මෙදා පාර එළිය නැති පුෂ්පානන්දගේ තොරණ | සිළුමිණ

මෙදා පාර එළිය නැති පුෂ්පානන්දගේ තොරණ

* තොරණ පහක චිත්‍ර වැඩ පටන් ගත්තේ දෙසැම්බර් මාසයේ
* වැඩකළ අයට ගනුදෙනු බේරා ගම්වලට පිටත් කළා
* පාඩුව විඳ­ගන්න පුළු­වන්. රටට වෙන්න යන විපත දරා ගන්න අමා­රුයි

සම්බුදු තෙම­ඟුල උදා වීමට තවත් ඇත්තේ දින කිහි­ප­යකි. වෙන දා නම් මේ වන විට වෙසක් උත්ස­වය සඳහා සියල්ල සුදා­නම්ය. අවු­රුදු හමාර වීමත් සමඟ වෙසක් උත්ස­වය පැමි­ණෙන බව සිහි­පත් කරන්නේ ප්‍රධාන හන්දි­වල ගසා ඇති දැන්වීම් පුවරු මඟිනි. මහා බත් දන්සල, මහා දුන්තෙල් බත් දන්සල, මහා මඤ්ඤොක්කා දන්සල. මහා අයි­ස්ක්‍රීම් දන්සල, ආදි වූ දන්සල් පිළි­බඳ දැක්වෙන දැන්වීම්, වෙසක් නාට්‍ය ගැන දැන්වීම් හන්දි­යක් හන්දි­යක් ගානේ දැකිය හැකිය.

වෙසක් ආවා නේදැයි මැයි මාසේ මුල් සති­යේම සිහි­පත් කරන්නේ පැපි­ලි­යානේ ඉදි වන තොර­ණයි. තොරණේ සැකිල්ල නිර්මා­ණය කරන්නේ පොහෝ දිනට සති කිහි­ප­යක් තිබි­ය­දීය. මෙවර වෙසක් අත ළඟ­ටම ආවත් පරි­ස­රය පාළු යැයි දැනෙන්නේ දැන් ය.

ප්‍රති­පත්ති පූජා­වට මුල් තැන දුන්න ද වෙසක් උත්ස­වයේ දී නම් ප්‍රමු­ඛ­ත්වය ලැබෙන්නේ ආමිස පුජා­ව­ටය. පාස්කු ඉරිදා වූ ඛේද­වා­ච­ක­යත් සමඟ වෙසක් උත්ස­වය වෙසක් සැර­සි­ලි­ව­ලින් තොරව සැම­රී­මට රජය තිර­ණය කර ඇත.

වෙන දා එර­බොදු මල් හැලී වෙසක් මල් පිපෙන්නේ කාගේ කාගේත් සිත්වල වෙසක් ගැන උන­න්දුව ඇති කර­මිනි. නමුදු එර­බදු මල් පරව ගියේ රටම හඬ­ව­මිනි. එ් නිසා වෙසක් උත්ස­ව­යද වෙන දා මෙන් උත්ස­වා­කා­ර­යෙන් නොපැ­වැ­ත්වෙනු ඇත.

වෙසක් උත්ස­ව­යේදි ප්‍රධාන තැනක් ගන්නේ තොර­ණය. තොරණ යනු වෙන­මම කලා­වකි. වෙසක් උත්ස­වය නිමි­ත්තෙන් ඉදි වන තොර­ණක කට­යුතු ආරම්භ කරන්නේ මාස හය­කට පමණ පෙරය. මේ වන විටත් තොරණ බැඳී­මට සියල්ල සුදා­නම්ය. ඉතා ආශා­වෙන් තොරණ කට­යුතු කළ ඒ ඇත්තන් අද සිටින්නේ සුසුම් හෙළ­මිනි. මාස ගණ­නා­වක් තිස්සේ දිවා රෑ මහන්සි වී සිත්තම් කළ සිතු­වම් වසර ගණ­නා­වක් තිස්සේ තොරණ කලාවේ නියැ­ළෙන ප්‍රවීණ චිත්‍ර ශිල්පි පුෂ්පා­නන්ද දෙනි­පි­ටිය හමු­වී­මට අපි ඉකුත් දිනෙක ගියෙමු.

