රටම හැඬවූ පාස්කු ඛේදවාචකයේ වගකීම දරන්නේ කවුරුද යන්න ගැන පසුගිය දිනවල කතාබහට ලක් විය. පාර්ලිමේන්තුවේ ඒ සම්බන්ධයෙන් වාද-විවාද පවා ඇති විය. එහිදී එකිනෙකා අනෙකාට දොස් පවරා ගන්නා අන්දම දක්නට හැකි විය. අවසානයේ ඒ සියල්ල වාද-විවාදවලින්ම අවසන් විය. මාධ්‍ය ඔස්සේ පාර්ලිමේන්තුවේ කතාබහ ජනතාව අතරට ගියේය. ඒවා හැන්සාඩ්ගත විය. පාස්කු ප්‍රහාරයේ පාර්ලිමේන්තුවේ වගකීම එතැනින් අවසන් වන බවක් පෙනිණි.
අප මෙහිදී සලකා බැලිය යුතු විශේෂ කරුණක් තිබේ. එනම්: අපට අධ්‍යාපනය ලබන්න දේශපාලන කටයුතු කරන්න පළමුව රටක් අවශ්‍ය බවයි. රටක මූලිකම මෙන්ම වැදගත්ම අංශය වන්නේ ජාතික ආරක්ෂාවයි. ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන සියලු අංශ දුර-ලිය යුතුය. එහි වගකීම පාර්ලිමේන්තුව සතු වේ.
ඒ නිසා පසුගියදා සිදු වූ ඛේදවාචකයේ වගකීම සමස්ත පාර්ලිමේන්තුව විසින්ම බාර ගත යුතුය. කිසිවකුට එයින් නිදහස් විය නොහැකිය. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන් 225 දෙනාගේම වගකීම අප තේරුම් ගත යුතු වේ. ජනාධිපතිතුමාට මෙන්ම රජයටත්, සියලු මැති-ඇමැතිවරුන්ටත් ජාතික ආරක්ෂාවේ ඇඟිල්ල දිගු විය යුතුය. කිසිවකුට ඒ වගකීමෙන් නිදහස් විය නොහැකිය. මෙහිදී ඒ එක් එක් පාර්ශ්වය තමාට ඇති වගකීම් මොනවාද යන්න ගැන අවබෝධ කරගත යුතුය.
එහෙත් පාස්කු ප්‍රහාරයෙන් පසු අන්තවාදීන් විසින් ඉදිරියේදී සිදු කරන්නට යමක් සැලසුම් කළේ නම් ඒ සියලු සැලසුම් ව්‍යර්ථ කරන්නට ත්‍රිවිධ හමුදාව, විශේෂ කාර්ය බළකාය මෙන්ම පොලීසිය විසින් කටයුතු කිරීම ප්‍රශංසා කට යුතුය. ලෝකයේ අනෙක් රටවල් ඒ ක්‍රියාන්විතය සම්බන්ධව පුදුමයට පත් වූ බවද මෙහිදී පෙන්වා දිය යුතුයි.
දැන් ඒ සියල්ල අවසානය. දැන් අප හමුවේ ප්‍රධාන අභියෝග දෙකක් තිබෙන බව අමතක නොකළ යුතුය. එයින් පළමුවැන්න නැවත මෙවැන්නක් ඇති නොවීමට වගබලාගැනීමයි.
දෙවැන්න මේ සිදුවීම දඩමීමා කරගෙන වෙනත් අන්තවාදි බලවේග හිස එසවීමට ඉඩ ඇති හෙයින් ඒ තත්ත්වය මැඬ පැවැත්විය යුතු වීමයි.
මෙහි ලා පාර්ලිමේන්තුවේ ප්‍රධාන වගකීම වන්නේ දෙකෝටියකට අධික ජනතාවගේ ආරක්ෂාව සැලසීමයි. ඒ සඳහා ජාතික ආරක්ෂාව වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ යුතු යුතුයි. මේ සම්බන්ධව ආංශික අධීක්ෂණ කමිටුව කථානායකවරයාගේ මූලිකත්වයෙන් රැස් වුවද එයින් විසඳුමක් නොලැබිණි.
මෙවන් ගැටලු සම්බන්ධව කටයුතු කිරීම සඳහා පවතින නීති-රීති ප්‍රමාණවත් නොවන බව පසුගිය දිනවල කතා-බහට ලක් වූ අතර ඒ සම්බන්ධව බුද්ධිමතුන්, වියතුන් ඇතුළු පිරිසකගේ අදහස් සහිතව නැවත මෙවන් ප්‍රශ්නයක් ඇති වීම වැළැක්වීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම කටයුතු කර තිබෙනවා. එහි කරුණු 11ක් අඩංගු කර ඇති අතර, ඒ කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන් 225 දෙනාම පොදු එකඟතාවෙන් කටයුතු කළ යුතු වේ.
