මගේ පෑන ඔබ සතු කඩු­ව­කට, රයි­ෆ­ල­ය­කට වඩා බල­වත් | සිළුමිණ

මගේ පෑන ඔබ සතු කඩු­ව­කට, රයි­ෆ­ල­ය­කට වඩා බල­වත්

කවර අන්දමේ නායකයකු වුව විවේචනය කළ හැකි තරමේ බහුශ්‍රැත ඥානයක් ද කුෂ්වාන්ත් සිංට තිබිණි. රට රටවල සංචාරය කිරීමෙන් ද, පොත පත කියවීමෙන් ද, විවිධ තරාතිරමේ පුද්ගලයන් ආශ්‍රය කිරීමෙන් ද ඔහු ඉතා පුළුල් දැනුම් සම්භාරයක් ඒකරාශි කරගෙන සිටියේ ය. ඒ දැනුම් සම්භාරය විවිධ විෂයයන් ස්පර්ශ කරන ලද්දකි.

ඉන්දීය ජාතික කුෂ්වාන්ත් සිං ග්‍රන්ථ කර්තෘවරයෙකු, නීතිඥයකු, රාජතාන්ත්‍රිකයකු, මාධ්‍යවේදියකු සහ දේශපාලනඥයකු හැටියට කටයුතු කළ කෙනෙකි. එහෙත් කුෂ්වාන්ත් සිං නාමය සමඟ අනවරතයෙන්ම බැඳී පවතින්නේ ඔහුගේ ගත් කතුකම සහ ඔහුගේ මාධ්‍යය භූමිකාවයි.

සාහිත්‍යයෙහි ප්‍රිය ලෝක වාසීන්ගේ ඇස කුෂ්වාන්ත් සිං නැමැති ලේඛකයා දෙසට යොමු වන්නේ ඔහු අතින් නිමැවුණු "ට්‍රේන් ටු පාකිස්තාන්" (Train to Pakistan) කෘතිය නිසයි. මේ කෘතිය රචනා වූයේ ඉන්දීය සහ පාකිස්තාන ඉතිහාසයේ සුවිශේෂ අවධියක ය. එනම්, පාකිස්තානය සහ ඉන්දියාව වශයෙන් ස්වාධීන රාජ්‍ය දෙකකට, ඉන්දියාව 1947දී බෙදී වෙන් වීමෙන් පසුව යි. එකී කාරණය සැලකිල්ලට ගෙන විමසීමේදී "ට්‍රේන් ටු පාකිස්තාන්" කෘතිය එක් පැත්තකින් ඓතිහාසික නවකතාවක් හැටියට සලකන්නට හැකිය. එසේ වුවත්, එවක සමාජයේ පැන නැඟී තිබුණු දේශපාලන වටපිටාව පමණක් එමඟින් විවරණය වන්නේ යැයි සිතීම වරදකි. ඉන්දියාව තවත් ස්වාධීන රාජ්‍යකට බෙදී වෙන්වීම නිසා සාමන්‍ය ජනතාවගේ චිත්තාභ්‍යන්තරයේ හට ගත් ප්‍රබල ආවේග ගැඹුරින් හාරා අවුස්සා ඒවා යථාර්තවාදී ව සහ තාත්විකව ඉදිරිපත් කිරීමට කුෂ්වාන්ත් සිං බොහෝ වැර දරා ඇති බව උක්ත කෘතියෙන් තහවුරු වේ. හින්දූන්, මුස්ලිම්වරුන් සහ සික්වරුන් අතර එවක පැවැති භීෂණය පමණක් නොව ඔවුන්ගේ විශ්වාස, ඇදහිලි, සමාජ සම්මතයන්, අගනාකම් යනාදී බොහෝ දෑ අපූර්වත්වයෙන් යුතුව සිතුවම් කරන්නට කුෂ්වාන්ත් සිංට එහිදී හැකියාව ලැබී ඇත. සමාජ යතාර්ථයවාදය තාත්විකව ඉස්මතු කිරීමට ඔහු සතුව තිබූ නිර්භීත හැකියාව "ට්‍රේන් ටු පාකිස්තාන්" නවකතාවෙන් පමණක් නොව කුෂ්වාන්ත් සිංගේ අනෙක් කවර ලේඛනයකින් වුව මැනැවින් විෂද වේ. එනිසා ඔහු යතාර්ථය තාත්විකව දුටු නිර්භීත මෙන්ම දැඩි විප්ලවීය අදහස් දැරූ ලේඛකයකු හැටියටත් හඳුන්වන්නට පුළුවන.

