ආරක්ෂාව ගැන ගෝටාගෙන් ඉගෙන ගන්න... බුද්ධි අංශ මෙහෙයවන හැටි ඔහුගෙන් දැනගන්න'මෙහෙම කියන්නේ ශ්‍රීලංකාවේ හිටපු අමෙරිකන් තානාපති ය. නමින්ම කීවොත් රොබර්ට් ඕ බ්ලේක් ය. හිටි ගමන් බ්ලේක්ට ගෝඨා වැඩ කාරයෙක් වගේ පේන්නට හේතුව කුමක්ද?. අද මෙහෙම කතා කරන බ්ලේක්ගේ ඉතිහාසය කොහොමද?.
මුලින් ම විමල් වීරවංශ මීට වසර ගානකට පෙර කී කතාවක් මතක් කළ යුතුය. ඒ ඔහු කීවේ බ්ලේක් ගැන ය. ඇමරිකාව කොහොමද; වෙනත් රටක එක් ප්‍රදේශයකින් හමුදා කඳවුරු ඉවත් කරන්න කියලා යෝජනා කරන්නේ. දෙමළ ජාතිකයන් පොලිස් සේවයට බඳවා ගන්න කියලා රොබට් ඕ බ්ලේක් මහත්තයා අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ. ශ්‍රී ලංකා පොලිසියේ සිංහල, දෙමළ, මුස්ලිම් ජාතිකයන් ඉන්නවා. නමුත් රොබට් ඕ බ්ලේක් මහත්තයාට අවශ්‍ය වෙලා තියෙන්නේ අපේ රටේ ආරක්ෂක අංශවලින් දෙමළ ජාතිකයන්ට හිරිහැර සිදුවන බව ලෝකයාට කියා පෑමටයි. රොබට් ඕ බ්ලේක් මහත්තයලාගේ මේ න්‍යාය පත්‍රයට උල්පන්දම් දෙන සුළු පිරිසකුත් මේ රටේ ඉන්නවා. ඇතැම් දේශපාලනඥයන්, ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන්, මාධ්‍යවේදීන් යෑයි කියා ගන්නා ඇතැම් පිරිසකුත් විවිධ ලාභ අපේක්ෂාවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ලෝකය පුරා විවිධ මත ප්‍රචාරය කරනවා. ජිනීවා මානව හිමිකම් කවුන්සිලයටත් ඇතැම් පිරිස් ශ්‍රී ලංකාවට එරෙහිව අසත්‍ය චෝදනා එල්ල කර තිබෙනවා. 'විමල් වීරවංශ මෙහෙම කීවේ 2011 සැප්තැම්බර් 15 වෙනිදාය. විමල්ට අනුව බ්ලේක් කියන්නේ ‘අන්තර්ජාතික කුමන්ත්රණකාරයෙකි; අමෙරිකන් හස්තයකි; කුමන්ත්‍රණ නැවකි. විමල් වීරවංශ ගේ ශබ්ද කෝෂයේ වැඩියෙන් ම තිබෙන වචනය 'කුමන්ත්‍රණ' කියන වචනය ය. එය ඈඳෙන්නේ 'අන්තර්ජාතික කුමන්ත්‍රණ' හෝ අමෙරිකා කුමන්ත්‍රණ එක්ක ය.
ඒ විමල් මහින්දගේ ආණ්ඩු කාලයේ උඩ පැන පැන පහර දුන් විදෙස් චරිත 3ක් සිටියේ ය. එක් අයෙක් බෑංකී මූන් ය. විමල් ඔහුට කීවේ 'බංකී මූන්' කියා ය. අනෙක් චරිතය නවනීදන් පිල්ලේ ය. අනෙක් ප්‍රධාන චරිතය රොබර්ට් ඕ බ්ලේක් ය. ලංකාවට එරෙහි සතුරන් පිළිවෙලට නම් කළොත් විමල්ගේ ලැයිස්තුවේ මුල් කිහිප දෙනා අතර බ්ලේක් සිටින තරමට ම ඔහු එවක බ්ලේක්ට පහර දුන්නේ ය. එහෙව් බ්ලේක් අද ගෝඨාට සහතික දෙයි. හිටි ගමන් බ්ලේක් ගෝඨාට චරිත සහතික දෙන්නේ ඇයි?
