ඇප් එකෙන් වේගවත් වන ‘සුව සැරිය’ | සිළුමිණ

ඇප් එකෙන් වේගවත් වන ‘සුව සැරිය’

ශ්‍රී ලංකා ගුවන්විදුලියේ සේවය කරන මාධ්‍ය සගයකු අහම්බෙන් මුණගැසී මා හා සුවදුක් කතා කිරීමේ දී ඔහු 1990 සුවසැරිය සේවාවට පින් දුන්නේ එය තම ජීවිතය බේරා ගත් ආකාරය ‍විස්තර කරමිනි. ගල්කිස්සේ පදිංචි වී සිටින ඔහු එම නගර මධ්‍යයේ දරුණු වේදනාවක් සමඟ සිහිසුන් වූ විට බිරිය සහ අහල-පහල අය එකතු වී 1990 ට ඇමතූ බවත්, මිනිත්තු 2ක් වැනි සුළු කාලයක් තුළ පැමිණි ගිලන් රථයෙන් ඔහු කළුබෝවිල ශික්ෂණ රෝහලට රැගෙන ගිය බවත් ගිලන් රථය තුළ දීම ප්‍රථමාධාර ලැබුණු බැවින් හෘදයාබාධයේ හානිය අවම කරගත හැකි වූ බවත් විස්තර කළ ඔහු, මේ ගිලන් රථ සේවාව නොමැතිව පෞද්ගලික රථයකින් රෝහල කරා පිටත් වූයේ නම් ඇතැම්විට තමාට මරණය පවා අත්විය හැකිව තිබූ බවද පැවසුවේය.

මේ ආකාරයට 1990 සුව සැරිය ගිලන් රථ සේවාවට පින් සිදු වන්නට දිවි බේරා ගත්තේ මා මිත්‍ර මාධ්‍ය සගයා පමණක් නොවේ. 2016 ජූලි මාසයේ ආරම්භ කළ 1990 සුව සැරිය ගිලන් රථ සේවාව නිසා දිවි බේරා ගත් අයගේ සංඛ්‍යාව මේ වන විට ලක්ෂ 2 ඉක්මවා තිබේ. 2019 මැයි 03 වැනිදා වන විට සුවසැරිය ගිලන් රථ සේවාව විසින් දුරකථන ඇමතුම් 1,057,571 (දස ලක්ෂ පනස් හත් දහස් පන්සිය හැත්තෑ එකකට) පිළිතුරු ලබා දී තිබේ. අද වන විට මේ දුරකථන ඇමතුම්වලට අදාළව හදිසි අවස්ථා සඳහා ගිලන් රථ පිටත් කර හැරීම් සංඛ්‍යාව ලක්ෂ 2 ඉක්මවයි. රෝහල්ගත කිරීම් 174555 කි. ගිලන් රථ තුළ සිදු වූ දරු උපත් සංඛ්‍යාව 81 කි. ඇමතුම් දස ලක්ෂයක් ලැබී, ඉන් ලක්ෂ 2කට පමණක් ගිලන් රථ පිටත් කර හරින ලද්දේ මන්දයි කෙනකුට හිතෙන්න පුළුවන. ඒ කුකුස දුරු කළේ සුවසැරිය ගිලන් රථ සේවාවේ නිර්මාතෘ, ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාය.

“සමහර වෙලාවට එකම රෝගියා වෙනුවෙන් දුරකථන ඇමතුම් 4ක් 5ක් ලැබෙනවා. විශේෂයෙන් හදිසි අනතුරක් සිද්ධ වුණාම 10, 15 දෙනා අපිට කතා කරනවා. ඒ වගේම අපිත් ඒ අයව අමතනවා. ඒ සියලු දුරකථන ඇමතුම් මෙම ලක්ෂ 10ට ඇතුළත්. ඒ නිසයි දුරකථන ඇමතුම් ගණන ඉහළ ගියේ. කොහොම වුණත් 2016 ජූලි මාසයේදී මෙරට ආරම්භ කළ 1990 සුවසැරිය ගිලන් රථ සේවාව ලංකාවේ අතිශය ප්‍රචලිත වුණා. ඒ ගැන මම ගොඩක් සතුටු වෙනවා. අද ඒ සතුට උපරිම තලයට පැමිණි දවසක්. මේ තරම් කෙටි කාලයකින් මේ සුවසැරිය ගිලන් රථ සේවාව මේ තැනට පැමිණේවියැයි අපි හිතුවේ නැහැ.”