සමාජ යථාර්ථවාදය ඉස්මතු කිරීමට ඔහු සතුව පැවැති අපමණ හැකියාව, ඔහු කෙරෙන් පළවූ නිර්භීතකමෙන් හැඩලා, ඔපලා බැබලුණේ ය. ඉන්දීය සමාජය තුළ සිටි ප්‍රකට දේශපාලනඥයෝ, කලාකරුවෝ, නන් විධ නාමධාරීහු ඔහුගේ පෑන් පහරින් නිර්දය විවේචනයන්ට ලක් වූහ. 1995දී ඔහු රචනා කළ "වුමෙන් ඇන්ඩ් මෙන් ඉන් මයි ලයිෆ්" (Women and Men in My Life) කෘතිය මහත් වුවමනාවෙන් පරිහරණය කරන කෙනෙකුට එවැනි සාහසික පෑන් පහරවල් ගෝණි ගණනින් හමුවනු නිසැක ය. බොලිවුඩ්හි ප්‍රකට නළුවකු වූ ධර්මේන්ද්‍ර ගැනත් ප්‍රකට තීරු ලිපි රචිකාවක වූ දෙව්යානි චෞබාල් ගැනත් ඔහු එහි සඳහන් කර තිබුණේ මෙපරිද්දෙනි.

"... ධර්මේන්ද්‍ර සුප්‍රකට හින්දි නළුවෙකි. ඔහු පුංචි පහේ "පට්ටි ආරච්චි" කෙනකු හැටියට පතළ වී සිටියා සැබැයි. එහෙත් දෙව්යානිගේ හෙළිදරව්වෙන් පසු හෙතෙම "පට්ටි රජකු" ලෙස දනන් තුඩ තුඩ රැව් දෙන්නට විය. ඔහු රඟපාන ගමන් ගෙදර ගොස් තම නිත්‍යානුකූල භාර්යාවගේ යහන ගැබේදී "හෝම්වර්ක්" කරන්නට පෙරාතුව, චිත්‍රාගාරයේදීම අහුමුල්ලකට කැරගෙන නැඟී එන සිනමා තාරකා පැංචියන් දෙතුන් දෙනෙකුටම අත දිගහැර සිනමා ලොව ආශ්චර්යය පෙන් වූ හැටි ඇය ලුණු ඇඹුල් ඇතිවම විස්තර කොට තිබිණි. මෙයින් ධර්මේන්ද්‍ර සානුකම්පිතව සසලව ගියේය. ..."

දෙව්යානි, ධර්මේන්ද්‍ර ගැන ලුනු ඇඹුල් ඇතිව කළ විස්තරයට වඩා කුෂ්වාන්ත් සිං ධර්මේන්ද්‍ර, "පට්ටි රජකු" බව ඍජු ව ම ප්‍රකාශ කිරීම සැර වැඩිදැයි කියා කෙනකුට සිතෙන්නට පුළුවන. එහෙත් එය කුෂ්වාන්ත් සිංට ආවේණික රචනා ශෛලියයි.

කවර අන්දමේ නායකයකු වුව විවේචනය කළ හැකි තරමේ බහුශ්‍රැත ඥානයක් ද කුෂ්වාන්ත් සිංට තිබිණ. රට රටවල සංචාරය කිරීමෙන් ද, පොත පත කියවීමෙන් ද, විවිධ තරාතිරමේ පුද්ගලයන් ආශ්‍රය කිරීමෙන් ද ඔහු ඉතා පුළුල් දැනුම් සම්භාරයක් ඒකරාශී කරගෙන සිටියේ ය. ඒ දැනුම් සම්භාරය විවිධ විෂයයන් ස්පර්ශ කරන ලද්දකි. ඉතිහාසය, දර්ශනය, දේශපාලනය, කාලීන ගැටලු, කලාව යනාදී විෂයයන් ගැන පමණක් නොව ගැහැනු ගැට සහ මායම්, පිරිමින්ගේ නොපනත්කම්, ස්ත්‍රී - පුරුෂ සම්භෝගය, විප්‍රයෝගය යනාදී එකී මෙකී නොකී කාරණා මුල් කරගෙන ඔහු නොලියූ දෙයක් නැත. විටෙක ඒවා තුළ තිබුණේ ගැඹුරු එහෙත් තුලනාත්මක විග්‍රහයන් ය. තවත් විටෙක ප්‍රහසනයත්, උපහාසයත් ඒ ලියැවිලිවලට කාවද්දවා තිබිණ. පාට, පක්ෂ, ජාති ආගම්, භේදය නොතකා, හරි තැන ඔහු ඔහුගේ දබර ඇඟිල්ල එස වූයේය.

