මුස්ලිම් අන්ත­වා­ද­යෙන් රට ගලවා ගත යුත්තේ කරු­ණාව පෙර­දැ­රි­වයි | සිළුමිණ

මුස්ලිම් අන්ත­වා­ද­යෙන් රට ගලවා ගත යුත්තේ කරු­ණාව පෙර­දැ­රි­වයි

පේරා­දෙ­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ පාලි හා බෞද්ධ අධ්‍ය­යන අංශයේ මහා­චාර්ය මුව­ඇ­ට­ගම ඤාණා­නන්ද මාහිමි

පාස්කු ප්‍රහා­ර­යෙන් පසු මෙරට සමා­ජය තුළ ඇතිවූ නොස­න්සු­න්තාව තව­මත් සම්පූ­ර්ණ­යෙන් ම පහව ගොස් නොමැති අතර ඒ සිදු­වීම සමාජ, ආර්ථික හා දේශ­පා­ලන ක්ෂේත්‍ර තුළ නොයෙක් අර්බුද ඇති කර­න්නට තරම් ප්‍රබල විය. ජාතීන් අතර සැකය, බිය හා අවි­ශ්වා­සය වර්ධ­නය වීමෙන් සාමාන්‍ය ජන ජීවි­තය ද මේ වන විට අවු­ලෙන් අවු­ලට පත්ව තිබේ. මේ සියලු කට­යුතු තුළ පටු දේශ­පා­ල­නික අර­මුණු ඉටු­කර ගැනීම සඳහා වන වැඩ­පි­ළි­වෙ­ළක් ද ක්‍රියාත්මක වෙමින් තිබෙන බව ඇතැම්හූ පව­සති. අදාළ කරුණු අළලා පේරා­දෙ­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ පාලි හා බෞද්ධ අධ්‍ය­යන අංශයේ මහා­චාර්ය මුව­ඇ­ට­ගම ඥානා­නන්ද මාහි­මි­යන් සමඟ කළ සාක­ච්ඡා­වකි මේ.

• පාස්කු ඉරු­දින එල්ලවූ ප්‍රහා­රය අපි කිසි­සේත් අපේක්ෂා නොකළ එකක්. ඒත් සමඟ සමා­ජයේ ඇතිවූ කැල­ඹිලි ස්වභා­වය තව­මත් පහව ගොස් නැහැ නේ?