ඔහු එසේ සතුටට පත්වූයේ පසුගිය 08 වැනිදා 1990 සුවසැරිය ගිලන් රථ සේවයේ නව හදිසි මෙහෙයුම් කළමනාකරණ පද්ධතිය (Emergency Dispatch Management System - EDM) සහ සුවිශේෂ 1990 ජංගම දුරකතන ඇප් සේවාව හඳුන්වා දුන් අවස්ථාවේ ය. නව පහසුකම් හඳුන්වා දීම මඟින් සුවසැරිය සේවාවේ කාර්යක්ෂමතාව තවදුරටත් ඉහළ යනු ඇත.

සුවසැරිය ඇප් සේවාව ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථන සඳහා මැයි 08 වැනිදා සිට බාගත (Download) කළ හැකිය. අයි දුරකථනවලට යොදා ගත හැකි වන්නේ තව සති 2 කිනි. ස්මාර්ට් ජංගම දුරකථනයක් තිබෙන අයකුට එක් බොත්තමක් එබීමෙන් පමණක් මෙම සේවාව සමඟ පහසුවෙන් සහ වේගවත්ව සම්බන්ධ විය හැකිය. සාමාන්‍ය දුරකථනයකින් 1990 ඇමතූ විට තැනැත්තාගේ දුරකථන අංකය සහ පුද්ගලයා සිටින ස්ථානය විමසා සටහන් කර ගැනීමට සුළු වේලාවක් ගතවේ. එහෙත් ජංගම දුරකථන ඇප් සේවාව මඟින් ඇමතුම දුන් පුද්ගලයා සිටින ස්ථානය විමසිය යුතු නැත. එය ඉතා නිවැරදි ආකාරයට දිස් වනු ඇත. ස්ථානය වඩාත් නිවැරදිව සොයා ගත හැකි නිසා අදාළ ස්ථානයට ගිලන් රථය ඉක්මනින් පිටත් කර යැවිය හැකිය. ඇප් සේවාව ඔස්සේ සම්බන්ධ වූ විට විමසීමට සිදු වන්නේ දුරකථන ඇමතුමට අදාළ රෝගියාගේ රෝග ස්වාභාවය පිළිබඳ පමණි.

මෙමඟින් රෝගීන් වෙත ළඟා වීමේ වේගය මිනිත්තුවකින් වැඩි කර ගැනීමෙන් රෝගින්ගේ ජීවිත බේරා ගැනීම 10%කින් වැඩි කර ගත හැකි බව සමීක්ෂණයකින් අනාවරණය වී තිබීම පෙන්නුම් කරනුයේ මෙහි ඇති අමිල වටිනාකමයි.

මේ වන විට 1990 සුවසැරිය ගිලන් රථ සේවය බස්නාහිර පළාත් රෝගියකු වෙත පැමිණීමට විනාඩි 8කුත් තත්පර 23ක සාමාන්‍ය කාලයක් ගන්නා අතර අනෙකුත් පළාත්වල රෝගියකු වෙත පැමිණීමට විනාඩි 11කුත් තත්පර 25ක සාමාන්‍ය කාලයක් වැය කරන බව අනාවරණය වී තිබේ. මේ කාලය, බොහෝ දියුණු රටවල මෙවැනි සේවාවන් ලබා ගන්නා කාලයට සමාන හෝ ඒවාටත් වඩා හොඳ මට්ටමක පවතින බව පෙනේ.

