දැන් පක්ෂ - පාට බදාගෙන ඉඳලා වැඩක් නෑ | සිළුමිණ

දැන් පක්ෂ - පාට බදාගෙන ඉඳලා වැඩක් නෑ

විවිධ අභියෝගාත්මක පර්චේඡේද පසු කළ ශ්‍රී ලංකාව මේ වන විට ඉස්ලාම් අන්තවාදි ත්‍රස්තවාදය හමුවට පැමිණ ඇති බවත්, මෙය අවසන් කිරීමට සැම දෙනකුම එකම අරමුණකින් කටයුතු කළ යුතු බවත් මහා නගර සංවර්ධන සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. පසුගියදා සිළුමිණ සමඟ සාකච්ඡාවකට එක් වූ අමාත්‍යවරයා දැරූ අදහස් මෙසේ සැකෙවින් ඉදිරිපත් කරමු.

රටේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක්ද?

අප්‍රේල් 21 දා එල්ල වූ අන්තවාදි ප්‍රහාරයත් සමඟ ශ්‍රී ලංකාව රටක් හැටියට අලුත් අභියෝගයකට මුහුණ දුන්නා. අප 1948දී නිදහස ලැබූ පසු විවිධ කාලවකානුවල විවිධ දේශපාලන අභියෝගවලට මුහුණ දුන්නා. වම්-දකුණු කඳවුරු හැටියට අප දේශපාලනිකව ගැටුම් ඇති කරගත්තා. 1953 හර්තාලය සමඟ තවත් බෙදීම් ඇති වුණා. මේ බෙදීම්වල උච්චස්ථානය වෙන්නේ 71 කැරැල්ල. ඊට පස්සේ 83 කළු ජූලිය සමඟ දෙමළ බෙදුම්වාදි අරගලය නිර්මාණය වුණා. එය ත්‍රස්තවාදයක් දක්වා වර්ධනය වෙලා වසර 30කට ආසන්න කාලයක් ඒ අභි‍යෝගයට මුහුණ දුන්නා.

දැන් අපට අලුත් ප්‍රශ්නයක් තිබෙනවා. ඉස්ලාම් ආගමික අන්තවාදීන්ට මුහුණ දෙන්න අලුත් පරිච්‍ඡේදයක් නිර්මාණය වෙලා. එය විසඳාගත යුත්තේ ලංකා සමාජයමයි. එහිදී රජයට, ආරක්ෂක අංශවලට ලොකු වගකීමක් තියෙනවා. ඒ වගේම මුස්ලිම් සමාජයටත් විශාල වගකීමක් තිබෙනවා.සෙසු ජනකොටස්වලටත් ඒ වගකීම බෙදෙනවා. මේ ප්‍රශ්නය අප අවුරුද්දෙන් විසඳගන්නවාද, අවුරුදු දෙකෙන් විසඳාගන්නවාද, නැති නම් තිස් අවුරුද්දෙන් විසඳාගන්නවාද යන වගකීම තිබෙන්නේ අපට.

මේ වගකීම ආණ්ඩුවක් හැටියට ඔබ අරන් තිබෙනවද?