තිස් වස­රක ත්‍රස්ත­වා­දය පරා­ජය කිරී­මෙන් පසු අපේ රටේ ජන­තාව සාමය ඉහ­ළින් බුක්ති වින්ඳා. එතෙක් ජන ජීවි­තය වෙළා­ගෙන තිබුණු බැරි­යර්, චෙක් පොයින්ට් වගේ දේවල් දකින්න නැතුව ගියා. මේ සිය­ල්ලෙන් කියැ­වුණේ අපි ආර­ක්ෂි­තයි කියන පණි­වි­ඩ­යයි. අපි සෑම විට ම උනන්දු වුණේ යළිත් කොටි ත්‍රස්ත­වා­ද­යක් රට තුළ හිස එස­වු­ව­හොත් එය පාල­නය කරන්නේ කොහො­මඳ කියන කාර­ණය ගැන පම­ණයි. ආවා කල්ලිය වැනි කණ්ඩා­යම් යම් යම් ක්‍රියා­කා­ර­කම් උතුරේ සිදු කරන විට අපේ ආර­ක්ෂක අංශ ක්ෂණි­කව මැදි­හත්ව ඒවා පාල­නය කළා. එම­ඟින් සියල්ල අව­සන් වේයැයි අපි සැවොම සිතුවා. මාධ්‍යය පවා කොටි ඩය­ස්පෝ­රාවේ තර්ජන ගැන පම­ණයි කතා කළේ. අන්ත­ර්ජා­තික වශ­යෙන් ගත­හොත් අපි ගොඩක් උනන්දු වුණේ කලා­පීය හෝ ලෝක බල­ව­තුන් වීමට උත්සහ කරන රට­වල් අතර පවත්නා ආර්ථික ගැටුම් පිළි­බ­ඳ­වයි. යුද්ධය ප්‍රකාශ කිරී­ම­කින් තොරව සිදු­වන මේ ගැටු­ම්ව­ලදී කාගේ පැත්ත ගත යුතුද කියන කාර­ණය ගැන තමයි අපි උනන්දු වුණේ. මොකද මේ ගැටුම් ඍජු ව ම අපේ ආර්ථි­ක­යට බල­පෑවා. අපි කොහෙත්ම අන්ත­ර්ජා­තික වශ­යෙන් ක්‍රියා­ත්මක අන්ත­වාදී කණ්ඩා­ය­මක ප්‍රහා­ර­ය­කට ලක්වේ යැයි මොහො­ත­ක­ට­වත් සිතා නොමැති බව මේ ප්‍රහා­ර­යත් සමඟ මතුවූ කාරණා වලින් පැහැ­දි­ලියි. මෙත­නදී කතෝ­ලික පල්ලි හා ප්‍රධාන හෝටල් කිහි­ප­යක් මූලික කර­ගෙන ප්‍රහාර දියත් වුණත් ඉන් සමස්ත සමා­ජය ම දරුණු කැල­ඹී­ම­කට ලක්වුණා. ඊට හේතුව වසර 10 ක් පමණ ම අප සාමය උප­රි­ම­යෙන් බුක්ති විඳි­මින් නිද­හසේ ජීවිත ගත කිරී­මයි. ලංකාවේ ඕනෑම ජාති­යක පුද්ග­ල­ය­කුට ඕනෑම ප්‍රදේ­ශ­යක බියක් සැකක් නොමැ­තිව යන්න එන්න පුළු­වන් වුණා. සිදු­වූයේ කුමක්ද යන්න තාමත් හරි­යට හිතා ගන්න බැරි­වයි ජන­තාව ඉන්නේ. සිද්ධි­යෙන් පසු පුපු­රණ ද්‍රව්‍ය, තුවක්කු, උණ්ඩ, කඩු, කිනිසි ඇතුළු බොහෝ දේවල් පොලී­සිය හා හමු­දාව විසින් සොයා ගත්තා. සමාජ මාධ්‍ය මඟින් තවත් ප්‍රහාර එල්ල වන බවට නොයෙක් ප්‍රචාර ගෙන ගියා. මේ සියල්ල තුළ ජන­තා­වට තාමත් සාමාන්‍ය ජන ජීවි­ත­යට හුරු වීමට නොහැකි වී තිබෙ­නවා.

• මේ රටේ බහු­තර මුස්ලිම් ජන­තාව මේ සිදු­වීම් පසු­පස නොසි­ටි­යත් අද ඒ සියලු දෙනා දෙස සැක­යෙන් බලන තත්ත්ව­යක් නිර්මා­ණය වෙලා තිබෙ­නවා නේද?

