එළඹ තිබෙන්නේ නාය­ක­ත්වය දිය යුතු අය අවදි විය යුතු කාල­යක් | සිළුමිණ

එළඹ තිබෙන්නේ නාය­ක­ත්වය දිය යුතු අය අවදි විය යුතු කාල­යක්

ජවිපෙ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යා­රත්න

අද රටේ දේශ­පා­ලන ස්ථාව­ර­යක් නැහැ. මේ අව­ස්ථාවේ සමා­ජ­යට නාය­ක­ත්වය දිය හැකි අය නාය­ක­ත්වය ගත යුතුයි. එහෙත් තව­මත් නාය­ක­ත්වය දිය යුතු ඇතැම් අය තුෂ්ණී­ම්භූ­තව බලා සිටි­නවා. ඔවුන් අවදි විය යුතු කාල­ය­කුයි  දැන් උදා වී තිබෙන්නේ.

රටේ ආර­ක්ෂක තත්ත්වය ගැන මේ වන විට සෑහී­ම­කට පත් වන්න පුළු­වන්ද?

රජය අස­මත්ව තිබෙ­නවා ජන­තා­වගේ ආර­ක්ෂාව සල­සන්න. ඒ වගේම අන්ත­වා­දය පර­දන්න. ඒ විත­රක් නෙමෙයි මේ අන්ත­වා­ද­යට උඩ­ගෙඩි දෙන දේශ­පා­ල­න­ඥ­යන් සුළු පිරි­සක් ඉන්නවා. ඒ අය පාල­නය කර­ග­න්නත් රජය අස­මත් වෙලා තියෙන්නෙ. ඒ අස­ම­ත්කමේ ප්‍රති­ඵ­ල­යක් ලෙස තමයි අද ජන­තාව භීති­යෙන් ඇලළී සිටින්නේ.

ඔබ හිත­න­වාද මෙවන් අන්ත­වාදි තර්ජ­න­යක් හා සම්බන්ධ ක්‍රියා­දා­ම­යන් රජ­ය­කට තනිව මැඬ පව­ත්වන්න පුළු­වන් කියලා?

රජ­ය­කට එය තනි­වම කිරී­මට අප­හසු බව අප පිළි­ග­න්නවා. ආග­මික නාය­ක­යන්, සියලු දේශ­පා­ලන පක්ෂ, ස්වේච්ඡා සංවි­ධාන ඊට එක් විය යුතුයි. ඒ සඳහා රජය මුල් තැනක් ගත යුතුයි. ඒත් අපට එවැ­න්නක් පෙනෙන්න නැහැ.

ඔබ පක්ෂය මේ අව­ස්ථාවේ රජ­යට දෙන සහ­යෝ­ගය කුමක්ද?

ජාති­වා­දය අන්ත­වා­දය පරා­ජය කරන්න අපේ පක්ෂ­යට කොන්දේසි නැහැ. පහු­ගිය දින­වල අප දිව­යින පුරා ගම් මට්ටමේ සිට අපට පුළු­වන් ක්‍රියා­මා­ර්ග­ව­ලින් ජන­තාව දැනු­වත් කළා. රටේ යළි ජාති­වාදී ගිනි­දැල් ඇති නොවෙන්න අප පුළු­වන් තරම් ජන­තාව දැනු­වත් කර­නවා.

පසු­ගිය දින­වල ඇති වූ නොස­න්සු­න්කාරි ක්‍රියා පසු­පස දේශ­පා­ල­ක­යන් සිටින බව කිය­වෙ­නවා...

සම­හර දේශ­පා­ල­ක­යන් ඉන්නවා අන්ත­වා­ද­යෙන් හරි බලය ලබා­ගන්න උත්සාහ කරන. ඒ යටි අර­මුණු තේරුම් ගෙන කට­යුතු නොකි­රී­මයි මේ සිදුව ඇත්තේ.

පසු­ගිය 21 දා පිපි­රී­ම්ව­ලට ඇතැම් දේශ­පා­ල­ක­යන් සම්බන්ධ බවත්, ඔවුන් අත්අ­ඩං­ගු­වට නොගැ­නීම නිසා මේ පශ්චා­ත්කා­ලීන ප්‍රචණ්ඩ ක්‍රියා ඇති වූ බවත් පැව­සෙ­නවා...

දේශ­පා­ල­ක­යන් කිහිප දෙන­කුගේ නම් මේ ප්‍රහා­ර­යත් සම­ඟම එළි­යට ආවා. ඒ සම්බ­න්ධව ජන­ත­තා­වට සෑහී­ම­කට පත් විය හැකි සාධා­රණ පරී­ක්ෂණ සිදු විය යුතුයි. සාධා­රණ පරී­ක්ෂ­ණ­යක් සිදු නොවන විට එය දඩ­මීමා කර­ගෙන විවිධ අක­ට­යු­තු­කම් වන්න පුළු­වන්.

මේ වන විට දිව­යිනේ ස්ථාන කිහි­ප­යක රඳවා සිටින සර­ණා­ග­ත­යන් පිළි­බඳ ප්‍රශ්නය ඉදි­රි­යේදී රටේ ආර­ක්ෂා­වට තර්ජ­න­යක් විය හැකි බවට විවිධ සංවි­ධා­න­ව­ලින් චෝදනා එල්ල වනවා...

