හදිසි ගැටුම් පසු­පස දේශ­පා­ලන නැටුම් | සිළුමිණ

හදිසි ගැටුම් පසු­පස දේශ­පා­ලන නැටුම්

* මධු­මා­ධව මිනු­ව­න්ගොඩ සැරි­සැ­රුවේ ඇයි?
* දයා­සි­රි­ටත් චෝද­නා­වක්
* නාමල් කුමා­රට කුරු­ණෑ­ග­ලින් ඩිෆෙ­න්ඩ­ර­යක්
* ගැටුම් ඇති වුණේ දින 22කට පසු

පාස්කු ඉරිදා ප්‍රහා­රය මුල් කර­ග­නි­මින් වයඹ පළාතේ ගම්මාන කිහි­ප­ය­කත් මිනු­ව­න්ගො­ඩත් ඇවු­ළුණු ගිනි පිටු­පස දේශ­පා­ලන හස්ත­යක් ක්‍රියා­ත්මක වූ බව බුද්ධි අංශ තහ­වුරු කර­ගෙන හමා­රය. පටු දේශ­පා­ලන අර­මුණු වෙනු­වෙන් රට ගිනි තබ­න්නට හැදූ එකී දේශ­පාල හස්තය කුම­ක්දැයි මේ වන විටත් පැහැ­දි­ලිය.

හෙළි වී ඇති ආකා­ර­යට අනුව වය­ඹත් මිනු­ව­න්ගො­ඩත් ගිනි ඇවු­ළුවේ ඔවු­හුය. ඒ සංවි­ධා­නා­ත්ම­ක­වය. මුළු රටම ගිනි ජාලා­වක් බවට පත් කර­න්නට ඒ අය සූදා­නම් වූවත් ආර­ක්ෂක අංශ ක්ෂණි­කව ගත් පිය­වර නිසා වය­ඹින් සහ මිනු­ව­න්ගො­ඩින් පම­ණක් එය සීමා කර­න්නට හැකි වන්නේ ජාතියේ වාස­නා­ව­ක­ටය.

පොලිස් පරී­ක්ෂ­ණ­ව­ලින් හෙළි වී ඇති ආකා­ර­යට මිනු­ව­න්ගොඩ නග­රයේ කඩ සාප්පු 60කට පමණ හානි වී ඇත. එම විනා­ශය පිටු­පස සිටින්නේ දේශ­පා­ලන පක්ෂ­ය­කට සම්බන්ධ පිරි­සකි. යතු­රු­පැදි සහ වෑන් රථ­වල නැඟී පැමිණි ඔවුන් 13 වෙනිදා රාත්‍රියේ මිනු­ව­න්ගොඩ නග­රයේ කඩ සාප්පු­ව­ලට පහ­ර­දෙ­මින් ගිනි තබන්නේ සිංහල, සහ මුස්ලිම් බේද­ය­කින් තොර­වය. ඒ සිංහල සහ මුස්ලිම් වැසි­යන් අතර ගැටු­මක් නිර්මා­ණය කර­ව­න්න­ටය.

එහෙත් ඊට මිනු­ව­න්ගොඩ නග­රයේ වැසි­යන් හසු­වූයේ නැත. ඒ අය තම වෙළද සැල්ව­ලට පහ­ර­දුන් අය කවු­රු­න්දැයි හඳුනා ගත්හ. ආර­ක්ෂක අංශ මෙන්ම නග­ර­වැ­සි­යන් සඳ­හන් කරන ආකා­ර­යට ඔවුහු දේශ­පා­ලන ආධා­ර­ක­රුවෝ පිරි­සකි. කඩ­සා­ප්පු­ව­ලට පහ­ර­දෙන්නේ පොලි­සිය සහ හමු­දාව බලා සිටි­ය­දීය. ඒ පොලි­සි­යත් හමු­දා­වත් අස­රණ කර­මිනි.

