මඩකලපුවේ දෙමළ සිසුවිය මුස්ලිම් අන්තවාදීන්ගේ මරාගෙන මැරෙන බෝම්බකාරියක වූ හැටි... | සිළුමිණ

මඩකලපුවේ දෙමළ සිසුවිය මුස්ලිම් අන්තවාදීන්ගේ මරාගෙන මැරෙන බෝම්බකාරියක වූ හැටි...

අප මේ දිනවල කතාබහ කරමින් සිටින්නේ මුස්ලිම් අන්තවාදී කොටස් විසින් සිදු කරනු ලබන බෝම්බ පිපිරවීම් හා අමානුෂික මිනිස් ඝාතන පිළිබඳ ය.

ඒ සෑම ඝාතනයක්ම අන්තවාදී මුස්ලිම් ත්‍රස්තයන්ගේ ය. මේ අතර මීගමුව කටුවාපිටිය දේවස්ථානයේ බෝම්බකරුවාගේ ජීවිත කතාව සමඟ බැඳුණු කතා මැද කතා බොහොමයක් අසන්නට ලැබෙයි.

පාස්කු ඉරිදා මීගමුවේ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට පැමිණ බෝම්බයක් පුපුරවා ගනිමින් විශාල පිරිසක් ඝාතනය කළ මරාගෙන මැරුණු බෝම්බකරුවා මොහම්මදු හස්තූන් බවට හඳුනාගෙන අවසන්ය. පෙළ ගැසෙන තොරතුරුවල දී අනුවේදනීය කතාවක් කටුවාපිටිය දේවස්ථානයේ බෝම්බකරුගේ බිරිය පසුපසත් ඇත. ඇය අන්තවාදී මුස්ලිම් කාන්තාවක හෝ අන්තවාදී දෙමළ කාන්තාවක නොවූ බව කියැවුණත් තව්හිද් ජමාද් කල්ලියේ බලපෑම් මත ඇයටද මුස්ලිම් අන්තවාදිනියක ලෙසින් අවසානයේදී බෝම්බයක් පුපුරවා ගෙන මිය යන්නට සිදු වූ බව වාර්තා වෙයි.

මඩකලපුව නගරයේ සිට කිලෝමීටර් විසිහතක් දුරින් පිහිටි තෙට්ටතීව් ගම්මානයේදී 1996 මාර්තු මස හත් වෙනිදා උපන් දෙමළ දැරියට ඔවුන්ගේ මවුපියන් විසින් නම තබන ලද්දේ මහේන්ද්‍රන් පුලස්තිනී ලෙසිනි.

මඩකලපුව කලවාංචිකුඩි රෝහලේදී ඇය උපත ලබන්නේ පරම්පරා හතක දෙමළ සම්භවයකින් යුතු පවුලක තවත් සාමාජිකාවක වශයෙන් බැවින් ඇගේ ජාතිය සටහන් වන්නේ ශ්‍රී ලංකා දෙමළ වශයෙනි.

මහේන්ද්‍රන් පුලස්තිනී ලෙස නම් දැරුවත් මේ දැරියට පාසලේදීත් ගමේදීත් සියල්ලෝම ආදරයෙන් ඇමතුවේ ''සාරා'' කියාය. කෙසේ වෙතත් අප සාරා හඳුනාගත්තේ මරාගෙන මැරෙන බෝම්බකාරියක ලෙසය. මොහම්මදු හස්තූන් නමැති ම්ලේච්ඡ ත්‍රස්තවාදියාගේ බිරිය ලෙසය. ඒ තරුණියගේ කතාව අප තැතිගන්වනසුලුය. එය ලෝකයට හෙළි කරන්නේ ඉන්දියාවේ ප්‍රකට රූපවාහිනි සේවයක් වන අයි.බී.සී (IBC) සේවය විසිනි.

