අන්තවාදි ත්‍රස්තවාදයට බියෙන් දරුවන්ගේ ඉගැනුමත් කඩාකප්පල් කරමුද? | Page 2 | සිළුමිණ

අන්තවාදි ත්‍රස්තවාදයට බියෙන් දරුවන්ගේ ඉගැනුමත් කඩාකප්පල් කරමුද?

දෙවැනි වාරයේ අධ්‍යයන කටයුතු සඳහා පසුගිය සතියේ පාසල් නැවත විවෘත කළත්, මවුපියන් බහුතරය සිය දරුවන් පාසලට එවන්න සූදානම් බවක් පෙනුණේ නැත.10%කටත් අඩු ප්‍රතිශතයක්- හැරෙන්නට, බොහෝ පාසල් දරුවන් පසුගිය සතියේ පාසලට පැමිණියේ නැත. එලෙස මවුපියන් තම දරුවන් පාසල් නොඑවන්න කටයුතු කළේ පවතින ආරක්ෂක තත්ත්වය පිළිබඳ ඇති දෙගිඩියාව නිසා බවට විවාදයක් නැත. කතෝලික පාසල් විවෘත නොකිරීමත්, දිනෙන් දින අසන්නට ලැබෙන ආරක්ෂක තොරතුරුත් මීට හේතු වූවාට සැක නැත.

එසේ වුවත් මේ ලිපිය ලියන මොහොත වන විට අධ්‍යාපන අමාත්‍යාංශ ආරංචි මාර්ග වාර්තා කරන්නේ හෙට (13) සෙසු පන්තිද (1-5) විවෘත කරන බවත්, ඒ සඳහා උපරිම ආරක්ෂාව යොදවා ඇති බවත්ය.

මේ වන විට ලංකාවේ සෑම පාසලකටම පාසල් පරිශ්‍රය තුළ උපරිමයෙන් ආරක්ෂාව තහවුරු කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය මෙන්ම පාසල් විදුහල්පතිවරුන් පවසතත් ඒ ආරක්ෂාව සම්බන්ධයෙන් යම් යම් අඩු-පාඩු ඇති බව බොහෝ පිරිසක් චෝදනා කරති. විශේෂයෙන් නගරාසන්න පාසල් අවට නිවෙස් විධිමත් පරීකෂාවලට සිදු කර නොතිබෙන බව මවුපියන් මෙන්ම සමහර පාසල් විදුහල්පතිවරුද චෝදනා කරති. කොළඹ බොහෝ පාසල් අවට පවත්නා මුස්ලිම් නිවෙස් මෙසේ පරීක්ෂා නොකිරීම නිසා යම් විපතක් වෙතැයි මවුපියෝ බියෙන් පසු වෙති. මේ ලිපිය ලියන සති අන්තය වන විටත් පාසල්වලට සිසුන්ගේ පැමිණීම බෙහෙවින් අඩුව පැවැතිණි.

එසේම ආරක්ෂක අංශවල දරුවන් ඉගෙනුම ලබන ආරක්ෂක සේවා විදුහලේ දරුවන්ගේ පැමිණීමද සෑහෙන ප්‍රමාණයකින් පහළ වැටී තිබීමද බොහෝ අයගේ අවධානයට ලක් වූ කරුණක් විය. බොහෝ මවුපියන් ප්‍රශ්න කරන්නට වූයේ එසේ ආරක්ෂක සේවා නිලධාරීන් පවා සිය දරුවන් පාසල් නොයවන්නට විශේෂ හේතු ඇති බවත්, එයින් මේ වන විටත් ජාතික ආරක්ෂාව තහවුරුව නොතිබීම හේතුවෙන් තම දරුවන් පාසලට යැවීම තවදුරටත් පමා කළ යුතු බවත්ය. සතිය මැද වෙද්දී පැමිණීම යම් ආකාරයක වර්ධනයක් සිදු වුවද නැවතත් සතිය අග වෙද්දී මේ පැමිණීමේ යම් අඩුවක් සිදු වූ බවද වාර්තා වෙයි. ගුරුවරුන්ගේ පැමිණීම සැලකිය යුතු ආකාරයෙන් තිබුණත් පන්තියක සිටියේ සිසුවකු හෝ දෙදෙනකු වීම හේතුවෙන් මෙසේ පැමිණි සිසුන්ටද ඉගැන්වීමට අපහසු කරුණක් විය.

