මුලින් කීවේ 357 යි. පසුව 257ක් බෝම්බ ප්‍රහාරවලින් මිය ගිය සංඛ්‍යාව අඩු වුණේ කොහො­මද? | Page 2 | සිළුමිණ

මුලින් කීවේ 357 යි. පසුව 257ක් බෝම්බ ප්‍රහාරවලින් මිය ගිය සංඛ්‍යාව අඩු වුණේ කොහො­මද?

ශ්‍රී ලංකා වෝහාරික වෛද්‍ය විශේෂඥවරුන්ගේ විද්‍යාතනයේ සභාපති අධිකරණ වෛද්‍ය විශේෂඥ හඳුන් පී. විජේවර්ධන සහ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි මහාචාර්ය ආනන්ද සමරසේකර සමඟ කළ සාකච්ඡාවක් ඇසුරෙන් මේ ලිපිය සැකසිණි

බෝම්බ භීතිය තවමත් පහ වී නැත. තිස් වසරක් මුළුල්ලේ පැවැති ත්‍රස්තවාදයත් සමඟ බෝම්බ පිපිරීම අපට අලුත් දැකීමක් නොවුණත් පසුගිය අප්‍රේල් 21 වැනි ඉරිදා ඇති වූ බෝම්බ පිපිරීමත් සමඟ බොහෝ දෙනකු තැති ගැනීමකට ලක් වූයේ එකම දවසේ ස්ථාන 8 කදී බෝම්බ පුපුරා ගිය නිසාය. එනම් කොළඹ කොච්චිකඩේ සාත්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානය, මීගමුව කටුවාපිටිය සාන්ත සෙබස්තියන් මුනිඳුන්ගේ දේවස්ථානය, මඩකලපුව සියොන් දේවස්ථානය, කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය, කින්ස්බරි හෝටලය, ෂැංග්‍රිලා හෝටලය, දෙහිවල සහ දෙමටගොඩ යන ස්ථානවල එකම දවසේ බෝම්බ පුපුරා යෑම ජනතාව භීතියටත් කම්පනයටත් ලක් වීමට හේතු විය.

එම අවාසනාවන්ත සිදුවීම් මාලාවෙන් මරණයට පත් වූ අයගේ සංඛ්‍යාව 257 ක් බව තහවුරු වී තිබේ. එහෙත් මිය ගිය අයගේ සංඛ්‍යාව මාධ්‍ය මගින් අනාවරණය කිරීමේදී විවිධ ගණන් ඉදිරිපත් වූ බව තවමත් අපට අමතක නැත. අප්‍රේල් 22 වැනි දා වන විට 207ක් මිය ගිය බව පුවත්පත්වල පළ වූ අතර 23 වැනි දා වන විට මරණ සංඛ්‍යාව 290 දක්වා ඉහළ ගියේය. 25 වැනි දා වන විට “බෝම්බ ප්‍රහාරයේ මරණ 359 ට නඟී” යනුවෙන් පුවත්පත්වල සිරස්තල පවා පළ විය. එහෙත් අවසානයේදී මිය ගිය සංඛ්‍යාව 257 ක් බව තහවුරු කෙරිණි.

ඕනෑම සිදු වීමකින් පසුව මිය යන පිරිස දිනෙන් දින වැඩි වනු මිස අඩු වන්නේ නැත. එහෙත් මෙහිදී සිදු වූයේ මිය ගිය පිරිසේ සංඛ්‍යාව පහතට වැටීමය. එය සිදු වන්නේ කෙසේද ? මළ සිරුරු ගණනය කිරීමේ වරදක් ද ? ස්ථාන කීපයක පිපිරීම් සිදු වූ බැවින් මිය ගිය අයගේ සංඛ්‍යාව නිවැරදිව වාර්තා නොවිණිද?