අපේ රටේ 95% ක් දෙනා සාමය අග­යන අයයි. සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජන­තාව මේ කොටස් තුළ නියෝ­ජ­නය වෙනවා. ඒ වගේම අන්ත­වාදී අද­හස් දරන තවත් පිරි­ස­කට හිංසා කරලා වින්ද­න­යක් ලබන 5% ක පමණ සුළු පිරි­සක් ඉන්නවා. සියලු ජන කණ්ඩා­යම මේ වගේ අය දකින්න පුළු­වන්. පල්ලි වලින් අවි ආයුධ හමු­වී­මත් සමඟ සාමාන්‍ය මුස්ලිම් ජන­තාව දෙසත් සැක­යෙන් බලන්න අව­ශ්‍යය පසු­බිම හැදෙ­නවා. අන්ත­වාදී අද­හස් දරන සුළු පිරිස විසින් 95% ක් පමණ වන සාම­යෙන් සම­ඟි­යෙන් ජීවත් වීමට කැමැති පිරි­සට අද ප්‍රශ්න ඇති කර­මින් සිටි­නවා. මුස්ලිම් අන්ත­වා­දය නිර්මා­ණය කළ ප්‍රශ්නය, සිංහල බෞද්ධ අන්ත­වා­දීන්ට තවත් ඉදි­රි­යට ගෙන යෑමට ඉඩ නොදිය යුතුයි. ඒ සඳහා කට­යුතු කිරී­මට අපි හැමෝ­ටම වග­කී­මක් තිබෙ­නවා. දැන් බලන්න එල්.ටී.ටී.ඊ සංවි­ධා­නය සටන් කළේ කිසි­යම් වූ දේශ­පා­ලන අර­මු­ණක් වෙනු­වෙන්. එය අපි කිසි­සේත් අනු­මත නොක­ළත් ඒ සංවි­ධා­නය හා කවු­රුන් හෝ එකතු වුණේ ඒ දේශ­පා­ලන අර­මුණ ජය­ග්‍ර­හ­ණය කර­ව­න්නයි. මොකද මේ රට දෙකට කඩලා වෙනම කොට­සක පාල­නය අල්ලා ගන්න එක තමයි ඔවුන්ගේ ඉල­ක්කය වුණේ. නමුත් මේ අන්ත­වාදී කණ්ඩා­යම කට­යුතු කළේ එහෙම අර­මු­ණක් වෙනු­වෙන් නොවෙයි. ඔවුන් කිසි­යම් වූ මත­වා­ද­යක් විශ්වාස කර­මින් ඒ වෙනු­වෙන් මහ විනා­ශ­යන් කළා. ඒ මත­වා­දය හා ඕනෑම අයකු ඕනෑම මොහො­තක එකතු වීමේ අව­ධා­න­මක් තිබෙ­නවා. අන්ත­ර්ජා­තික වශ­යෙන් ක්‍රියා­ක්මක අයි.එස්.අයි.එස් සංවි­ධා­නයේ ප්‍රධාන නාය­ක­යන් නොදැන පවා ඔවුන්ගේ සාමා­ජි­ක­ත්වය ඉහළ යා හැකියි. මේ මොහොතේ අපේ සිංහල බෞද්ධ ජන­තා­වගේ හැසි­රීම ඉතාම වැද­ගත් වෙනවා. මොකද අපි මේ රටේ සාමාන්‍ය මුස්ලිම් ජන­තා­වට හිරි­හැර කළොත් ඔවුන් අතර සිටින අන්ත­වා­ද­යට සුළු හෝ නැඹු­රු­වක් තිබෙන අයෙක් මුළු­ම­නින් ම අන්ත­වා­දි­යකු බවට පත්විය හැකියි. අපි මුස්ලිම් අන්ත­වා­ද­යෙන් රට ගලවා ගත යුත්තේ වෛරය වැපි­රී­මෙන් නොවෙයි; බුදුන්ගේ කරු­ණාව, මෛත්‍රිය හා දයාව පෙර­දැ­රි­වයි. මෙත­නදී මේ රටේ දේශ­පා­ල­න­ඥ­යන්ට විශාල වග­කී­මක් තිබෙ­නවා. ඔවුන් තැන් තැන් වල කරනු ලබන ප්‍රකාශ, ගැටුම් වලට පාර කප­නවා. මේ රට සිංහල බෞද්ධ රටක්ද නැද්ද යන්න මේ මොහොතේ ප්‍රකාශ කළ යුතු දෙයක්ද නැද්ද කියලා දේශ­පා­ල­න­ඥයෝ කල්පනා කරලා බලන්න ඕන. මේවා නිසා තරුණ කණ්ඩා­යම් ප්‍රකෝප වී නීතිය අතට ගැනී­මට පවා පුළු­වන්.

