නිවෙ­න්නට ගිය සුනේ­ත්‍රා­දේ­විය තරු­වක් කළ අපූරු ගුරු­ත­රුව | සිළුමිණ

නිවෙ­න්නට ගිය සුනේ­ත්‍රා­දේ­විය තරු­වක් කළ අපූරු ගුරු­ත­රුව

* යන්නට ගියේ අඩි 8ක් පොළොව යටට
* ගමේ දුප්පත් පවුල්වලට පාසලෙන් නිවාස
* ඉඹු­ල්ගොඩ සුනේ­ත්‍රා­දේ­විය දැන් බබ­ළන පාස­ලක්

“ලංකාවේ ඇති දුප්පත් ම, නොදි­යුණු ම පහළ ම මට්ටමේ පාස­ල­කුයි ඔබ තෝරා­ගෙන තිබෙන්නේ. ඇයි මේ වගේ මෝඩ වැඩක් කරන්නේ. ඔබට දූලා දෙදෙ­නෙක් ඉන්නවා. ඔවුන්ට හොඳ පාස­ල­ක­ටයි ඔබ යන්නට ඕනෑ. ඔය පාසල ළඟ­දීම වසා දම­න්නට රජය තීර­ණය කරලා. ඒකෙන් පේනවා ඔය පාසලේ තත්ත්වය. ඔබට හොඳ පාස­ලක් ලබා දෙන්නට මට පුළු­වනි.”

දේශ­පා­ල­න­ඥ­යකු ගේ ළඟම හිත­ව­තකු වූ ඒ වැඩි­හි­ටියා ගේ අව­වා­දය නිසා ඔහු තුළ ඇති වූයේ කල­කි­රී­මකි.

“මම මගේ වුව­ම­නා­වෙ­න්මයි ඒ පාසල ‍තෝරා ගත්තේ. ළමයි හත­ළි­හක්, ගුරු­වරු හතර දෙනෙක්, පන්ති පහක් තියෙන ඒ පාසල ඒ පළාතේ හොඳම පාස­ලක් බවට මා පත් කර­නවා. දුන් අව­වා­ද­ව­ලට, ස්තුතියි. උප­කාර කිරී­මට ඉදි­රි­ප­ත්වීම ගැනත් ස්තුතියි.” ඔහු කීවේය.

එම්.ජී. රන්බණ්ඩා නමැති මේ විදු­හ­ල්ප­ති­ව­රයා ජය­ව­ර්ධ­න­පුර විශ්ව­වි­ද්‍ය­ලයේ ව්‍යාපාර පරි­පා­ල­නය පිළි­බඳ විද්‍යා­වේදී ගෞරව උපා­ධි­ධා­රි­යෙකි. අධ්‍යා­පන විද්‍යා පශ්චාත් උපා­ධි­ධා­රි­යෙකි. මහ විදු­හල් කීප­යක විදු­හ­ල්ප­ති­කම් දරා ලැබූ අත්දැ­කීම් ඇත්තෙකි. එහෙත් ඔහු තෝරා ගත්තේ රජය විසින් වසා දැමී­මට තීර­ණය කරනු ලැබූ ගම්පහ ඉඹු­ල්ගොඩ සුනේ­ත්‍රා­දේවි කනිටු විදු­හ­ලය.

රන්බණ්ඩා මහතා ගුරු වෘත්ති­යට පිවි­සුණේ 1985 අම්පාර නාම­ල්ඔය මහ විදු­හලේ උප­ගු­රු­ව­ර­යකු වශ­යෙනි. 1987 දී ඔහු නාම­ල්ත­ලාව මහ විදු­හලේ අංශ භාර ප්‍රධා­නියා විය. මේ යුගයේ අම්පාර ප්‍රදේ­ශය ද කොටි ත්‍රස්ත­වා­ද­යෙන් ගිනි­යම් වී තිබිණ. ඒ ගිනි­යම වැඩි වූ අව­ස්ථා­වකි අර­න්ත­ලාව භික්ෂු ඝාත­නය.

මේ පිළි­බඳ නැගෙ­න­හිර පළාතේ ජන­තා­වට සත්‍යය පැහැ­දිලි කිරීමේ වැඩ පිළි­වෙ­ළක් අව­ශ්‍යව තිබිණ.