2009 - 2013 කාල සීමාවේ බ්ලේක් මෙරට රාජකාරි කළේය. ඒ කාලයේ විමල්ලා බ්ලේක්ට කුඩුවෙන්න ගැසුවේය. කොටි නායකයන්ට පලා යෑම සඳහා එක්සත් ජාතීන්ගේ උදව් ඇතිව ආරක්ෂිත මාර්ගයක් විවෘත කර දීමට කටයුතු යෙදෙමින් තිබෙන බව එවක විමල් වීරවංශ කීවේය. එහි මූලිකයා බ්ලේක් බව පැවසිණ.
එවක අමෙරිකානු තානාපති රොබර්ටෝ බ්ලේක් ඒසියන් ට්‍රිබියුන් වෙබ් අඩවියට හෙළිදරව් කර ඇති කරුණු අනුව වේළුපිල්ලේ ප්රභාකරන් ඇතුළු මිනීමරු කොටි නායකයන් ආරක්ෂිතව මේ රටින් රැගෙන යෑමේ මෙහෙයුමක් දියත් කර තිබෙන බව පැහැදිලි බව විමල් කීවේ 2008දී ය.
යුද අපරාධ, දරුණු ගණයේ මානව හිමිකම් උල්ලංඝනය වීමට අදාළ ව ජිනීවා හිදී ලංකාව පරාජයට පත්වූ යෝජනාවේ මුල් පුරුක බ්ලේක් ය.
හැබැයි තනතුරු අහිමි වූ විට බ්ලේක් අලුත් පිරුවටයකින් සැරසී සිටී. මේ වන විට ඔහු කටයුතු කරන්නේ McLarty නම් ආයතනයට අනුබද්ධව ය. මුදල් උපයන්නේ ගෝලීය ව්‍යාපාරික ආයතන, දේශපාලනඥයන් ඇතුළු විවිධ පාර්ශ්වයන්ට එක් එක් ඉලක්ක සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් උපදෙස් සහ මැදිහත්වීම් සිදුකරමින් ය.
ඔහු McLarty ආයතනයේ ආසියාව නියෝජනය කරන කුලී හේවායා ය.
ඔහුව මෙහි කැඳවන්නේ මිලින්ද මොරගොඩගේ පාත් ෆයින්ඩර් ආයතනය විසින් ය. ඔහුගේ දේශපාලනය කවුරුත් දනී.
එහෙව් බ්ලේක් මෙහි පැමිණ මෙහෙම කියයි. “ඇත්තවශයෙන් ම ගෝඨාභය රාජපක්ෂ ලංකාවේ ආරක්ෂක ලේකම්වරයා ලෙස සිටි යුද්ධය පැවති කාලයේ එවැනි විශේෂඥ කණ්ඩායමක් ලංකාවේ සිටියා. එමඟින් රට පුරා සිටි විවිධ ගණයේ බුද්ධි තොරතුරු කණ්ඩායම් වල විවිධ අංශ හරහා ලැබුණු තොරතුරු පෞද්ගලිකවම සොයා බැලීමටත් ඒවා තහවුරු කරගැනීමටත් හිටපු ආරක්ෂක ලේකම්වරයා ක්‍රියා කළා. පසුව ඒ තොරතුරු ආරක්ෂක අංශයේ ඉහළ නිලධාරින් හා බෙදා ගැනීමටත් ඔහුට හැකි වූ බැවින් සැළසුම් කළ කිසිදු ප්‍රහාරයක් ක්‍රියාත්මක වුණේ නෑ. එම නිසා මම හිතන්නේ වර්තමාන රජයත් එවැනි විශේෂඥ කණ්ඩායමක් නැවත ඇති කිරීමට ක්‍රියා කිරීම වඩාත් වැදගත් වනු ඇති ය කියයි.” ඝෝඨාභයට සහතික දෙන විට බ්ලේක් නොදන්නා දෙයක් තිබේ.