ආණ්ඩුවක් හැටියට අප පිළිගන්න ඕනෑ අපට කිසිම දේශපාලන උනන්දුවක් අභිලාශයක් තිබී නෑ, මේ ත්‍රස්ත කල්ලිය හඳුනාගන්න හෝ නිෂ්ක්‍රිය කරන්න. 2011 සිට මේ අන්තවාදීන් මේ රටේ ක්‍රියාත්මක වෙලා තිබෙනවා; ඒ වගේම සිරියාවේ පුහුණුව ලබන්න ගිහින් තියෙනවා; පිරිසක් අයිඑස්අයිඑස් සමඟ එකතු වෙලා තිබෙනවා. 2016දී මේ ගැන නිශ්චිත තොරතුරු වාර්තා වුණා. එමෙන්ම පසුගිය කාලසීමාවේ සිදුවීම් ගණනාවක් පිළිබඳ තොරතුරු දැනගන්න ලැබුණා. විශේෂයෙන් මාවනැල්ල බුදු පිළිම කැඩීමේ සිද්ධිය, වනාතවිල්ලුව අවිගබඩාව හමුවීම, මේ ප්‍රහාරයට ආසන්න දිනක කාත්තන්කුඩියේ බෝම්බ පිපිරවීම වැනි සිදුවීම් ගැන එතරම් අවධානයක් යොමු කළේ නෑ; ඒ ගැන අප රට තුළ නිසි විශ්ලේෂණයක් සිදු කළේ නෑ. ඒ වගේම සහරාන් කියන පුද්ගලයාගේ අසාමාන්‍ය හැසිරීම් ගැන, තව්හීද් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරකම් ගැන විදේශ බුද්ධි අංශවලින් නිශ්චිත තොරතුරු ලැබිලත් අප ඒවායින් ප්‍රයෝජනයක් ගෙන නෑ. ඒ කියන්නේ අපට අභිලාශයක් තිබිලා නෑ, ආණ්ඩුවක් ලෙස මේ සම්න්ධයෙන් ක්‍රියා කරන්න. මෙය අපට දේශපාලන වශයෙන් එහාට මෙහාට ඇඟිලි දිගු කර බේරෙන්න පුළුවන් එකක් නෙවෙයි. අප සියලු දෙනාම රජයක් හැටියට මේ අවාසනාවන්න ප්‍රහාරයේ වගකීම බාරගත යුතුයි. ඒක පැහැදිලිවම කියන්න ඕනෑ.

ඒ වගේම මේ අන්තවාදි ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා සියලු දෙනාම සම්බන්ධ කරගෙන ඉදිරියට යෑමට රජය දැන්වත් කටයුතු කළ යුතුයි. විශේෂයෙන්ම මේ වෙලාවේ ජනතාවට බරපතළ විදිහට ඇති වෙලා තිබෙන බිය-සැක තුරන් කිරීමට රජය ඇප-කැප විය යුතුයි.

මේ අනතුර හඳුනාගෙනත් ආණ්ඩුවට ඇයි ඔබ කියනවා වගේ අභිලාශයක් නොතිබුණේ? ආණ්ඩුවේම ඇමැතිවරයකු ලෙස ඔබ මොකක්ද මේ ගැන දෙන පිළිතුර?

මේ ආණ්ඩුවට තිබෙන ආවේණික දුර්වලකමක් තමයි යම් යම් ප්‍රශ්න පිළිබඳ ඕනෑවට වඩා වාද-විවාද කර-කර ඉන්නවා මිස ප්‍රශ්න කර මුලට එන තුරු ඒවාට විසඳුම් නොගැනීම. ඊට අමතරව අප කවුරුත් දන්නවා, පසුගිය ඔක්තෝබර් මාසයේ සිට ජනාධිපතිතුමා සහ අගමැතිතුමා අතර පැහැදිලි දේශපාලන බෙදීමක් තිබෙනවා. ඊට අමතරව කණගාටු‍වෙන් වුණත් කියන්න ඕනෑ මේවාට විරුද්ධව ක්‍රියා කළොත් මුස්ලිම් ඡන්ද නැති වෙයි කියලා ඇතැම් අය අතරේ අනියත බියකුත් පවතිනවා. මේ ඔක්කෝම මේ සම්න්ධයෙන් බලපෑ කාරණා.

මේ තත්ත්වය යටතේ ආණ්ඩුව සම්බන්ධයෙන් ජනතාව තුළ යළිත් ප්‍රසාදයක් ඇති කරගන්නේ කොහොමද?

මෙතන තිබෙන්නේ ආණ්ඩුවට ප්‍රසාදයක් එනවාද නැද්ද කියන ප්‍රශ්නය නොවෙයි. මේක මිනිස් ජීවිත පිළිබඳ ප්‍රශ්නයක්. ප්‍රසාදය ආවත් නාවත් අප මේ රටේ ජනතවගේ ජීවිත පිළිබඳ සිතිය යුතුයි. අප මේ ත්‍රස්තවාදය මුලිනුපුටා දැමිය යුතුයි. ඒ සඳහා නිපුණතාව තිබෙන මිනිසුන් පත් කර ඒ කටයුත්ත කරන්න ඕනෑ. ඒ දෙය කරන්නේ කවුරුද ඔවුන්ට මගේ සම්පූර්ණ සහයෝගය දෙන්න මම සූදානම්. ඒක කරන්නේ කවුරුද යන්න මට ප්‍රශ්නයක් නෑ. සරත් ෆොන්සේකාද, මෛත්‍රීපාල සිරිසේනද, සාගල රත්නායකද ඊට මගේ පූර්ණ සහාය මම දෙනවා.

