රට වටින් හමුවෙන මරාගෙන මැරෙන අන්තවාදීන්ගේ පුහුණු කඳවුරු | සිළුමිණ

රට වටින් හමුවෙන මරාගෙන මැරෙන අන්තවාදීන්ගේ පුහුණු කඳවුරු

මුස්ලිම් ආගමික අන්තවාදීන්ගේ රටපුරා පිහිටි ආරක්ෂක නිවාස රැසක් මේ වන විට ආරක්ෂක අංශ සොයාගෙන තිබේ. ආරක්ෂිත නිවාස 13ක් ඒ අතරය. ඉන් 11ක් රාජ්‍ය බුද්ධි අංශය විසින් අනාවරණය කරගෙන තිබේ. ඉතිරි ආරක්ෂිත නිවාස 02 ආනාවරණය කරගනු ලැබුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසිනි.

අම්පාර ආරක්ෂිත නිවාස 05ක්, මඩකලපුව 02, කොළඹ 02 ක්, නුවර 01ක්, හම්බන්තොට 01ක්, මීගමුව සහ පාණදුර 02ක් වශයෙන් ඒවා පිහිටා තිබිණි. කොළඹ ලකී ප්ලාසා නිවාස සංකිර්ණයේ හතර වන මහලේ අති සුඛොපභෝගි නිවෙසක සහරාන් සහ බිරිය සමඟ ජිවත් වෙද්දී කොළඹ ගල්කිස්ස පන්සල පාරේ අති සුඛෝපභෝගී මහල් නිවාසයක සහරාන්ගේ තවත් ප‍්‍රධාන ගෝලයෙක් ජීවත් වී සිටියේය.

ඒ අතර පුහුණු කඳවුරු කිහිපයකි. කාත්තන්කුඩි පොලිස් බල ප‍්‍රදේශයේ ආරියම්පති ඔල්ලියකුලමේ පිහිටි බි ආර්. ෆාම් නැමැති ස්ථානය එසේ සැඟවුණු පුහුණු කඳවුරකි. සත්ව ගොවිපොළක් ලෙස ඔවුන් එය පවත්වාගෙන ගොස් තිබේ. අක්කර 20කට අධික ප‍්‍රදේශයක එම කඳවුර විහිදී තිබිණි. විවිධකාරයේ ඉදිකිරීම් කරමින් කඳවුරට අවශ්‍ය පරිසරය සකසා තිබිණි.

පසුගියදා විශේෂ කාර්ය බළකායේ කලාප භාර අණදෙන නිලධාරි අතුල රත්නායක මහතා ඇතුළු ආරක්ෂක නිලධාරිහු තවත් විශේෂ මෙහයුමක් සිදු කළහ. ඒ ජල ටැංකියක් ගසන මුවාවෙන් ඉදි කළ සිවු මහල් නිරික්ෂණ කුලුනකි. එම භූමිය තුළ තහඩු සහ බැමි බැඳ විවිධ ආකාරයෙන් කොටස් වෙන් කරමින් පුහුණු කදවුරට අවශ්‍ය අකාරයට සකස් කර තිබිණි. මෙය සත්ව ගොවි පොළක් ලෙස සඳහන් කළද එහි සිටියේ කළුකුන් කිහිප දෙනෙකු පමණි. භුමිය පුරා පලතුරු පැළ සිටුවා තිබිණි.

එම ස්ථානය පවත්වාගෙන ගොස් තිබුණේ ඉතා රහසිගතවය. එම කඳවුරේ පොළොව මට්මමෙන් යටට කොන්ක‍්‍රීට් යොදා සකස් කරන ලද වළක් ආරක්ෂක අංශවලින් සොයා ගෙන තිබේ. එය අයි.එස් ක්‍රමටය තැනූ වදකාගාරයක් බව හෙළි විය. එවැනි වළවල් අයි. එස්. ත‍්‍රස්තවාදීහු මාරාන්තික සිර කිරීම් සහ වදහිංසා දීම සඳහා යොදා ගනිති. අත්අඩංගුවට ගත් අන්තවාදීන්ගෙන් ප්‍රශ්න කරන විට පවසා ඇත්තේ් එය මාළු ඇති කිරීම සඳහා කළ ඉදිකිරීමක් බවය.

එම ස්ථානයේ වූ බැරල් තහඩුවල වෙඩි තැබීම් සලකුණු දකින්නට ලැබිණි. ඒ සමඟම එම ස්ථානයේ කම්බි වැට විනාශ කිරීම සඳහා යොදාගන්නා ටෝපිඩෝ නැමති බෝම්බ සකස් කිරිමට සකස් කළ ඇති පි.වි. සි බට කිහිපයක්ද ආරක්ෂක අංශවලට හමුවිය. සහරාන් ඇතුළු පිරිසඑම ස්ථානයට පැමිණීමට ප‍්‍රධාන ගේට්ටුව වැඩි වශයෙන් භාවිතා කර තිබුණේ නැත. ඔවුන් වෙනුවෙන් ඉඩම වටා තාවාකාලික තහඩු දොරවල් සකසා තිබිණි. ඒ අනුව ප‍්‍රදේශවාසින්ට සැක නොහිතන ආකාරයෙන් එම ස්ථානයට විටින් විට පිරිස එක්ව ඇති ආකාරය ආරක්ෂිත අංශ අනාවරණය කරගෙන ඇත.

ඒ සමඟම රාජ්‍ය බුද්ධි සේවයට ලැබුණ තොරතුරක් මත සහරාන්ගේ අනුගාමියෙකු වු අබ්දුල් හමිඩ් මොහමඩ් රියාසාත් අත්අඩංගුවට ගත්තේය.

