අංග සම්පූර්ණ වූ සංගීත රැස් වළල්ල චක්‍රා | සිළුමිණ

අංග සම්පූර්ණ වූ සංගීත රැස් වළල්ල චක්‍රා

මම සංගීතයට ආදරය කරන්න ගත්තේ පොඩි කාලයේ ඉඳන්. ඇත්තම කියනව නම් මට සංගීතය ගැන ලොකු පිස්සුවක් තිබුණා. ඒ හින්දා පාසලේදි විෂයයක් විදියට සංගීතය හදාරන්න ගත්තා. සංගීතය නිසා බොහෝ දෙනෙක් පොඩි කාලේ ඉඳලා මාව හඳුනනවා. මම ඔහුට කතා කරන්න දීලා බලාගෙන සිටියෙමි.

ඔහු කතාව පටන් ගත්තේ පුංචි කාලයේ සංගීතය පටන්ගත්ත තැන සිටිය. ඒ නිසා වෙන්න ඇති ඔහු කතා කළ වචන දහයෙන් අටකම කියැවුණේ සංගීතය ගැනය. ඔබ දැන් බලාවී මම කවුරු ගැනද මේ කියන්නේ කියලා. කවුරු එක්කද කතා කරන්නෙ කියලා.

මම කතා කරන්නේ රෝෂක එක්ක. ඔහුගේ සම්පූර්ණ නම රෝෂක මුතුගල. ගම්පහ දිස්ත්‍රික්කයේ අකරගම කේන්ද්‍ර කරගනිමින් බිහි වී තිබෙන 'චක්‍රා' සංගීත කණ්ඩායමේ නායකයත් එක්ක. ඔහුගේ තිබුණ දක්ෂතාව වගේම නිහතමානීකමත් එක්ක මෙවර BAND OF THE WEEK හැඩ කරන්න අප සමඟ කතා බහට එක් වුණා.

ගොඩිගමුව මහා විද්‍යාලයෙන් අකුරු කරන්න ගිය රෝෂක අධ්‍යාපනයට වගේම සංගීතයට දැක්වුයේ පුදුමාකාර කැමැත්තක්. ඒකට සහජයෙන් ලැබිලා තිබුණ හැකියාවත් එකතු වුණ නිසා කුඩා කාලේදි ම දිගු ගමනක් යන පෙර නිමිති පෙනෙන්නට ගත්තා.

‘‘මට ගීත ගායනා කරන්න වගේම රිදම් ගිටාර් එක වාදනය කරන්න හැකියාව තිබුණා. හැබැයි මේ කිසි දෙයක් කිසි ගුරුවරයෙක් ළගට ගිහින් ඉගෙන ගත්තේ නැහැ. මම හැමදේම තනිවම තමයි ඉගෙන ගත්තේ. ඇත්තටම මටත් හිතෙනවා සංගීතය මම ආත්ම ගණනක් පුරා ගෙනාපු දෙයක් කියලා.‘‘

දවසින් දවස ගී මිමිණූ රෝෂක එවකට තිබුණු සංගීත කණ්ඩායමක් එක්ක එකතු වෙලා සිය හැකියාවන් රටටම පෙන්වන්න සමත් විය.

‘‘මගේම කියලා සංගීත කණ්ඩායමක් පටන් ගන්න කලින් සංගීත කණ්ඩායම් දහයක විතර මම ඉඳලා තිබෙනවා. ඉන් මට හොඳ අද්දැකීම් වගේම පළපුරුද්දක් ලබාගන්න පුළුවන් වුණා.

එහි ප්‍රතිඵලයක් විදියට තමයි 'චක්‍රා' බිහි වෙන්නේ. මෙය සංගීත කණ්ඩායමක් ලෙස ලියාපදිංචි කළෙත් මමමයි. විශේෂයෙන්ම අපේ 'චක්‍රා' කියන නමේ තේරුම තමයි 'සියල්ල අංග සම්පූර්ණ වූ රැස් වළල්ලක්' කියන එක. මේ නම දැම්මේ සම්පත් මංචනායක අයියා.‘‘

සංගීත කණ්ඩායම් රැසක් එක්ක වැඩ කරල තිබුණ නිසා දක්ෂ ශිල්පීන් රැසක් රෝෂක සමඟ එකතු වෙන්න සූදානමින් හිටියා. චක්‍රා බිහිකරන්න එයත් මහ පිටිවහලක් වුණා කියලා තමයි රෝෂක කිව්වේ.

