කෙටි කතාව | සිළුමිණ

කෙටි කතාව

“ඒ ඉන්නෙ එයාමද? නෑ නෑ ඒක කීයටවත් වෙන්න පුළුවන් දෙයක් නෙමයි. එයා වගේ වෙන කෙනෙක් වෙන්න ඇති. එක වගේ හත් දෙනෙක් මේ ලෝකෙ ඉන්නවලු ....”

නොයිවසිලිවන්න සිතිවිලි අතරෙ මම මගේ හිත එක් තැන් කර ගන්න යෙදුණෙ ආයාසකර ව්‍යායාමයක. හිත හීලෑ කරගන්න තියෙන අමාරුවක්. ඔළුවත් කැරෙකෙනවා වගේ. හදවතත් බොහොම වේගයෙන් ගැහෙන්න පටන් අරන්.

“මං එයාව අමතක කරලා බොහොම කල්. ඒකි ඉන්නවද නැද්ද කියලා වත් මං දන්නෙ නෑ බං”

ඉඳ හිට ඇය ගැන මතක් කරන යාළුවන්ට මං දුන්නෙ ඒ වගේ උත්තරයක්. කලාතුරකින් එයා ගැන හොයා බලන්න හිතුණත්, ඇගේ මතකයන් හිතට එද්දිම අමතක කර දාන්න මට දැන් පුළුවන්.

කාලය හැමදේම බොහොම අපූරුවට විසඳලා දීලා තියෙනවා. ඒත් ඉඳලා හිටලා පරණ පින්තූර ගොඩ අස්සෙ තියෙන එයාගෙ පින්තූරයක් දෙකක් දිහා ටිකක් වෙලා බලන් ඉන්න මගේ හිත මට එපා කියන්නෙ නෑ. එයාගෙ හැඩරුව තියෙන කෙනෙක් මගතොටේදි, බස් එකේදි දැක්කොත් මගේ හිත චංචල වෙන්නෙ නෑ කියලා නම් මං කියන්නෙ නෑ. වැරදිලාවත් එයාව හමු වුණොත් හිතේ කොනක දුකක් පුරවාගෙන දවස ගෙවන්න වෙන්නෙ නෑ කියලත් මම කියන්නෙ නෑ. එයා මාව එපා කියලා යන්නම ගිහින් දැන් අවුරුදු පහකටත් වැඩියි. එයා ගියාට පස්සෙ මගේ ජීවිතේට කාටවත් ඇතුළු වෙන්න මම ඉඩ නොදුන්නෙ මගේ ජීවිතේට තව කෙනෙක් අවශ්‍ය නොවුණු නිසා.

“ගිය අය ගැන හිතලා දුක්වෙලා දැන් වැඩක් නෑ. ඒකි වෙන කොල්ලෙක්ට තුරුලු වෙලා ඉන්නවා දැක්කා කියලත් උඹ ම නේද කිව්වෙ. දැන් වෙන අතක් බලන්න කාලෙ හරි ”

එයා ආයෙ එයි කියලා මම බලන් ඉන්නවා කියලා යාළුවො හිතුවත් ඇත්තට ම මම මේ තනිකමට ආස කළා. විටින් විට මගේ හිතට එයා ඇවිත් හොල්මන් කරලා ගියත් එයා ගැන කිසිම බලාපො‍ෙරාත්තුවක් මට තිබුණෙ නෑ. මං මගෙ ජීවිතේ හොඳ ම කාලය වෙන් කළේ එයා වෙනුවෙන්. එයාට ජීවිතේ දෙන්න, මේ ලෝකයෙ එයාට ම තැනක් හදා දෙන්න මම හැකි උපරිමෙන් උත්සාහ කළා. ඒත් අන්තිමේදී එයා මාව හැරදාලා ගියේ බොහොම අකාරුණික විදියට.

ඇතිතරම් ආදරය, සෙනෙහස, රැකවරණය මං ගාව තිබුණට, දුකක් නොදී බලා ගන්න හැකියාවක් තිබුණට ලස්සන ගෙයක්, අලුත් වාහනයක් මට තිබුණෙ නෑ. එයාම කියපු විදියට එයා වගේ ලස්සන කෙල්ලකුට ඒවා තියෙන කොල්ලෙක් හොයා ගන්න අමාරු නෑ. ඒ නිසා එයා මගේ ආදරය එපා කියලා සල්ලි බාගෙ, යාන වාහන තියෙන කෙනෙක් හොයන් යන්න ඇති. එයාට හොඳක් වෙනවා නම් එච්චරයි. එයාගෙ සතුට වෙනුවෙන් පරාජය බාර අරන් නිහඬ වෙන්න මම තීරණය කළා. දැන් එයා සතුටින් ඇති.

