් සිටින නිසා වන්නට ඇති. ඒ ගැන කොමිෂන් වාර්තාවෙන් දැනගන්න පුළුවන්.

සේයාරූ - හිරන්ත ගුණතිලක

අදහස්