සර­ණා­ගත ප්‍රශ්නය ලංකා­වට පම­ණක් බල­පාන දෙයක් නොවෙයි; ලෝක­යේම ප්‍රශ්න­යක්. අපේ රටේත් යුද සමයේ පවුල් පිටින් සර­ණා­ග­ත­යන් විදෙස් රට­ව­ලට ගොස් ජීවිත රැක­ගත්තා. මේ වන විට පාකි­ස්තාන ජාති­ක­යන් අපේ රටේ පිළි­ස­රණ පතා පැමිණ සිටි­නවා. අප අන්ත­ර්ජා­ති­කව විවිධ සම්මු­තීන්ට අස්සන් කර­ලායි තිබෙන්නේ. අප ඒ අනුව කට­යුතු කළ යුතුයි. අප සලකා බැලිය යුත්තේ මේ සර­ණා­ග­ත­යන්ගේ මුවා­වෙන් අන්ත­වා­දීන් පැමිණ සිටි­න­වාද කියන කරු­ණයි.

පල්ලි­ව­ලින් කඩු-කිණිසි ඇතුළු අවි-ආයුධ හමු වීම ගැන ඔබ පක්ෂයේ අද­හස කුමක්ද?

කිසිම ආග­මික ස්ථාන­ය­කට අවි-ආයුධ අවශ්‍ය වන්නේ නැහැ. ආග­මික ස්ථාන­යන්හි තිබිය යුත්තේ කරු­ණාව, මෛත්‍රිය, සංහි­ඳි­යා­වයි. රටේ නීති­යට පට­හැණි ඕනෑම පුද්ග­ල­යකු සම්බ­න්ධව ජාති-ආගම් භේද­ය­කින් තොරව කට­යුතු කළ යුතුයි. එසේ නොවන අව­ස්ථා­ව­ලදී තමයි ජන­තාව නීතිය අතට ගන්න උත්සාහ කරන්නේ. නීතිය නිසි ලෙස ක්‍රියා­ත්මක වන බවට ජන­තා­වගේ විශ්වා­සය තහ­වුරු විය යුතුයි. ආග­මික නාය­ක­යෙන්ම පව­ස­නවා නම් මේ ක්‍රියා­දා­මය විශ්වාස නැහැ, නිසි පරිදි නීති­මය කට­යුතු සිදු වන්නේ නැහැ කියා, එහි වරද රජය සතුයි. මේ වන විට අත්අ­ඩං­ගු­වට ගත් සියලු අවි-ආයුධ සම්බ­න්ධ­යෙන් නීතිය ක්‍රියා­ත්මක කළ යුතුයි.

රටේ ආර්ථික තත්ත්වය ඉදි­රි­යේදී කුමන තත්ත්ව­ය­කට සිදු වේයැයි ඔබ සිත­න­වාද?

රටේ ආර්ථික තත්ත්වය කොහො­මත් අඩ­පණ වෙලා තිබුණේ. මේ ආණ්ඩුව කෙළේ දඩයි බදුයි වැඩි කරපු එක විත­රයි නේ? ආර්ථි­කයේ ඒ අර්බු­දය මේ ප්‍රහා­ර­යත් සමඟ දෙගුණ තෙගුණ නොවෙයි, සිය ගුණ­ය­කින් වැඩි වුණා. ඒ වගේම මේ වන විට තවත් පසු-ප්‍රහාර රැස­කට අපට මුහුණ දෙන්න වී තිබෙ­නවා. ඒ ප්‍රහා­ර­යැයි මා හැඳි­න්වූයේ අන්ත­වාදි ප්‍රහාර නොවෙයි, අධ්‍යා­ප­න­යට එල්ල වී ඇති ප්‍රහා­රය, ආර්ථි­ක­යට එල්ල වී ඇති ප්‍රහා­රය වැනි ප්‍රහා­රයි. ඒ ප්‍රහාර යථා තත්ත්ව­යට පත් කරන්න තවත් සෑහෙන කාල­යක් යයි.

මේ අව­ස්ථාවේ රටේ දේශ­පා­ලන ස්ථාව­රය කෙසේ සකස් විය යුතුද?

රටේ දේශ­පා­ලන ස්ථාව­ර­යක් නැහැ නෙ? ජන­තාව අව­ස්ථාව ලැබුණු විටදී ඒ තීර­ණය ගත යුතු වනවා. නැත් නම් රට අරා­ජික වනවා. මේ අව­ස්ථාවේ සමා­ජ­යට නාය­ක­ත්වය දිය හැකි අය නාය­ක­ත්වය ගත යුතු වෙනවා. එහෙත් තව­මත් ඇතැම් නාය­ක­ත්වය ලබා දිය යුතු, දිය හැකි අය තුෂ්ණී­ම්භූ­තව බලා සිටි­නවා. ඔවුන් අවදි විය යුතු කාල­යක් දැන් තිබෙන්නේ.

Comments