ඇමරිකාවෙන් අපට ඩොලර් මිලියන 480ක් ලැබුණේ මොකටද? | සිළුමිණ

ඇමරිකාවෙන් අපට ඩොලර් මිලියන 480ක් ලැබුණේ මොකටද?

ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙරටට ලැබුණු විශාලතම මූල්‍ය ප්‍රදානය ලෙස වාර්තා තබමින් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 480ක මුදලක් ලැබී තිබේ. මේ මුදල අප රටට ලබාදෙනුයේ ඇමෙරිකාවේ MCC (සහශ්‍ර සංවර්ධන අභියෝගතා ආයතනය) විසිනි. මේ මූල්‍ය ප්‍රදානය මෙරටට ලබාදීම පිළිබඳ ඉකුත්දා මුදල් ඇමැති මංගල සමරවීර මහතා මාධ්‍යයට කළ ප්‍රකාශයට වැරදි අර්ථකථන ලබාදීමක් මේ වන විට සිදු වී තිබේ.

විපක්ෂයේ හා විවිධ ආගමික නායකයන්ද ඇමැතිවරයාගේ ප්‍රකාශය වැරදි ලෙස හුවා දක්වමින් රට අවුල් කිරීමට පටන්ගෙන ඇති බවක් දක්නට ලැබේ. මේ සහශ්‍ර සංවර්ධන අරමුදල කුමක්ද, එය මුදල් ප්‍රදානය කරන්නේ කුමන හේතු සාධක මතද? යන්න පැහැදිලි කරමින් මේ සටහන තබනු ලැබේ.

MCC යනු කුමක්ද?

ඇමරිකාවේ සහශ්‍ර සංවර්ධන අභියෝගතා ආයතනය (MCC) යනු 2004 දී එක්සත් ජනපද කොංග්‍රසය විසින් පිහිටුවන ලද ද්විපාර්ශ්වික එක්සත් ජනපද විදේශ ආධාර ආයතනයකි. එය ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් සහ ඇමෙරිකානු ආධාරවලින් වෙන් වූ ස්වාධීන ආයතනයකි. විදේශ ආධාර ලබාදීම සඳහා නව දර්ශනයක් යොදාගැනීම මෙහි ඇති සුවිශේෂත්වයයි. එකී දර්ශකය මූලික අංශ තුනකට යටත්ව කාණ්ඩ 21ක් පිළිබඳ විමර්ශනයකොට සංඛ්‍යාත්මක බර තැබීමක් සිදු කරනු ලැබේ. සුදුසුකම් තෝරාගැනීමේ දර්ශක තුනකි. ඒවා නම්: ආර්ථික නිදහස, යුක්තිගරුක පාලනය සහ ජනතාව කෙරෙහි ආයෝජනය ලෙස තෙවදෑරුම් වේ. අපි එය පිළිබඳව දැන් සලකා බලමු.

ආර්ථික නිදහස යනු: i. මූල්‍ය ප්‍රතිපත්ති, ii. උද්ධමනය, iii. නියාමනයේ ගුණාත්මකභාවය, iv. වෙළෙඳ ප්‍රතිපත්ති, v. ආර්ථිකයේ ස්ත්‍රී-පුරුෂ දායකත්වය, vi ඉඩම් හිමිකම් හා ප්‍රවේශය, vii ණය ප්‍රවේශය, viii ව්‍යාපාර ආරම්භ කිරීම

යුක්තිගරුක පාලනය යන්නෙන් අදහස් කරනුයේ: i. දේශපාලන අයිතීන්, iv. රාජ්‍ය ඵලදායිතාව, ii. සිවිල් නිදහස, v. නීතියේ ආධිපත්‍යය, iii. දූෂණය පාලනය කිරීම, vi. තොරතුරු දැනගැනීමේ අයිතිය සහ සපුරාලීමය