අතීතය, වර්තමානය, අනාගතය අතරේ මගේ සිතිවිලි ඔහේ විසිරෙනවා. නිවාඩු දවස නිසා යාළුවෝ සේරම ගමේ ගිහින්; මුළු බෝඩිම ම පාළුව වෙලා ගෙන. හදවතෙන් නැඟෙන වේගව‍ත් රිද්මය මට දැනෙන්නෙ හිරිගඩු පිපිලා ඇගට දැනෙන සීතලත් එක්ක. එයා හොඳට ඉගෙනගත්තු දැනුම් තේරුම් තියෙන කෙල්ලෙක්. එයා මේ වගේ දෙයක් කරගන්න තරම් මෝඩ කෙල්ලෙක් නෙමෙයි. මේ එයාමයි කියන හිතම ආයෙත් කියන්නෙ මේ එයා නෙමෙයි කියලා.

සතුටක් දැනෙද්දි එයාගෙ මූණෙ මතුවන සිනාව; වේදනාවක් දැනෙන්දි එයාගෙ මූණ ඇඹුල් වෙන හැටි; අහඹු උණුසුම් හාදුවකදි ලජ්ජාවෙන් රතුවෙන මූණෙ තියෙන ප්‍රබෝධය මට තාමත් හොඳට මතකයි. අපි හමුවෙන්න එන හැම වෙලාවකමත් එයා ඇඳන් ආවෙ සුදු දිගු සායක් සහ ළා රතු ටී ෂර්ට් එකක්.

සිහින් සිරුරට තද වෙන ටීෂර්ට් එකෙන් යන්තමින් මතුවී පෙනෙන පියයුරු එයා හැඩකාර තරුණියක් බව කියා පෑවා. වැව අයිනෙ බංකුවක මං ගාව වාඩිවෙලා හීලෑ පූස් පැටියකු වගේ මට තුරුලු වන එයාගෙ හුස්ම වැටෙන හඬ මට තාමත් ඇගෙනවා වගේ.

කඩා දැම්ම ම සුළඟේ විසිරෙන, කොණ්ඩ බූලකින් හිර කරපු අකීකරු කොණ්ඩයක් එයාට තිබුණා. ආදරේ විඳින වෙලාවට එයා කළේ. කොණ්ඩ බූලය ගලවලා අතේ දාගන්න එක. විසිරෙන කොණ්ඩය අතරින් ඇඟිලි තුඩු යවලා එයාව උණුසුම් කරද්දි එයාගෙ ඇස්වල තිබුණු කාන්තිය මට තාමත් මැවිලා පේනවා. එයාගෙ ඉරියව් මගෙ ආත්මයට ම කා වැදිලා.

“මං ආසයි ඔයාව දකින්න”

විහිළුවට ඇගෙන් එවැනි ඉල්ලීමක් කළත් මමත් ආස කළේ ඇගේ බාහිර සුන්දරත්වය විඳින්න, ඇයට ඕන ආදරය දෙන්න. ඇගේ ශරීරය විඳින්න මට ඕන තරම් අවස්ථා තිබුණත් මට ඇගේ ගෞරවයට හානි කරන්න ඕන වුණේ නෑ. ඇයත් මගෙන් බලාපොරොත්තු වුණේ ඒ දෙය.

“මේ මදිද? ඇයි තව මොනවද බලන්න ඕන; ඕවට විතරක් එන්න එපා හරිද”

“ඇයි? මාව විශ්වාස නැද්ද?”

“නෑ අනේ, එහෙම නෙවෙයි. ඒවට තව කල් තියෙනවා. සමහර දේවල් දැන් ම පෙන්නුව ම අගයක් නැති වෙනවා. දන්නවද? ඔයා දකින්න ආස දේ තමයි කෙල්ලෙක්ට රැක ගන්න තියෙන වටින ම දේ. කෙල්ලෙක් ඒ විදියට දකින්න අවසර තියෙන එක ම පිරිමියා ඒ කෙල්ලගෙ තාත්තා විතරයි. ඒත් ඒ කෙල්ල පුංචි කාලෙ. උපන් ඇඳුමෙන් ගේ පුරා දුව පැන ඇවිදින පුංචි කෙල්ලෙක් ටිකක් උස් මහත් වෙද්දි පුංචි ගවුම් කොටයක් අන්දන ඕන ම තාත්තා කෙනෙක් අපූරු පාඩමක් කියා දෙනවා; ඒ අදින් පස්සෙ තාත්තාටවත් දූව එහෙම දකින්න බෑ කියලා; හංගගෙන ඉන්න දේවල් දුවකුට තියෙනවා කියලා. ඒ දේ තමයි ඔයා දකින්න ආසයි කිව්වෙ.

ඔයාට තේරෙනවද ඒක මොන තරම් වටිනවද කියලා. කෙල්ලෙක් තමන්ගෙ ආදරවන්තයා ඉස්සරහා හංගගෙන ඉන්න හැමදේම පෙන්නන දවසක් එනවා. ඒ තමයි මං ඔයාගෙම වෙන දවස. එදාට ඔයාට පුළුවන් ඇති තරම් මාව බලන්න. ඒ උතුම් දවස එනකල් නරක ළමයෙක් නොවී ඉන්න...”