ඝාත­න­යට ලක්වූ භික්ෂූන්ගේ දේහ­යන් අම්පාර මහ­ජන ක්‍රීඩාං­ග­ණයේ දී ආදා­හ­නය කැරිණ. කොටි ත්‍රස්ත­යන් උතුරු, නැගෙ­න­හිර දෙප­ළා­තම ලක්බි­මෙන් වෙන්කොට වෙනම රාජ්‍ය­යක් ගොඩ නැඟී­මට ගන්නා වෑයම හෙළි­කොට ලියූ පත්‍රි­කා­වක් එහි දී බෙදා හැරිණ.

මෙය රාජ්‍ය විරෝධි ක්‍රියා­වක් ලෙස සැලකූ පාල­කයෝ පත්‍රිකා බෙදා හැරීමේ යෙදුණු කීප දෙනකු අත්අ­ඩං­ගු­වට ගත්හ. ඒ තරු­ණ­යන් නිද­හස් කරන ලෙස ඉල්ලා අභි­යා­ච­නා­ධි­ක­ර­ණ­යෙන් ඉල්ලී­මක් කැරිණ. මේ සියලු කට­යුතු පිටු­පස රන්බණ්ඩා මහතා සිටින බව අම්පාරේ දේශ­පා­ලන බල­ව­තාට ඉව වැටිණ.

“රන්බණ්ඩා මහ පොළොවේ අඩි අටක් යටට යව­නවා” බල­වතා කෑ ගැසීය.

මේ කෑ ගැසිල්ල ඇසූ අධ්‍යා­පන නිල­ධා­රි­යෙක් රන්බණ්ඩා වහාම කිලෝ මීටර් 160 ක් දුරින් පිහිටි දෙහි­අත්ත කණ්ඩිය පාස­ල­කට මාරු කෙළේය.

අඩි අටක් වෙනු­වට කිලෝ­මී­ටර් 160 ක් දුරට ගිය රන්බණ්ඩා මහතා බල­ව­තාගේ මත­ක­යෙන් ගිලි­හිණ. ඉන්ප­සුව ඔහු දෙහි­අත්ත කණ්ඩියේ ම මීව­න්පුර මහ­වි­දු­හලේ සහ නුව­ර­ගල මහ විදු­හලේ විදු­හ­ල්පති තන­තුරු දැරු­වේය.

ඔහු සේවය කළේ ගොවි ජන­තා­වගේ දරු­ව­න්ටය. උදේ වරුවේ පාස­ලේත්, සවස් වරුවේ කුඹුරේ හෝ හේනේත් සිය මා පියන් සමඟ දහ­දිය වැගු­රුවේ දරු­වන්ට ඉහළ ම මට්ටමේ අධ්‍යා­ප­න­යක් ලබා­දී­මට එතුමා කැප­වූයේ ය. ගුරු පිරිස ද ඔහු අනුව ගියහ.

එහෙත් නුව­ර­ගල මහ විදු­හලේ දී ඔහුට අප්‍ර­සන්න අත්දැ­කීම් රැස­කට මුහුණ දෙන්නට සිදු­විය. පාසලේ කැන්ටි­මක් තිබිණ. ගුරු­වරු කීප දෙනෙක් ළම­යින්ට අයිස් පැකට් විකු­ණූහ. මහ ඇළෙන් ගෙන එන වතු­රට සීනි සැක­රින් දමා අයිස් පැකට් සාදා විකි­ණී­මෙන් ගුරු­වරු ලොකු මුද­ලක් සප­යා­ගත්හ.

මව සාදා දෙන බත් මුල ප්‍රති­ක්ෂේ­ප­කොට කැන්ටිමේ පාන්පිටි කෑමට පුරුදු වූ ළමයි මවු­පි­යන්ගේ මුදල් සොර­ක­මට ද පුරුදු වූහ. මුළු පාස­ලම හැම ළම­යෙක් ම අයිස් පැකට් මිලට ගත්හ. ගුරු­වරු කැන්ටිමේ දී දුම්පා­නය කළහ. ඔවුහු එහිදී වාද විවා­ද­වල යෙදුණේ විවේක කාලය අව­සන් බව හඟ­වන සීනු­වට ද අකී­කරු වූහ. විවේ­ක­යෙන් පසු කාල­ප­රි­ච්ඡේ­දයේ සෑම පන්ති­ය­කම සිසු ගැටුම් අඩ දබර දක්නට ලැබිණ.