පාස්කු ඉරිදා එල්ල වූ ම්ලේච්ඡ ප්‍රහාරයෙන් පසුව සාරාගේ කතාව සොයාගෙන ඉන්දියාවේ අයි.බී.සී. රූපවාහිනී නාලිකාව මඩකලපුවේ තෙට්ටතීව් ගම්මානයට පැමිණියේය. පසුව සාරාගේ මව වන කවිතා මහේන්ද්‍රන් හමු වී සාරා ගැන විස්තර විමසුවාය.

ඇය එම රූපවාහිනී නාලිකාවට තොරතුරු ලබාදෙමින් පැවසුවේ හද කම්පා කරන කතාවකි. මුලින්ම ඇය ප්‍රකාශ කළේ තමන්ගේ දියණිය බෝම්බ පුපුරවා ගෙන මියගිය බවක් තමන් විශ්වාස නොකරන බවය. කෙසේ හෝ තම දියණිය සිටිනා තැනකින් සොයා දෙන ලෙස ඇය වැඳ වැටෙමින් දෑතින්ම පපුවට ගසා ගනිමින් සියලු දෙනාගෙන් ඉල්ලා සිටියාය.

''දුව ඉගෙනීමේ කටයුතු සඳහා මඩකලපුව නගරයට ගියා. අමතර පන්ති ගියා. ඔය අතරවාරයේ මුස්ලිම් තරුණයෙකු එක්ක දුව යාළුයි කියලා ගමේ අය අපිට කිවුවා. ඒ වෙන කොට මම හිටියේ විදේශගත වෙලා. රැකියාවක් කරමින්. මම දුරකතනයෙන් දුවට කාතා කළා. දුවගෙන් ඇහුවම ඇය කිව්වේ ‘ඔව් අම්මා... එයා මගේ යාළුවෙක් තමයි... ඒත් ඔය මිනිස්සු කියන විදිහට අපි දෙන්නා ආදරේ නෑ..’ කියලයි.

කාලෙකට පස්සේ දුවට පන්ති යන්න ඕන කියලා කොළඹ යන්න පටන් අරන් තිබුණා. ඇය ගෙදරට ඇවිත් තිබුණෙ ඉතාම කලාතුරකින්. මේ ගැන සැක හිතිලා අපේ නෑයෝ කොළඹට ගිහින් දුව ගැන හොයලා බැලුවා. ඒ ගිය දවසෙත් හස්තූන් එක්ක ඔය අබ්දුල් රාසික් කියන කෙනත් ඇවිල්ලා හිටියා කියලා නෑදෑයෝ කිව්වා.

මම දුරකතන පණිවුඩයකින් දුවගෙන් ඇහුවා මේ මොකක්ද වෙන්නෙ කියලා. ඒ දවසේ දුව කිව්වෙත් එයා මගෙ යාළුවෙක් විතරයි කියලයි. ඊට අවුරුද්දකට විතර පස්සේ මම දුවට ටෙලිෆෝන් කරන කොට උත්තර දුන්නේ පිරිමියෙක්. මම දුව කෝ කියලා අහනකොට එයා කිව්වේ ‘මම දුවව කසාද බැන්දා. මම මොහොම්මදු හස්තූන්’ කියලා. මම ඒ වෙලාවේ ඒ මනුස්සයට බැණලා කිව්වා මට දුවට කතා කරන්න ඕනේ කියලා. ඊට පස්සේ එයා කිව්වා මම දැන් එයාගේ මිනිහා. මම එයාව දැන් අපේ ආගමට අරගෙන තියෙන්නේ කියලා. ඒ වෙනකොට මං ලංකාවට ඇවිත්.

ඒ කතාව කිව්වම අපේ නෑයෝ කිව්වා පොලීසියට යමු කියලා. අපි කලවංචිකුඩි පොලීසියට ගිහින් පැමිණිල්ලක් දාන්න හදනකොට ලොකු මහත්තයා දුවගේ වයස අහලා අපිට කිව්වේ දුවගේ වයස සම්පූර්ණ නිසා දුවගේ කැමැත්තට විවාහ වෙන්න පුළුවන් කියලා. ඒකට පොලීසියට කරන්න දෙයක් නෑ කියලා.

