පාස්කු ප්‍රහා­ර­යෙන් හෙළි වන අවි­නීත පොලි­සිය | සිළුමිණ

පාස්කු ප්‍රහා­ර­යෙන් හෙළි වන අවි­නීත පොලි­සිය

ඉදිරි දින කීපය තුළ පූජිත් අත්අඩංගුවට ?

උසස් නිලධාරීන්ගේ උපදෙස් පොලිසියම මඟහැරලා

 

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ ක්‍රියාත්මකය. බුද්ධි තොරතුරක් ලැබී තිබියදීත් ඊට නිසි සැලකිල්ලක් නොදක්වා ජනතාවගේ ජීවිතය අවදානමේ දැමීම ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනාවය. ඉදිරි සති දෙක තුන ඇතුළත පූජිත් ජයසුන්දර පොලිස්පතිවරයා අත්අඩංගුවට පත්වුවහොත් පුදුම විය යුතු නැත. ඒ ඔහුට එරෙහි ප්‍රබලතම සාක්ෂිය ඉදරිපත් වී ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනගෙන් වන බැවිනි.

 

ඔහු සඳහන් කර ඇති ආකාරයට අනුව 20 වැනිදාත් පොලිස්පති පූජිත් අමතමින් 21 වැනිදා ප්‍රහාරය ගැන අනතුරු හඟවා ඇත. ඒ එම ප්‍රහාරය එල්ල වීමේ සම්භාවිතාව සියයට 99ක් බවද සඳහන් කරමිනි. එම ප්‍රහාර වැළැක්වීමට ආරක්ෂක විවිධාන තර කරන ලෙස පූජිත්ට නිලන්ත ජයවර්ධන දැනුම් දීමක්ද කර තිබේ. ඒ ගැන එතරම් තැකීමක් නොකළ පොලිස්පති “මට ඕවා කියල වැඩක් නැහැ. මුණසිංහට කියපන්“ යැයි පවසා ඇත්තේ එම තොරතුර එතරම් වැදගැම්මකට නැති තොරතුරක් බව හඟවමිනි. මුණසිංහ යැයි ඔහු සදහන් කර ඇත්තේ බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ ඇතුළු බස්නාහිර පළාතේ පොලිස් ලොක්කන් රැසකගෙන්ම පැය ගණනාවක් පුරාවට ඒ ගැන ප්‍රශ්න කර හමාරය. ඒ අය අතර හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු , ජාතික ආරක්ෂක ප්‍රධානී විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් හෝ ඊට ඉහළ වෙනත් සිවිල් පුද්ගලයන්ගෙන් මෙතෙක් ප්‍රශ්න කිරීමක් සිදු වී නොතිබීමද විශේෂිතය.

පාස්කු ඉරිදා ප්‍රහාරයන් ගැන සියලු පරීක්ෂණ සිදු වන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේය. ඊට අමතරව වැඩබලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්නගේ නියෝගයෙන් තවත් පරීක්ෂණයක් පැවැත්වෙන්නේ පොලිස් විශේෂ විමර්ශන ඒකකය මඟිනි. ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ලද බුද්ධි තොරතුරට අනුව පොලිසිය ක්‍රියාත්මක වීමේදී පැවැති අඩුපාඩු සහ පොලිසියේ දෝෂ හඳුනා ගන්නටය. එය හුදෙක් අභ්‍යන්තර පරීක්ෂණයකි.

එම අභ්‍යන්තර පරීක්ෂණය සිදු වන්නේ නියෝජ්‍ය පොලිස්පති මෙවන් සිල්වාගේ මෙහෙයැවීමෙනි. එහි මූලික පරීක්ෂණ මේ වන විටත් පවතින්නේ අවසන් අදියරේය. බැලූ බැල්මටම එම පරීක්ෂණයේදී පෙනී ගොස් ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවය නිකුත් කළ අනතුරු ඇගයීම ජාතික බුද්ධි ප්‍රධානියා වන විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් මඟින් ලද පසු ඊට පොලිස්පති පූජිත් ජයසුන්දර නිසි අවධානයක් යොමු කර නැති බවය.

පොලිසියේ ඉහළම නිලධාරීන් මඟින් මුළු රටේම පොලිස් නිලධාරීන් දැනුවත් විය යුතු එකී බුද්ධි තොරතුර පොලිස් නිලධාරීන් සිවු දෙනෙකුට පමණක් යොමු කර පූජිත් ජයසුන්දර පොලිස්පතිවරයා සෑහීමකට පත්ව ඇති බවද පෙනී ගොස් තිබේ. එම යොමු කිරීම් කර ඇත්තේද පොලිසියේ සාමාන්‍ය ලිපි හුවමාරු වන ක්‍රමයටය. ඊට කිසිදු වැදගත්කමක් හෝ විශේෂත්වයක් පවා යොමුකර නැත.