විදු­හ­ල්පති රන්බණ්ඩා මහතා මේ තත්ත්වය පිළි­බ­ඳව ගුරු­ව­රුන් සමඟ කළ කතා බහෙන් පලක් නොවිණ. ඔහු කැන්ටිම වසා දැමු­වේය. මේ නිසා ගුරු මණ්ඩ­ල­යෙන් ද ගමේ මවු­පි­ය­න්ගෙන් ද විරෝ­ධතා නැඟිණ. එහෙත් යළි කැන්ටිම විවෘත ‍‍‍නොවිණ. ගෙද­රින් ගෙනෙන බත්, කුර­ක්කන් රොටි පාස­ලේදී කෑමට ළමයි පුරුදු වූහ. පාස­ලෙන් සිග­රට් දුම් ගඳ නොහැ­මු­වේය. සීනු­වට වැඩ­ක­රන ගුරු සිසු පිරි­සක් දක්නට ලැබිණ. විරෝ­ධය පෑ මාපියෝ ද “අපේ ළමයි දැන් කැන්ටි­මෙන් කන්න ගෙද­රින් සල්ලි හොර­කම් කරන්නෙ නැහැ.” යි කීහ.

අම්පාර දිස්ත්‍රි­ක්කයේ දහ­තුන් වස­රක් සේවය කළ රන්බණ්ඩා මහතා ඒ ප්‍රදේ­ශයේ සමු­ගත් දා සිසු දරු දැරි­යන් මෙන් ම මවු­පියෝ ද හඬා වැල­පු­ණහ.

රන්බණ්ඩා මහතා අම්පා­රෙන් සමු­ගෙන පැමි­ණියේ ගම්පහ ඉඹු­ල්ගොඩ සුනේ­ත්‍රා­දේවි විදු­හ­ල­ටය.

1998 එක් දිනෙක උදෑ­ස­නක සුනේ­ත්‍රා­දේවි විදු­හලේ සිවු දෙනකු වූ ගුරු මණ්ඩ­ලය සහ ළමයි හත­ළිස් දෙනා අලුත් විදු­හ­ල්ප­ති­ව­රයා පිළි­ගත්හ.

ගුරු සිසු දෙපසේ ම වූයේ මැල­වුණු මුහු­ණුය. පාසල් වත්තෙන් නැඟුණේ ද මුස්පේන්තු පෙනු­මකි.

“අපි පස්දෙනා එකා වගේ එක­මු­තුව පාසල ගොඩ­න­ඟමු.” විදු­හ­ල්පති රන්බණ්ඩා මහතා මුල් ම සාක­ච්ඡා­වේදී කීය.

“මේක හෙට අනි­ද්දාම වහල දාන්නයි ආණ්ඩුව තීර­ණය කරල තියෙන්නෙ. අපි වැඩ කළා කියල වැඩක් වෙන එකක් නැහැ. කර කියා ගන්න දෙයක් නැති, දුප්පත් ම මිනි­සුන්ගේ ළමයි තමයි මේ ඉන්නේ. මේ ළම­යින්ට ඉගෙන ගන්න වුව­ම­නා­වක් නැහැ.”

එක් ගුරු මුව­කින් නැඟුණු හඬ සිවු දෙනා­ටම පොදු බව හැඟිණ.

“අපි හොඳට වැඩ කරමු. මේ හත­ළිස් දෙනාට හොඳට උග­න්වමු. අදක්ෂ කියල ළමයි කොට්ඨා­ස­යක් නැහැ. ඇත්තේ නරක අධ්‍යා­ප­න­යයි. කල­කි­රෙන්න එපා. උදා­සීන වෙන්න එපා. අපි මේ උග­න්වන ක්‍රමය වෙනස් කරමු. ඒවාට සුදුසු ක්‍රම අපි ම සිතමු.”

විදු­හ­ල්පති තුමාගේ ඒ බසට ගුරු මණ්ඩ­ල­යම එකඟ වූහ.

වැඩ­බ­ලන විදු­හ­ල්ප­ති­නි­යව සිටියේ එම්.බී. කරු­ණා­වතී මහ­ත්මි­යයි. ඉංග්‍රීසි ඉගැ­න්වූයේ කුමා­ර­සිංහ මහ­ත්මි­යයි. නාලනී, ශ්‍රියානි මහ­ත්මීහු සහ ලාල් සෝම­සිරි මහතා ද ගුරු මණ්ඩ­ල­යට අයත් වූහ.

