අත්හරින්නට ම කැපුණු පාර | සිළුමිණ

අත්හරින්නට ම කැපුණු පාර

 

වෙසක් පුන් පොහොය උදාවීමට ඇත්තේ දින කිහිපයකි. බට කපන, වේළන, බල්බ් වැල් හදන, තොරන් සැකිලි ලහි ලහියේ ගසන වෙනදා මේ වැනි කාලය අද අවිනිශ්චිත බවෙන් හා භිතියෙන් ඇලළී ගොස් ය. පරිසරය පවා සැරසී සිටින්නේ තුෂ්ණීම්භූත වෙසකිනි. අතහැරීම උගන්වන දර්ශනයක් ගුරු කොට ගත් රටක තව තවත් බැඳීම් බලාපොරොත්තුවෙන් ජීවිතය පුදන අන්තවාදීන් පිරිසක් විසින් සැනසීම උදුරා ගෙන තිබේ. ඉදින් වෙසක් මංගල්‍යය ආමිස දානයෙන් ඔබ්බට ගිය ප්‍රතිපත්තිමය දානයක් බවට පත් කර ගැනීමේ ක්‍රියාවලියට සමාජයෙන් ම, පැවැත්මෙන් ම අවැසි දෑ සම්පාදනය කර ඇත්තේය.

වෙසක් පොහොය එළිපත්තේ සිටිමින් සමාජ වාතාවරණය නිසාම හටගත් වික්ෂෝපය ඔස්සේ නිර්මාණකරණයේ රන්සුනු සොයා යන්නට ගත් මාර්ගය අත්හැරීමෙන් ම අරඹන්නට සිතුවෙමි.

මරණය අප සැමට පොදු දෙයකි. බුද්ධිමත් යැයි කියා ගන්නා මිනිස් සත්ත්වයාට මෙන්ම සෑම සතතුට ම, සෑම ගසකට ම, සෑම ජීවී දෙයකට ම මරණය හිමි ය. මරණය පැමිණියේ කොතනින්ද? පිළිතුරු සපයන්නට වෙන්නේ කවුරුත් ම දන්නේ නෑ කියාය. බුදුන් වහන්සේ පවසන්නේ ද සෙවීමෙන් පලක් නැති කාරණා සෙවීමට වෙහෙස වීම පලක් නැති බව ය. මරණය ගැන බුදුන් වහන්සේ තරම් මතක් කළ අන් කිසිවෙක් නැත්තේ ය. දම්පියාව වෙත අවධානය යොමු කළ මැනවි.

න අත්තලික්ඛේ න සමුද්ද මජ්ඣේ

න පබ්බතානං විවරං පවිස්ස

න විජ්ජති සෝ ජගතිප්පදේසෝ

යත්ථට්ඨිතං නප්පසහේථ මච්චු.

එහි සරල සිංහල අර්ථය මේ ආකාරය මහ සමුදුරේ අහස් කුසේ, කඳු කුහරයක හෝ අන් කිසිතැනක රුදු මාර මුඛයෙන් මිදෙන තැනක් ගැන කිසිවෙක් නොදනිති.

මහා කවි විලියම් ශේක්ස්පියර් සිය සුප්‍රකට හැම්ලට් නාට්‍යයේ කියන්නේ ද ජීවත්වන හැම දෙනාම මිය යා යුතු බව ය. එහෙත් මේ මහා නිර්මාණකරුවා ම සිය ඇන්ටනී හා ක්ලියෝපැට්රා නාට්‍යයේදී කීවේ. “මරණය නැමැති රහස් ගෙයට හදිසියේ කඩාවැදීම පාපයක්” බව ය. එසේනම් ශේක්ස්පියර්ට අනුව මැරුණත් මැරෙන්නට එතරම් හදිසි විය යුතු නැත.

එහෙත් රුබයියාට් කාව්‍යය කළ ඕමාර් ඛයියාම් කියන්නේ කුමක්ද?