ජනතාව කෙරෙහි ආයෝජනය යනු පහත දැක්වෙන දෑ සඳහා රජය කරනු ලබන ආයෝජනය වේ. ඒවා නම්: i. සෞඛ්‍ය පිරිවැය, ii. ප්‍රාථමික අධ්‍යාපනයේ පිරිවැය, iii. ස්වාභාවික සම්පත් ආරක්ෂණය, iv. ප්‍රතිශක්තිකරණ අනුපාතය, v. ද්විතීයික අධ්‍යාපන ප්‍රවේශයේ බාලිකා අනුපාතය, vi. ළමා සෞඛ්‍යය වේ

උක්ත දර්ශක 20 තුළින් අවම දර්ශක 11කට වැඩි ප්‍රමාණයක් සාර්ථක වී ඇති රටවල් ඇමෙරිකානු සසහශ්‍ර සංවර්ධන අභියෝගතා ආයතනයේ මූල්‍ය ප්‍රදාන සඳහා හිමිකම් කියයි. එකී මුල්‍ය ප්‍රදාන ලබාදීමේ මූලික කොන්දේසිය වනුයේ, ඔවුන් නියම කරන කාලය තුළ අදාළ වැඩසටහන් සම්පූර්ණ කොට අවසන් කිරීමයි. ඒ අනුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදු කරන ලද නියාමන දර්ශක විමර්ශනයට අනුව 2019 වර්ෂයේදී දර්ශක 13ක ශක්‍යතාව මත ඇමරිකානු ඩොලර් 480ක මූල්‍ය ප්‍රදානය ලංකාවට හිමි වී ඇත.

ඩොලර් මිලියන 480 ඇත්ත කතාව

ඇමෙරිකාවේ සහශ්‍ර සංවර්ධන අභියෝගතා ආයතනය (MCC) ආරම්භක කාලසීමා‍වේදීම ශ්‍රී ලංකාව එහි ප්‍රදානයන් සඳහා ඉල්ලුම්පත් ඉදිරිපත් කර ඇත. එහෙත් රටේ පැවැති සමාජ වාතාවරණය හමුවේ ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමක් සිදුව නැත. ඉන් අනතුරුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ මේ සඳහා ඉල්ලුම් කිරීමක් කර ඇති නමුත් ඒ උත්සාහයද ව්‍යර්ථ වී ඇත. 2015 මේ ආණ්ඩුව පත් වූ පසුව නැවතත් MCC ප්‍රදානයන් සඳහා ඉල්ලුම් කිරීමක් සිදුකරන ලදි. ඒ අනුව 2016 දී මුල්ම සහශ්‍ර සංවර්ධන අභියෝගතා ආයතනයේ නියෝජිත පිරිසක් ලංකාවට පැමිණ මේ සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කිරීම ආරම්භ කළෝය. ඒ අනුව ශ්‍රී ලංකාව 2017 - 2018 කාලසී‍මාවේ ඔවුන්ගේ නියාමන දර්ශක 20න් 13ක සාර්ථකත්වයක් අත් කරගැනීම හේතුවෙන් 2018 වර්ෂයේ අවසන් කාර්තු‍වේදී මේ මිලියන 480 ප්‍රදානය ලබාදීමට සහශ්‍ර සංවර්ධන අභියෝගතා ආයතනය එකඟතාව පළ කර තිබිණි.

එහෙත් ඔක්තෝබර් 25 ප්‍රජාතන්ත්‍ර විරෝධීව සිදුකරන ලද දේශපාලන ව්‍යාකුලත්වය හමුවේ ඒ මූල්‍ය ප්‍රදානය රටට අහිමි විය. කෙසේ නමුත් 2018 දෙසැම්බර් යළි ප්‍රජාතන්ත්‍රවාදි ආණ්ඩුව පිහිටුවීමෙන් පසු මුදල් අමාත්‍යවරයා විසින් සහශ්‍ර සංවර්ධන අභියෝගතා ආයතනයට නැවත ඉල්ලුම් කිරීමක් සිදු කරන ලද අතර ඒ අනුව සිදු කරන ලද විමර්ශන අවසානයේ 2019 අප්‍රේල් 25දින ඔවුන් ඊට එකඟතාව පළ කරන ලදි. එම එකඟතාවත් සමග ශ්‍රී ලංකාව සඳහා ඇමරිකානු ඩොලර් 480ක මූල්‍ය ප්‍රදානයක් හිමි වනු ඇත. ඒ ඉදිරි වර්ෂ 5ක කාලසීමාව තුළ ප්‍රධාන ව්‍යාපෘති තුනක් සම්පූර්ණ කොට අවසන් කිරීම සඳහා ය.