රන්බණ්ඩා මහතා සිය දිය­ණිය මේ පාසලේ දෙවෙනි ශ්‍රේණි­යට ඇතු­ළත් කෙළේය.

“ලොකු ස්කෝලෙ­කට දාන්න පුළු­ව­න්කම තියෙ­ද්දිත් ලොකු සර් තමන්ගෙ දුව මේ ස්කෝලෙට දාලා.”

මේ සිදු­වීම ගමේ ප්‍රචා­රය විය. රන්බණ්ඩා මහතා ගමේ ඇවි­ද්දේය. ළම­යින් හත­ළිස් දෙනාගේ ම මාපි­යන් හමු­විය. අනෙක් මා පියන් ද හමු­විය. අග­හි­ඟ­කම් පිරි නිවෙ­ස්ව­ලට මේ අමුත්තා ගේ පැමි­ණීම ඔවුන්ට අමු­ත්තක් විය.

පාස­ලට ළමයි වැඩි කර ගන්න උප­ක්‍රම

“අපි පාසලේ ම ළදරු පාස­ලක් පටන් ගන්නවා නොමිලේ. අවු­රුදු හතරේ - තුනේ ළමයි එවන්න” ඔහු කීය.

කාංචනා එගොඩ විතාන මෙනෙ­විය ගේ ප්‍රධා­න­ත්ව­යෙන් ළදරු පාසල ඇරැ­ඹිණ. ඇය ඉතා උන­න්දු­වෙන් වැඩ කළාය.

“නිසි වයස පැමි­ණි­විට මේ සෑම ළම­යෙක් ම අපේ පාසලේ පළ­මු­වන ශ්‍රේණි­යට ඇතුළු වේවි. වසර කීප­යක් යන­විට පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි­වේවි.”

ළදරු පාසල ඇරැ­ඹුණු දා රන්බණ්ඩා මහතා කීය. එය එසේ ම සිදු­විය. පාසල් වත්ත ද කල එළි­විය. විවිධ පල­තුරු, මල්, පලා - එළ­වුළු වර්ග ද වැවිණ. අධ්‍යා­පන දෙපා­ර්ත­මේ­න්තුව තවත් ගුරු­ව­රුන් ලබා දුනි.

2001 දී මුළු ගමේම සිත් පිබිද වූ පුව­තක් පාස­ලට ලැබිණ. පහේ ශිෂ්‍ය­ත්ව­යට ඉදි­රි­පත් වූ ළම­යින් එකො­ළොස් දෙනා­ගෙන් 06 දෙන­කුම සමත් වීමය ඒ. උදේත් හව­සත් දෙව­රු­වම ඒ ළම­යින් එකො­ළොස් දෙනා වෙනු­වෙන් ගුරු­වරු වෙහෙ­සුණ හ. අස­මත් වූ ළම­යින්ට සමත් වීමට අඩු වූයේ ලකු­ණක් දෙකක් පමණි.

“මුදල් විය­දම් කර­ගෙන නග­රයේ පාස­ල්ව­ලට යව­න­වාට වඩා ගමේ පාස­ලට අපේ ළම­යින් යවමු.”

මැද පන්ති මා පියන් අතර මේ මතය පැති­රිණ. හැම ළම­ය­කුට ම නම කියා කතා කිරී­මට රන්බණ්ඩා මහතා සමත් විය. ඒ ළම­යින්ගේ මවු­පි­යන්ගේ නම් ද ඔහුට මත­කය. පාසලේ පැරණි ‍ගොඩනැ­ඟිලි ඉඩ මදි විය. මාපියෝ පොල් අතු වහ­ලක් සහිත තාව­කා­ලික ගොඩ­නැ­ඟි­ල්ලක් තනා දුන්හ. එය ද ඉඩ මදි වූ විට තහඩු සෙවිලි කළ තාව­කා­ලික මඩු­වක් තැනූ හ. ගොඩ­නැ­ඟිලි ළම­යි­න්ගෙන් පිරිණ. දුප්පත් - පෝසත් භේද­යෙන් තොරව ළමයි පන්ති කාමර තුළ අධ්‍යා­ප­නය ලැබූහ. විදු­හලේ දී සෑම ළම­යෙක් ම සමාන විය. මැද පන්ති පවු­ල්ව­ලින් ආ ළමයි පහළ පන්ති පවු­ල්ව­ලින් ආ ළම­යින් සමඟ එක ම පවුලේ අය මෙන් ජීවත් වූහ.