ඔහු සිය පියාට හොරෙන් රිල්වාන් සමග එක්ව තම නිවස අන්තවාදින්ගේ විවිධ සංවිධාන වැඩ සඳහා යොදාගන්නට දී තිබිණි. ඩ්‍රෝන කැමරා යවමින් කාත්තන්කුඩි නගරය වීඩියෝ ගත කර ඇත්තේ මෙම නිවසේ සිටය. රිල්වාන් දුන් රුපියල් 90 000ක මුදලකින් කොළඹ ගොස් ඩ්‍රෝන කැමරාවක් මිලදී ගෙන ඇත්තේද රියාසාත්ය. මොහු සහරාන්ගේ පුහුණු සැසි වැඩවලට සහභාගිවු අයෙකි.

විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති ලතිෆ්ගේ මඟ පෙන්වීමෙන් කලාප භාර අණදෙන නිලධාරී අතුල රත්නායකගේ මෙහයවීමන් විශේෂ කාර්ය බළකාය විසින් මෙහෙයුම් ගණනාවක් කරන ලදී. එහිදී රිල්වාන්ගේ නිවස නැවත පරික්ෂා කිරීමකට ලක් විය. මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයක්, හමුවන්නේ එහිදීය.

සහරාන්ගේ නුවර එළිය ප‍්‍රදේශයේ පුහුණ මධ්‍යස්ථානයක් රාජ්‍ය බුද්ධි අංශය විසින් හෙළිදරව් කරගන්නේ මේ අතරය. එම ස්ථානය පවත්වාගෙන ගොස් ඇත්තේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කරන ස්ථානයක් ලෙස ය. නුවරඑළිය බැලැක්පුල් හි තිබුණු එම කඳවුරේදී අවස්ථා කිහිපයකම අන්තවාදී කණ්ඩායම් පුහුණු කර තිබිණි. එහි එක් වරක් 35 දෙනෙක් ද තවත් වරෙක 38 දෙනෙකු ද එහි දී පුහුණුව ලබා දී ඇතැයි හෙළි වේ. එම දෙදින පුහුණු වැඩසටහනේදී අවි ගලවා සකස් කිරීම, මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර එල්ල කිරිම සඳහා මනස වෙනස් කිරිමේ දේශන, බෝම්බ පිළිබඳ දැනුවත් කිරීම් වීඩියෝ පට ඇසුරෙන් ලබා දී තිබේ. බල නහරය කපා මිනිසුන් ඉතා ඉක්මනින් මරා දමන ආකාරයද එම දෙදින පුහුණු වැඩසටහනට ඇතුළත් කර තිබුණු අයුරු හෙළි විය. වැදගත්ම හෙළිදරව්ව වන්නේ පසුගිය අප්‍රේල් මස පැවති එම පුහුණු සැසියට මුස්ලිම් කාන්තාවන් තිදෙනෙකුද සහභාගී වීමය.

එවැනි තවත් පුහුණු මධ්‍යස්ථානයක් හම්බන්තොට සිප්පිකුලම ප‍්‍රදේශයේ තිබෙන බව රාජ්‍ය බුද්ධි අංශ නිලධාරීහු සොයා ගත්හ. ඒ අනුව ඊට අදාළ පරික්ෂණ කටයුතු ආරම්භ විය. දැනට විදේශගතව සිටින ගසෙයියත් මොහමත් පව්වාස් මවුලානා නැමැති අයෙකුට අයත් එම ස්ථානය පුහුණු වැඩසටහන් සඳහා යොදාගෙන තිබේ.

වාලච්චේන රිදී තැන්න ප‍්‍රදේශයේදි තවත් අන්තවාදී පුහුණු භූමියක් විශේෂ කාර්ය බළකා සොයා ගත්තේය. එය විශාල ඉඩමකි. වාලච්චේන එම්. සි කාල්දින් නැමැති අයට අයත්ව තිබූ එම ඉඩම සහරාන් විසින් ලක්ෂ 28කට මිලදී ගැනීමට පොරොන්දු වී ඒ සඳහා රුපියල් ලක්ෂ 20ක අත්තිකාරමක් දී ඇත. ඉතිරි මුදල ඉඩම් හිමිකරුට ලැබී නැත.

ඉඩම ලියා ඇත්තේ මොහමඩ් සාජි මොහමඩ් කාදර් නැමත්තාගේ නමටය. රාජ්‍ය බුද්ධි අංශය සහ පොලිසිය එම සැකකරුගෙන් ප‍්‍රශ්න කිරීමේදී පවසා ඇත්තේ මෙම ස්ථානයේ පුපුරන ද්‍රව්‍ය වළ දමා තිබෙන බවය. එම ඉඩමේ වළ දමා තිබියදී ජෙලට්නයිට් කුරු, වෙඩි බෙහෙත් , සේවා නුල් විශේෂ කාර්ය බළකායේ නිලාධාරින් විසින් සොයාගනු ලැබීය.

විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති ලතිෆ් මහතාගේ උපදෙස් මත කලාප භාර අණදෙන නිලධාරී පොලිස් අධිකාරි අතුල රත්නායක, යුද හමුදාවේ නැඟෙනහිර ආඥාපති අරුණ ජයසේකර මහතාගේ මඟ පෙන්වීමෙන් 24 සේනාංකාධිපති මේජර් ජනරාල් මහින්ද මුදලිගේ, නැඟෙනහිර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කපිල ජයසේකර යන මහත්වරුන් ගේ මඟපෙන්වීම යටතේ ත්‍රිවිධ හමුදාවේ ආරක්ෂක නිලධාරිහු මේ වන විටත් දිවා රෑ නොබලා මෙහෙයුම්හි නිරත වෙති.

අදහස්