කුෂ්වාන්ත් සිං, ඉන්දිරා ගාන්ධි හිටපු අගමැතිවරියගේ හිතවතෙක් සහ අනුගාමිකයෙක් වූයේ ය. මේ සමීපස්ථ බව ඛුෂ්වාන්ත්ගේ ස්වාධීනත්වයට බාධාවක් වී යැයි කියා කෙනකුට සිතෙන්නට පුළුවන. එසේ වුවත්, ඉන්දිරා ගාන්ධිගේ දරදඬු තීරණ විවේචනය කරන්නට ඔහු කිසිදාක මැලි වුණේ නැත. එකී කාරණය කැපී පෙනෙන්නේ ඉන්දිරා ගාන්ධි, සික්වරුන්ගේ ආගමික මධ්‍යස්ථානයක් වූ අම්රිත්සාර්හි රන් දෙවොලට ප්‍රහාරයක් එල්ල කිරීමට සිය හමුදාවන්ට අණ දීමත් සමඟයි. සිං කෙනකු වූ කුෂ්වාන්ත්, අගමැතිනියගේ මේ තීරණය සමඟ කොහෙත්ම එකඟ වූයේ නැත. එනිසා ඉන්දිරා ගාන්ධිගේ දැඩි තීරණයට එරෙහි විවේචනයන් ඔහුගේ පෑනෙන් එක්තැන් වූයේය. අගමැතිවරිය මේ විවේචන කිසිවක් භාර ගත්තේ නැත. 1984 ජුනි 1වැනිදා සිට 8 වැනිදා දක්වා වූ කාලයේදී රන් දෙවොලට ප්‍රහාර එල්ල කරමින් නිල් තරු මෙහෙයුම (Operation Blue Star) ක්‍රියාත්මක කෙරිණ. එය ඉන්දීය ඉතිහාසයේ තවත් එක් අඳුරු අවස්ථාවක් හැටියට හඳුන්වන්නට ද පුළුවන. මෙහෙයුමෙන් රන් දෙවොලට නොසෑහෙන හානි පැමිණියේ ය. එහි ප්‍රතිඵලය කොතරම් භයානක වී ද යත් 1984 ඔක්තෝබර් 31වැනිදා සික්වරුන් දෙදෙනෙකු අතින් ඉන්දිරා ගාන්ධි ඝාතනය වීම දක්වා එය දුර දිග ගියේ ය. එකල භාරතීය දේශපාලනයේ වැරදුණු බොහෝ තැන්වලට මුල් වූයේ ඉන්දිරාගේ දරදඬු පාලනය බව ඔහු සිය ස්වයං චරිතාපදානය රචනා කරමින් පසු කලෙක නොපැකිලව සඳහන් කර තිබිණ.

සික්වරුන්ගේ අන්තවාදී ක්‍රියා පිළිවෙල පවා කුෂ්වාන්ත් සිංගේ දැඩි විවේචනයට ලක් වූ අවස්ථා ඇත. එවැනි අවස්ථාවලදී ඔහු සිය විවේචනයන් ඉදිරිපත් කළේ ජීවිතය පවා පරදුවට තබමිනි. "ඛලිකස්තාන්" නමින් වෙනම රාජ්‍යයක් ඉල්ලා අන්තවාදී සික්වරුන් පිරිසක් එක්දහස් නවසිය අසූව දශකයේදී ගෙන ගිය අරගලය පිටුදකිමින් කුෂ්වාන්ත් සිං කළ විවේචන ඒ සික් අන්තවාදීන්ගේ කෝපය ඇවිලීමට හේතුවක් විණ. අවසානයේදී ඔවුහු කුෂ්වාන්ත් සිංට මරණ තර්ජන එල්ල කරන්නට පටන් ගත්හ. තමන්ට මරණ තර්ජන එල්ල වනවිට කුෂ්වාන්ත් සිං ප්‍රසිද්ධියේ පළ කර සිටියේ මෙවැන්නකි.