පාසල තුළ එස්. පහ සංක­ල්පය ක්‍රියා­ත්මක කිරී­මෙන් පාසල සහ පාස­ල්වත්ත වඩාත් අලං­කාර විය. වඩ වඩාත් ක්‍රම­වත් විය. 2005 ඵල­දා­යිතා සම්මාන උලෙ­ළේදී මේ පාස­ලට දිව­යිනේ සියලු පාස­ල්ව­ලින් තෙවැනි ස්ථානය ලැබිණි.

පාසල් දරු­වන්ගේ ගණිත - විද්‍යා නිපු­ණතා දියුණු කිරීම සඳහා ජපා­නයේ ජයිකා ආය­ත­නය ඇරැඹූ ව්‍යාපෘ­තියේ දී ලංකා­වෙන් තෝරා­ගත් පාසල් 25ට මේ පාසල ද අයත් විය. බස්නා­හිර පළා­තෙන් පාසල් 4 කි. සුනේ­ත්‍රා­දේවි කනිටු විදු­හල ඒ හත­රෙන් එකකි. විෂය දැනු­මෙන් සිත් පිරෙන අතර ඒ සිත්ව­ලට තෙරු­වන පිළි­බඳ ශ්‍රද්ධා­වත්, සෞන්දර්ය වින්ද­නය් මුසු­විය යුතු බව ඇදැහු මේ විදු­හ­ල්ප­ති­තුමා මේ සඳහා ද පාසල තුළ යහ­පත් පරි­ස­ර­යක් තැනු­වේය. ප්‍රකට රංගන ශිල්පි චමින්ද සිරි­නා­ගල්ල මහතා ගේ මඟ පෙන්වී­මෙන් පාසල් නාට්‍ය කලා අංශ­යක් ඇරැ­ඹිණ. 2005 සමස්ත ලංකා නැටුම් තර­ග­යෙන් මුල්තැන ‘සුනේත්‍රා දේවිය’ට ලැබිණ. නොක­ඩවා අට වස­රක්ම ඒ තර­ග­යෙන් මුල් තැන ගත්තේ මේ පාස­ලය. චමින්ද මහ­තා­ගෙන් පසුව ගිම්හානි රසා ගුරු­තු­මිය ඒ මෙහෙ­යෙහි යෙදෙයි.

2003 දී පාසලේ සිය­ලුම ළම­යින් සහ­භාගි වන ‘අපි වෙමු තරු­වැල්’ නමින් සෞන්ද­ර්යා­ත්මක වැඩ­ස­ට­හ­නක් ඇරැ­ඹිණ. වසරේ එක් දිනෙක රාත්‍රි 10 වන­තුරු ක්‍රියා­ත්මක වන ඒ වැඩ­ස­ට­හන නොක­ඩවා පස­ළොස් වස­රක් පැවැ­ත්විණ.

2005 සිට ගම්පහ අධ්‍යා­පන කලා­පයේ පහේ ශිෂ්‍යත්ව උසස් ම ප්‍රති­ඵල ලබන පාස­ලක් බවට ‘සුනේත්‍රා දේවිය’ පත්විය.

උපන් දින තිළිණ සමාජ සත්කා­රක වැඩ­ස­ට­හන සහ පාස­ලෙන් ප්‍රජා­වට වැඩ­ස­ට­හන් දරු­වන්ගේ සිත් සමාජ සේවා­වට යොමු කෙළේය. ඇති හැකි ළම­යින්ගේ උපන් දින සාද­ව­ලට වැය කරන මුදල් සමාජ සත්කා­රයේ යෙද­විණ.