බුද්ධි අංශ දුර්වල කළා කියා කියන අයට කියන්න තියෙන්නේ, කොටකෙතන එක දිගට භීතියෙන් මුසපත් වෙන ඝාතන සිදු වූයේ යුද්ධෙ ඉවරවෙලා තිබියදී බවයි. සමහරු කොටකෙතනට කීවේ "පුංචි නන්දිකඩාල් ප්‍රදේශයක්" කියා ය. ඒ තරමට හමුදාව යොදා ආරක්ෂාව දමා තිබිණ. 2008 මරණ 19ක් සාහසික ලෙස සිදු විය. "මීටර් 200, 300 වගේ පොඩි පොඩි කෑම්ප් දාගෙන ඉන්නවා. ස්වර්ණලතා මැරුණ තැනට මීටර් 300ක්වත් නැහැ පොලිස් මුරපොළ. දැන් නැතත් පාපු මැරුණු තැනට මීටර් 300ක් විතර පහළින් පොඩි මුරපොළක් තියෙනවා." ඒ දවස්වල මිනිස්සු කීය. ගමක්, රටක් සසල කළ අපරාධ ජාලය වෙනකොට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ය. ඒවා ත්‍රස්තවාදී ප්‍රහාර නොවීය. හැබැයි සාහසික ඝාතන විය. හමුදා අණු ඛණ්ඩ, පොලිසිය, බුද්ධි අංශ සේරම තිබියදීත් ඝාතන සිදු විය. අපරාධකාරයෝ කිය කියා වෙන වෙන අය අල්ලා කුදලාගෙන ගියහ. බුද්ධි අංශ විතරක් නොවේ රට ම මේ අපරාධකරුවන් අල්ලන්න කියද්දීත් මහින්දවත් ගෝඨාවත් කරපු දෙයක් නැත.
මෙහිදී එදා ගෝඨාභය ගැන චරිත සහතික දෙන බ්ලේක්ට අමතක තවත් දෙයක් තිබේ.
සුදු වෑන්වලින් පැහැර ගැනීම්, මාධ්‍ය ආයතන ගිනිබත් කිරීම්, මාධ්‍යවේදීන් ඝාතනය කිරීම්වල අඳුරු ඉතිහාස කතාව හිමි ඔය කියන ඝෝඨාභය ආරක්ෂක ලේකම් ව සිටි යුගයට ය.
එදා මෙදා බුද්ධි අංශ හොඳ නරක ගැන කියමින් ගෝඨාට සහතික දෙන බ්ලේක්ට අමතක තවත් දෙයක් තිබේ. පසුගිය පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ත්රස්තයන් සියල්ල ම පාහේ මේ දින කිහිපය තුළ ඝාතනය විය. තවත් මර්මස්ථාන සහ සමීපතමයන් අත්අඩංගුවට පත් විය.
2001 වසරේ සැප්තැම්බර් 11 වැනි අඟහරුවාදා උදෑසන ඇමෙරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට අල්කයිඩා ත්රස්තවාදීන් ප්‍රහාරය එල්ල කළේ මුළු ඇමෙරිකාවම සෙල්ලමට ගනිමින් ය. අල්-කයිඩා ත්රස්තවාදීන් 19 දෙනකු විසින් ඇමෙරිකා එක්සත් ජනපදයේ පිහිටි අන්තර්ජාතික ගුවන්තොටුපළ 3කින් පිටත් වූ වාණිජ ගුවන් සේවා දෙකකට අයත් මගීන් සහිත වාණිජ ගුවන් යානා හතරක් අතරමඟදී පැහැරගෙන එල්ල කළ ප්‍රහාරය, ලෝකය සොලවා දැමුවේය. ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය පමණක් නොව ආරක්ෂාවේ මහා දෙවොල 'පෙන්ටගනය' පවා කුඩු පට්ටම් කළේය. ප්‍රහාරය එල්ල වන්නේ 2001දීය. බින් ලාඩන් සොයන මෙහෙයුම එතැන් සිට ආරම්භ කරන නමුත් 2010 වනතුරු ඔහු සොයා ගන්නට නොහැකි විය. නෙප්චූන් ස්පියර් ලෙස අවසන් මෙහෙයුම සැලසුම් වීම ආරම්භ වන්නේ 2010 අගෝස්තු මාසයේදීය.