පුෂ්පා­නන්ද කලා­ක­රුවා හමු­වී­මට අප ගියේ ඔහුගේ වඩ­පො­ළ­ටය. එය ඉබි­ය­තුරු දමා වසා තිබිණි. වෙන දා නම් ඔහුගේ වැඩ­පොළ කාර්ය­ය­බ­හු­ලය. සහාය චිත්‍ර ශිල්පීන්, මෙන්ම අනෙ­කුත් වැඩ­ක­රු­ව­න්ගෙන් තොර වූ වැඩ­බිම දැන් පාළු­වට ගොසිනි.

“වැඩ කරපු අයගේ ගනු­දෙනු බේරලා ගම්ව­ලට පිටත් කෙරුවා.” ආගිය තොර­තුරු කතා කර­න්නට පළමු පුෂ්පා­නන්ද මහතා අප හා කීය.

දකුණු පළාතේ වැලි­ගම දෙනි­පි­ටිය ගමේ උපන් ඔහු පාර­ම්පරා උරු­ම­ය­කට හිමි­කම් කිය­න්නෙකි. ඔහුගේ පියා වූ දයා­නන්ද දෙනි­පි­ටිය මෙන්ම සීයා වූ ජන්දි­රිස් විහාර චිත්‍ර ඇඳීමේ හා මුර්ති නිර්මා­ණයේ නමක් දිනු­වෝය. වැලි­ගම සිද්ධාර්ථ විද්‍යා­ලයේ ඉගෙ­නුම ලැබු පුෂ්පා­නන්ද කොළ­ඹට පැමි­ණෙන්නේ එක්ද­හස් නව­සිය හැත්තැ හතර වස­රේ­දීය. තොට­ළඟ ධව­ල­සිං­හා­රාම විහා­රයේ චිත්‍ර නිර්මා­ණයේ යෙදුණ ඔහු තොට­ළඟ තොරණේ සහාය චිත්‍ර ශිල්පි­යෙකු ලෙස සම්බන්ධ වෙන්නේ 1977 අවු­රු­ද්දේ­දීය.

සේපාල මාස්ටර් යටතේ තොර­ණ­වල චිත්‍ර ඇඳි පුෂ්පා­න­න්දට ඉන් වසර කිහි­ප­ය­කට පසු තොට­ළඟ තොරණ තනි­වම නිර්මා­ණය කර­න්නට ලැබිණි. සහා­යට සිටියේ ඔහුගේ සහෝ­ද­ර­යෝය. තොට­ළඟ තොරණ, ජනා­ධි­පති මැඳුරේ තොරණ, නව­ලෝක තොරණ ආදි තොරණ කිහි­ප­යක්ම ඔහුගේ සිතු­ව­මින් හැඩ­ව­න්නට විය. අද වන විට රට වටා පෙන්වන බොහෝ තොරණ හී චිත්‍ර­ශි­ල්පියා පුෂ්පා­න­න්දය.

තොරණ යනු එක් අයෙ­කුගේ නිර්මා­ණ­යක් නොවේ. එය සාමු­හික නිර්මාණ කාර්ය­යකි. මෙවර වෙසක් උත්ස­වය වෙනු­වෙන් ඔහු නිර්මා­ණය කළ තොරණ සංඛ්‍යාව පහකි. එම තොරණ පහේ වැඩ නිමවූ චිත්‍ර සිය­ල්ලම එක්තැ­නෙක ගොඩ ගසා ඔහුගේ වැඩ­බිමේ අගුළු දමා වසා තිබේ.

“මම තොරණ කරන්න අර­ගෙන අවු­රුදු හත­ළිස් දෙකක් වෙනවා මේ අවු­රු­ද්දට. නමුත් ඒ අවු­රුදු ගාන­ටම මේ පාර තමයි අපිට මේ වගේ අත්දැ­කී­ම­කට මුහුණ දෙන්න වුණේ. එක් කාල­යක් යුද්ධය තිබුණා. තවත් කාල­යක් භීෂ­ණය තිබුණා. ගංව­තුර උව­දුර තිබුණා. නමුත් කව­දා­වත් අපට මේ වගේ දෙයක් වුණේ නැහැ. මම ඇතැම් අවු­රු­දු­වල වෙසක් තොරණ නව­යක් හදලා තියෙ­නවා. මෙවර නම් තොරණ පහයි හැදුවේ.