මම පොලීසියේ මහත්තයට කිව්වේ දුවව බලහත්කාරයෙන් මුස්ලිම් ආගමට හරවගෙන තියෙන්නේ. මට ඒකට හරි පැමිණිල්ලක් දාලා දෙන්න කියලා. ඒ පැමිණිල්ල ලියා ගත්තා. දවස් විසි හයකට පස්සේ දුවයි ඒ දුව බැන්ද හස්තූන් කියන කෙනයි ඔය අබ්දුල් රාසීක් කියන කෙනයි තව පිරිමි දෙන්නෙකුයි කලවංචිකුඩි පොලීසියට ආවා. ගෑනු කෙනෙකුට හිටියේ අපේ දුව විතරයි.

පොලීසියේදී දුව කිව්වේ ‘මම හස්තූන්ව බැන්දා. මම මගේ කැමැත්තෙන්ම මුස්ලිම් ආගමට ගියා‘ කියලයි. දුව කිව්වා‘ එයා සතුටෙන් ඉන්නවා‘ කියලා.

පොලීසියේ මහත්තුරු සේරම කිව්වේ ‘දැන් ඉතින් අම්මා දුවගේ සතුට ගැන හිතන්නකෝ. ඔය ජාති භේද ගැන හිතලා වැඩක් නෑ ‘ කියලා. මට අඬනවා ඇරෙන්න වෙන දෙයක් කියන්න කරන්න ඉතුරු වුණේ නෑ. දුව මගේ ඔළුවත් අතගාලා ඒ අය ආව වාහනෙන්ම සේරම අය අපේ ගෙදර ආවා. ‘කෑම කන්න බෑ. වැඩ තියනවා. හදිස්සියෙන්ම යන්න ඕනේ‘ කියලා තේ බීලා ගියා.

ඒ කතා කරපු වෙලාවේදි කිව්වෙත් ‘සාරා දැන් මුස්ලිම් ආගමේ ඉන්නේ. වැඩ කරන්නේ අපේ ආගමේ විදිහට’ කියලා. හැබැයි හස්තූන් වැඩිය ඒ ගැන කිව්වේ නෑ. ඇවිත් හිටිය අනෙක් අය තමයි එහෙම කිව්වේ. කොහොම හරි අපේ දුව සතුටෙන් ඉන්නවා කියලා කිව්ව හන්දා අපි හිත් හදාගත්තා. ගෙදරට ඇවිත් යන්න එන්න කිව්වා. ඒත් ඒ අය එහෙම ආවේ නෑ.

දැනට අවුරුද්දකට විතර ඉස්සර වෙලා දවසක් දුව මට කතා කළා. ඒ ටෙලිෆෝන් එකෙන් තමයි. කතා කරලා කිව්වා ‘හස්තූන් ගෙදර අය එක්ක කිසිම දෙයක් කතා කරන්න එපා කියලා මට තර්ජනය කරනවා. මගේ ජීවිතේ ගොඩාක් දැන් කරදරයි. හිතුව දේවල් නෙමෙයි දැන් වෙන්නේ. එව්වා කියන්න බෑ. මම පස්සේ වේලාවක කියන්නම්. අම්මලත් මට කතා කරන්න එපා. වුවමනාවක් වුණොත් මම කතා කරන්නම්’ කියලා.

දුව ඊට පස්සේ කතා කළේම නෑ. ඒ දුක ඉවසාගන්න බැරුව මම ආයෙත් පොලීසියට ගියා. ගිහින් ලොකු මහත්තයට මුළු කතාවම කිව්වා. ඊට පස්සේ ඒ මහත්තයා කිව්වේ ‘අම්මේ එව්වා පවුලේ ප්‍රශ්න නේ. අම්මට ඒකට පැමිණිල්ලක් දාන්න බෑ. දුවට කරදර නම් එයාට පැමිණිල්ලක් දාන්න’ කියලා කියන්න කිව්වා. මම ඒ වේලාවෙ කිව්වේ දුවට ඒ මනුස්සයා අපිට කතා කරන්නවත් දෙන්නේ නැති නිසා මොනවත්ම කරන්න බෑ කියලයි.