ඒ වෙනකොට ජනපති ඔබාමා ය. ඇමරිකානු මධ්‍යම බුද්ධි ඒජන්සිය (CIA), ජාතික ආරක්ෂක ඒජන්සිය (NSA), ජාතික භූගෝලීය බුද්ධි ඒජන්සිය (NGA) යන ආයතන මෙහි බුද්ධි අංශ ලෙස කටයුතු කළහ. මෙහෙයුමට අණ ලැබුණේ 2011 අප්‍රේල් 11 වැනිදා උදෑසන ය. පාස්කු ප්‍රහාරය සමහරුන්ට අතුරුපසක් වී තිබේ. එහෙත් එය ලොව පුරා ප්‍රබල රටවලට ආගන්තුක නැත. අයි. එස් වැනි ත්‍රස්ත සංවිධාන ලෝකය කරකවා අතාරින ප්‍රහර එල්ල කළ අවස්ථා තිබේ. මේ මොහොතේත් එවැනි අන්තවාදී ප්‍රහාර සිදු කෙරේ. එවන් තත්ත්වයක් තුළ බුද්ධි අංශ දුර්වල කළා ය කියා විපක්ෂය නඟන චෝදනාව සහමුලින් ම අමූලික බොරුය. 'ත්‍රස්තවාදි අමෙරිකාවට ගැහුවේ කොහොමද ?'කියා අසන කෙනකුට ඔය පුරාජේරුකාරයන් උත්තර දෙන්නේ නැත. රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගොස් ආයතනයක පඩි ලබන 'කුලී හේවායකු' පමණක් වන බ්ලේක් දැන් කරන්නේ ඔහුගේ 'ජොබ් එක'ය. ඒ ජොබ් එකේ කොටසක් වන්නේ ,ලොව පුරා සිටින පුද්ගලයන්ට අමෙරිකාවේ වෙළදාමට හා කොන්ග්‍රසයට ප්‍රවේශය ලබා දීමට කටයුතු කරන McLarty Associates වෙත ගාස්තු අයකර ගනිමින් සිය සේවය ලබා දීම ය. ඒ ඔහුගේ රස්සාව ය.
එහෙත් රස්සාව කිරීමේ ඔහුගේ අයිතියට ගරු කරන අතර ඔහු සමාජයට බෙදන බොරුව හෙළි කළ යුතුය. බුද්ධි අංශ ගැන ගෝඨාට චරිත සහතික දෙන බ්ලේක්ට අමතක තවත් දෙයක් තිබේ. ත්‍රස්ත ප්‍රහාර වැළැක්වීමට ගෝඨාභය සතුව ඉහළ ගණයේ විශේෂඥ කණ්ඩායමක් සිටි බවට බ්ලේක් පවසයි. එහෙත්, ඔය කියන විශේෂඥ කණ්ඩායමට යුද හමුදාපති සරත් ෆොන්සේකාට එල්ල කළ ප්‍රහාරය වළක්වා ගැනීමට වත් නොහැකි වූයේ ඇයි?. රටක හමුදාපතිවරයකුට අධි ආරක්ෂාව මැද පවා ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන තුරු ඔය කියන විශේෂඥ කණ්ඩායම කළේ මොනවාද?. එපමණක් නොවේ, ඔය කියන බලවත් බුද්ධි අංශය හැදූවාය කියන ගෝඨාභයටත් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය. ඒ බවවත් විශේෂඥ කණ්ඩායම නොදැන හිටියේ කොහොමද?. හමුදාපතිටයි,ආරක්ෂක ලේකම්ටයි දෙන්නටම ගහන්න පුළුවන් කමක් කොටින්ට තිබුණේ කොහොමද?. බ්ලේක් කියන්නේ ගෝඨාභයගේ කාලයේ මාර බුද්ධි අංශය කියා ය. පසුගිය පාස්කුදා ප්‍රහාරය සිදු වූ ෂැන්ග්‍රිලා හෝටලය ආශ්‍රිතව ආරක්ෂාව බාරව හිටියේ ගෝඨාගේ කාලයේ බුද්ධි අංශයේ මහ මොළකරු වූ හෙන්දවිතාරණ ය. හෙන්දවිතාරණ ආරක්ෂාව බාරව සිටි හෝටලයට බෝම්බ ගහනතුරු ඔහු එය නොදැන සිටියේය. මතක තබා ගන්න, ඔහු ගෝඨාගේ කාලයේ බුද්ධි ප්‍රධානියා ය.