‘‘.... පහුගිය සතියේ දවසක මට මුද්‍රිත පත‍්‍රිකාවක් තැපෑල් මාර්ගයෙන් ලැබුණා. ඒකෙන් කියැවුණේ එවැනි පත්‍රිකා ලබන සියලුදෙනාත්, එම අයවලුන්ගේ පවුල්වල පිරිසත් ඛාලිකස්ථානයේ සතුරන් හැටියට හඳුනාගෙන ඇති බවක්. එනිසා ඒ පිරිස් දින දහයක් ඇතුළත ඔවුන් මරා දමන බවත් එහි දැක්වුණා.

මෙයට පෙර අවුරුදු හතරක් තිස්සේ දුරකතනයෙන් හෝ තැපෑලෙන් හෝ මෙයට සමාන මරණ තර්ජන මට විටින් විට ලැබී තිබෙනවා. ඒත් මුද්‍රිත තර්ජනයක් මට ලැබුණු මුල් වතාව මෙයයි. ඒ වගේම නිශ්චිත දින ගණනක් ඇතුළත මා මරා දමන බවට සඳහන් වුණු පළමු අවස්ථාවත් මෙයයි. මෙයට පෙර සිදුවුණේ පරුෂ වචනයෙන් මට බැන වැදී අවසන් ගමනට සූදානම් වන්නැයි දැනුම් දුන්නා පමණයි.

මේ තර්ජන මැද නොසැලෙමින් හා නිදි වරමින් මගේ වැඩ ටික කරගෙන යන්න මා පුරුදුව සිටිනවා. මගේ වයසේ හැටියට රෝගාතුර වී මාස ගණනක් රෝහල්ගතව සහ ඔත්පලව හිඳ මිය යනවාට වඩා ඉක්මන් මරණයක් ලැබුණොත් ඒකට මමත් හුඟක් කැමතියි. ඒ විතරක් නොවෙයි, ඒ අන්දමට මා මරා දැමුවොත් මා වෘත්තියට දිවි පිදු වීරයකු ද වෙනවා. සික්වරයකු වුණත් මා තරමක බියගුල්ලෙක්. මගේ ඝාතකයන් වන්නට කුරුමානම් අල්ලන උදවිය දන්නවා; හරියට තර්කයක් හා වාදයක් දිනා ගන්නට බැරි කෙනකුගේ අවසාන තර්කය වෙඩි උණ්ඩය බව.

මා මුල සිටම විශ්වාස කළේත්, ප්‍රසිද්ධියේ කියා සිටියේත් සික් ධර්මයේ හා සංස්කෘතියේ හරයන්ට ඛාලිකස්ථාන සංකල්පය මුළුමනින්ම විරුද්ධ හා නොගැළපෙන බවයි. කිසිවකුගේ නිර්නාමික තර්ජන හේතු කරගෙන මගේ මතය දැරීම හා එය පළ කිරීම මා නතර කර දමන්නේ නැහැ. ඔබට දැන ගන්නට ඕනෑ නම්, මට ඔප්පු කර පෙන්වන්න පුළුවන්; මගේ පෑන ඔබ සතු කඩුවකට, රයිෆලයකට හෝ කලශ්නිකෝෆ් තුවක්කුවකට හෝ වඩා බලවත් බව.

මේ මුද්‍රිත තර්ජන පත‍්‍රිකාව එක් අතෙකින් මා සන්තාපයට පත් කළා. මෙවැනි පත‍්‍රිකාවක් මට පමණක් එවන්නට එය මුද්‍රණය කළ යුතු නැහැ. සිය ගණනක්, සමහර විට, දහස් ගණනක් තවත් අයට මෙහි පිටපත් යවා ඇති. මේ තර්ජනකරුවන්ගේ ඝාතන ලැයිස්තුවේ මා සිටින්නේ පහළට වන්නට විය යුතුයි. එනිසා මට වඩා වැදගත් ඉලක්කයන් බිලි ගත්තාට පසුව ඔවුන් මා හඹා එනු ඇති. මෙය මගේ ආත්මාභිමානයට පහරක්. කාගේවත් ඝාතන ලැයිස්තුවකට මා ඇතුළත් කරනවා නම් මා කැමතියි එහි මුලින් ම, ඉහළින් ම සිටින්නට. මගේ සැඟවුණු ඝාතකයෝ මට මේ අවසාන ගෞරවය ලබා දෙනු ඇතැයි මා සිතනවා. ....’’