පොලිස් විශේෂ විමර්ශන ඒකකයට පෙනී ගොස් ඇත්තේ බොම්බ ප්‍රහාර එල්ල වුණු දේවස්ථාන තුනටම පොලිස් ආරක්ෂාවක් එදා තිබී නැති බවය. අඩුම තරමින් මාර්ගයේ රථවාහන හැසිරවීමටවත් පොලිස් නිලධාරීන් යොදවා තිබී නැත. මඩකලපුව සියෝන් දේවස්ථානයට ආරක්ෂාවක් යොදා නැත්තේ පොලිස්පතිවරයාට ලද බුද්ධි තොරතුර පිළිබඳ මඩකලපුවේ කිසිදු පොලිස් ප්‍රධානියකු දැන නොසිටි නිසාය.

කටානේ කටුවපිටිය දේවස්ථානයටත් කොච්චිකඩේ ශාත්ත අන්තෝනි දේවස්ථානයටත් ආරක්ෂාවක් ලබාදී නැත්තේ බස්නාහිර පළාත් පොලිස් ප්‍රධානී නන්දන මුණසිංහ විසින් ඒ බව ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනාට දැනුම් දී තිබියදීය.

එම නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනාද තමන් යටතේ සිටින පොලිස් අධිකාරිවරුන්ව දැනුවත් කර ඇතත් කටුවපිටියට සහ කොචිච්කඩේ දේවස්ථාන දෙකට පොලිස් ආරක්ෂාව ලබාදීම මඟහැරී ඇත. විශේෂ විමර්ශන ඒකකයට පෙනී ගොස් ඇත්තේ කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය පිහිටි බල ප්‍රදේශය අයත්වන කටාන පොලිස් ස්ථානයේ වගකිව යුතු නිලධාරීන්ට එම බුද්ධි තොරතුර ලැබී තිබුණත් දෙවස්ථානයට ආරක්ෂාව සැපයීම මඟහැර ඇති බවය.

එහෙත් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය පිහිටි බල ප්‍රදේශය අයත් වන වෙරළබඩ පොලිස් ස්ථානයට එකී බුද්ධි තොරතු සිය ඉහළ නිලධාරීන්ගෙන් කල් තියා ලැබී තිබී නැත.

විශේෂ විමර්ශන ඒකකයට පෙනී ගොස් ඇත්තේ වෙරළබඩ පොලිස් ස්ථානයට පමණක් නොව, කොළඹ උතුරු පොලිස් කොට්ඨාශයේ බොහෝ පොලිස් ස්ථානවලට එකී අනතුරු ඇගයීමේ බුද්ධි තොරතුර ලැබී නැති බවය. එදා ඒ දේවස්ථානයට බෝම්බ ප්‍රහාරය එල්ලවීමෙන් පසුවද එම කොට්ඨාසය බාර පොලිස් ප්‍රධානියා එතැනට එන්නටද පැය ගණනක් ගතවී ඇත්තේ එදා ඔහු සිය පවුලේ සාමාජිකයන් සමඟ වෙනත් කාර්යයක නිරතව සිටි නිසාය.

වෙරළබඩ පොලියේ ස්ථානාධිපතිවරයා විසින් විශේෂ විමර්ශන ඒකකයට පවසා ඇත්තේ වී.පී.එන් පණිවිඩයක් ලෙස එම බුද්ධි තොරතුර තමන්ට ලැබෙන්නේ දේවස්ථානයට ප්‍රහාරය එල්ල වීමෙන් පසුව බවය. එය කල්තියා දැනුම් දුන් බව ඇගයීමට පෙර දිනයකින් එම දැනුම්දීම කර ඇති බවද ස්ථානාධිපතිවරයා පවසන්නේ පොලිස් ලොක්කෙක් ඩබල්ගේමක් ගසා ඇති බව පෙන්වා දෙමිනි. එකී පොලිස් ලොක්කා කවුරුන්දැයි හඳුනාගෙන ඇති විශේෂ විමර්ශන ඒකකය ඒ ගැන ඉදිරි දින කිහිපය තුළ පොලිස්පතිවරයා දැනුවත් කරනු ඇත.

Comments