චීන-අමෙරිකා වෙළෙඳ යුද්ධයේ ජය කාටද | සිළුමිණ

චීන-අමෙරිකා වෙළෙඳ යුද්ධයේ ජය කාටද

යුද්ධ යැයි පැවසූ විට අප සිතට නැඟෙන්නේ අවි ආයුධ රැගෙන ජීවිත හානි කරගනිමින්, බෝම්බ පුපුරවා ගනිමින් සිදු කරන්නා වූ සටන්ය. එහෙත් අවි ආයුධවලින් තොරව සිදු වන ප්‍රබල යුද්ධයක් මේ වන විට ලෝකයේ ප්‍රබලතම රටවල් දෙකක් අතර සිදු වේ. එනම් චීන - අමෙරිකා වෙළෙඳ යුද්ධයයි.

මෙහි ආසන්නතම ප්‍රහාරය ලෙස පසුගිය සිකුරාදා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් චීනයෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා ඩොලර් බිලියන 200ක අති විශාල බදු පැනවීමට කටයුතු කිරීම වාර්තා විය. ඒ බදු පැනවීම මඟින් අමෙරිකාව තුළ චීන භාණ්ඩවලට සාපේක්ෂව අමෙරිකානු නිෂ්පාදනවල මිල පහත වැටීම අපේක්ෂා කරන අතර, එමඟින් අමෙරිකානුවන් චීන නිෂ්පාදන ප්‍රතික්ෂේප කරමින් අමෙරිකානු දේශීය නිෂ්පාදන මිලදී ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.

කෙසේ වුවද මේ ක්‍රියාවට ප්‍රතික්‍රියා ලෙස චීනය වඩාත් ඉවසිලිවන්ත සහ වඩාත් උපක්‍රමශීලී ප්‍රතිචාර දක්වමින් පවසා සිටියේ දින දෙකක සාකච්ඡා කාලයක් තමන්ට ලබාදෙන ලෙසයි.

චීනය සහ අමෙරිකාව යනු ලෝකයේ විශාලතම ආර්ථීකයන් දෙකට හිමිකම් කියන රටවල් දෙකයි. අමෙරිකාව දැන් දශක කිහිපයක සිටම තම කිරුළ රැකගෙන සිටියද චීනය ලෝකයේ දෙවැනි ආර්ථිකය දක්වා පැමිණියේ ශීඝ්‍ර ගමනකි. මේ වන විට චීනය අමෙරිකාවට ප්‍රබල තර්ජනයක් එල්ල කරමින් නොබෝ දිනකින්ම අමෙරිකානු ආර්ථිකය අබිබවා යන බවට මේ වන විටත් පැහැදිලි සාක්ෂි සපයා අවසන්ය. ඒ සඳහා හොඳම උදාහරණය චීනය විසින් ක්‍රියාත්මක කිරීමට යෝජිත ‘එක් මාවතක් - එක් තීරුවක්‘ (Road and Belt) වෙළෙඳ ව්‍යාපෘතියයි. ඒ යටතේ ලෝකයේ රටවලින් හරි අඩකටත් වඩා චීනය සමඟ වෙළෙඳ ගනුදෙනු මගින් බැඳිමට නියමිතය. මේ රටවල ව්‍යප්තිය සරලව සලකා බැලුවහොත් ආසියා මහාද්වීපයෙන් ලංකාව සහ පාකිස්තානයේ සිට ගිනිකොන සහ වයඹ ආසියාව, අප්‍රිකා මහාද්වීපයෙන් රටවල් කිහිපයක් සමඟ මැදපෙරදිග කලාපය, යුරෝපා මහාද්වීපයෙන් ඉතාලිය දක්වා මේ යටතේ එක් මාවතක් ලෙස චීනය සමඟ වෙළෙඳ ගනුදෙනුවලට එක්වනු ඇත. මේ ව්‍යාපෘතිය චීනය එක් රැයකින් බිහි කර ගත්තක් නොව ඒ සඳහා මනා දේශපාලන ස්ථාවරත්වයක් සහිතව දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් යටතේ ක්‍රමිකව බිහි කරගත් ව්‍යාපෘතියක් ලෙස හුවා දැක්විය හැකිය.