• පාස්කු ප්‍රහා­ර­යත් සමඟ යම් යම් විදේ­ශීය රට­වල ආර­ක්ෂක අංශ මෙර­ටට පැමි­ණියා. මෙය විවේ­ච­නය කළ පිරිස් පවසා සිටියේ විදේ­ශීය අත­කො­ළු­වක් බවට පත් නොවී ඒ කණ්ඩා­යම් වලට රටට ඇතුළු වීමට අව­ස්ථාව නොදිය යුතු බවයි. මේ පිළි­බඳ ඔබ වහ­න්සේගේ අද­හස

මේක ඇත්ත­ටම ගෝලිය ත්‍රස්ත­වා­දයේ එක් ක්‍රියා­කාරී අව­ස්ථා­වක්. අයි.එස්.අයි.එස් කියන්නේ අන්ත­ර්ජා­තික වශ­යෙන් ක්‍රියා­ත්මක අන්ත­වාදී සංවි­ධා­න­යක්. පසු­ගිය වසර 10 ක කාලය තුළ අපට මේ අන්ත­ර්ජා­තික මට්ට­මින් ක්‍රියා­ත්මක අන්ත­වාදී කණ්ඩා­යම් පිළි­බඳ අව­බෝ­ධ­යක් තිබුණේ නැහැ. මොකද අපේ රට ඔවුන්ගේ ඉල­ක්ක­යක් වුණේ නැහැ. දැන් තත්ත්වය වෙනස්. මේ අන්ත­වාදී කණ්ඩා­යම් වල ක්‍රියා­කා­රී­ත්වය, සංවි­නා­ත්මක ශක්තිය, ප්‍රහාර එල්ල කරන ස්වරූ­පය, රට­වල් වලට ඇතුළු වන ආක­ාරය ඇතුළු සියලු අංශ පිළි­බඳ අව­ධා­න­ය­කින් ඇම­රි­කාව ඇතුළු ලෝකයේ ප්‍රබල රට­වල් ඉන්නවා. මොකද මේ සංවි­ධා­නයේ ප්‍රධාන ඉලක්ක තමයි ඒ රට­වල්. මේ නිසා ඒ රට­වල් ත්‍රස්ත­වා­දය පරා­ජය කිරීම සඳහා අත්වැල් බැඳ ගනි­මින් කට­යුතු කර­නවා. ඔවුන් සතුව වැද­ගත් බුද්ධි තොර­තුරු තිබෙ­නවා. අපේ රටට එල්ල වන ප්‍රහා­ර­යක් පිළි­බඳ සැල­සුම් අපිට කලින්, ඒ වගේ රටක බුද්ධි අංශ මගින් සොයා ගන්න පුළු­වන්. මේවා අපි තේරුම් ගන්න ඕන. අද ලෝකයේ සියලු රට­වල් ක්‍රියා­ත්මක වෙන්නේ ආර්ථික පාල­නය තමන් අතට අරන් බල­වත් වෙන්නයි. ඒ පසු­බිම තුළ අපේ රටට එන ඇම­රි­කාව වගේ රටක් එම ඉලක්ක වෙනු­වෙන් ක්‍රියා­ත්මක වීමේ අව­ධා­න­මක් තිබෙන්න පුළු­වන්. එසේ කියා ඔවුන්ගේ සහය ප්‍රති­ක්ෂේප කිරීම මම හිතන්නේ නුව­ණට හුරු දෙයක් නොවෙයි. ආණ්ඩු­වට හැකි­යාව තිබෙන්න ඕන, ඔවුන්ගේ බල­පෑම් වලට යටත් නොවී අපට අවශ්‍ය සහය ගන්න.

• මේ ගැට­ලු­වට විසඳා ගැනීම පිණිස මොන වගේ ප්‍රවේ­ශ­යක් අවශ්‍ය යැයි ඔබ වහන්සේ විශ්වාස කර­න­වාද