එහෙත් ආපදා සහ විනාශයන්ගෙන් සිදු වන මරණ කළමනාකරණය (Management of The Dead In Dissasters And Catastrophes) පිළිබඳ උපදෙස් මාලාවක් මෙරට සකස් වී තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් ආපදා කළමනාකරණ ඒකකය ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානය, නීතිපති දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලිසිය, ගිනි නිවන හමුදාව ඇතුළු ආයතන රැසක් එකතු වී එය සකස් කරනු ලැබුවේ 2010 වර්ෂයේදීය. එය සකස් කිරීමට තුඩු දුන් කාරණය වූයේ එවකට කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ලෙස සේවය කළ මහාචාර්ය ආනන්ද සමරසේකර එක්සත් ජාතින්ගේ සංවිධානය සමඟ කටයුතු කරන සමයේ ලැබූ අත්දැකීම් අනුව මෘත ශරීර කළමනාකරණය පිළිබඳ මෙරටට ප්‍රයෝජනවත් විය හැකි බව සිතා සෞඛ්‍ය අමාත්‍යාංශයට අදහස් ඉදිරිපත් කිරීමෙන් පසුවය. එහෙත් ඊ‍ට පෙර සිට ම ශ්‍රී ලංකා වෝහාරික වෛද්‍ය විද්‍යාවේ ඇති උපදෙස් අනුව වෝහාරික වෛද්‍ය විශේෂඥයන් විසින් සකස් කරගත් නිල නොවන සැලසුමකට අනුව ඔවුහු මෘතදේහ කළමනාකරණය කළහ. බෝම්බ පිපිරීම් සිදුවීම්, සුනාමී අවස්ථා වැනි ආපදාවලදී ඔවුන් මෘතදේහ කළමනාකරණ කළේ ඊ‍ට අනුකූලවය.

මෘතදේහ කළමනාකරණය කිරීමේ ආපදා සහ විනාශයන් සිදු විය හැකි අවස්ථා ප්‍රධාන වශයෙන් කොටස් 2 කට බෙදා දැක්විය හැකිය. ඒ සුනාමි, නායයෑම් වැනි ස්වාභාවික ආපදා සහ මිනිසුන් විසින් සිදු කරනු ලබන ආපදා යනුවෙනි. මිනිසුන් විසින් සිදු කරනු ලබන ආපදා, පුද්ගලයන් ඉලක්ක කරගත් ආපදා සහ දේපළ ඉලක්ක කරගත් ආපදා ලෙස නැවතත් බෙදා වෙන් කළ හැකිය. ඊට අමතරව පොදුවේ ගත් විට ආපදා විවෘත හා සංවෘත යන‍ුවෙන් ද වර්ග කළ හැකිය.

ආපදාවක් සිදු වූ ස්ථානයක් වෛද්‍යවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් පරීක්ෂා කිරීමට යෑමේදී එහි ප්‍රවේශ වීමට සුදුසු ආරක්ෂාවක් තිබේදැයි පොලිසිය තහවුරු කළ යුතුය. අාරක්ෂාවක් තිබේදැයි පොලිසිය තහවුරු කළ යුතුය. නිදසුනක් ලෙස ගොඩනැඟිල්ලක් තුළ බෝම්බයක් පුපුරා ගියහොත් නැවතත් බෝම්බයක් පිපිරීමේ අවදානම, බිත්ති කඩා වැටීමේ අවදානම, විදුලි රැහැන්වලින් විදුලිසැර වැදීමේ අවදානම වැනි ගැටලු කීපයකට මුහුණ දීමට සිදු වේ. එවැනි අවදානම් නැති බවට ගිනි නිවන හමුදාව, විදුලිබල මණ්ඩලය, බෝම්බ නිෂ්ක්‍රීය අංශය සමඟ එකතු වී පොලිසිය තහවුරු කළ යුතුය. එමෙන්ම ආපදාවක් සිදු වූ ස්ථානයේ සීමා වට කර, මායිම් යොදා අවශ්‍ය අය පමණක් ඇතුළු කරගැනීම පොලිසියේ වගකීමකි.

බෝම්බ පිපිරීමක් වැනි අවස්ථාවකදී ළඟම පිහිටි රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් සමඟ ගිලන්රථ පිටත් කර යැවීම එම උපදෙස් මාලාවට ඇතුළත් වැදගත් සාධකයකි. මෙහිදී ප්‍රමුඛත්වය හිමි විය යුත්තේ මරණයට පත් නොවූ අයට ප්‍රථමාධාර දෙමින් ඔවුන්ගේ ජීවිත බේරාගැනීම උදෙසා රෝහල් කරා පිටත් කර යැවීමට ය. මරණයට පත් නොවූ අය සහ මරණයට පත් වූ අය එකම විට රෝහල් කරා පිටත් කර යැවීම කිසි සේත් සිදු නොකළ යුතුය.