මේ සම්බන්ධව අගමැතිවරයා, විපක්ෂනායකවරයා, දිගම්බරන් හා මනෝ ගනේෂන් ඇමැතිවරුන් මෙන්ම දෙමළ ජාතික සන්ධානය සමඟද සාකච්ඡා කර තිබේ. එසේම මුස්ලිම් පක්ෂ සමඟත් සාකච්ඡා කළ අතර ඉදිරියේදී සියලු ආගමික නායකයන්ගේ මෙන්ම ජනතා අදහස්ද මේ සඳහා යොමු කරගෙන අවශ්‍ය සංශෝධන සිදු කිරීම, අනවශ්‍ය ලෙස හැඟෙන කරුණු ඉවත් කිරීම හෝ අලුතින් එක් කිරීම හෝ සිදු කළ යුතුයි. එසේම ආරක්ෂක අංශ මෙන්ම සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ අදහස්ද මෙහි ඇතුළත් කිරීමට කටයුතු කෙරේ.
ඒ අනුව ජාතීන් හා ආගම් අතර මිත්‍රත්වය වර්ධනය කරමින්, ත්‍රස්තවාදය හා අන්තවාදය මුලිනුපුටා දැමීම සඳහා වන නීති-රීති මේ හරහා සම්පාදනය කෙරෙනු ඇත. ඒ අනුව එළි දකිනුයේ සමස්ත ජාතික ප්‍රතිපත්තියක් වන අතර එය එක් පක්ෂයකට සීමා වූවක් නොවනු ඇත.
ජාතික සමඟිය රකින ජාතික ආරක්ෂාවට හානි නොවන ඕනෑම යෝජනාවක් සියලු ජනතාවට මේ සඳහා යොමු කළ හැකිය.
එමෙන්ම පවත්නා නීති-රීති වුවද ඒ හරහා සංශෝධනය කළ හැකි වනු ඇත. ඒ සඳහා වන යෝජනාවලිය ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලක මහතා වෙත පසුගිය 15 වැනිදා බාර දුන් අතර මේ යෝජනාව පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
යෝජනාවලිය
* ජාතීන්, ආගම් හා ජන කණ්ඩායම් අතර වෛරය, ප්රචන්ඩත්වය හා එකිනෙකා අතර සැකය පැතිරවීම සාපරාදී වරදක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට අවශ්‍ය නීති සම්පාදනය කළ යුතුය.
* ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය මුලුමනින්ම සමාලෝචනය කොට ප්‍රතිසංස්කරණය කළ යුතුය. ඒ සඳහා ජාති හා ආගම් ලෙස බෙදී ඇති අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරීම සඳහා නීති සම්පාදනය කළ යුතුය.
* වාර්ගික, ආගමික හා භාෂා ලෙස අධ්‍යාපන ආයතන වර්ග කිරීම වෙනුවට, සියලු ජාතීන් හා ආගම් භේදයෙන් තොරව සියලු දරුවන්ට එක් වහළක් යට අධ්‍යාපනය ලැබීය හැකි අධ්‍යාපන ආයතන පිහිටුවිය යුතුය. හැකිතාක් සමානාත්මතාවයන්ගෙන් යුක්ත වූ අධ්‍යාපන ආයතන පිහිටුවිය යුතුය.