විනි­විද භාව­යක් ඇතිව අප­ක්ෂ­පා­තීව පරී­ක්ෂණ සිදු වෙන්න ඕන. මේවාට සම්බන්ධ දේශ­පා­ල­ක­යන් හෝ කවර තර­ති­ර­මක අයෙක් වුවත් නීතිය ඉදි­රි­යට ගේන්න ඕන. චෝදනා එල්ල වන මුස්ලිම් දේශ­පා­ල­න­ඥ­යන් තමන් නිවැ­රදි බව පෙන්වන්න ඕන. ඒ සඳහා ඔවුන්ට අව­කාශ සකසා දීමත් වැද­ගත්. ජන­පති, අග­මැති හෝ ආර­ක්ෂක ප්‍රධා­නීන් රටේ ආර­ක්ෂාව සහ­තික යැයි කීවොත් ඒක ඒ විදි­හට වෙන්න ඕන. නැත්නම් ඒ ප්‍රකා­ශය කරන එකෙන් පලක් නැහැ. ආර­ක්ෂාව තහ­වු­රුයි, ළමයි පාසැල් එවන්න කියලා ආර­ක්ෂක ප්‍රධා­නීන් කියලා පැය කීප­ය­කින් ආයෙත් රටේ කොහේ හරි ඇඳිරි නීතිය දානවා නම් ජන­තා­වට ඒ කියන ප්‍රකාශ සම්බ­න්ධව විශ්වා­ස­යක් නැති වෙනවා. මුලින් ආණ්ඩුව ආර­ක්ෂාව සහ­තික බවට ජන­තාව තුළ විශ්වා­ස­ව­යක් ඇති කරන්න ඕන. ඒ සඳහා මුලින් ආණ්ඩු­වට ආර­ක්ෂාව සහ­ති­කයි කියන විශ්වා­ස­යක් තිබිය යුුතුයි. අඩු තරමේ කිසිදු සිද්ධි­ය­කින් තොරව දින පහ හයක් වත් යන්න ඕන. දැන් එක දව­සක් මුකුත් නැහැ, ඊළඟ දවසේ කඩු කිනිසි අල්ල­නවා; කඩ ගිනි තියෙ­නවා; ඇඳිරි නීතිය දානවා. එත­කොට ඉතින් මිනිස්සු කල­බල වෙනවා; ළමයි පාසැල් වලට එවන්න දෙම­ව්පියෝ බය වෙනවා.

• මේ ගැටු­මත් සමඟ විශේ­ෂ­යෙන් ආග­මික නාය­ක­යන් ප්‍රශ්නය විස­ඳීම සඳහා එකට කට­යුතු කරන තත්ත්ව­යක් පේන්න තිබෙ­නවා. මේක ඉදි­රි­ය­ටත් පවත්වා ගැනීම වැද­ගත් නේද?

විශේ­ෂ­යෙන් මහ­නා­යක ස්වාමි­න්ද්‍ර­යන් වහ­න්සේලා, කාදි­නල් තුමන්, මවු­ලවී තුමන්ලා ප්‍රශ්නය නිරා­ක­ර­ණය කිරීම පිණි­සත් ජන­තා­වට සාම­කාමී ලෙස කට­යුුතු කරන ලෙස දැනුම් දීම­ටත් ඍජුව මැදි­හත්ව සිටි­නවා. මේ ආග­මික සම­ඟිය රටට අව­ශ්‍යය දෙයක්. රජය ආග­මික නාය­ක­යන්ගේ හඬට කන්දිය යුතුයි. ප්‍රශ්නය නිරා­ක­ර­ණය වූ පසු ආග­මික නාය­ක­ත්වයේ අනු­ශා­සනා පැත්ත­කට දාලා කට­යුතු කර­නවා නම් වැඩක් නැහැ. ත්‍රෛනි­කා­යික මහ නායක ස්වාමි­න්ද්‍ර­යන් වහ­න්සේලා මේවන විට නිවේ­දන කිහි­ප­යක් නිකුත් කර­මින් කියා සිටියේ, මේ මොහොතේ දේශ­පා­ලන බේද වලින් තොරව සියලු නාය­ක­යන් එකට එකතු වෙලා වැඩ කරන ලෙසයි. මට පේන විදි­හට නම් තාමත් එවැනි තත්ත්ව­යක් පේන්න නැහැ. කාට කාටත් දේශ­පා­ල­නය කරන්න රටක් ඉතුරු වෙලා තියෙන්න ඕන. මැති­ව­ර­ණ­ය­කදී පක්ෂ වලට බෙදිලා තරඟ කරලා පස්සේ ජාතික ප්‍රශ්න වලදී එකට එකතු වෙලා වැඩ කරන්න අපේ දේශ­පා­ල­න­ඥ­යන්ට තාමත් නොහැකි වීම ඇත්ත­ටම කණ­ගා­ටු­වට කරු­ණක්.