“මෙම සේවාව ආරම්භ කළේ ඉන්දීය රජය විසින් ලංකාවට ලබා දුන් යළි නොගෙවිය යුතු ප්‍රදානයක් භාවිත කරලයි. පළමුවැනි අදියරේ දී ඉන්දීය රජය විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 7.5 ක් දුන්නා. අපි ඒ මුදලින් සුවසැරිය ගිලන් රථ සේවාව පටන් ගත්තා. මේ මුදල් මහජනතාව වෙනුවෙන් සේවාවක් ආරම්භ කරලා එම සේවාව කාර්යක්ෂමව හා අඛණ්ඩව ඉදිරියට රැගෙන යන බවට අපි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාට ප්‍රතිඥාවක් දුන්නා. මොකද විදේශාධාරවලින් ලංකාවේ පටන් ගන්න බොහෝ දේවල් කාලයක් යන විට ඉබේම නවතිනවානේ. මෙය එහෙම වෙන්න දෙන්නේ නැහැ කියලා මම තරයේ සිතට ගත්තා. දකුණු පළාතෙන් ආරම්භ කරපු සුවසැරිය ගිලන්රථ සේවාව අපි ඉතා සාර්ථකව කරගෙන ආවා. මහජනතාවට නොමිලේ සපයන මේ සේවාව බොහෝ දෙනකුගේ විශ්වාසය දිනාගත්තා. ඒ වගේම කාර්යක්ෂම සේවාවක් ලබා දුන්නා. ඒ නිසා ම ඉන්දියානු රජයෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 15ක් දෙවැනි අදියර ‍වශයෙන් අපට ලබා දුන්නා. මේ මුදල් නැවත නොගෙවන පරිත්‍යාග. අපි එම මුදලින් 1990 සුවසැරිය ගිලන්රථ සේවාව පුළුල් කළා. ඒ විතරක් නොවෙයි. මෙය ඉදිරියට පවත්වා ගෙන යෑමේ අරමුණින් 2018 වර්ෂයේදි පාර්ලිමේන්තු පනතක් මඟින් සුවසැරිය පදනම ආරම්භ කරලා මේ සේවාවේ මෙහෙයුම් කටයුතු සුවසැරිය පදනමට පවරලා මෙය රජයට පූර්ණ අනුබද්ධ සේවාවක් ලෙස ක්‍රියාත්මක වීමට කටයුතු යෙදුවා. මේ සම්බන්ධව ගෙනාපු පනතට පාර්ලිමේන්තු ඡන්ද 225ම ලැබුණා. කවුරුවත්ම විරුද්ධ වුණේ නැහැ. එයින්ම පැහැදිලි වෙනවා සුවසැරිය ගිලන් රථ සේවාව මෙරට ජනතාවට නොමිලේ කොයි තරම් වටිනා සේවයක් ඉටු කරනවාද කියලා.” යනුවෙන් සුවසැරිය නිර්මාතෘ, ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා සඳහන් කළේය.

සම්පූර්ණයෙන් ම රජයට අයත් සුවසැරිය පදනම ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වෙයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, පොලිස්පති ඇතුළු සාමාජිකයන්ගෙන් සමන්විත අධ්‍යක්ෂ මණ්ඩලය පත් කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසිනි. මේ වන විට ලංකාවේ පළාත් 8ක සුවසැරිය ගිලන් රථ සේවය ක්‍රියාත්මක වනු ඇත. ශ්‍රී ලංකාව පුරා විහිදී තිබෙන පොලිස් ස්ථාන මේ සේවාව සමඟ ඍජුව සම්බන්ධ වේ. දැනට නැගෙනහිර පළාතේ පමණක් ක්‍රියාත්මක නොවන 1990 සුවසැරිය ගිලන් රථ සේවය ඉදිරියේදී ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. මේ වන විට ගිලන් රථ 258ක් දිවා රෑ නොතකා සුවසැරිය සේවය සමඟ සම්බන්ධ වී ඇත.

ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්ත කළ විට සමස්ත ගිලන් රථ සේවය 300 දක්වා වර්ධනය වීමට නියමිතය. සුවසැරිය පදනම යටතේ තරුණ තරුණියෝ 1428ක් සේවයේ නිරත වී සිටිති. ඔවුන්ට රැයක් දවාලක් නැත.

නිවාඩු දිනයක් නැත. සතියේ දින 7 පුරා පැය 24 පුරා ජනතාවගේ ජීවිත බේරා ගැනීම උදෙසා නොමිලේ මෙහෙවර කිරීමට ඔවුහු සූදානමින් සිටිති.

රෝගීන් වෙත පූර්ව රෝහල් හදිසි ප්‍රතිකාර ලබා දීම සඳහා මෙම කාර්යය මණ්ඩලයට ඉතා හොඳ පුහුණුවක් ලබා දී ඇති බව පැවසූ සුවසැරිය පදනමේ සභාපති දුමින්ද්‍ර රත්නායක, රෝගියා අවශ්‍ය රෝහලට රැගෙන යන තුරු පූර්ව රෝහල් ප්‍රතිකාර ලබා දීම සඳහා වෛද්‍යවරයකුගෙන් උපදෙස් ලබා ගන්නා බව සඳහන් කළේය. කොළඹ පිහිටි 1990 සුවසැරිය ප්‍රධාන මධ්‍යස්ථානයේ 24 පැය පුරා වෛද්‍යවරයකු සිටින අතර අදාළ වෛද්‍යවරයා නිරතුරුවම මේ හදිසි ප්‍රතිකාර සඳහා අවශ්‍ය උපදෙස් සපයයි. මෙහිදී රෝගියාගේ තත්ත්වය අනුව කුමන රෝහලට රෝගියා ඇතුළත් කරනවාද යන්න තීරණය කරනු ලබන්නේ ද ප්‍රධාන මධ්‍යස්ථානයේ සිටින වෛද්‍යවරයා ය. රෝගියාගේ පවුලේ සාමාජිකයකු විසින් අදාළ රෝගියා පෞද්ගලික රෝහලක් වෙත ඇතුළත් කරන ලෙස ඉල්ලා සිටින විට ඒ රෝහල අදාළ දිස්ත්‍රික්කය තුළ පිහිටා තිබේ නම් එම ඉල්ලීම 1990 සුවසැරිය මඟින් ඉටු කරන බවත් ඒ සඳහා ද ප්‍රධාන මධ්‍යස්ථානයේ සිටින වෛද්‍යවරායගෙන් උපදෙස් ගන්නා බවත් පැවසුවේ සුවසැරිය ගිලන්රථ සේවාවේ ප්‍රධාන විධායක නිලධාරි සොහාන් ද සිල්වා ය.

කොළඹ පිහිටි ප්‍රධාන මධ්‍යස්ථානය තුළ සේවයේ යෙදී සිටින්නේ Sri Lanka Society of Critical Care And Emergency Medicine හී කටයුතු කරන වෛද්‍ය කණ්ඩායමක් බව සොහාන් ද සිල්වා වැඩිදුරටත් දන්වා සිටියේය.

1990 සුවසැරිය ගිලන් රථ තුළ රෝගින්ගේ රුධිර පීඩනය සහ රුධිරයේ සීනි පරීක්ෂාව ද සිදු කෙරෙයි.

අවශ්‍ය නම් ඔක්සිජන් පහසුකම් ද ඖෂධ ද ලබා දීම සිදුවේ. පූර්ව රෝහල් හදිසි ප්‍රතිකාර ලබා දීම සිදු වේ.

සාමාන්‍ය රථයකින් රෝගියකු රෝහලකට රැගෙන යනවාට වඩා සුවසැරිය ගිලන් රථයකින් ළඟම පිහිටි රෝහලකට රෝගියකු රැගෙන යෑමේ වෙනස එයයි.

හර්ෂා සුගතදාස

අදහස්