බුද්ධි අංශ සඳ­හන් කරන්නේ ප්‍රහා­රය එල්ල වන විට මිනු­ව­න්ගොඩ නග­ර­යට නිසි ආර­ක්ෂා­වක් තිබී නැති බවය. නිවාස පරීක්ෂා කිරීම් ආදී විශේෂ රාජ­කාරි ගොන්න­ක­ටම පොලි­සියේ වැඩි පිරි­සක් යොදවා තිබීම ඊට හේතු­වයි. කල­හ­කා­රීන් නග­රයේ කඩ සාප්පු­ව­ලට පහ­ර­දෙන විට ඒ අය සමඟ හැප්පෙ­න්නට තරම් ශක්ති­යක් ඇති පොලිස් හෝ හමුදා සාමා­ජි­ක­යන් පිරි­සක් නග­රයේ සිට ඇති බවක් ද පෙනෙ­න්නට නැත.

බස්නා­හිර පළාත් පොලිස් ප්‍රධා­නියා වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති නන්දන මුණ­සිංහ සඳ­හන් කරන්නේ මිනු­ව­න්ගොඩ නග­ර­යට පහර දෙන්නට පැමිණි පිරි­සට අවශ්‍ය වූයේ නග­රය තුළ සිංහල මුස්ලිම් ගැටු­මක් නිර්මා­ණය කිරීම බවය. ඒ අය නග­ර­යට කිට්ටුව යම් ස්ථාන­යක රැස් වී යතු­රු­පැදි ඇතුළු වාහ­න­ව­ලින් පැමිණ ඒ ප්‍රහාර එල්ල කර ඇති බවට තොර­තුරු ඇතැයි ද ඔහු පැවැ­සු­වේය. මිනු­ව­න්ගො­ඩට කිසිදු සම්බ­න්ධ­යක් නැති දේශ­පා­ල­න­ඥ­යකු බවට සැක කරන පුද්ග­ල­යෙකු කළු ජැක­ට්ටු­ව­කින් සැරසී මුහුණ මුළු­ම­නින්ම ආව­ර­ණය වන යතු­රු­පැදි හිස් වැසු­මක් පැලඳ කඩ සාප්පු වලට පහ­ර­දෙන ආකා­රයේ වීඩි­යෝ­වක් හමු වී ඇතැ­යිද ඔහු කියයි. එම වීඩි­යෝව මේ වන විට ඇත්තේ විශ්ලේ­ෂ­ණ­යට ලක් වෙමිනි. ඒ අදාළ දේශ­පා­ල­න­ඥයා බවට පැහැ­දි­ලි­වම හඳුනා ගනු ලැබු­ව­හොත් අත්අ­ඩං­ගු­වට ගැනී­මට දෙව­රක් නොසි­තන බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති නන්දන මුණ­සිංහ අව­ධා­ර­ණය කරයි.

එකී දේශ­පා­ල­න­ඥයා කවු­රු­න්දැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති මුණ­සිංහ සඳ­හන් කරන්නේ නැත. එසේම මේ ගැටුම නිර්මා­ණය කළ සැබෑ ජාති­වා­දීන් අත්අ­ඩං­ගු­වට ගෙනද නැත. මෙතෙක් අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ අව­ශේෂ කොටස් පමණි. නන්දන මුණ­සිංහ මහතා පව­සන්නේ වැඩි කල් නොගොස් මිනු­ව­න්ගොඩ ගිනි ජාලා­වක් බවට පත් කළ අය නීතිය හමු­වට ඉදි­රි­පත් කරන බවය.