කුෂ්වාන්ත් සිං නැමැති ලේඛකයාගේ සහ මාධ්‍යවේදියාගේ නිර්භීත බව අවබෝධ කරගන්නට ඔහුගේ ඒ වචන ප්‍රමාණවත් ය.

කුෂ්වාන්ත් සිං 1915 අගෝස්තු 15වැනිදා මොලොව එළිය දුටුවේ පන්ජාබ් ප්‍රාන්තයේ ඛුෂාබ් දිස්ත්‍රික්කයේ හදාලිහි සික් පවුලක ය. මේ ප්‍රදේශය අද පාකිස්තානයට අයත්ව ඇතත් එදා එය ඉන්දියාවේ ම කොටසක් විණ. ඉන්දියාවේ දිල්ලි නුවර රජයේ පාසලෙනුත්, පකිස්තානයේ ලාහෝර් නුවර ස්ටීවන් කොලිජියෙනුත්, බ්‍රිතාන්‍යයයේ ලන්ඩන් නුවර කිංග්ස් කොලිජියෙනුත් අධ්‍යාපනය ලද හෙතෙම පළමුවෙන් පිවිසියේ නීතිඥ වෘත්තියටයි. අට වුරුද්දකට පසු එතැනින් රාජතාන්ත්‍රික සේවයටත් අනතුරුව එය ද හැරපියා මාධ්‍යයටත් හෙතෙම පිවිසියේ ය. කුෂ්වාන්ත් සිං මාධ්‍ය රස්සාවට පය ගසන්නේ 1951දී පමණ ය. ඒ මාධ්‍යවේදියකු හැටියට සමස්ත ඉන්දීය ගුවන් විදුලියට එක්වීමෙනි. ඉන්දියාවේ පළවන ප්‍රධාන පෙළේ ප්‍රවෘත්ති සඟරාවක් වන "දි ඉලස්ට්‍රේටඩ් වීක්ලි ඔෆ් ඉන්ඩියා" (The Illustrated Weekly of India) සඟරාවේ කතුවරයා ලෙස ඔහු පසු කලෙක කටයුතු කළේය. ජනප්‍රිය සංස්කෘතියට මුල්තැන දෙමින් ඒ සඟරාව ඉදිරියට රැගෙන ඒමට ඔහු වෙහෙස විණ. එහි ප්‍රතිඵලය වූයේ සඟරාවේ අලෙවිය පිටපත් 65,000 සිට හාර ලක්ෂය දක්වා වැඩි වීමයි. සඟරාව අලෙවියේ මුදුන් හිණිපෙත්ත දක්වා ගමන් කරමින් තිබියදී එහි කර්තෘවරයා ඉවත් කරන්නට කළමණාකාරීත්වයට අවශ්‍යය විණ. එම තීරණයට ගරු කරමින් කුෂ්වාන්ත් සිං තනතුරෙන් ඉවත් වූයේ ය. අභිනවයෙන් පත් වූ කතුවරයා යටතේ "දි ඉලස්ට්‍රේටඩ් වීක්ලි ඔෆ් ඉන්ඩියා" සඟරාව දියුණු කරගන්නට කළමනාකාරීත්වය සමත් වූයේ නැත. එනිසා එහි අලෙවිය නොසෑහෙන ලෙස පහළ වැටෙන්නට පටන් ගත්තේ ය. "දි ඉලස්ට්‍රේටඩ් වීක්ලි ඔෆ් ඉන්ඩියා" සඟරාව මහජනයාට වඩාත් සමීපව වූයේ කුෂ්වාන්ත් සිං ගේ කර්තෘත්වය පැවැති අවධියේදී බව අදටත් අවිවාදයෙන් පිළිගැනේ.