ඒ හැඟීම්, ඒ ඉරියව්, ඒ සුන්දරත්වය, සොඳුරු උද්‍යානයක් වෙනුවට බිත්ති හතරකින් වටවෙලා මං ඉදිරියේ ධාවනය වෙමින් තිබුණා. මේ ගමන එයා කැමැත්තෙන් ආපු එකක්; ඒක එයා හැසිරෙන විදියෙන් මට හිතුණා. ඇය නඟන හිනාවෙ තිබුණෙ එහෙම හඬක්. මම මේ දකිමින් ඉන්නෙ එදා ඇය පරිස්සමට රැකගත් ඇගේ වටිනාකම නේද? මගේ හදවතට දැනුණෙ ඉවසිය නොහෙන වේදනාවක්.

“ඒ එයා ම තමයි. මේ හැම ඉරියව්වක් ම එයාගෙ”

“නෑ නෑ මේ එයා නෙමෙයි. එයා වගේ අහිංසක කෙල්ලකුට මෙහෙම වෙන්න විදියක් නෑ මං මේ වෙන කෙනකුට රැවටිලා”

ඒ එයා නම් දැන් මට දකින්න තියෙන්න අයිතිය මොකක්ද? ඒක දකින්න අවසර ඇගේ අතගන්න කෙනාට විතරයි.

ඒත් මේ වනවිටත් එය දහස් ගණනක් නරඹලා ඉවරයි. නිල් චිත්‍රපට වෙබ් අඩවියක තිබුණු මේ වීඩියෝව ළඟ මගේ නෙත් නතර වුණේ ඇයි කියලා මටම හිතා ගන්න බෑ. ඒක මං විශ්වාස කළෙත් බොහොම අමාරුවෙන්. මං හීනෙකින් නොහිතපු, කවදාවත් නොබැලිය යුතු ඒ වීඩියෝව පරිගණක තිරයේ දිග හැරෙමින් තිබුණා.

එත් මෙහෙම රැවටෙන්න පුළුවන්ද. මේ ගමන එන්න කලින් එයාට තව හිතන්න තිබුණා. ඒ නැතත් මේ එයා බලාපොරොත්තු වුණ දවස නෙමෙයි. ටිකක් ඉවසුවා නම් මේ දවස බොහොම ලස්සන වෙන්න තිබුණා. සමහර විට පෙම්වතාගෙ බල කිරීමට එයාට එකඟ නොවී ඉන්න බැරි වෙන්න ඇති. එහෙම නැති නම් පෙම්වතාව ඕනවට වඩා විශ්වාස කරන්න ඇති.

“මං ආසයි ඔයාව දකින්න”

මට අයෙත් ඒ ප්‍රශ්නය මතක් වුණා. එදා එයා දීපු උත්තරයට අද මොකද වෙලා තියෙන්නෙ. නෑ මේ එයා නෙමෙයි. එයා වගේම වෙන කෙනෙක්; ඒ එයා නෙමෙයි කියලා හිත හදාගන්න හැදුවත්;

එතන හිටියෙ තමාව නොපෙනෙන්න සියල්ල රූගත කළ වංචාකාරයකුට රැවටුණු අහිංසක කෙල්ලෙක්.

එයාට මෙහෙම වුණේ ඇයි. මං ගාව හිටිය නම් මලක් වගේ බලා ගන්න හිටපු කෙල්ල. එයා බොහොම පරිස්සමින් රැකගත්ත ගෞරවය දැන් කෝ? ඇයි මම තවත් මේක බලන්නෙ ?

“ඒ එයා තමයි” ඒ එයා නම් දැන් එයා මොනවා කරනවා ඇතිද? මේ ගැන එයා දන්නවා ඇත්ද? ඒ පෙම්වතා දැන් එයාව දාලා ගිහින් ඇති. එයා ගෙදරට, සමාජෙට මූණ දෙන්නෙ කොහොමද? පොඩි දුකක්වත් දරා ගන්න බැරි අහිංසක කෙල්ල. මේ බව දැන ගත්තොත් මොනවා කර ගනීද? මගේ හිත මේ කිසිම දෙයක් තේරුම් ගන්න බැරිව අතරමං වෙලා.

“නෑ ඒ එයා නෙමෙයි.”

මට තිබුණෙ එහෙම හිතන එක විතරයි. තමන්ගෙ ආදරවන්තයා විතරක් දැකිය යුතු කෙල්ලකුගෙ ආත්මය මුළු ලෝකයා ඉදිරියේ ම පෙනෙමින් තිබුණා. මට තවදුරටත් ඒ දිහා බලන් ඉන්න හැකියාවක් තිබුණෙ නෑ. මම පරිගණකය වසා දමන විධානය ක්‍රියාත්මක කළා. නැඟෙමින් තිබුණු වේදනාත්මක කෙඳිරිය යටපත් කරමින් පරිගණකය වැසී ගියා.

 

අදහස්