තරු තොරතුරු | සිළුමිණ

තරු තොරතුරු

අනූජ් ‘ප්‍රහාරය’ ට සැරසෙයි

‘මේ වගේ ආදරයක්‘ සිනමා සිත්තමේ ප්‍රධාන චරිතයට පණපොවමින් සුවහසක් ප්‍රේක්ෂක ආදරය දිනා ගත් නව පරම්පරාවේ සිටින දක්ෂ රංගන ශිල්පියෙක් තමයි අනූජ් කියන්නේ.

ඔහුගේ අලුත්ම තොරතුරු දැනගන්නට අපි ඔහුට කතා කළා. හර්ෂ උඩකන්ද අධ්‍යක්ෂණය කළ ‘ගෝරි‘ චිත්‍රපටය මැයි හෝ ජුනි වල තිරගත වෙන්න තියෙනවා. ඒ අතර බර්මින් ලයිලි ප්‍රනාන්දුගේ ‘අගපිපි මල්‘ චිත්‍රපටයේ හඬකැවීම් මේ දිනවල සිදුවෙනවා. එය බොහෝ විට මේ වසර ඇතුළත තිරගත වීමට නියමිතයි.

ඒ විතරක් නොවෙයි ඔහුට ආදරය කරන ප්‍රේක්ෂක ඔබට තවත් අලුත් පුවතක් කියන්නට තියෙනවා. ඒතමයි හර්ෂ උකන්ද අධ්‍යක්ෂණය කරන‘ප්‍රහාරය’ අලුත්ම සිනමා පටයේද ඔහුට ඇරියුම් ලැබිලලු.

මේ දවස්වල නවක නළු නිළියන් බඳවා ගැනීමේ තිර පරීක්ෂණ සිදු වෙනවා කියලාත් ඔහු අපට කිව්වා.


කුසුම් රේණු දැඩි කම්පනයකින්

වේදිකාව, පුංචි තිරය, රිදී තිරය යන තෙඅංශයම ජයගත් ඇගේ රංගන ප්‍රතිභාව ගැන අමුතුවෙන් කියන්නට ඕන නෑ. ප්‍රවීණ රංගන ශිල්පිනියක වන ඇය කවදත් ආදරණීය චරිතයක්. අපේ කතා බහේදී එදා දුටු ඇගේ ඒ සුන්දර සිනාව අදටත් දක්නට ලැබුණත් ඇය මේ දිනවල සිටින්නේ තරමක දුකින් කියලා අපට හිතුණා. ඒ විතරක් නෙමෙයි ඇය මේ දිනවල අඳින්නෙත් සුදු පැහැති ඇඳුම් පැළඳුම්. මොකක්ද මේ වෙනස ? ඇය කීවේ මෙවැන්නක්.

‘‘ඇත්තටම මේ කාලයේ මම මානසික වශයෙන් බිඳ වැටිලයි ඉන්නේ. පසුගිය 21 සිදුවූ ත්‍රස්ත්‍ර ප්‍රහාරය නිසා අහිංසක මිනිසුන්ගේ වටිනා ජීවිත ගණනාවක් අපට අහිමි වුණා. මනුස්සයන් හැටියට මේ දුක මට තාමත් තියෙනවා. සුදු වස්ත්‍ර අඳින්නෙත් එනිසයි. මේ රටේ ඉන්නේ හෙළයන්. ඉතින් මේ රටේම ඉඳන් කෙනකු මේ රටටම විනකරන එක ගැන මට තියෙන්නේ දැඩි කම්පනයක් වගේම වේදනාවක්. මේ ගැන එක් අයකුට ඇඟිල්ල දිගුකරලා වැඩක් නෑ.

තිරගත වීමට තිබූ ප්‍රහසන චිත්‍රපටයකත් ඔබ රංගනයෙන් දායක වුණා නේද?

‘‘ඔව්. ‘ජය ශ්‍රී ඇමතිතුමා‘ තමයි එහි නම. මීට සතියකට පෙර තිරගත වෙන්නට තිබුණත් රටේ ඇතිවූ තත්ත්වය නිසා දින නියමයක් නැතිව එය කල්ගියා.‘‘

ඔබ වේදිකාව පැත්තට වැඩිනැඹුරුතාවක් තියෙනවා නේද?මොනවද කරපු අලුත්ම නිර්මාණ?

සුනෙත් මාලිංගගේ ‘ඉත්තෝ‘ හි දර්ශන වාර පැවැත්වුණා. එය මා මෙතෙක් නොකරපු වෙනස්ම විදිහේ නිර්මාණයක්. ඒත් පසුගිය සිදුවීම් එක්ක රට පුරා ගමන් කරපු සුභ සහ යස, සුදු සහ කළු, හංකිති දහතුන, ජසයා සහ ලෙන්චිනා, චෞරි වේදිකා නාට්‍ය කිහිපයක්ම රටේ තත්වයත් එක්ක දර්ශන කල් දමලයි තියෙන්නේ. මොකද රටේ පවතින තත්වයත් එක්ක ප්‍රේක්ෂකයෝ 400- 500 ක් එකතු කර ගැනීමත් අපහසු වෙලා තියෙනවා. රටක් හැටියට නැවත ඉදිරියට මෙවැනි සිදුවීමක් නොවේවායි කියලයි මම ප්‍රාර්ථනා කරන්නේ.‘‘


චරිතාගෙන් අධ්‍යාපනයට මුල් තැන

ගායන ලොවේ ප්‍රතිභාන්විත ගායන ශිල්පිනියන් අතර ඇය ඉදිරියෙන්ම ඉන්නවා. ඇයට ආදරය කරන රසඳුන පාඨකයන් හට ඔන්න ඇය කියන මේ පුවත සුබ ආරංචියක් වේවි. මාරම්බරී වගේම නෙතු දැහැනත් එක්කත් ඇය රසික ඔබ හමුවට එන්න බලාපොරොත්තු වෙනවලු. ඒ වෙනස්ම විදිහකින්ලු. ඒ වෙනස මොකක්ද?