උතුරු ඉන්දියාවේ ප්‍රබල පුවත්පතක් වන "හින්දුස්ථාන් ටයිම්ස්" (Hindustan Times) පුවත්පතේ කතුවර ධුරය තුන් වසරකට ආසන්න කාලයක් දැරුවේ ද කුෂ්වාන්ත් සිං ය. ඉන්දියාවේ ප්‍රකට ව්‍යාපාරික පවුලක් වන බිර්ලා පවුල, එහි හිමිකරුවෝ වූහ. "හින්දුස්ථාන් ටයිම්ස්" පුවත්පත ඉන්දීය දේශපාලනයට විශාල බලපෑමක් කළ හැකි පුවත්පතකි. "හින්දුස්ථාන් ටයිම්ස්" පුවත්පත ඉන්දීය දේශපාලනයේ සහ හිමිකරුවන්ගේ බලපෑම්වලින් මුදාගෙන සෑහෙන දුරට ස්වාධීන තත්ත්වයකට පමුණුවන්නට දායකත්වය දුන් කතුවරයකු හැටියට කුෂ්වාන්ත් සිං ගෞරවයට ලක් වේ. මේ පුවත්පතේ කතුවරයා ලෙස තෙවන සේවා දිගුව ලබන විට කුෂ්වාන්ත් සිංගේ වයස අවුරුදු 69ක් පමණ වී යැයි සඳහන් වේ. විශ්‍රාම ගන්නට කල්පනාවක් නැත්දැයි කියා හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පතේ බලධාරීහු ඒ අවස්ථාවේදී කුෂ්වාන්ත් සිං ගෙන් අසා ඇත. ඔහු ඊට පිළිතුර වශයෙන් දී ඇත්තේ " ... මම විශ්‍රාම ගන්නේ මගේ නිසල දෙණ ගිනි අවුළුවන්නට රැගෙන යන විටදී " යැයි පවසමිනි. ලේඛනයෙහි යෙදෙන විට ඔහු එතරම්ම ධෛර්යය සම්පන්න ලේඛකයකු සහ කතුවරයකු විණ. එහිදී ඔහුගේ නිර්භීත බව ද අසමසම ය.

සික් ආචාර ධර්මවලට අනුගත ස්වභාවයක් කුෂ්වාන්ත් සිං ගේ බාහිරෙන් පෙනුනත් ඔහු සමාජයේ කටයුතු කළේ අදේවවාදියකු ලෙසනි. " ... දෙවියන් කෙරෙහි විශ්වාසය නැති කෙනකු ඉතා ධර්මිෂ්ඨ පුද්ගලයකු වන්නටත්, දෙවියන් කෙරෙහි විශ්වාසය තැබූ කෙනෙකු අශික්ඛිත දුර්ජනයකු වන්නටත් පුළුවන්. මම පෞද්ගලිකව අදහන ආගමේ දෙවි කෙනකු නැත.! ..." යනුවෙන් විටෙක ඔහු පවසා ඇත.

අඩ සියවසකට අධික කාලයක් ලේඛනයෙහි යෙදෙමින් කෘති අසූවකට ආසන්න සංඛ්‍යාවක් ලියා පළ කරන්නට ඔහුට හැකි විණ. මවිතයට කාරණය, ජීවිතයේ අවසන් කාලය එළඹෙන තුරුම - එනම් අනූ අට හැවිරිදි විය වන තුරුම ඔහු හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පතට තීරු ලිපි සම්පාදනය කිරීමයි. ස්වාභාවික හේතු මත 2014 වසරේ මාර්තු මස 20වන දා අවසන් නින්දට වැටෙන තුරු ඔහු හොඳ සිහි කල්පනාවෙන් සහ නොසැලුණු ධෛර්යයකින් පසු වූයේ ය. තම සොහොනේ ඵලකය මත සටහන් කළ යුත්තේ කවරක්දැයි කියා ජීවිතයේ කිසියම් අවස්ථාවකදී හෙතෙම කුරුටු ගා තිබිණ. එහි මෙසේ සටහන් වේ.

“මිනිසාව හෝ දෙවියන්ව හෝ නොසැලකූ කෙනෙක් මෙහි වැතිර සිටී;

ඔබේ කඳුළු අපතේ නොහරින්න, මන්ද ඔහු වධකාරයෙක් විය;

පිළිකුල් සහගත දේ ලිවීමෙන් ඔහු විනෝදයක් ලැබුවේය;

දෙවියන්ට ස්තුතිවන්ත වෙන්න, මේ තක්කඩියා මියගොස් ඇත!.

 

අදහස්