“අපේ පාසල තුළ ආරක්ෂාව හොඳින්ම තහවුරු කර තිබෙනවා. ඒ වගේම දරුවන් පාසල් නොඑන්නට තවත් හේතුවක් වුණේ පාසල් වෑන් රථ නැතිකම. දැන් පාසල් අවට පාසල් වෑන් රථ ගාල් කරන්න දෙන්නේ නැහැ. මේ නිසා ඒ අයත් යම් ප්‍රායෝගික ගැටලුවලට මුහුණ දෙනවා ඇති. ඒත් අපි එකතු වෙලා මේ කටයුත්තට හැමෝගේම සහාය දෙමු. ඒ වගේම පාසල්වලට පරීක්ෂා කරන්න ආරක්ෂක උපකරණ තියෙනවා නම් වඩාත් හොඳයි කියලා අපි හිතනවා.“ එසේ පැවැසූයේ කොළඹ රාජකීය විදුහලේ විදුහල්පති අබේරත්න මහතාය.

මේ වන විට උසස් පෙළ දරුවන්ට ටැබ් පරිගණක ලබා දීමට නැවතත් කැබිනට් අනුමැතිය ලබා ගෙන ඇත. එහෙත් ඇති වී ඇති තත්ත්වය සලකා බලා ඉදිරියේදී පාසල් ආරක්ෂාව වෙනුවෙන් ටැබ් වෙනුවට මෙවැනි ආරක්ෂක උපරණ ලබා දෙන්නැයිද පිරිසක් පවසති. බොහෝ පාසල්වල ඇති ප්‍රබල ආදිශිෂ්‍ය සංගම් මෙන්ම මවුපියන් තමන්ගේ දරුවන් වෙනුවෙන් මේවා පරිත්‍යාග වශයෙන් හෝ මුදල් එකතු කිරීමෙන් මේ ආරක්ෂක උපකරණ ලබා දීමට සූදානම්ය. එහෙත් අධ්‍යාපන අමාත්‍යාංශ චක්‍රලේඛවලට යටත් වීම නිසා මෙවැනි අවස්ථාවල විදුහල් ප්‍රධානීන්ද යම් යම් පීඩාවලට පත්ව ඇත්තේ එසේ ලබාගැනීම නීති විරෝධි ක්‍රියාවක්ද යන දෙගිඩියාව නිසාය. කෙසේ වෙතත් බොහෝ පාසල්වල ආදිසිසුන් හා මවුපියන් දැනටමත් මේ ආරක්ෂිත උපකරණ සිය පාසලේ දරුවන් වෙනුවෙන් පාසලට පරිත්‍යාග කර ඇත්තේය. එහෙත් එසේ යමක් කර-කියාගන්නට නොහැකි පාසල් දෙස රජයේ අවධානය තවත් යොමු විය යුතුය.

“අද රටේ තියෙන ප්‍රමුඛතම අවශ්‍යතාව රටේ දරුවන්වත් ආරක්ෂා කරමින් පාසල් අධ්‍යාපන කටයුතු පවත්වා ගෙන යෑම. ඒ වෙනුවෙන් මේ වන විට සෑම පාසලකම විදුහල්පතිවරු, ගුරුවරු මෙන්ම රටේ ආරක්ෂක අංශ ක්‍රියාත්මකයි. මේ සඳහා මවුපියන් හා ආදි සිසුන්ගෙන් ලැබෙන්නේ විශාල සහයෝගයක්. මේ වන විට අපේ පාසලේ මවුපියන් හා ආදිසිසුන් ආරක්ෂක උපකරණ පවා ලබා දීමට කැමැත්තෙන්ම ඉදිරිපත් වෙලා තියෙනවා. දෙමවුපියන්ට අප කියන්නේ පාසල සුරක්ෂිතයි. ඒ නිසා දරුවන්ව එවන්න බිය වෙන්න එපා කියලයි. “ එසේ පැවැසූයේ කොළඹ නාලන්දා විදුහලේ විදුහල්පති තිලක් වත්තුහේවා මහතාය.

“ආරක්ෂක කටයුතු පිළිබඳ අප විදුහල්පතිවරුන් දැනුවත් කර තිබෙනවා. සියලු පාසල් හා අවට නිවෙස් හමුදාව යොදවා පරීක්ෂා කරනවා. පාසල්වල මවුපියන්ට තමන්ගේ කැමැත්ත අනුව පරීක්ෂා කිරීමේ විද්යුත් උපකරණ ලබා දීමේ බාධාවක් නැහැ. ඒ වගේම පාසල් සංවර්ධන සමිතිවලට වෙන්ව ඇති මුදලින් අනෙකුත් වියදම් කපා හැර ඒ සඳහා අවශ්‍ය උපකරණ මිල දී ගත හැකියි. ඒ නිසා අපි මවුපියන්ගෙන් ඉල්ලන්නේ තමන්ගේ දරුවන්ව පාසල් එවන්න කියා.“ ඒ අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාසල් කටයුතු) ආර්.එම්.එම්. රත්නායක මහතාය.