පස්සේ ලොකු මහත්තයා මගෙන් ටෙලිෆෝන් අංකය ඉල්ලාගෙන ඒ දෙන්නටම කතා කළා. අම්මා දුකෙන් ඉන්නේ කියලා අවවාද කරලා මටත් කතා කරන්න දුන්නා. මම ඒ කතා කළ වේලාවෙ හොඳට කතා කළා. ප්‍රශ්න මොනවත් කිව්වේ නෑ.

ඊට පසු දා හස්තුන් කතා කළා. අබ්දුල් රසීක් කතා කළා. ඒ එක්කම තව දෙන්නෙකුත් කතා කළා. ඒ කතා කළ අය කිව්වේ ‘අපේ ආගමේ හැටියට අපි ජීවත් වෙන්නේ. දැන් සාරා අයිති අපේ ආගමට. උඹලා කිසිම කෙනෙකුට කිසිම දෙයක් කරන්න බෑ. ආය පොලීසි යන්නයි එක එකාට කියලා කතා කරන්නයි එපා. එහෙම වුණොත් සාරා ගේ ජීවිතේ අනතුරේ වැටෙනවා. උඹලටත් නිකන් නැති කරදර එයි. ඒක නිසා සද්ද නොකර ඉඳපල්ලා...’ කියලා කිව්වා. එදා තමයි ඒ අය බොහොම සැරෙන් අපිට කතා කළේ.

මම එදත් අපේ දුවට කතා කරන්න ඕනේ කිව්වා. ‘නෑ නෑ... ආය කතා කරන්න ඕනේ නෑ...’ කියලා ටෙලිෆෝන් එක තිබ්බා.

ආයෙත් දවසක් දුව හදිසියෙම විනාඩි තුනක් විතර කතා කළා. ඒ කතා කළෙත් එයාගේ ටෙලිෆෝන් එකකින් නෙමෙයි. මට කතා කරලා කිව්වා ‘අම්මා මට කරදර ගොඩායි. මගේ ජීවිතේම ලොකූ ප්‍රශ්න ගොඩකට මම මැදිවෙලා ඉන්නේ. ආය කතා කරන්න අම්මව දකින්න ලැබෙයිද දන්නේ නෑ.’ කියලා.

දුව මේ මොනවාද කියන්නේ කියලා මම දහ අතේ කල්පනා කළා. මම හිතුවේ බෑනගෙන් දුවට කරදර ඇති. දුව මට ඒවා කියන්නේ නෑ කියලයි.

ඔය අතරෙදි තමයි කොළඹ තැන්වල බෝම්බ පුපුරවලා තියනවා, මුස්ලිම් අය තමයි ඒවා කරලා තියෙන්නේ කියලා කතාවල් පැතිරුණේ. අපේ හිතවත් අය කීප දෙනෙකුම කිව්වා බෝම්බෙන් මැරිලා ඉන්නේ හස්තූන් වගේම කෙනෙක් ටිකක් හොයලා බලන්න කියලා. තිබුණු දුරකතන අංකවලට කතා කළාට කිසිම උත්තරයක් ලැබුණේ නැහැ. මැරුණේ හස්තූන් කියලා දැන ගන්න ලැබුණෙත් නෑ.

ඊට දවස් කීපෙකට පස්සේ මඩකලපුවේ සයින්දමරුදු පළාතේ බෝම්බ පිපිරුණා කියලා දැන ගත්තා. පොලීසිය තමයි ඇවිත් දුව ගැන විස්තර ඇහුවේ. පොලීසිය කියන්නේ දුව මරාගෙන මැරෙන බෝම්බකාරියක්. එයාම බෝම්බයක් පුපුරවාගෙන මැරුණා කියලා. මාව රෝහලට එක්කන් ගිහින් දුවගේ කියලා මිනියක් පෙන්නුවා. ඒත් මට ඒක අඳුනාගන්න බෑ. මට විශ්වාස කරන්නත් බෑ.

