IPL තරගාවලියේ වීරයා වූ රසල් ලෝක කුසලානයේත් වින්ඩ්ස් කසකාරයා වෙයිද? | සිළුමිණ

IPL තරගාවලියේ වීරයා වූ රසල් ලෝක කුසලානයේත් වින්ඩ්ස් කසකාරයා වෙයිද?

සන්රයිසර්ස් හයිදරාභාද් සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම් අතර මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) පන්දු ඕවර 20 ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරගයක් පැවැත්විණි.


එහිදී කොල්කටා කණ්ඩායමට තරගයෙන් ජය ගැනීමට අවසන් ඕවර 04 දී ලබා ගත යුතුව තිබූ ලකුණු ගණන 64කි. ඒ ඕවරයකට ලකුණු 16 බැගින්ය. එම නිසාම සන්රයිසර්ස් ජය ගනු ඇතැයි බොහෝ දෙනා සිතූහ.

එහෙත් එක් පිතිකරුවෙකු එසේ සිතුවේ නැත. තරගය ජය ගැනීමට හැකි බවට හෙතෙම ස්ථිරවම දැන සිටියේය. ඒ සිය හැකියාව ගැන ඔහුට කිසිදු සැකයක් තිබුණේ නැති බැවිනි. මේ පිතිකරුවා බටහිර ඉන්දීය කොදෙව් දූපත් ක්‍රීඩක ඇන්ඩ්‍රේ රසල්ය. රසල් අති ප්‍රවේගකාරි ප්‍රහාරයක් දියත් කළේය. එහි ප්‍රතිඵලය නොදැවී ලකුණු 49 කි. ඊට පන්දු 19කි. 4පහර 4කි. 6 පහර 4කි. තරගයෙන් කොල්කටාවට අනපේක්ෂිත ජයකි. තරගයේ වීරයා රසල්ය. බොහෝ ක්‍රිකට් විචාරකයන් සහ ක්‍රීඩාලෝලින්ට අනුව වත්මන් ක්‍රිකට් ක්‍රීඩා ලොව ‘සුපර් මෑන්’ හෙවත් ‘සුපිරි මිනිසා’ රසල්ය. එවැනි නමක් පටබැඳීමට ඔහුගේ තුන් ඉරියව් හැකියාව බලපෑවේය. රසල් ප්‍රහාරාත්මක දකුණත් පිතිකරුවෙකි. දකුණතින් වේග පන්දු යවන්නෙකි. එමෙන්ම අති විශිෂ්ට පන්දු රකින්නෙකි.

මෙවර අයි.පී.එල්. තරගාවලියේ මූලික වටයේ කොල්කටා කණ්ඩායම ජය ගත් තරගවලදී රසල්ගේ පිතිහරඹයත් ඊට විශාල ලෙස දායක විය. එම නිසාම තරගයේ වීරයා සම්මානත් ඔහුට හිමිවිණි. රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී ජය ගැනීමට කොල්කටාවට පන්දු 24කදී ලකුණු 66ක් ලබා ගත යුතු විය. රසල්ගේ පිති ප්‍රහාරය යළිත් ක්‍රියාත්මක විය. ඒ පන්දු 13කදී නොදැවී ලකුණු 48 කි. ඊට 4 පහරකි. 6 පහර 7 කි. රසල් තරගයේ වීරයාය. ඔවුන් අතර පැවැති අනෙක් තරගයේදී ඔහුට ලකුණු 65 කි. ඊට පන්දු 25කි. 4 පහර 02 කි. 6 පහර 09 කි.

කිංග්ස් xi පන්ජාබ් කණ්ඩායමට එරෙහිව තරගයේත් වීරයා වූයේ රසල්මය. එහිදී ලකුණු 48 ක් හෙතෙම රැස් කර ගත්තේය. ඊට පන්දු 17කි. 4 පහර 3කි. 6 පහර 5කි. ඊට අමතරව පන්දු යවමින් ලකුණු 21ට කඩුලු 02කුත් දවා ගත්තේය. දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිව රසල් ලකුණු 62ක් රැස් කර ගත්තේය. ඊට පන්දු 28 කි.
4 පහර 4කි. 6 පහර 6කි. පන්දු යවමින් ලකුණු 28 ට කඩුල්ලකි. එම කණ්ඩායමට එරෙහිව පැවැති අනෙක් තරගයේදී ඔහු ලකුණු 45ක් රැස් කරන ලදි. ඊට පන්දු 21කි. 4පහර 3කි. 6 පහර 4කි. පන්දු යැවීම ලකුණු 29 ට කඩුල්ලකි.