තොරණ හදන්න පටන් ගන්නේ දෙසැ­ම්බර් මාසයේ. මම සිකු­රාදා හෝ අඟ­හ­රු­වාදා දව­සක තමයි මුලින්ම වැඩ පට­න්ගන්නේ. තොරණේ කතාව සමඟ ඇඳිය යුතු රූප ගැනත් කිය­නවා. අමු රෙද්දේ තමයි සිතු­වම් අඳින්නේ. බොහෝ විට මිනිස් රූප අඳින්නේ මම. සහාය ශිල්පීන් ඉන්නවා.

ඒ වගේම මේ චිත්‍ර රාමු කිරීම කරන අය ඉන්නවා. මා ළඟ කිහිප දෙනෙක්ම වැඩ කර­නවා. මේ වන විට මම තොරණ පහක චිත්‍ර ඇඳලා ඉව­රයි. අත්ති­කා­රම් මුදල් අර­ගෙන තිබෙන්නේ. අතේ තියෙන සල්ලිත් දීලා වැඩ කරපු අයගේ පඩි­නඩි බේරුවා. ණය­කා­ර­යෙක් වෙන්න මට බැහැ. මම චිත්‍ර ශිල්පියා වුණාට තොරණ නිසා ජීවත් වෙන බොහෝ පිරි­සක් ඉන්නවා. තොරණ බඳින්න ගන්න පුවක් ගහ දෙන මිනි­හාගේ සිට තවත් බොහෝ අය මෙවර වෙසක් තොරණ නැති නිසා බොහෝ අසී­රු­වට පත් වෙනවා.”

පුෂ්පා­නන්ද මහතා පව­සන්නේ වෙසක් තොරණ ප්‍රද­ර්ශ­නය නොකි­රී­මට ලැබෙන නිසා තමා ඇතුළු තවත් බොහෝ අය පත් වී ඇති අසී­රු­තාව ගැනය.

එදාට වඩා අද කාලය වෙනස්ය. එද­වස තොරණ ඉදි­රියේ නතර වී තොරණ කතා වස්තුව අසා සිටින්නේ ආශා­වෙනි. මේ කතා­වල චරිත වලට පණ දෙන්නේ එකල ගුවන් විදු­ලියේ ජන­ප්‍රි­යව සිටි නාට්‍ය ශිල්පී­හුය. කතාව අසන අත­රේම ඊළ­ඟට අප බලන්නේ සිතු­වම්ය. මේ සිය­ල්ලම බලන අතරේ ඇස් අද­හා­ගත නොහැ­කිව බලා සිටින්නේ විවිධ වර්ණ විදුලි බුබුළු මවන මෝස්තර රටා දෙසය.

“ දැන් සම­හරු වාහ­න­වල යන ගමන් තමයි තොරණ බලන්නේ. වෙසක් කලාප ආදි දේ ඇවිත් දැන් හැම දෙයක්ම වාණි­ජ­ක­ර­ණය වෙලා. මෙවර මම නව­ලෝක තොරණ , කැල­නිය රජ­මහා විහා­රයේ තොරණ, කොට්ටාව මංස­න්ධියේ තොරණ, දෙම­ට­ගොඩ තොරණ හා ගොඩ­ගම තොරණේ චිත්‍ර ඇන්දා. ඒ චිත්‍ර තමයි මේ පැත්ත­කට කරලා තියෙන්නේ. තොරණ සංවි­ධා­ය­ක­යන් කිව්වා පොසොන් පොහො­ය­ට­වත් මේවා කරන්න බලමු කියලා. මේවා කාල­යක් පරි­ස්සම් කරන්න අමා­රුයි. ප්‍රේම් ගහපු ලී පටි දිරලා යන්න ඉඩ තියෙ­නවා.

පුෂ්පා­නන්ද පව­සන්නේ තමන් ඇඳි චිත්‍ර එකින් එක පෙන්ව­මිනි. මේ වන විට තොරණ 200ක පමණ චිත්‍ර නිර්මා­ණය කර ඇති ඔහු චිත්‍ර වලට අම­ත­රව මුර්ති නිර්මා­ණ­යේද යෙදේ.