මගේ දුව හරිම ලස්සනයි. මූණ හරීම සිරියාවන්තයි. මැරිලා හිටිය කෙනා එහෙම නෑ. අනේ මහත්තයෝ මේ මොනවත් මට තේරෙන්නේ නෑ. මගේ දුවට මිනිස්සු මරන්න කිසිම වුවමනාවක් නෑ. එයාට මොනවා ලැබෙනවටද? මගේ දුව කොහේ හරි ඉන්නවා මට එයාව කොහොම හරි හොයලා දෙන්න.''

සාරාගේ මව වන කවිතා හඬා වැලපෙමින් කකියන්නීය. දෙමළ ත්‍රස්තවාදය හමුවේ මරාගෙන මැරෙන බෝම්බකාරියන් ගැන කවිතා කරුණු කාරණා ඉතා හොඳින් දන්නා නමුත් දෙමළ දියණියක වන තම දියණිය මුස්ලිම් අන්තවාදීන් වෙනුවෙන් මේ අන්දමට බෝම්බ පුපුරවා ගනිතියි ඇය කිසිසේත් විශ්වාස කරන්නේ නැත.

ඉන්දීය අයි.බී.සී රූපවාහිනිය කී කතාව

මේ කතාව මුල් කරගනිමින් අයිබීසී රූපවාහිනී නාලිකාව පවසන්නේ මේ සියල්ල පිටුපස සිටින්නේ තව්හිද් ජමාද් සංවිධානයේ අබ්දුල් රසීක් බවය. ඒ සියල්ලටම වගකිවයුත්තා අබ්දුල් රසීක් බවට අයිබීසී නාලිකාව විස්තර කරයි.

ඔවුන් සිය විශේෂාංගය ගොඩනඟා ඇති අන්දම අනුව සාරාගේ හා හස්තූන්ගේ ආදරයද සත්‍ය ආදරයක් නොව මිත්‍යා ආදරයකි. ඉතාම සැලසුම් සහගතව ඉදිරියේදී ප්‍රහාර ක්‍රියාත්මක කිරීමට යොදාගත හැකි මඟක් විදියට සාරා යොදාගන්නට උත්සාහ කරන්නට ඇතැයි යන විශ්වාසය හා සැකය දැන් මතු වී තිබේ.

සාරාගේ මව සාරාව ඉල්ලමින් හඬා වැටෙද්දී ඇයට අනුකම්පා විරහිතව කතා කොට ඇත්තේද අබ්දුල් රසීක්ය. බෝම්බ පිපිරීමේ සිද්ධියට සති තුනකට පමණ පෙර සාරාගේ නිවසට පැමිණි පුද්ගලයෙකු ආරක්ෂක අංශ සාමාජිකයෙකු යැයි කියමින් සාරාගේ මවගෙන් විශාල ප්‍රශ්නාවලියක් අසා පිළිතුරු ලබාගන්නේ සාරා ගැන කිසියම් තොරතුරක් ලැබී ඇත්දැයි සැකහැර දැන ගැනීම සදහාය. අබ්දුල් රසීක් විසින්ම මවන ලද ආරක්ෂක අංශ සාමාජිකයෙකු බවට අයිබීසීය වාර්තා කරයි.

සාරා මිය ගියාය. ඇය මරා දැමුවාද, සිය දිවි හානි කරගත්තාද යන්න ගැන දන්නේ සාරා පමණය. එහෙත් මේ මිනිස් බෝම්ම නිර්මාණය කළ මිනීමරුවන් විවිධ වේශයෙන් මේ මොහොත වන විටත් ජීවමානදැයි හෙළි කරගැනීම ආරක්ෂක බුද්ධි අංශවල වගකීමය.

අදහස්