අනෙක් පැත්තෙන් මෙරට විශේෂඥ කණ්ඩායම ගැන බ්ලේක් දන්නේ කොහොමද? මෙහේ රහස් අමෙරිකාව දැන ගත්තේ කොහොමද කියා සොයන එක නොවළහා කළ යුතුය. ගෝඨා අමෙරිකන් පුරවැසියෙකි. ඔහු පුරවැසිකම ගත්තේ මෙහෙම දිවුරමිනි. “මම මින් පසු, මීට පෙර මා පුරවැසියකු ලෙස සිටි වෙනත් රටකට (ලංකාව) ආණ්ඩුවකට, කුමාරයකුට හෝ රජකුට මගේ තිබෙන පක්ෂපාතිත්වය හා භක්තිය අත්හරින බව දිවුරා පොරොන්දු වෙමි.
මම ඇමෙරිකානු ව්‍යවස්ථාව හා නීතිවලට සහාය වෙන බවටත් විදේශීය හා රට තුළ (අභ්‍යන්තරව) ඇතිවන සතුරන්ගෙන් රට ආරක්ෂා කරන බවටත් පොරොන්දු වෙමි. මම අවශ්‍ය වූ විට එක්සත් ජනපද රාජ්‍ය වෙනුවෙන් ආයුධ අතට ගැනීමට ද, මම එක්සත් ජනපදයේ සන්නද්ධ හමුදාවල සිවිල් ක්‍රියාකාරකම් කිරීමට නීතියෙන් බැඳී සිටින බව ද, අවශ්‍ය වුවහොත් ජාතික වැදගත් කමකින් යුක්ත ක්‍රියාවල යෙදීමට ද දිවුරා පොරොන්දු වෙමි. මේ පොරොන්දුව මා විසින් දෙනු ලබන්නේ නිදහස් ව කිසිදු මානසික කොන්දේසියක් හෝ මග හැරීමකින් තොර ව ය. මේ සඳහා මට දෙවියන් වහන්සේ උදව් වේවා…..!”
එහෙම පුරවැසිකම ගත් ගෝඨාභය එවක මෙරට ආරක්ෂක ලේකම් ය.. එහෙම නම් අමෙරිකාව නැමති ඔහුගේ පුරවැසිබිම වෙනුවෙන් ඔහු කටයුතු කළාද?.ඒක දන්නේ බ්ලේක්ලා ය. 2008 වසරේදී ඇමෙරිකා එක්සත් ජනපදය හා ශ්‍රී ලංකාව අතර, ආරක්ෂක ගිවිසුමක් අත්සන් කළේය. ඒකට ලංකාවෙන් එක් වූයේ ගෝඨාභය රාජපක්ෂ ය. අමෙරිකා එක්සත් ජනපදයෙන් රොබට් ඕ බ්ලේක් ය. ඒ ගිවිසුමෙන් කලාපීය යුදමය තත්වයකදී එක්සත් ජනපදයට සියලු යටිතල පහසුකම් සැපයීමට ශ්‍රී ලංකාව බැඳී සිටී. දැන් විමල්ලා මේ ආණ්ඩුවට ගහන්නේ ඒ ගිවිසුම අරගෙන ය. හැබැයි ගිවිසුමේ හිමිකරුවෝ අද මහ ලොකුවට දේශප්‍රේමය ගැන කිඹුල් කඳුළු හෙළන ගෝඨාභයලා ය.
හරියට කල්පනාකොට බැලූවිට නියම අන්තර්ජාතික කුමන්ත්‍රණකාරයන් ඉන්නේ කොහෙද කියා දැන් මිනිස්සුන්ට රහසක් නොවේ. බ්ලේක්ට බ්රේක් නැතිකමට කියවෙච්ච දේ ආපහු ඇදගන්න නම් අමාරු ය.