“කොහොම වුණත් තොරණ නතර වුණ එක ගැන දුකක් හිතේ තිබු­ණත් රටට වුණ විනා­ශය ගැන ඊට වඩා දුකක් තියෙ­නවා. පාඩුව විඳ­ගන්න පුළු­වන්. ඒත් මේ රටට වෙන්න යන විපත දරා ගන්න අමා­රුයි. කලා­ක­රු­වෙකු හැටි­යට මට ඒ ගැන ලොකු දුකක් තියෙ­නවා . පුෂ්පා­නන්ද පම­ණක් නොව ඔහුගේ සොහො­යුරෝ දෙදෙ­නාද තොරණ කර්මා­න්තයේ නියැළී සිටිති.

අතින් අඳින සිතු­ව­මට අම­ත­රව අද වන විට ඇතැම් වෙසක් කලාප වල ඩිජි­ටල් තොර­ණද වේ. තොරණ ලයිට් ගැන කතා කරන විට ෆ්ලෑෂර් කොටය ද නිතැ­තින්ම සිහි­පත් වේ. දැන ඇතැම් තොර­ණ­වල ඇත්තේ විදුලි පරි­ප­ථය. කෙසේ වුවත් වසර ගණ­නක් තිස්සේ විදුලි කාර්මි­ක­යකු ලෙස කට­යුතු කරන චමින්ද අත්ත­නා­යක කියන්නේ මෙවැනි කතා­වකි.

“මම මේ රස්සා­වට ඇවිල්ලා අවු­රුදු හත­ලි­හක් විතර ඇති. මගේ තාත්තා කර­න්නෙත් මේ කාර්ය­ය­මයි. ඔහු රූප­සේන අත්ත­නා­යක. මේ පාර නම් හරි වැඩක් තමයි වුණේ. මේ වෙන­කොට කැලණි විහා­රයේ කටු­තො­රණ බැඳලා ඉව­රයි. මේ පාඩුව මට විත­රක් නෙමෙයි. තොරණ බඳින්න ගන්න කොහු ලණු­කා­ර­යා­ටත් ලණු අඹ­ර­න්න­න්ටත් පාඩුයි. අපි සාමා­න්‍ය­යෙන් එක තොර­ණ­කට රුපි­යල් හැත්තෑ­දා­හක් විතර ගන්නවා. හිතා ගන්න බැහැ මොනවා කර­න්නද කියලා.” චමින්ද පව­සයි.

මිනි­සුන් කවු­රුත් දැන් පත් වී සිටින්නේ අසී­රු­තා­ව­ක­ටය. සාමාන්‍ය ජන ජීවි­තය වෙන­ස­කට ලක් වී තිබේ. වෙසක් දින­යේදී බොහෝ අරු­මෝ­සම් නොති­බු­ණද, අපි අතී­ත­යේදී ද වෙසක් සැම­රු­වෙමු.

ඒ බට පතු­රින් සෑදු වෙසක් පහන් කූඩු­ව­ලිනි. කෙසෙල් කඳ­න්වල රැඳවූ පොල්තෙල් පහ­නෙනි. වෙසක් නිසා එහි එන යම් යම් දේ සිය වෘත්තීය කර­ගත් මිනි­සුන් අප­හ­සු­තා­වට පත් වීම එක් පැත්ත­කින් දුකකි.

එය එසේ වුවද ජීවිත සරල වීමට අරු­මෝ­ස­මින් පුහු ආටෝ­ප­යෙන් තොර වී ප්‍රති­පත්ති පුජා­වට මුල් තැන දෙමින් වෙසක් සැම­රී­මට මෙදා වෙසක් පොහොය ආද­ර්ශ­යක් කර­ගන්නේ නම් එය කොත­රම් නම් වටි­න්නේද? එකි­නෙ­කාට වෛර කර­ගැ­නීම වෙනු­වට මෛත්‍රීය කරු­ණාව වැඩීම කොත­රම් නම් අගේද?

ඡායා­රූප- තුෂාර ප්‍රනාන්දු

අදහස්