• බුර්කාව තහ­නම් කිරීම වැනි තීන්දු තීරණ මෙයට පෙර ගන්නට ගිය අව­ස්ථා­වල මුස්ලිම් සමා­ජ­යෙන් යම් යම් විරෝ­ධතා එල්ල වුණත්, අද ඔවුන් ඊට කිසි­යම් අනු­කූ­ල­තා­වක් දක්ව­නවා නේද?

මේ රටේ ආර්ථි­කයේ ප්‍රධාන කොට­සක් නියෝ­ජ­නය කරන්නේ මුස්ලිම් ජන­තා­වයි. බෞද්ධ කොඩිය, අට පිරි­කර, වෙසක් කූඩු පවා වෙළෙඳ පොළේ වැඩි ප්‍රති­ශ­ත­යක් විකු­ණන්නේ මුස්ලිම් ව්‍යාපා­රි­ක­යන්. අපේ බෞද්ධ ජන­තාව මේවා ගැන හිතන්නේ නැතුව එම භාණ්ඩ මිලට ගන්නවා. මේ සිදු­වීම් වලින් පසු අද සිංහල බෞද්ධ ජන­තාව මුස්ලිම් ව්‍යාපා­රික ස්ථාන වලට යාම අඩු කරලා. මේක ඇත්ත­ටම මුස්ලිම් ව්‍යාපා­රි­ක­යන්ට ලොකු ප්‍රශ්න­යක්. මම හිතන්නේ අන්ත­වාදී මුස්ලිම් සුළු කණ්ඩා­ය­මක් විසින් ඇති කළ සිද්ධි­යෙන් වැඩි­යෙන්ම බල­පෑම ඇති වුණේ සාමාන්‍ය මුස්ලිම් ජන­තා­ව­ටයි. මා මෙය යහ­පත් දෙයක් ලෙස දකින්නේ නැහැ. ඒත් රටේ තත්ත්වය ඒකයි. මේ පසු­බිම තුළ මුස්ලිම් ජන­තා­වම තේරුම් ගත්තා බුර්කාව වැනි දේ නිසා සමා­ජයේ ප්‍රශ්න තවත් වර්ධ­නය වීමට ඉඩ තිබෙන බව. කුමන හෝ ආකා­ර­ය­කින් මේ අය අපේ සංස්කෘ­තිය තුළ ජීවත් වීමට හැඩ ගැසීම හොඳ දෙයක්. එත­කොට තමයි අපිට මේ අය වෙනස් ජන කොට­සක් කියන හැඟීම ඇති නොවන්නේ. මේ රටේ සිංහල, දෙමළ හා මුස්ලිම් පාසැල් ඇති කරලා දරු­වන් ජාතීන් වශ­යෙන් බෙදලා වෙන් කරලා උග­න්වන ක්‍රමය වෙනස් වෙන්න ඕන කියලා අපි නිතර පෙන්වා දුන්නා. ඒත් මුස්ලිම් සමා­ජ­යෙන් ඒකට එත­රම් උන­න්දු­වක් දැක්වූයේ නැහැ. නිද­හස ලැබී­මෙන් අන­තු­රුව 1972 න් පස්සේ තමයි මේ වෙන් වෙන්ව දරු­වන් අධ්‍යා­ප­නය ලබන ක්‍රමය බිහි වුණේ. තිස් වස­රක යුද්ධය නිමා වුණාට පස්සෙ­වත් මේ ක්‍රමය වෙනස් කර ගන්න ඕන කියන හැඟීම අපට ආවේ නැහැ. පාස්කු ඉරු­දින ප්‍රහා­ර­යත් සමඟ දැන් මුස්ලිම් ආග­මික නාය­ක­යන් මිශ්‍ර පාසල් ගැන කතා කරන්න පටන් ගෙන තිබෙ­නවා. මම හිතන්නේ ඒක හොඳ ප්‍රව­ණ­තා­වක්. මේ ප්‍රශ්න විස­ඳී­මත් සමඟ ඒ අද­හස් යට­පත් වුණොත් අපිට යළිත් අනා­ග­ත­යේදී මේ වගේම ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිදු වේවි.