පාසල් අධ්‍යාපන කටයුතු මෙසේ පවතිද්දී බොහෝ පාසල් වෑන් රථ මේ දක්වා සිසුන් රැගෙන යෑමට පැමිණ සිටියේ නැත. ඔවුන් පවසා සිටින්නේ එසේ නොපැමිණෙන්නේ දරුවන්ගේ පැමිණීමේ දුර්වලතා හේතුවෙන් බවයි. පාසල් හා ආරක්ෂක අංශ ගෙන ඇති ආරක්ෂක ක්‍රමවේද නිසාද මේ පිරිස් යම් යම් අපහසුතාවලට පත්ව ඇති බවද පැවසිණි. “අප තාම රාජකාරි ආරම්භ කළේ නැහැ. යෝජිත ආරක්ෂිත වැඩපිළිවෙළ නිසා අප ගැටලු රැසකට මුහුණ දීලා. වාහන ගාල් කිරීම සඳහා දී ඇති සමහර ස්ථාන අපට ඉඩ මදි. ඒ වගේම දරුවන් පාසල්වලින් ගන්න යන්න විදියක් නැහැ. එල්ටීටීඊ කාලේදීත් අප පාසල් අවට වෑන් රථ ගාල් කරලා ළමයින් ගත්තා වගේම ආරක්ෂාවත් ලබා දුන්නා. ඒත් දැන් අප මොනවා කරන්නද කියලා අපවත් දන්නේ නැහැ.“ ඒ පාසල් වෑන් රථ හිමිකරුවන්ගේ අදහසයි.

මේ ප්‍රශ්නයට පක්ෂ ජාති භේද නොසලකා උදවු කළ යුතු වුවත් සමහර ගුරු සංගම් දැඩිව චෝදනා කරන්නට පටන් ගෙන ඇත්තේ බලධාරීන්ටය. ඒ දරුවන්ගේ ආරක්ෂාව හෝ ජාතික ආරක්ෂාව තහවුරු නොකර පාසල් විවෘත කළේ මන්ද යන්නයි. එසේම ඔවුන්ගේ දෝෂ දර්ශනයට ලක් වන්නේ මැති-ඇමැතිවරුන්ගේ දරුවන් පාසල් නොයවා සාමාන්‍ය දරුවන්ට පාසල් යැවීමට පාසල් විවෘත කර තිබීමයි.

ආරක්ෂිත පියවර නිසා ඕනෑම කෙනකුට අපහසුතා ඇති වන්න පුළුවන්. අප දරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ පොත්-පත් අඩු කරලා බෑගයේ බර අඩු කරගෙන එන්න කියලයි. විනිවිද පෙනෙන බෑග් අනිවාර්ය නැහැ. ඒ වගේම පාසල් අවට පිරිස් ගැන සෝදිසි කිරීම් නැහැ කියලා යම් යම් තැන්වල චෝදනා තිබෙනවා. අපි විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ එවැනි චෝදනා ඇත් නම් අදාළ පොලිස් ස්ථාන දැනුම්වත් කරන ලෙසයි.“ එසේ පැවැසූයේ බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රීලාල් නෝනිස් මහතාය.

මේ අතර අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පවසන්නේ රට යථා තත්ත්වයට පත් කිරීමට සියලු දෙනා උත්සාහ කරමින් සිටින මොහොතක ඇතැම් කණ්ඩායම් ගෙනයන අසත්‍ය ප්‍රචාර හා පටු දේශපාලන ප්‍රකාශ හමුවේ වුවද තම දරුවන් පාසල්වලට යොමු කර දරුවන්ගේ අධ්‍යාපනය සහ ආරක්ෂාව වෙනුවෙන් කැප වූ සියලු මාපියන්ට ස්තුතිවන්ත වන බවයි. විවිධ අසත්‍ය සහ ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදු කරමින් ජනතාව මුළා කරමින්, සාමාජිකත්ව ප්‍රවර්ධනයේ යෙදෙන ඊනියා වෘත්තීය සමිතිවලට වඩා දරුවන් සහ පාසල් පිළිබඳ වගකීමක් රජයට සහ ආරක්ෂක අංශවලට ඇති බවත්, මෙවැනි සංවේදි මොහොතක කළ යුතුව තිබෙන්නේ වාද-භේද දුර ලා එකට එක්ව දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කොට ඔවුන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වීමට ඉඩ නොදී කටයුතු කිරීම මිස අවස්ථාවාදී අරමුණු හඹායෑම නොවන බවත් හෙතෙම පවසයි.

Comments