මීට අමතරව චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී රසල් නොදැවී ලකුණු 50 ක් රැස් කිරීමට සමත් වූයේය. ඊට පන්දු 44කි. 4 පහර 5කි. 6 පහර 3කි. එහිදී රසල්ගේ අර්ධ ශතකයේ අගය වැඩි වීමට විශේෂ හේතුවක් බලපෑවේය. ඒ කොල්කටා කණ්ඩායම කඩුලු 09 ක් දැවී රැස් කර ගත් මුළු ලකුණු ගණන 108 ක් පමණක් වූ බැවිනි.

මූලික වටයේදී කොල්කටා කණ්ඩායම සහභාගී වූ තරග 08 න් 07කදීම රසල් පිතිහරඹයෙන් දස්කම් දැක්වූයේය. එම තරගවලදී ඔහුගේ ලකුණු රැස් කිරීමේ ප්‍රහාරක වේගය 189.46 ක් වූයේය. වම් අතේ ආබාධයක් තිබියදීම මෙවැනි දස්කම් දැක්වීම විශේෂත්වයකි.

රසල් ලොව පුරාම පැවැත්වෙන 20 -20 තරගාවලියන්ට සහභාගි වෙමින් දස්කම් දක්වයි. 2018 වසරේ කැරිබියානු ප්‍රිමියර් ලීග් 20 -20 තරගාවලියේ මුල් වටයේ තෙවැනි තරගය පැවැත්වූයේ ට්‍රිනිඩෑඩ් දූපතේ පෝර්ට් ඔෆ් ස්පේන් නුවර සුප්‍රකට කුවීන්ස් පාර්ක් ඕවල් ක්‍රීඩාංගණයේදීය.එහිදී තරග කළේ ට්‍රින්බාගෝ නයිට් රයිඩර්ස් සහ ජැමෙයිකා ටලවාස් යන කණ්ඩායමයි. රසල් ජැමෙයිකානු කණ්ඩායමේ නායකයා ය. මුලින්ම පන්දුවට පහර දුන් ට්‍රින්බාගෝ කණ්ඩායම ඕවර 20 දී කඩුලු 06 කට ලකුණු 223 ක් රැස් කර ගත්තේය.

ලකුණු 224 ක ඉලක්කය කරා ගිය ජැමෙයිකානු කණ්ඩායමේ මුල් කඩුලු 05 ම බිඳ වැටුණේ ලකුණු 41 වන විටදී ය. ඒ අනුව ඔවුන් නියත පරාජයක් වෙතට ගමන් කරමින් සිටියේය.

එහෙත් නායක රසල් පරාජය භාර ගැනීමට සූදානම් වූයේ නැත. ඔහුට මනා සහයක් ලබා දීමට දකුණත් පිතිකරු කෙනාර් ලුවිස් (උපත 1991 අ‍ගෝස්තු 18) ඉදිරිපත් වූයේය. ඔහු ලකුණු 51ක් රැස් කර ගත්තේය. ඔවුන් අතර 06 වැනි කඩුල්ලට සබඳතාව ලකුණු 161 කි.අවසානයේදී ජැමෙයිකානු කණ්ඩායම ඕවර 19 පන්දු 3කදී කඩුලු 06 ට ලකුණු 225 ක් රැස් කරමින් තරගය ජය ගත්තේය. රසල් තරගයේ වීරයාය. හෙතෙම නොදැවී ලකුණු 121 ක් රැස් කිරීමට සමත් වූයේය. ඊට පන්දු 49 කි. 4 පහර 6කි. 6 පහර 13කි. මීට අමතරව පන්දු යවමින් ලකුණු 38 ට කඩුලු 3කි. එය හැට්ට්‍රික් දවා ගැනීමකි. එනම් පිට පිට පන්දු 03කදී කඩුලු 03කි.