'මි‍ලේනියම් චැලෙන්ජ්' ව්‍යාපෘති

සහශ්‍ර සංවර්ධන අභියෝග තුනකි. ප්‍රවාහන කළමනාකරණ පද්ධති වැඩිදියුණු කිරීම: විශේෂයෙන් මේ යටතේ රථවාහන කළමනාකරණ පද්ධතිය සංවර්ධනය කිරීමත්, බස් ප්‍රවාහන පද්ධතිය වැඩිදියුණු කිරීමත් සිදු කෙරෙනු ඇත. විශේෂයෙන් කොළඹ ප්‍රධාන නගර ප්‍රදේශයේ පවත්නා මාර්ග තදබදය අඩුකිරීමත් වාහන තදබදයකින් තොරව රථවාහන කළමනාකරණ පද්ධතිය දියුණු කිරීමත්, ගමනාගමනය සඳහා ගත වන කාලය අඩු කිරීමත්, වායු විමෝචනය අඩු කර අනතුරු සිදුවීම් වැළැක්වීමත් මේ ව්‍යාපෘතියට ඇතුළත් වේ. එසේම මගී බස් ප්‍රවාහන සේවාව වඩාත් දියුණු ආකාරයට පත් කිරීම සඳහා රජයේ හා පෞද්ගලික ඒකාබද්ධ සේවාවක් ස්ථාපිත කිරීමත්, මගීන්ට වඩාත් පහසුකම් සහිත බස් මිල දී ගැනීමත් වඩාත් පහසුකම් සහිත මගී ප්‍රවාහන සේවාවක් ස්ථාපිත කිරීමත් මේ යටතේ සිදු කරනු ලැබේ. මධ්‍යම පර්යන්ත මාර්ග සංවර්ධනය කිරීම මධ්‍යම පර්යන්ත මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය යටතේ කිලෝමීටර් 131ක මාර්ග ජාලයක් වැඩිදියුණු කිරීමට කටයුතු කෙරේ. මේ යටතේ, අවිස්සාවේල්ල සිට පැල්මඬුල්ල, බෙරගල සිට වැල්ලවාය, නාවුල සිට දඹුල්ල, දඹුල්ල සිට බකමූණ හරහා කළුගහවැව දක්වා වූ මාර්ග සංවර්ධනය කරනු ඇත.

ඉඩම් පරිපාලන වැඩසටහන: මේ යටතේ ගම්පහ, කෑගල්ල, මාතලේ, මහනුවර, කුරුණෑගල, අනුරාධපුර, පොලොන්නරුව සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක 8 ආවරණය වන පරිදි රජයේ සහ පෞද්ගලික ඉඩම් මිනුම්ගත කරනු ලබන අතර, ඉඩම් හිමිකම් අහිමි ජනතාවට ඉඩම් හිමිකම් පැවරීම සිදු කෙරේ. එසේම ඉඩම් ලියාපදිංචි කාර්යාල දහයක් උත්ශ්‍රේණිගත කර, දිස්ත්‍රික් 8 තුළ නවීන තාක්ෂණික ක්‍රමවේද මඟින් ඉඩම් සිතුවම්ගත කර ඉඩම්වලට අදාළ සියලු පිඹුරු සකස් කර එහි දත්ත ගබඩා කිරීමට සැලසුම් කරනු ලැබේ. මෙමගින් මැනුම් දෙපාර්තමේන්තුවේ කටයුතුවලට පහසුකම් සලසනු ඇත. මේ ප්‍රධාන ව්‍යාපෘති තුන ඉදිරි වසර පහ තුළ ක්‍රියාත්මක කිරීම සඳහා ඇමෙරිකාවෙන් මෙම ඩොලර් මිලියන 480ක ප්‍රදානය ලැබෙනු ඇත.

අදහස්