‘‘මගේ පළපුරුද්ද වගේම අනෙක් අයත් සමඟ සුහදව වැඩ කරලා තිබුණ නිසා චක්‍රා එක්ක එකතු වෙන්න බොහෝ දෙනෙක් කැමැත්ත පළ කළා. එලෙස එක් වුණ අයගෙන් ලීඩ් ගිටාර් වාදන ශිල්පියා ලෙස සමිත් වන්නිආරච්චි, බේස් ගිටාර් වාදන ශිල්පියා ලෙස ගයාන් සම්පත්, ඩ්‍රම්ස් වාදන ශිල්පියා ලෙස ඇන්තම් සංජීව, ඔක්ටර් පෑඩ් ශිල්පියා ලෙස කීර්ති ප්‍රියකුමාර, කී බෝඩ් වාදන ශිල්පියා ලෙස විජිත් ශානක, ගායන ශිල්පීන් ලෙස ජනක ප්‍රදීප්, අඛිල ප්‍රගීත්, ලයනල් පීරිස් හා නලින් පෙරේරා කටයුතු කරනවා.‘‘

මේ හැමෝම ඒකා මෙන් වැඩකරන නිසයි කෙටි කාලයක් තුළ වුණත් රසිකයන් තුළ නමක් දිනාගෙන දිගු ගමනක් එන්න පුළුවන් වුණේ. මම නායකයා වුණාට හැම තිස්සේම සියලු දෙනාත් එක්කම කතා කරලා තමයි ඕනෑම තීරණයක් ගන්නේ. මම හිතන්නේ අපේ සාර්ථකත්වයේ තිබෙන රහසත් එයයි.‘‘

රෝෂක එහෙම කිව්වට අපේ රටේ සෑම තැනකම සංගීත කණ්ඩායම් තිබෙනවා. දවසින් දවස අලුත් අලුත් සංගීත කණ්ඩායම් එකතු වෙමින් තිබෙනවා. එහෙම වෙද්දි කොහොමද තමන්ගේ සංගීත කණ්ඩායම ඊට මුහුණ දෙන්නේ කියන ප්‍රශ්නය ඔහුට යොමු කළා.

‘‘අතීතයේ තිබුණේ සංගීත කණ්ඩායම් කිහිපයයි. ඒ කියන්නේ අතේ තිබෙන ඇඟිලිවලටත් අඩුවෙන්. එහෙත් අද ඒ තත්ත්වය හාත්පසින්ම වෙනස් වෙලා. තාක්ෂණය දියුණු වීමත් එක්ක අස්සක් මුල්ලක් නෑර සංගීත කණ්ඩායම් බිහි වෙලා තිබෙනවා. දැනටත් බිහි වෙමින් තිබෙනවා. හැබැයි මේ සියලු දෙනා අභිබවා එන්න පුළුවන්කම ලැබුණේ අපි රසිකයන්ට අවශ්‍ය දේ ලබා දෙන නිසයි. කිසිම රැල්ලක් පස්සේ නොගිහින් කුඩා දරුවගේ ඉඳලා වැඩිහිටියා දක්වා රස විඳින්න පුළුවන් සංගීත කලාවක් දෙන්න අපිට හැකි වී තිබෙනවා. අපිට ලංකාව වටේම හොඳ ඉල්ලුමක් තිබෙනවා.

ඒ වගේම ඉදිරියේ විදෙස් සංචාරයන්ට පවා යන්න අවස්ථාව උදා වේවි කියන විශ්වාසය ඇති වී තිබෙනවා.

මේ ගමන එන්න අපිට අපේ පවුල්වල අය, යහළුවෝ, සංගීත කේෂ්ත්‍රයට සම්බන්ධ ගොඩක් අය උදව් කළා. නම් ගම් නොකිව්වේ කාගේ හෝ නමක් ගමක් අතහැරුනොත් එය මුල අමතක කිරීමක් වෙන නිසා. අපි අපේ අනාගත බලාපොරොත්තුව විදිහට දකින්නේ කාටවත් කිසිම කරදරයක් නොවී අපිටම ආවේණික සංගීත රසයක් ලබාදීමයි.‘‘

පැය ගණනක් තිස්සේ කතා කළත්, ඒ හැම වචනයකම ගැබ් වෙලා තිබුණේ සංගීතයට තිබුණු ළැදියාවයි. කුමන බලපෑම ආවත් මම මිය යනකල් සංගීතය කරනවා. එය වළක්වන්න කාටවත් බැහැ. ඔහු අවසන් වශයෙන් එහෙම කියලා අපේ කතා බහට සමුදුන්නා. 

අදහස්