ඒ සමඟම විශේෂ වාර්තාවකටත් රසල් දායක වූයේය. එනම් 20 -20 තරගයකදී ශතකයක් රැස් කරමින් සහ හැට්ට්‍රිකයක් දවා ගත් ලොව දෙවැනියා බවට ඔහු පත් වීමයි. එම දස්කම මුලින්ම දැක්වූයේ එංගලන්තයේ ජෝ ඩෙන්ලි (උපත 1986 මාර්තු 16 ) විසිනි. ඒ 2018 වසරේදීය.

ඉහත තරගයේදී රසල් ශතකය රැස් කළේ පන්දු 40 කදීය. එය වාර්තාවකි. එනම් කැරිබියානු ලීග් තරගයකදී වාර්තා වූ වේගවත්ම ශතකය එය වීමයි. ඉහත හැට්ට්‍රික් දස්කමේදී ඔහු දවාගත් පිතිකරුවන් වූයේ නවසීලන්තයේ බ්‍රෙන්ඩන් මැක්කලම් (උපත 1981 සැප්තැම්බර් 27), බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි ඩැරන් බ්‍රාවෝ (උපත 1989 පෙබරවාරි 06 ) සහ දිනේෂ් රම්ඩින් (උපත 1985 මාර්තු 13) ය.

20 -20 තරගයකදී රසල් පන්දු යවමින් දස්කම් දැක් වූ සුවිශේෂි අවස්ථාවක් 2013 වසරේදී වාර්තා වුයේය. ඒ ඉන්දීය ඒ කණ්ඩායමට එරෙහිවයි. එහිදී ඔහු පන්දු 04කදී පිට පිටම කඩුලු 04ක් දව‍‍ා ගැනීමට සමත් විය. කේදාර් ජාදෙව් (උපත 1985 මාර්තු 26 ), යුව්රාජ් සිං (උපත 1981 දෙසැම්බර් 12), නාමන් ඕජා (උපත 1983 ජුලි 20) සහ යුසුෆ් පතාන් (උපත 1982 නොවැම්බර් 17 ) දැවී ගිය පිතිකරුවෝ වෙති.

රසල්ගේ දක්ෂතා වඩාත්ම ගැලපෙන්නේ එක්දින සහ 20 – 20 තරග සඳහාය. ඔහු අන්තර්ජාතිකව ක්‍රීඩා කරන්නේ 2010 වසරේ සිටය. එහෙත් මේ දක්වා ක්‍රීඩා කර තිබෙන්නේ ටෙස්ට් තරගයකට පමණකි.

ඔහු සිය මංගල සහ එකම ටෙස්ට් තරගයට ක්‍රීඩා කළේ 2010 වසරේ ගාල්ලේදීය. ඒ එවර ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති පළමු තරගයේදීය. එහිදී ඔහු ක්‍රීඩා කළ එකම ඉනිමේදී රැස් කළේ ලකුණු 02කි. ඒ අනුව ටෙස්ට් සාමාන්‍යය 2.00කි. පන්දු යවමින් ලකුණු 73ට කඩුල්ලක් දවා ගත්තේය. එහි සාමාන්‍යය 104.00 කි. ඔහු උඩපන්දුවකුත් රැක ගත්තේය.
2019 අයි.පී.එල්. තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට මුම්බායි ඉන්ඩියන්ස් සමත් විය. ඒ අවසන් තරගයේදී ලකුණක ඉතා තියුණු ජයක් චෙන්නායි සුපර් කිංග්ස් හමුවේ ලබමිනි. මුම්බායි මේ ශූරතාව හිමිකර ගත්තේ සිවුවැනි වරටයි. මෙවර අවසන් තරගයේ අවසන් ඕවරය විශිෂ්ට ලෙස යවමින් මුම්බායි ජය තහවුරු කළේ ලසිත් මාලිංගය.

මෙවර අයි.පී.එල්. තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා වූයේත් 31 හැවිරිදි (උපත 1988 අප්‍රේල් 29) රසල්මය. එහිදී දැක්වූ දස්කම් ලෝක කුසලාන තරගාවලියේදීත් ඔහු දැක්වීමට සමත් වුවහොත් එය කොදෙව්වන්ට විශාල වාසියක් වනු නියතය.

Comments