ඇතැම් විට තුවාලකරුවකු මිය ගිය කෙනෙකුට යට වී සිටිනවා යැයි සිතමු. මළ සිරුර ඉවතට ගෙන තුවාලකරු රෝහල්ගත කිරීමෙන් අනතුරුව මළ සිරුර වැටී තිබූ ආකාරයට ම එම ස්ථානයේ තැබිය යුතු වන්නේ එය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා වැදගත් වන බැවිනි. එමෙන්ම ජීවිත බේරාගැනීම උදෙසා තිබෙන ගිලන්රථ මළ සිරුරු රෝහල් කරා රැගෙන යෑමට යොදා නොගත යුතුය. එය තවත් ජීවිතයක් බේරාගැනීමට ඇති අවස්ථාවක් උදුරා ගැනීමකි.

මෘතදේහ කළමනාකරණය සිදු විය යුත්තේ තුවාලකරුවන් රෝහල් කරා පිටත් කිරීමෙන් පසුවය. තුවාලකරුවන් ඉවත් කළ පසුව එම ස්ථානයේ ඉතිරිවන මෘතදේහවල ඡායාරූප ගැනීම සිදු කළ යුතුය. මක්නිසාද බෝම්බය පුපුරා ගිය ස්ථානය, දිශාව වැනි සාධක නිර්ණය කිරීමට මළ සිරුරු වැටී ඇති ආකාරය ප්‍රබල සාක්ෂියක් වන නිසාය. ඊටපසුව සිදු කළ යුත්තේ මෘතදේහ අංකගත කිරීමයි.

මෘතදේහවලට අංක යෙදීමේදී එය එක් එක් තැනින් සිදු කළ යුතු නැත. එය සිදු කළ යුත්තේ දිශානුගතවය. සංවෘත තැනක නම් ඒ කෙළවරේ සිට මේ කෙළවරට, විවෘත තැනක නම් උතුරේ සිට දකුණට ආදී වශයෙන් දිශානුගතව එම කටයුත්ත සිදු කළ යුතුය. ඇතැම් විට විශාල ගණනක් මිය ගිය ස්ථානයක මීටර් 5x5 වැනි කොටස් බෙදා එම ස්ථාන එක් එක් වෛද්‍යවරුන්ට භාර දෙනු ඇත. එම වෛද්‍ය කණ්ඩායම්වලට කණ්ඩායම් අංක ලබා දිය යුතුය.

මළසිරුරු අංකගත කිරීමේදී සිද්ධිය වූ දිනය (වර්ෂය මාසය සහ දිනය සමඟ), අදාළ ස්ථානය (සිනමන් ග්‍රෑන්ඩ්, කොච්චිකඩේ, කටුවාපිටිය ආදී වශයෙන් ) කුමන විදිහේ ආපදාවක් ද (බෝම්බ පිපිරීමක් සුනාමියක් නායයෑමක්) සහ වෛද්‍යවරයාගේ කණ්ඩායම් අංකය සමඟ 1,2,3 ආදී වශයෙන් පිළිවෙළින් අංක යෙදිය යුතුය. නිදසුනක් ලෙස අප්‍රේල් 21 වැනි දා සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී බෝම්බයෙන් මිය ගිය කෙනකුට A නමැති වෛද්‍ය කණ්ඩායමෙන් අංකයක් යෙදුවා යැයි සිතමු. එය 21.04.19/CG/BB/A/1 වශයෙන් යෙදිය යුතුය. මෙම අංකය මළ සිරුරේ ඇඟිල්ලක ගැට ගැසිය යුතුය. අන්තර්ජාතික නීතියට අනුව එම අංකය අතේ සහ පාදයේ ඇඟිලි දෙකක ගැට ගැසිය යුතුය.

මෘතදේහ කළමනාකරණය කිරීමේදී ඒවා කොටස් 4කට බෙදා වෙන් කෙරෙනු ඇත. ඒ

*සම්පූර්ණ මළසිරුරු

*කොටස් හෝ දෙකක් රහිත එහෙත් හඳුනාගත හැකි මළසිරුරු (සමහර විට අතක් හෝ කකුලක් නැති මළ සිරුරු මීට අයත් වේ.)

