දරුවන්ට වෙසක් මහේ පින්බර තිළිණයක් | සිළුමිණ

දරුවන්ට වෙසක් මහේ පින්බර තිළිණයක්

කර්තෘ- මහාචාර්ය ජේ. බී. දිසානායක

මිල- රු. 450

ප්‍රකාශනය- සුමිත ප්‍රකාශකයෝ

ලෝකය සැමවිටම පිරී තිබෙන්නේ නව දැනුම සොයා යන්නන්ගෙන් සහ නව දැනුම එකතු කරන්නන්ගෙනි. කොතරම් සොයා ගැනීම් කළත් ඒ සොයා ගැනීම් සියල්ල අනිත්‍ය බවට වන විශ්වාසයක් අප සිතේ තිබේ. ලෝකයේ සොයා පලක් නැති බොහෝ දේ අතරින් මනුෂ්‍ය ජීවිතයකට අවශ්‍ය වන මූලිකම හා වැදගත් ම සොයා ගැනීම කළ ශාස්තෘවරයා ගැන මැවෙන විවිධාකාර මතවාද ගැන නව පරම්පරාව බෙහෙවින් උනන්දු වෙන යුගයක අපි ජීවත් වෙමින් සිටිමු. ඒ සැකය ඔස්සේ මතු වෙන විවිධ සංකල්ප වලට අර්ථයක් සම්පාදනය කිරීමේ අරමුණ පෙරදැරිව ලොව බිහි වූ අසිිරිමත් ම සත්‍ය ගවේෂකයා ගැන අපූරු පොතක් ඔබට මේ වෙසක් සමයේ කියවන්නට ලැබී තිබේ. ඒ මහාචාර්ය ජේ. බී. දිසානායකයන් විසින් රචිත නවතම කෘතිය වන 'සිද්ධාර්ථ සත්‍ය ගවේෂකයාණෝ' නම් කෘතියයි‍‍.

ඉන්දියාවේ බිහිවූ ශ්‍රේෂ්ඨතම චින්තකයෙකු වන ශ්‍රී ජවහර්ලාල් නේරුතුමන් විසින් බුදුන් වහන්සේ හඳුන්වන ලද්දේ 'ශ්‍රේෂ්ඨතම ඉන්දියානු පුත්‍රයා වශයෙනි. ජී. එච්. වෙල්ස් නම් සුප්‍රකට ඉංග්‍රීසි ඉතිහාසඥයා සිය Outline of History නම් කෘතියේ 315 පිටුවේ බුදු දහම ගැන මෙසේ සඳහන් කර තිබේ.

'බුදු දහම ඉතා පැහැදිලි වූත් සරල වූත් දර්ශනයකි. එය නූතන අදහස් සමඟ ඉතා හොඳින් පෑහේ. එය ලෝකයේ පහළ වූ අප්‍රමාණ බුද්ධිමතකුගේ සොයා ගැනීමක් බවට කිසිදු සැකයක් නැත.'

නූතන විද්‍යාත්මක අවශ්‍යතා සමඟ ගැළපෙන යම් ආගමක් වේ නම් ඒ බුද්ධාගම යැයි අැල්බර්ට් අයින්ස්ටයින් කියා තිබේ. ලොව පුරා වෙසෙන බොහෝ චින්තකයන්, දාර්ශනිකයන්, විද්‍යාඥයන්, ලේඛකයන් බුදුන් වහන්සේ ගැන විවිධ දෑ කියා තිබේ. මේ සියල්ල ම ඔස්සේ නව පරපුර මේ සත්‍ය ගවේශකයාණෝ සොයා යන බවක්, අධ්‍යයනය කරන බවක් පෙනෙන්නට තිබේ. මේ ඒ සොයා යෑමට පිළිතුරක් සපයන කෘතියකි; ඒ සොයා යෑමට නව මඟක් එක් කරන කෘතියකි. නව පරම්පරාව ප්‍රිය කරන ආකාරයේ අපූරු සිතුවම් රාශියක් මෙහි අන්තර්ගත ය. ඒ වර්ණවත් අලංකාර සිතුවම් කෘතියට නව ආලෝකයක් එක් කර ඇතුවා සේම දරුවන්ට පහසුවෙන් වටහා ගැනීමට අධාරකයක් ද වන බව අපේ විශ්වාසයයි. කෘතියට නව අරුතක් එක් කරන ඒ සිතුවම් ජගත් කොස්මෝදර සිතුවම් නිර්මාණකරුවාගේ වීම තවත් විශේෂයකි.

මහාචාර්ය ජේ. බී. දිසානායකයන් මෙරට දරුවන්ට සිංහල විෂයය ඉගැන්වීමේ ලා විසල් මෙහෙයක් ඉටු කරමින් අකුරු මිහිර පොත් පෙළක් දරුවන්ට දායාද කළේ සිංහල භාෂාවේ උන්නතිය වෙනුවෙන් කැප වෙමිනි. නව පරපුර කෙරෙහි දයාවෙන් ළමා සාහිත්‍ය කෘති රැසක් එතුමා සිංහල බසින් හා ඉංග්‍රීසි බසින් පළ කර තිබේ. එපමණක් නොව දෙමළ විෂයය ඉගැන්වීමේ ලා පොත් පෙළක් නිකුත් කර තිබේ. සිංහල සංස්කෘතික දායාද ලොවට ගෙන යෑමේ ලා එතුමා මුල් පෙළේ සිට කටයුතු කරන්නේ ය.

පින්බර වෙසක් මස නිකුත් වන 'සිද්ධාර්ථ සත්‍ය ගවේෂකයාණෝ' නම් මේ ග්‍රන්ථය ද දරුවන්ට සිද්ධාර්ථ නම් පූර්ණ ගවේෂකයාගේ තොරතුරු මූලාශ්‍රය නිවැරදිව හා සකරුණු ව හැදෑරීමට මඟ පෙන්වනු නියතය. බුද්ධ චරිතය ගැන තව දුරටත් කරුණු සෙවීමට කැමැති දරුවන් ට ඒ සඳහා වන මූලාශ්‍රය ග්‍රන්ථ දක්වා තිබීම වැදගත් ය. කතුවරයා සතු සරල, සුගම බස හා සංකල්ප රූප ජනනය කරන වෛචිත්‍රවත් නිමාව නිසා මේ වෙසක් සමයේ දරුවන් කියැවිය යුතු ම පොතක් ලෙස 'සිද්ධාර්ථ සත්‍ය ගවේෂකයාණෝ' නම් කිරීමට දෙවරක් නොසිතමි.

- චතූ

Comments