කොළඹ මහා නගර සභාවේ හිටපු මන්ත්‍රී­ව­ර­යෙකු වන පිවි­තුරු හෙළ උරු­මයේ නියෝජ්‍ය නායක මධු­මා­ධව අර­වින්ද මිනු­ව­න්ගොඩ පොලි­සි­යට කැඳ­ව­න්නේද එවැනි පසු­බි­ම­කය. පොලි­සිය පව­සන්නේ 13 වැනිදා රාත්‍රි මිනු­ව­න්ගොඩ ගිනි ඇවිෙ­ළන විට ඔහු නග­රයේ සැරි­ස­ර­මින් ජන­තාව ප්‍රකෝප කළ බවට විවිධ පාර්ශ්ව­ව­ලින් චෝදනා එල්ල­වන බවය. මධු­මා­ධව අර­වින්ද ජාතික ඇඳු­මින් සැරසී මිනු­ව­න්ගොඩ නග­රයේ පාල­මක් මතින් ගමන් කරන වීඩි­යෝ­වක්ද ජන­මා­ධ්‍ය­වල විකා­ශය විය. යතු­රු­පැ­දි­ය­කින් ගමන් කරන කාන්තා­වක විසින් එය වීඩියෝ ගත කර තිබිණි.

මධු­මා­ධව නම් ඒ ගැන පැවැ­සුවේ තමන් ගැටු­ම්ව­ලට කිසිදු සම්බ­න්ධ­යක් නැති බවය. වීඩි­යෝවේ දැක්වෙන්නේ වාහන තද­බ­ද­යක් ඇතිව තිබුණු බැවින් ඒ සම්බ­න්ධ­යෙන් විප­රම් කිරී­මට වාහ­න­යෙන් බැස ඉදි­රි­යට යමින් සිටින අව­ස්ථා­වේදී බවද ඔහු පවසා ඇත.

කෙසේ වෙතත් ඒ ගැන ප්‍රශ්න කිරී­මට මධු­මා­ධව අර­වින්ද පසු­ගිය 15 වැනිදා මිනු­ව­න්ගොඩ පොලී­සිය හමු­වට කැඳවා තිබු­ණත් ඔහු­ගෙන් ප්‍රශ්න කිරී­මට වග­කිව යුතු පොලිස් නිල­ධා­රි­යෙකු එදා පොලිස් ස්ථානය තුළ නොවීය. පැය තුනක් පොලිස් ස්ථානයේ රැදී සිටි ඔහු පිටව යන්නේ නැව­තත් කැද­වී­මක් ලැබු­ණ­හොත් පැමි­ණෙන බව පව­ස­මිනි. පොලි­සිය නම් පව­සන්නේ අනි­වා­ර්යෙන්ම නැව­තත් ඔහු කැඳ­වන බවය. 13 වැනිදා ගිනි ඇවි­ළුණු තවත් ප්‍රදේ­ශ­යක් වන්නේ හලා­ව­තය. මිනිස් ඝාත­න­යක් පවා වාර්ත­වෙන්නේ හලා­ව­තිනි. හලා­වත පැත්ත භාර නියෝජ්‍ය පොලි­ස්පති චම්පික සිරි­ව­ර්ධන පව­සන්නේ යම් අදෘ­ෂ්‍ය­මාන හස්ත­යක් ක්‍රියා­ත්මක වූ බවය. මෙතෙක් කර ඇති විම­ර්ශ­න­ව­ලින් පෙනී ගොස් ඇති ආකා­ර­යට අනුව 13 වෙනිදා ගැටු­මක් ඇති කර­න්නට යම් කණ්ඩා­ය­ම­කට තිබී ඇත්තේ දැඩි වුව­ම­නා­වකි. 13 වෙනිදා ප්‍රහා­ර­යක් එල්ල වීමට නිය­මිත බවට වූ තහ­වුරු නොවූ බුද්ධි තොර­තුර ඊට සපයා තිබුණේ උත්තේ­ජ­න­යකි. එකී බිය තීව්‍ර කිරී­මට සංවි­ධා­නා­ත්මක පිරි­සක් ක්‍රියා­ත්මක වන්නේ කඩු කිණිසි ගත් සන්නද්ධ පිරි­සක් ගම්මා­න­ව­ලට කඩා වැදී සිංහ­ල­යන් කපා කොටා ඝාත­නය කර­න්නට සූදා­නම් වන බවට කට­ක­තා­වක් පතු­රු­ව­මිනි. එකී කට­ක­තා­ව­ලට රැවටී එදා නිවෙස් අත­හැර කැලෑ වැදී රැය පහ­න්කළ පිරිස්ද සිටි­යහ.