*මළසිරුරු කොටස් (අත්, පා, හිස්, කඳ වැනි කොටස්)

*පටක කොටස්

මළසිරුරුවලට අංක යෙදීමේදී ඒ බව අංකයේ සඳහන් කළ යුතුමය. නිදසුනක් ලෙස සම්පූර්ණ මළ සිරුරක් (Full Body) නම් අංකයට FB යනුවෙන් එකතු කළ යුතුය. අත්, පා වැනි කොටස් (Body Parts) නම් අංකයට BPයනුවෙන් යෙදිය යුතුය.

ඉන් පසුව මෘතදේහ බෑග්වලට දමා පිටත් කළ යුතුය. එම අවස්ථාවේදී මළසිරුරු තැන්පත් කළ යුතු රෝහල් පිළිබඳව වෛද්‍ය කණ්ඩායම නිගමනය කර තිබීම අත්‍යවශ්‍ය කාරණයක් වන්නේ ඇතැම් කුඩා රෝහල්වල මෘත ශරීරාගාර නැති නිසාය. ඇතැම් විට සිය ගණනක් මිය ගිය විට එකම රෝහලක තැන්පත් කර තබා ගැනීමේ දුෂ්කරතා මතු විය හැකිය. මෘත ශරීර තැන්පත් කළ යුතු රෝහල් පිළිබඳ වෛද්‍ය තීරණය ඉතා වැදගත් වන්නේ එබැවිනි.

මළසිරුරු රෝහල් කරා පිටත් කර යැවීමට පෙර උරවල බහාලනු ලැබේ. එම උරවල ද මළ සිරුරේ යෙදූ අංකය සටහන් කිරීම අනිවාර්යයෙන් කළ යුත්තකි. එහෙත් එම උරවල තැන්පත් කරන්නේ සම්පූර්ණ මළසිරුරු පමණක් නොවේ. මළසිරුරු කොටස්, පටක වැනි සියල්ලම අංක යොදා වෙන් වෙන් වශයෙන් උරවල තැන්පත් කර තිබේ. උදාහරණයක් වශයෙන් රෝහලකට මෙවැනි උර 100ක් රැගෙන ගියා යැයි සිතමු. එහෙත් එහි අර්ථය, මළසිරුරු 100ක් රැගෙන ගිය බව නොවේ. ඇතැම් විට එහි සම්පූර්ණ මළසිරුරු තිබෙන්නේ 35ක් විය හැකිය. එක් උරයක අතක් තවත් උරයක හිසක්, තවත් උරයක කකුලක් වශයෙන් උර 50ක් පමණ තිබිය හැකිය. ඊට අමතරව පටක කොටස් බහා ලූ උර 5ක් වශයෙන් ද කොටස් හෝ දෙකක් රහිත මළසිරුරු 10ක් වශයෙන් ද තිබිය හැකිය. මේ අනුව මළ සිරුරු 100ක් රෝහලට රැගෙන ආ බව සඳහන් කිරීම සාවද්‍ය ප්‍රකාශයකි.

මීට අමතරව රෝහල හෝ මෘත ශරීරාගාරය කරා පැමිණෙන මෘතදේහ භාරගැනීමට නිලධාරියකු සමඟ පොලිස් නිලධාරියකු යෙදවිය යුතුය. එම රාජකාරිය සඳහා පළපුරුදු නිලධාරියකු යෙදවීම බලධාරීන්ගේ වගකීමකි. මන්ද එහි ළඟා වන මළසිරුරු සම්පූර්ණ මළ සිරුරු, මළසිරුරු කොටස් ආදී වශයෙන් සහ පැමිණි ස්ථානය පිළිබඳ නිවැරදිව සටහන් කිරීම එම නිලධාරියාගේ කාර්යභාරය වන නිසාය. ඇතැම් විටෙක රෝහල් කරා රැගෙන ගිය අය මරණයට පත් වීම නිසා මෘතශරීරාගාරය වෙත එවීය හැකිය. එවැනි විටෙක අංක යෙදීම සිදු වන්නේ එම නිලධාරියා අතිනි. ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයා ඇතුළු පිරිසක් බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය අවස්ථාවේදී මෘත ශරීර බොහෝමයක් රැගෙන ගොස් තිබුණේ කොළඹ ජාතික රෝහලටය. කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයට මළසිරුරු රැගෙන එනු ලැබුවේ ඉන් අනතුරුවයි. එවැනි අවස්ථාවක අංක යෙදිය යුත්තේ කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලය විසිනි.