“ඉන්නකම් සැපෙන් ඉන්න. ණය වී හෝ ගිතෙල් කන්න. මේ භූතයාගේ සිරුර දැවුණු පසු ආයෙත් ඒමක් නම් නැත”

ණය වී හෝ කන්නට කියන්නේ ගිතෙල්ය. එකල ගිතෙල් අධි සුඛෝපභෝගී කෑමක් වන්නට ඇත. මෙකල නම් ගිතෙල්වලට වඩා වටිනා රස කෑම තිබේ. දිනෙන් දින ඇරෙන වැහෙන හෝටල්වල කන්නට තිබෙන නා නා ප්‍රකාර දේ ඛයියාම් දුටුවා නම් ඔහුට මෙවැනි කවි ලියැවෙන්නේ නැත. උඩින් මත්තෙන් ඛයියාම් කියෙව්වා යැයි මට දෝස් මුරයක් ඒමට ඉඩ තිබේ. තත්වාරෝපිත ලෙස එසේ කීවත් ඕමාර් ඛයියාම් යනු ජීවිතය ගැඹුරින් දුටු, ජීවිතය පිළිබඳ හැදෑරූ දර්ශනිකයකු බව නොකියා බැරිය. ‘රුබයියාට්’ අධ්‍යයනය නොකර ලෝක නිර්මාණ සාහිත්‍ය ගැන කතා කිරීමට ද නොහැකිය.

මරණයට ඔච්චම් කළ, මරණය පයිසයකටවත් ගණන් නොගත් කලාකරුවකු ද අපට සිටී. ඒ මහගමසේකර ය; සියවස් ගණනාවකටත් එහා ජීවිතය විනිවිඳ දුටු අපේම නිර්මාණකරුවා ය.

 

කපා වළක් යන පාරේ වසන්නේ

උපා නොයෙක් මරුවැල් බැඳ තබන‍්නේ

දෙපා වළේ පැටලී ඇද වැටෙන්නේ

දපා වළේ උඩු බැල්ලෙන් නිදන්නේ

 

වළේ වැටුණු කල නෑ ගොඩ අදින්නේ

කුලේ සැවොම වළ වට කර නටන්නේ

වළේ දමා පස් තද කර අඬන්නේ

මලේ එවිට හිනහෙන්නට වරෙන්නේ

 

මරණයට හිනා වෙන්නට එහෙමත් මිනිහෙකුට බැරිය, එය එවැනි ම නිර්මාණකරුවකුට පමණක් කළ හැක්කක් විය යුතුය.

අප ඉතා ළාබාල අවදි‍යේ සිටියත්, ජීවිතය අති රමණීය යැයි සිතෙන තරුණ වියේ සිටියත්, ජීවිතය ගැන කෙමෙන් ආසාව අඩුවන මහලු වියේ සිටියත්, පැල්පතක ජීවත් වුවත්, මහා මන්දිරයක ජීවත් වුවත් මරණය අපේ ජීවිතයේ එක් අංගයකි. එය ආදරය වේදනාව, බඩගින්න, සතුට, සැකය ආදී මේ ඕනෑම දෙයක් සේ ජීවිතයේ එක් අංගයකි.

එහෙත් මරණය ජීවිතයේ කොටසක් සේ දකින්නට අපි අකැමැති වෙමු. ජීවිතයත්, මරණයත් අතර කාල පරතරයක් ඇති වන පරිද්දෙන් මරණය කල් දැමීමට; එය අප කෙරෙන් හැකිතාක් ඈත් කර දැමීමට අපට වුවමනා වෙයි.

ඒ නිසා ම ය අප මේ ව්‍යසන, කරදර, පහරදීම් ආදී සියල්ලට මේ තරම් බිය වනු‍යේ. නිර්මාණකරණයේ රන්සුනු සොයමින් යන අප මේ සියලු සංසිද්ධි අබියස සිතිය යුතු කාරණයක් වෙයි. ඒ මේවා සියල්ල ජීවිතයේ කොටස් සදිසි වන්නා සේම නිර්මාණවල කොටසක් ද වන බවයි. ඒ සත්‍යය වටහාගත්තේ නම් මේ සියල්ල ම අතර නිර්මාණකරණයට අවැසි දෑ තෝරා ගන්නට ඔබට අපහසු නොවනු ඇත.

[email protected]

අදහස්