අගරදගුරුගෙන් ඇමැති සජිත්ට තුති | Page 2 | සිළුමිණ

අගරදගුරුගෙන් ඇමැති සජිත්ට තුති

ත්‍රස්ත ප්‍රහාරයෙන් විනාශයට පත් වූ කොච්චිකඩේ, ශාන්ත අන්තෝනි දේවස්ථානය, මීගමුව කටුවපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානය හා මඩකලපුව සීයෝන් දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ අගරදගුරු නිල නිවසේදී පසුගියදා ප්‍රගති සමාලෝචන රුස්වීමක් පැවැත්විණි.

එහි දී අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළේ ප්‍රතිසංසකරණ වැඩපිළිවෙළ ආරම්භ කළ සජිත් ප්‍රේමදාස ඇමතිතුමාට සිය අවංක ස්තූතිය පුද කරන බවයි.

“මේ වැඩපිළිවෙළ ආරම්භ කළේ එතුමාගේම කැමැත්තෙන්. එතුමා කිහිපවතාවක්ම මට දුරකතනයෙන් කතා කර දේවස්ථාන ප්‍රතිසංසකරණ වැඩපිළිවෙළ කඩිනම් කරන්න ඕනේ කියලා කිව්වා තැබුවා. එය ලොකු ගෞරවයක් ලෙස අප සැලකුවා. එතුමා ඉදිරිපත් වී එම කටයුත්ත කර දෙන්න කැමැත්ත ප්‍රකාශ කිරීම සහ මෙම වැඩසටහන වචනයට පමණක් සීමා නොකර එම වැඩේ ආරම්භ කර දැනටමත් කටයුතු කරගෙන යනවා. එය ලොකු දෙයක්. කොළඹ අගරදගරු පදවිය වෙනුවෙනුත්, කතෝලික ජනතාව වෙනුවෙනුත්, ඔබතුමාට අපගේ අවංක ස්තූතිය පුදකර සිටිනවා යැයි ද උන්වහන්සේ පැවසූහ.

කාලය ගත කර මෙයට සම්බන්ධවූ ආරක්ෂක අංශ ඇතුළු සියලු දෙනාට අවංක ස්තූතිය පුදකරන බවත් හැකි ඉක්මනින් එම දේවස්ථාන ප්‍රතිසංස්කරණය කර අලුත් පහසුකම් සහිතව නිර්මාණය කර දෙන්නට කටයුතු කිරීම ගැන සියලුම දෙනාට ස්තූතිය පුද කර සිටින බවත් උන්වහන්සේ පැවසූහ.

ත්‍රස්ත ප්‍රහාරයෙන් විනාශයට පත්වූ දේවස්ථානවල ප්‍රතිසංස්කරණ කටයුතු අගරදගුරුතුමන්ගේ, සහායක රදගුරුතුමන්ලාගේ සහ දේවස්ථානවල පියතුමන්ලාගේ ආශිර්වාද, උපදෙස්, නිර්දේශ හා සහභාගීත්වය මත සිදුවිය යුතු බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා එහිදී පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා “හානියට පත් දේවස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම අපගේ වගකීමයි. මේ සමඟ දිරිය නිවාස වැඩසටහන කාදිනල්තුමාගේ උපදෙස් මත එතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට පියවර ගන්නවා. කොච්චිකඩේ, සාන්ත අන්තෝනි දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු අදියර දෙකක් යටතේ සිදු කිරීමට අපි තීරණය කර තිබෙනවා.” යනුවෙන් පැවසීය.

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ ඉල්ලීම මත ජාතික සංස්කෘතික අරමුදලේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ ශාන්ත මරිය මද්දලේනා දේවස්ථානය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රුපියල් ලක්ෂ 40ක මූල්‍යාධාර ප්‍රදානය හා බොල්ලත රෝමානු කතෝලික දේවස්ථානය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රුපියල් ලක්ෂ 10ක මූල්‍යාධාර ප්‍රදානය කිරීමද, මීට අමතරව නිපොලැක් ආයතනය මගින් කොච්චිකඩේ, ශාන්ත අන්තෝනි දේවස්ථානයේ සහ මීගමුව කටුවපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානෙයේ තීන්ත ආලේප කිරීම සඳහා අවශ්‍ය තීන්ත නොමිලේ ලබා දීමේ එකඟතා පත්‍රය ප්‍රදානය කිරීම සිදු කළ අතර ඉන්සේ (සංස්ථා සිමෙන්ති) ආයතනය මඟින් එම දේවස්ථාන දෙකෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අවශ්‍ය කරන සිමෙන්ති නොමිලේ ලබා දීමට මෙහිදී එකඟතාව පළ කර සිටියේය.

එම සාකච්ඡාවට නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් බර්නාඩ් වසන්ත මහතා, ආරක්ෂක නිලධාරීන්, රාජ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

Comments