අංක යෙදීමේදි ස්ථානය පිළිබඳ අංකයට ඇතුළත් කිරීමේ වැදගත්කම පසුගිය අප්‍රේල් 21 වැනි දා සිදු වු ව්‍යසනයේදී අපූරුවට පැහැදිලි විය. මක්නිසාද එදින බෝම්බ පිපිරීම් ස්ථාන කීපයක සිදු වූ නිසාය.

මෘතදේහ අංක යොදා රෝහල් කරා රැගෙන ආ පසුව මළසිරුරු ගණනය කිරීම සිදු වේ. එහිදී ප්‍රථමයෙන් ම සම්පූර්ණ මළසිරුරු ගණනය වේ. ඉන්පසු අතක්, කකුලක් නැති මළසිරුරු වෙන් කර ගණනය කෙරේ. ප්‍රථමයෙන්ම මිය ගිය සංඛ්‍යාව වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලබන්නේ එම කොටස් දෙක එකතු කිරීමෙන් ලබාගත් අගයයි.

ඉන්පසුව මළසිරුරු කොටස්වල ඇති අත්, පා, කඳ වැනි අංග කොටස් හෝ දෙකක් රහිත මළසිරුරු සමඟ ගැළපිය හැකිදැයි පරීක්ෂා කරනු ලැබේ. එසේ නොගැළපෙන මළසිරුරු කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා තබා ගන්නා අතර කිසිම විටෙක අතක් හෝ පයක් තිබූ පමණින් එය එක් පුද්ගලයකු ලෙස ගණනය කෙරෙන්නේ නැත. එම පුද්ගල කොටස් හඳුනාගත හැකි වන්නේ ඩී.එන්.ඒ. පරීක්ෂණ, දත්, ඇඟිලි සටහන්, සැත්කම් සලකුණු වැනි විද්‍යාත්මක වශයෙන් තහවුරු කිරීමෙනි.

ඉන්පසුව පටක කොටස් ඉතා හොඳින් නිරීක්ෂණය කරනු ඇත. සමහර විටෙක එම පටක තුළ ගර්භාෂයක් හෝ පුරඃස්ථි ග්‍රන්ථියක් තිබිය හැකිය. එවිට තවත් කාන්තාවක මිය ගිය බව හෝ පුරුෂයකු මිය ගිය බව තහවුරු කර ගත හැකිය. එවිට මිය ගිය අයගේ සංඛ්‍යාව ඉහළ යනු ඇත.

යම් ව්‍යසනයකදී මිය ගිය ගණන ඉහළ යන්නේ මේ ආකාරයට පරීක්ෂා කර තහවුරු කර ගැනීමෙන් පසුවය. ඇතැම් විට රෝහල්ගත කළ තුවාලකරුවන් මරණයට පත් වීමෙන් ද එම සංඛ්‍යාව ඉහළ යනු ඇත.

මිය ගිය අයගේ පුද්ගල අනන්‍යතාව තහවුරු කිරීමේදී ස්ත්‍රී හෝ පුරුෂ, වයස, උස හා ජන වර්ගය යනාදී කරුණු අනුව සාමාන්‍ය අනන්‍යතාවක් තහවුරු කර ගත හැකිය. ඒ හැරුණු විට දත්, ඇඟිලි සලකුණු, ඩී.එන්.ඒ. පරීක්ෂණ වැනි විද්‍යාත්මක සාධක අනුව විශේෂ අනන්‍යතාව විද්‍යාත්මකව තහවුරු කළ හැකිය.

මෘතදේහයක අනන්‍යතාව තහවුරු කිරීමට අධිකරණ වෛද්‍ය නිලධාරින් වෙහෙස වී ඇප කැප වී කටයුතු කරන්නේ මිය ගිය තැනැත්තාට ගෞරවාන්විතව අවසාන ගමන යෑමට ඉඩ සලසා දීමට බව අප අමතක නොකළ යුතුය.

අදහස්