‘‘මාරම්බරී කියන්නේ එඩිවඩ්ගේ ඒක පුද්ගල ප්‍රසංගයක්. නමුත් නෙතු දැහැන කියන්නේ මමත්, එඩිවඩ් සහ අපේ පුතු සංදීප අපි තුන්දෙනාගේම ප්‍රසංගයක්. එහි පළමු ප්‍රසංගය අප්‍රේල් 6 නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වුණා.‘‘

ඒ කියන්නේ ‘මාරම්බරී‘ නැවත රසිකයන්ට දක්නට නොලැබෙයිද?

‘‘ඒ ගැන නම් කියන්නටම ඕන මොකද මගේ ආදරණීය රසිකයන් හිතන්නට පුළුවන් නෙතු දැහැන නිසා මාරමබරීට මොකද වෙන්නේ කියලා. සුපුරුදු විදිහටම මාරම්බරී රට වටා යන ගමන් නෙතු දැහැනත් එක්ක අපි තුන් කට්ටුව රසික ඔබ වෙතට එනවා.‘‘

ප්‍රසංග වගේම අලුත් ගී තැටියක් ‘ඔබේ අහසේ’ නමින් ඇය රසික ඔබ වෙතට තිළිණ කරලා තියෙනවා. කලාවට අමතරව අධ්‍යාපන කටයුතු වලටද වැඩි කාලයක් යොමු කරලලු තියෙන්නේ. ඉගෙනීම පැත්තෙන් ඇය මේ දිනවල ශාස්ත්‍රපති උපාධි අවසන් විභාගයට මේ දිනවල සූදානම් වනවා. දරුවන් සම්බන්ධව නිබන්ධනයක්ද ලියනවලු. ගායන ශිල්පිනියක් වුවද ලේඛනය පැත්තෙන් ඉතිහාසය වර්තමානයට ගෙන ඒමේ නිර්මාණ කටයුත්තකටද ඇය අතගහල කියලත් දැනගන්න ලැබුණා. ඔන්න ඒ අතර ඇය අපට තවත් කතාවක් කීවා. ඒතමයි අැගේ සංගීත ඇකඩමිය ආරම්භ කරලා වසර තිහක් පිරීම නිමිත්තෙන් 2020 ප්‍රථම ප්‍රසංගය එළිදැක්වීමට මේ වනවිට සුදානම් වනවාලු. ඒත් ඉතිං මේ සියලු වැඩ අතරේ වුවත් ගෘහණියක, බිරියක, මවක ලෙස සිය වගකීම සමබරව ඉටු කරන්නටද අමතක කරන්නේ නැතිලු.


චන්දිකලා දෙන්නෙක් හාරත හේරා සමඟ

චන්දික නානායක්කාර කියන්නේ කලා ලෝකයේ ඉන්න දක්ෂ රංගන ශිල්පියෙක්. චන්දික මේ දිනවල ටෙලි නිර්මාණ කිහිපයකම දක්නට පුළුවන් කවදත් රසඳුනට ලෙන්ගතු ඔහුගේ අලුත්ම තොරතුරු දැනගන්නට අපි ඔහුට කතා කළා.

‘‘මේ දවස්වල ටෙලිනාට්‍ය කිහිපයකම රූගතකිරීම් සිදුවෙනවා. ස්වාධීන රූපවාහිනී සේවයේ සතියේ දින පහේම රාත්‍රී 8.00 විකාශය වන තෝඩු, සියත ටීවී ඔස්සේ සතියේ දින පහේම විකාශය වන බඹරු ඇවිත් යන නිර්මාණ හරහා ඔබේ ආලින්දයට මම එනවා. ඒ වගේම ජනක සම්පත් වෙනස්ම ආරකින් නිර්මාණ කළ ‘ක්ලික්‘ ටෙලිනාට්‍යයයේ රූගත කිරීම් වලටද සහභාගී වෙනවා.‘‘

චන්දිකලා දෙන්නෙක් එකතුවෙලා අලුත්ම දෙයක් කරන්න අතගහලා කියලත් ආරංචි වුණා?

‘‘ඔබ ඔය කියනවා ඇත්තේ චන්දික විජේසේනත්, චන්දික නානායක්කාර (මම) අපි දෙන්නම එකතුවෙලා කරන ‘හාරත හේරා‘ කියන අලුත්ම ටෙලිනාට්‍යය ගැන වෙන්න ඇති. එහි නිෂ්පාදනය වගේම රංගනයෙනුත් මම දායක වෙනවා. මේ මගේ හයවැනි නිෂ්පාදනය. මේ දිනවල එහි රූගත කිරීම් සිදුකරනවා.‘‘

ඇත්තද රංගනයට අමතරව ඔබ මනෝ විද්‍යාවද හදාරනවා කියන්නේ?

‘‘ඔව්. කැලණිය විශ්වවිද්‍යාලයේ මනෝ විද්‍යාව හදාරනවා. මේ සියලු දේත් එක්ක පසුගිය 21 වන පාස්කු දින සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අසරණ වූ අපේම මිනිසුන් වෙනුවෙන් කලාකරුවෙක් විදිහට අ‍නෙකුත් කලාකරුවන් සමඟ එක්වී ප්‍රසිද්ධියේ නොවුණත් ජාති, ආගම්, කුල භේදයකින් තොරව ඔවුන්ව යළි නඟා සිටුවිම සඳහා කටයුතු කරනවා.‘‘

අදහස්