ඒ මුදල් වැය­කොට ගමේ දුප්පත් පවුල් තුන­කට නිවාස තනා­දෙනු ලැබිණ. ග‍ෙම් පිළිකා රෝගි­යෙක් මිය ගියේය. ඔහු සුව­පත් කිරීම සඳහා ඔහු සිටි නිවස ද උක­සට තබා රුපි­යල් ලක්ෂ තුනක් ණයට ගෙන තිබිණ. ණය­හි­මියා ඒ නිවෙස අත්පත් කර ගැනී­මට සැර­සුණේ ය. විදු­හ­ල්ප­ති­තුමා ගේ යෝජ­නාව පරිදි පාසල් සංව­ර්ධන සමි­තිය ඒ නිවෙස උක­සින් බේරා ඒ පවු­ලට ලබා දුන්නේය. එබඳු පින්කම් රැසක් රන්බණ්ඩා මහ­තාට මෙහිදී කළ හැකි විය.

ආග­මික ශික්ෂ­ණය, අධ්‍යා­ප­නය, සෞන්දර්ය වින්ද­නය, ක්‍රීඩා කුස­ලතා, සමාජ සේවාව, වින­ය­ග­රුක බව ඉහළ ම තල­ය­කට ගෙන ආ ‘සුනේත්‍රා දේවිය’ට සිය දරු­වන් ඇතුළු කිරී­මට අවට මාපි­යන්ට ද අවශ්‍ය විය. එහෙත් ගොඩ­නැ­ඟිලි ඉඩ මඳ විය.

අලුත් පාසල් ගොඩ­නැ­ඟිලි අවශ්‍ය විය. දෙගුරු පිරිස සියලු වැඩ බාර ගත්හ. විදු­හ­ල්ප­ති­තුමා ඔවුන්ගේ හැකියා දන්නා හෙයින් ඔවුන් අතර වැඩ බෙදිණ.

දිනක් උදෑ­සන හයයි තිහට පමණ ගල්ගොඩ ළඟ සිට පාසල් වත්තේ කෙළ­ව­රට මිනිස් පෙළක් සෑදිණ. ටයි පටි පැල­ඳ­ගත් වෛද්‍ය­වරු, රජයේ නිල­ධා­රීහු, හෙදියෝ, නීති­ඥයෝ, ගොවියෝ, කම්ක­රුවෝ, අතින් අතට ගල් යව­මින් වහා සුළු වේලා­ව­කින් ගල්ගො­ඩම පාසල් වත්තේ කෙළ­ව­රක තැබූහ. වැඩ අව­සන් වූ පසු මේ ශ්‍රමි­කයෝ පාසලේ ම සූදා­නම් කළ උදේ ආහා­ර­යෙන් කුස පුරවා ගත්හ.

‍ෙම් පාසලේ වාර්ෂික ඇග­යීම් උලෙළ ද අමුතු ය. ඇග­යී­ම්ව­ලදී නිර්නා­යක 18 කි. විෂය දැනුම ඒ නිර්නා­ය­ක­ය­නට ඇතු­ළත් නොවේ. සමාජ ඵල­දා­යි­තා­ව­යට හේතු­වන යහ පැව­තුම්, ආක­ල්ප­ව­ලට මෙහිදී මුල් තැන ලැබේ. තෑගි පිදී­මක් ද සිදුවේ. තෑගි පිදීමේ අර­මුණ විශි­ෂ්ට­යකු තැනී­මය. 2018 දී පාස­ලට සිය­වස පිරිණ. උලෙ­ළක් පැවැ­ත්විණ. එහිදී ආග­මික කට­යු­තු­ව­ලට මුල් තැන ලැබිණ. ගුරුහු, දෙගු­රුහු, සිසුහු සිල්වත්ව සිය­ව­ස­රක් වූ ‘සුනේ­ත්‍රා­දේවි’ ය පිදූහ.

සිය­වසේ ගෙවී ගිය විසි වසර තුළ සුනේත්‍රා දේවි ලැබූයේ මහා ප්‍රග­ති­යකි. දැනු­මද ගුණය ද සපිරි දරු පිරි­සක් ඇගෙන් ජාති­යට ලබා දීමට කැප­වුණු ඇම්.ජී. රන්බණ්ඩා මහතා සුනේත්‍රා දේවි­ගෙන් සමු­ගත්තේ විශ්‍රාම ගත්තේ “මා සිතූ පරිදි, කී පරිදි වැඩ කළා. ජය­ගත්තා” කිය­මිනි.

දෙන­ගම සිරි­ව­ර්ධන
ඡායා­රූප - නාමල් වන්නි­ආ­රච්චි

අදහස්