නියෝජ්‍ය පොලි­ස්පති චම්පික සිරි­ව­ර්ධන පව­සන්නේ 13 වැනිදා මුලින්ම ගිනි ඇවි­ළෙන්නේ නාත්ත­ණ්ඩි­යෙන් බවය. ඒ පිටු­පස ප්‍රාදේ­ශිය දේශ­පා­ල­න­ඥයෝ පිරි­සක් සිටිති. ඒ අය නාත්ත­ණ්ඩියේ ගිනි අවු­ළුවා ඇත්තේ කණ්ඩා­යම් තුනක් ලෙස සංවි­ධා­න­ග­ත­වය. ඒ එක් කණ්ඩා­ය­මක් යතු­රු­පැ­දි­වල නැඟී දහ­වල් කාලයේ නග­ර­යට කඩා වැදී කඩ­සාප්පු හිමි­යන්ට තර්ජ­නය කරන්නේ ඒවා වසා දමන ලෙසය. ඒ අතර චීව­ර­ධා­ර­යෙ­කුද සිට ඇත. එම චීව­ර­ධා­රියා යතු­රු­දි­යක පැදි­ක­රුත් පසු­පැ­දි­ක­රුත් අතර ගමන් කරන අයුරු දැක්වෙන වීඩියෝ පට­යක්ද පොලි­සි­යට හමුවී තිබේ.

යතු­රු­පැ­දි­ක­රු­වන්ගේ එකී නියෝ­ග­යත් සමඟ වෙළ­ඳ­සල් වසා දමන වෙළ­ඳුන් සිය නිවෙ­ස්ව­ලට යන්නේ එන පොට හොඳ නැති බව හඳු­නා­ග­නි­මිනි. එය ඒ ආකා­ර­යෙන්ම සිදු විය. යතු­රු­පැ­දි­ක­රු­වන් වෙළ­ඳ­ස­ල්ව­ලට පහ­ර­දෙ­න්නට ගත්තේ එතෙක් නිහ­ඬව සිටි සෙසු ගම්වැ­සි­යන්ද ප්‍රච­ණ්ඩ­ත්ව­යට ඈඳා ගනි­මිනි. ඒත් එක්කම කොස්වත්ත, තුම්මෝ­දර,කොට්ටා­ර­ම්මුල්ල සහ දංකො­ටුව යන ගම්මාන ප්‍රච­ණ්ඩ­ත්වයේ ගිනි ඇවි­ළෙ­න්නට වූයේ ජාති­වාදී මුහු­ණු­ව­ර­කිනි. කඩ සාප්පු නිවාස සහ දේව­ස්ථා­න­ව­ල­ටද ඔවුන් පහ­රදී තිබුණේ ඉවක් බවක් නැති­වය. එහිදී කොට්ටා­ර­ම්මුල්ලේ වැසි­යෙකු වන දෙදරු පියෙකු ඝාත­න­යට ලක් වන්නේ පහ­ර­කෑ­ම්ව­ලින් සහ කැපුම් තුවා­ල­ව­ලිනි. ඒ අතර මොර­කැලේ ගම්මා­න­යේදී ආබා­ධිත හමුදා සෙබ­ළෙක් කපුම් තුවාල ලබා රෝහ­ල්ගත කරන්නේ බර­ප­තළ තත්ත්ව­යෙනි. ඔහු මේ වන විට ප්‍රති­කාර ලබන්නේ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒක­ක­යේය. එම සෙබ­ළාගේ පුතා මේ වන විට සක්‍රීය සේවයේ නිර­තව සිටින දෙවැනි ලුති­න­න්ව­ර­යෙකි.