• මුස්ලිම් අන්ත­වා­ද­යට යොමුවූ පිරිස පරි­ශී­ල­නය කර තිබෙන පොත් පත් හා සවන් දී තිබෙන හඬ පට­වල තිබෙන්නේ ඉස්ලාම් ආග­මට පට­හැනි දේ බව මුස්ලිම් ආග­මික නාය­ක­යන් ප්‍රකාශ කර­නවා‍. මේ පසු­බිම තුළ කුරා­නයේ නියම ඉගැ­න්වීම මුස්ලිම් ප්‍රජාව වෙත ගෙන යෑම සඳහා ඉස්ලාම් ආග­මික නාය­ක­යන්ට විශාල කාර්ය­භා­ර­යක් පැව­රෙ­නවා නේ?

අන්ත­වාදී මත නියෝ­ජ­නය කරන පිරිස එත­නින් ගලවා ගැනීම කළ යුත්තේ ඉස්ලාම් ආග­මික නාය­ක­යන් විසි­නුයි. විශේ­ෂ­යෙන් මේ අය අනි­වා­ර්ය­යෙන් පල්ලි යනවා. ඒක ඔවුන්ට අනි­වාර්ය කර තිබෙ­නවා. දව­ස­කට පස් වතා­වක් වඳි­නවා. මේ තුළින් පෙනී යන්නේ ඔවුන් නිර­න්ත­රව පල්ලිය හා ගනු­දෙනු කරන බවයි. යම් අයෙකු පල්ලි­යට නොඑන්නේ නම් ඒබව මුලින්ම දකින්නේ මුස්ලිම් සමා­ජ­යයි. එසේ නම් ඒ ගැන සොයා බැලීම ඉස්ලාම් ආග­මික නාය­ක­යන්ගේ වග­කී­මක්. ඇදුම් පැළ­ඳුම් හා දින­කට පස් වතා­වක් අනි­වා­ර්ය­යෙන් ම දෙවි­යන් වඳි­න­වාද කියන කාරණා වලට වඩා ඇත්ත­ටම වැද­ගත් වන්නේ ඔවුන් ආග­මා­නු­කූ­ලව ජීවත් වෙන­වාද කියන කාර­ණ­යයි. අපේ භික්ෂූන් වහන්සේ නම­කට වඩා වැඩි අව­ස්ථා­වක් ඉස්ලාම් ආග­මික නාය­ක­ය­කුට ඒ ආග­මික තරු­ණ­යෙක් යහ මඟට යොමු කිරීම සඳහා ලැබෙ­නවා. මොකද අපේ බෞද්ධ දරු­වන්ට පන්සල් එන්න අනි­වාර්ය කරලා නැහැනේ. තමන් කැමැති නම් පන්සල් යන්න පුළු­වන්. නැත්නම් නොයා ඉන්න පුළු­වන්. ඒත් මුස්ලිම් තරු­ණ­ය­කුට එහෙම ඉන්න හැකි­යා­වක් නැහැ. එහි හොඳ නරක කෙසේ වුවත් ඉස්ලාම් ආග­මික තරු­ණයා වර­ද­කට යොමු වන්නේ නම් එය කල්තියා දැන ගැනීමේ අව­ස්ථාව ඔවුන්ගේ ආග­මික සංස්කෘ­තිය විසින්ම නිර්මා­ණය කර තිබෙ­නවා. මේ තත්ත්වය තුළ ඉස්ලාම් ආග­මික නාය­ක­යන්ට මේ ප්‍රශ්න තමන් නොදැන සිටියා කියා ඇඟ බේරා ගන්න හැකි­යා­වක් නැහැ.

ඡායා­රූප - රුවන් මීග­ම්මන

අදහස්