මේ අභියෝගය පරාජය කිරීමට ආණ්ඩුවට හැකියාවක් තිබෙනවාද?

පැහැදිලිවම. මේ ප්‍රශ්නයේදී අප අමතක කරන්න හොඳ නෑ මුස්ලිම් සමාජය. මේ සමාජය තුළ සමාජ තල කිහිපයක් තිබෙනවා. එකක් තමයි: 'මුස්ලිම් අය හැර අ‍නෙක් අය තිරිසන්, ඔවුන් සියල්ල මරාදැමිය යුතුයි' කියන, ඒ වෙනුවෙන්ම මිනිසුන් මරාදමන්න ලෑස්ති, ඒ වෙනුවෙන් තම දරුවනුත් එක්ක මරාගෙන මැරෙන්න ලෑස්ති ප්‍රචණ්ඩ ජිහාඩ්වාදීන් පිරිස. ඔවුන් අනිවාර්යයෙන්ම විනාශ කළ යුතුයි. ඒ වගේම තවත් කණ්ඩායමක් ඉන්නවා: මේ අයට මූල්‍ය පහසුකම් සපයන, ඔවුන්ට අවශ්‍ය රැකවරණය සලසන, ඒ වගේම මතවාදිමය බලය සපයන, අන්තර්ජාතික සබඳතා නිර්මාණය කර දෙන, අන්තර්ජාලය ඔස්සේ පහසුකම් සලසන පිරිස්. ප්‍රචණ්ඩ ක්‍රියා නොකළත්, ඒ මතවාදය දරන -ඒ කියන්නේ: මුස්ලිම් නොවන සියල්ල තිරිසන් කියන මතවාදයේ ඉන්න- පිරිසක් ඉන්නවා. මේ මතවාද දුරු කරන්න රජය නෛතික වශයෙන් ක්‍රියා කරන්න ඕනෑ. අනෙක් අතට මුස්ලිම් ජන සමාජයත් පෙරට එන්න ඕනෑ මේ වැරදි මතවාද තිබෙන අය නිර්-රැඩිකල්කරණය කිරීමට. එහිදී මවුලවිවරුන්ට ලොකු වගකීමක් තිබෙනවා.

තවත් ස්තරයක් ඉන්නවා: 'මේ රටේ මුස්ලිම් මිනිසුන් ශ්‍රී ලාංකික විය යුතු නැහැ; ඔවුන් අරාබි මුස්ලිම් අය විය යුතුයි; ඔවුන් සිංහල, දෙමළ උගත යුතු නැහැ, අරාබි බස උගත යුතුයි, අරාබි ඇඳුම්, අරාබි මෝස්ත්ර අනුගමනය කළ යුතුයි' යන මතය දරන. ඔවුන් ෂරියා නීතිය මෙහෙ ගෙනෙන, අරාබියේ මද්‍රාසා අධ්‍යාපනය මෙහෙට ගෙනෙන, ආගමික බෙදුම්වාදයක් සහිත ආගමික ඇපාතයිඩයක් ශ්‍රී ලංකාව තුළ නිර්මාණය කිරීමට උත්සාහ දරන පිරිසක්. ඇත්තටම මධ්‍යකාලීන යුගයට යළිත් මිනිසුන් ඇදගෙන යන එකයි ඔවුන් මේ කරන්නේ. මේ පිරිස වෙනස් කිරීමේ වගකීම ආණ්ඩුවටත් තිබෙනවා. මේවායේ ඇතැම් දේවල් ආණ්ඩුව අනිවාර්යයෙන්ම නියාමනය කළ යුතුයි. ඒ අතරේ මොවුන් නිර්-අරාබිකරණය සඳහා මුස්ලිම් සමාජය කටයුතු කළ යුතුයි. එහිදීත් මවුලවිවරුන්ට විශාල වගකීමක් තිබෙනවා.