ගැටුම් නිම වන විට වෙළ­ඳ­සල් සහ නිවාස 500කට ආසන්න ප්‍රමා­ණ­ය­ක­ටත් දේව­ස්ථා­න­යක් ඇතුළු දේපොළ රැස­ක­ටම හානි වී තිබිණි. ගැටුම් මැඬ­ලී­මට පැමිණි හමු­දාවේ පස් දෙනෙ­කු­ටද තුවාල සිදු වන්නේ ගල්මුල් ප්‍රහා­ර­යන්ට ලක්වය.

මේ තර­මින් හෝ යම් පාල­න­යක් ඇති වන්නේ හමු­දාව සහ පොලි­සිය නිසාය. එසේ නොව­න්නට හානිය මෙයට වඩා දෙතුන් ගුණ­යක් වන්නට තිබුණු ඉඩ­කඩ බොහෝය. එය එසේ වූවත් තුම්මෝ­දර දේව­ස්ථා­න­ය­කට පහ­ර­දෙ­න්නට පැමිණි පිරි­ස­කට හමු­දාවේ යම් සෙබ­ළෙ­කුගේ සහා­යක් ලැබුණු බවට චෝද­නා­වක්ද එල්ල වී තිබේ.

හමු­දා­වට තවත් චෝද­නා­වක් ඒ අය එල්ල කරන්නේ එම දේව­ස්ථා­නයේ ආර­ක්ෂා­වට සිටි පිරි­සක් දේව­ස්ථා­නය ඉදි­රි­පිට දණ­ගැ­ස්සවූ බව­ටය. හමු­දාව පාර්ශ්ව­යෙන් සඳ­හන් කරන්නේ එවන් දණ­ගැ­ස්ස­වී­මක් කිසි­සේත්ම සිදුව නැති බවකි. නියෝජ්‍ය පොලි­ස්පති චම්පික සිරි­ව­ර්ධන පව­සන්නේ දේව­ස්ථා­නයේ ඉහළ මහලේ රැඳී සිටි පිරි­සක් පහ­ළට ගෙන්වා­ගෙන ඔවුන්ගේ අන්‍ය­තාව පරීක්ෂා කර ඇති බව නම් තමන්ට දැන­ග­න්නට ඇති බවය.

එදා දේව­ස්ථා­න­යට පහ­ර­දී­මට පැමිණි පිරිස් පාල­නය කිරී­මට හමු­දාව දැඩි වෙහෙ­සක් ගත් බවත් කල­හා­කා­රීන් විසු­රුවා හරි­න්නට අහ­සට පවා වෙඩි තබා තිබුණු බවත් චම්පික සිරි­ව­ර්ධන පව­සන්නේ හමු­දාව එසේ ක්‍රියා­ත්මක නොවිණි නම් හානියේ තරම පව­තින තත්ව­යට වඩා විශාල වන්නට ඉඩ තිබුණු බව පෙන්වා දෙමිනි.

ගම්වැ­සි­යන් පව­සන ආකා­ර­යට අනුව මේ ගැටු­ම්ව­ලට මුල තුම්මෝ­දර දේව­ස්ථා­නය පිටු­ප­සින් ගලා බසින හැමි­ල්ටන් ඇළේ තිබී කඩු කිණිසි තොග­යක් සොයා­ගැ­නී­මක් බවය. කඩ­සාප්පු වසා දමන ලෙසට දැනු­ම්දීම් සිදු­ව­න්නේත් පහ­ර­දීම් සිදු­ව­න්නේත් එම ආයුධ හමු­වී­මත් සමඟ ඇති වන නොස­න්සුන් තත්ව­යත් සමඟ බව ගම්මුන්ගේ අද­හ­සය. එසේ වූවත් පොලි­සිය පව­සන්නේ එම නොස­න්සුන් තත්ත්වය සංවි­ධා­නා­ත්ම­කව නිර්මා­ණය කළ එකක් බවකි.