ලොව පුරා රටවල ආරවුල් ඇති කරමින්, ඒ සටන් සඳහා දායකත්වය ලබා දෙමින් යුද ගිනි අවුළුවමින්, නිවමින් සිටි අමෙරිකාවට චීනය දුර දිග බලා ගෙන ගිය ලෝක නායකත්වය ලබාගැනීමේ ව්‍යපෘතිය හඳුනාගැනීමට හැකියාව ලැබෙන විට චීනය බොහෝ ස්ථාවර වී අවසන්ය.

දැන් අමෙරිකාව කෙතෙක් බදු පැනවූවද චීනය ඒ කිසිවක් මායිම් නොකරන්නේ අමෙරිකානු බදු පැනවීමෙන් තමන්ගේ වෙළෙඳ ව්‍යාපෘතියට සිදු වන හානිය අවම වන බැවිනි. එහෙත් ආර්ථික විශ්ලේෂකයන් පවසන්නේ දෙරටේ මේ වෙළෙඳ යුද්ධය ලෝක ආර්ථීකයට නම් ප්‍රබල බලපෑම් සිදු කරන බවයි. චීන අමෙරිකා වෙළෙඳ යුද්ධය දැනට ලෝකයේ ඇතිවූ විශාලතම වෙළෙඳ යුද්ධය බවට මේ වන විටම ප්‍රකාශයට පත් වී අවසන්ය.

බලයට පත් වීමට පෙර සිටම අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීනය සම්බන්ධයෙන් යම් යම් විරෝධාකල්ප දක්වා සිටියේය. බලයට පත් වීමෙන් පසුව 2017 වසරේදී ඔහු චීනයේ ලෝක වෙළෙඳ ව්‍යාප්තිය ගැන තොරතුරු සෙවීමට කමිටුවක්ද කැඳවූයේය. ඒ සමඟම මුල් වරට චීන භාණ්ඩ මත බදු පැනවීමටද ට්‍රම්ප් කටයුතු කළේය.

චීනයේ ඉවසීම සහ දුරදිග බැලීමේ විශාල අරමුණු මත පසුකාලීනව දෙරට අතර යම් අවබෝධයක් ඇති වුවද චීනය නැවැත්වීමේ අරමුණ අමෙරිකාවට සැමදා පැවති අතර චීනය කිසිසේත් නොවනවතින බව සම්බන්ධයෙන්ද යම් අවබෝධයක්ද ඔවුන් සතුව විය. මේ අවබෝධයන් මත චීනයට එරෙහිව යම් යම් මතබේදාත්මක අදහස් පළ කිරීම් සහ බදු පැනවීම් වරින්වර අමෙරිකානු පාර්ශ්වයෙන් සිදු විය. පසුගියදා සිදු වූයේ එහි ආසන්නතම සිදු වීම වේ.

ට්‍රම්ප් ජනාධිපතිවරයා පවසා ඇති අන්දමට ඉදිරියේදී අමෙරිකාවට ගෙන්වන සියලුම චීන භාණ්ඩ මත බදු පැනවීමට කටයුතු කරනු ඇත. එහෙත් මේ වන විට චීනය නමැති අශ්වයා අමෙරිකානු බලාධිකාරය නමැති ඉස්තාලයෙන් පැන ගොස් අවසන්ය. බදු පැනවීමෙන් චීනයට බලපෑම් කිරීමේ අමෙරිකානු උත්සාහය ළඳරු උත්සාහයක් පමණක්ම බව මේ වන විට අමෙරිකාවට පවා වැටහීගොස් ඇතිවාට සැක නැත. එහෙත් දෙරටේ මේ මහා වෙළෙඳ යුද්ධය සමස්තයක් ලෙස ලෝක ආර්ථික වර්ධනයට නම් විශාල බලපෑමක් කරනු ඇත.

 

අදහස්