ඊළඟට සාතිශය බහුතරයක් ඉන්නවා මේ රටේ සුෆී දහම අදහපු සාමාන්‍ය මුස්ලිම් ජනතාව. ඒ ජනතාව අද දුර්වල වෙලා. මේ ජනතාව බලාත්මක කළ යුතුයි. ඔවුන් ආරක්ෂා කළ යුතුයි. ඒ සඳහා සමස්ත සමාජයටත් රජයටත් වගකීමක් තිබෙනවා.

මෙහිදී අප මතක් කළ යුතුයි පසුගිය ප්‍රහාරයෙන් වැඩිම පීඩාවට ලක් වුණු මේ රටේ කිතුනු ප්‍රජාව. ඔවුන්ට සමස්ත සමාජයේම විශේෂ ප්‍රණාමය පළ කළ යුතුයි. දැඩි ඉවසීමෙන් සහ නිහඬව සිටීමෙන් ඔවුන් බෝම්බ ප්‍රහාරයට වඩා දහස් ගුණයක කම්පනයක් හදවත් තුළ ඇති කළා. ඒ නිහඬතාව ඒ තරම් ප්‍රබල කම්පනයක්.

ඉතින් අප මේ ස්තර හඳුනාගෙන ඒ ආකාරයෙන් කටයුතු කළොත්, පැහැදිලිවම මේ තත්ත්වය අපට පහසුවෙන් මර්දනය කරන්න පුළුවන්. නැති නම් එය තවත් අවුරුදු ගණනාවක් ඇදෙන අර්බුදයක් බවට පත් වේවි.

රජයේ වගකිව යුතු ඇමැතිවරයකු විදිහට ඔබ මේ දේවල් කැබිනට් මණ්ඩලයට පවසා තිබෙනවාද?

ඔව්. මේ වන විටත් කියන්න ඕනෑ සියලු දෙනාට කියා තිබෙනවා. ඊට අමතරව අප බලාපොරොත්තු වනවා අපේ රටේ ජීවත් වන දරුවන් ඇතුළු සියලු දෙනාගේ ජීවිත ආරක්ෂා කරගන්න, මේ අන්තවාදි ත්‍රස්තවාදි මූලධර්මවාදීන් පාලනය කිරීමට සැම ජන කොටසක්ම පක්ෂ-පාට භේදයකින්‍ තොරව එකතු කරගෙන 'ජාතික මඟ' නමින් බලගතු සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරන්න.

ඒ ව්‍යාපාරය ගැන තවත් තොරතුරු සඳහන් කළොත්?

දැන් යළිත් අපව, අපේ දරුවන්ව මහමඟ මරාදමමින් තිබෙනවා. ඇත්තටම දැන් අප පක්ෂ හැටියට හිතලා වැඩක් නෑ; මැති-ඇමැතිකම් බදාගෙන ඉඳලා වැඩක් නෑ. අප සියලු දෙනාම මෙය පරාජය කිරීමට ඉදිරිපත් වෙන්න ඕනෑ. ඒ සඳහා නිපුණතාවක් ඇති පිරිසක් මේ ක්‍රියාවලියට එක් කරගත යුතුයි. අනෙක: බොහෝ අයට මේ දේවල් ඉක්මනින් මතක නැති වෙනවා; නැති නම් මතක නැති කරනවා. අපට ඕනෑ මේ ප්‍රශ්නය අවසන් වන තුරු ජනතාව හා බලධාරීන් අවදියෙන් තැබීමටයි. ‍මේ සියලු කරුණු සහිතව අප යම් ප්‍රතිපත්ති මාලාවක් සම්පාදනය කිරීමට බලාපොරොත්තු වනවා. ඒවා රජයටත් ඉදිරිපත් කරනවා. මේ අනුව නිසි ලෙස ක්‍රියා නොකළ හොත් අප දැඩි පියවරක් ගැනීමට ඉඩ තිබෙනවා.

අදහස්