සමස්ත රටේම සියලුම පාසල්වලට ඉගැන්විය යුත්තේ ශ්‍රී ලාංකික එක් ජාතික විෂය නිර්දේශයක් පමණක් විය යුතුය. විෂය නිර්දේශයන් තුළ ජාතික සමගිය, මිත්‍රත්වය, සුහදත්වය, අභිමානය වර්ධනය වන ලෙස විෂය නිර්දේශ සකස් කළ යුතුය. මෙරට ඉතිහාසය, සමාජ විකාශනය, සංස්කෘතිය, දේශභිමානය සහිත පෞරුෂයෙන් යුත් අනාගත පුරවැසියන් බිහිකිරීම අධ්‍යාපනයේ පරමාර්ථය විය යුතුය. සියලුම පාසල් අධ්‍යාපන ආයතනවල අරමුණු විෂය නිර්දේශ අධ්‍යයන ක්‍රමවේදයන් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ මුලුමනින්ම මෙහෙය විය යුතුය. රටේ උසස් අධ්‍යාපනය සඳහා වූ විශ්වවිද්‍යාල පාඨමාලාවන් ද මීට සමගාමීව ප්‍රතිසංස්කරණයට ලක්විය යුතුය. කවර විෂය ධාරාවක් යටතේ අධ්‍යාපනය කළ ද, මෙරට ඉතිහාසය, සංස්කෘති, මවු භාෂාව, උරුමය පිළිබඳ අවබෝධය අනිවාර්ය විෂය නිර්දේශයට ඇතුළත් විය යුතුය. සමාජ දර්ශනය පිළිබඳ තුළනාත්මක අවබෝධය ඇතිකළ යුතුය. සියලු උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලබාදිය යුතුය. එසේම මෙරට වෘත්තීය පුහුණු, තෘතීය පුහුණු පාඨමාලා සඳහා ද ජාතික සංස්කෘතික උරුමයන් හා ජාතියේ දර්ශනය පිළිබඳ මඟපෙන්වීමක්, වෘත්තීය පුහුණු අමාත්‍යාංශය විසින් ඇති කළ යුතුය. මෙරට පෙර පාසල් අධ්‍යාපනය මුලුමනින්ම අනාගත නිර්මාණශීලී ජාතික අරමුණු සඳහා සූදානම් කරන අඩිතාලමකින් මෙහෙය විය යුතුය. මිත්‍රත්වය එකිනෙකා වටහාගැනීම, අවබෝධය ඇතිකරවීම සඳහා මගපෙන්වීමක් ලබාදිය යුතුය. එය මුලුමනින්ම ලෝකයේ සෑම දියුණු රටකම පාහේ මෙන් එය රාජ්‍ය වගකීමක් ලෙස සලකා රාජ්‍ය අමාත්‍යාංශයක් යටතට පත්කළ යුතුය.
* මෙරට දරුවන්ගේ උසස් අධ්‍යාපනය රාජ්‍ය වගකීමක් ලෙස සලකා කටයුතු කළ යුතුය. විදේශගතව අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකීය දරුවන් ද මෙරටට සංස්කෘතික හා සාමාජීය රටාවන්ට අනුගත කිරීමේ අවශ්‍යතාවයන් හා සංස්කෘතික වටිනාකම් පිළිබඳ ඔවුන්ට අවබෝධයක් ඇති කිරීම සඳහා නීති සම්පාදනය කළ යුතුය.
*මෙරටට පැමිණෙන ජාතික, ආගමික, සංස්කෘතික දේශන හා අධ්‍යයන පර්යේෂණ, වැඩමුළු පැවැත්වීමට පැමිණෙන්නන් ශ්‍රී ලංකාවට ඇතුළුවීමට පෙර විශේෂ පරීක්ෂණයකට ලක් කරීම සම්බන්ධව නීති සම්පාදනය කළ යුතුය.
* ජාතික ආරක්ෂාවට හා සාමකාමී පැවැත්මට හානිකර වූ ඇඳුම් සහ වෙනත් චර්යාවන් (ෆුල්ෆේස් හෙල්මට්, බුර්කාව වැනි ඇඳුම්) පැළදීම වැළැක්වීම සඳහා ආගමික නායකයින් හා බුද්ධිමතුන්ගේ උපදෙස් මත ඊට නීති රීති සම්පාදනය කළ යුතුය.
* ජාති, ආගම්, කුල, ප්‍රදේශ පදනමින් දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම වැළැක්වීම සඳහා නීති සම්පාදනය කළ යුතුය.
ආගමික සිද්ධස්ථාන හා යාඥා මධ්‍යස්ථාන ඇති කිරීම පිළිබඳව පොදු නීති රීති සම්පාදනය කළ යුතුය.
* ජාති හා ආගම් අනුව අමාත්‍යාංශ ඇති කිරීම වෙනුවට, එක් ප්‍රධාන ආගමික කටයුතු අමාත්‍යාංශයක් පිහිටුවීම පිළිබඳව නීතිය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කිරීම.
* ජාතික, ආගමික සහජීවනය මෙන්ම රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ අවධානය යොමුකරමින් ආගමන විගමන නීති සම්පාදනය කළ යුතුය.
* විවිධ රටවලින්, සංවිධාන වලින් හා පුද්ගලයන්ගෙන් ලැබෙන අරමුදල් යොදවන්නේ කවර අරමුණු වෙනුවෙන්ද යන්න නිසි අධීක්ෂණයට හා පාලනයකට අදාළ නීති සම්පාදනය කළ යුතුය.
*අන්තර්ජාල තොරතුරු හා මුහුණුපොත් මගින් සිදු කරන අනිසි පෙළඹවීම් හා සාපරාදී අරමුණු වෙනුවෙන් වූ තොරතුරු පාලනය කිරීම සඳහා නීති සම්පාදනය කළ යුතුය.