ජාති­වාදී ගිනි දැල්ව­ලින් බිංගි­රිය ඇවි­ළෙන්නේ නාත්ත­න්ඩියේ ඇවි­ළෙ­මින් තිබුණු ගින්නට සම­ගා­මී­වය. දේශ­පා­ලන අත­කොළු වූ පිරි­සක් ගැටු­මට මුල පුරන්නේ බිංගි­රියේ පිහිටි දේව­ස්ථා­න­ය­කට පහර දෙමිනි. බිංගි­රිය පොලි­සිය වහාම ක්‍රියා­ත්මක වෙමින් එය වර්ධ­නය වන්නට ඉඩ නොතබා සියල්ල පාල­නය කර­මින් පස් දෙනෙක් සැක­පිට මුලින්ම අත්අ­ඩං­ගු­වට ගත්තේය. වැඩි ආර­ක්ෂා­වට ඔවුන් පස් දෙනා රැගෙන යන්නේ හෙට්ටි­පොළ පොලිස් ස්ථාන­ය­ටය.

ඒත් එක්කම යතු­රු­පැ­දි­වල නැඟුණු විශාල පිරි­සක් පැමිණ හෙට්ටි­පොළ පොලිස් ස්ථානය අසල රැස්වන්නේ අත්අ­ඩං­ගුවේ සිටින පස් දෙනා නිද­හස් කරන ලෙස ඉල්ල­මිනි. ජනා­ධි­පති ඝාතන කුම­න්ත්‍ර­ණ­යක් ගැන රටට කී නාමල් කුමාර නැමැත්තා එහිදී මතු වන්නේ ඩිපෙ­න්ඩ­ර­ය­කිනි. ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ මහ ලේකම් පාර්ලි­මේන්තු මන්ත්‍රී දයා­සිරි ජය­සේ­කර ඒත් එක්කම එහි ආවේය. දෙදෙනා අතර ඇති වන්නේ බහි­න්බස් වීමකි. අව­සා­න­යේදී නාමල් කුමාර ඩිෆෙ­න්ඩ­රයේ නැඟී මාරු වී යන්නේ නාත්ත­න්ඩි­යට යන බව පව­ස­මිනි. එම ඩිෆෙ­න්ඩර් ජීප් රථය කාගේ එක­ක්දැයි මේ වන­විට අනා­ව­ර­ණය වී ඇත. ඔහු කුරු­ණෑ­ගල ප්‍රදේ­ශයේ ව්‍යාපා­රි­ක­යෙකි. ඔහු සංචා­රක ක්ෂේත්‍රයේ නිරත ව්‍යාපා­රි­ක­යකු වන අතර ඔහුගේ ක්‍රියා­කා­රි­ත්වය පිළි­බඳ පොලි­සිය විම­ර්ශ­නය කර­මින් සිටී. දයා­සිරි ජය­සේ­කර මන්ත්‍රී­ව­රයා පිටත්ව යන්නේ අත්අ­ඩං­ගුවේ සිටි පිරි­සට පොලිස් ඇප ලබාදී නිද­හස් කර­න්නට වාතා­ව­ර­ණය සක­ස­මිනි.

කුලි­යා­පි­ටිය, හෙට්ටි­පොළ, වාරි­ය­පොළ, නික­වැ­ර­ටිය ඇතුළු ගම්මාන රැස­කට ජාති­වා­දයේ ගිනි දැල් පැති­රෙන්නේ ඒත් එක්ක­මය. නිවාස සහ වෙළෙ­ඳ­සල් 200කට වැඩි ප්‍රමා­ණ­යක් එහිදී ජාති­වා­දීන්ගේ ගොදුරු බවට පත් විය. එම ගින්න ඇළවූ දේශ­පා­ල­න­ඥ­යන් දැන් සිටින්නේ ඇටි­කෙ­හෙල් කෑ රිල­වුන් සේය. නීතිය යම් දව­සක ඒ අයට එරෙ­හි­වද ක්‍රියා­ත්මක වනු ඇති බව ජන­තා­වගේ එකම පැතු­මය.

ගයාන් කුමාර වීර­සිංහ

Comments