රණවිරු සමරුවේ සැබෑ අරුත සිතට ගනිමු | සිළුමිණ

රණවිරු සමරුවේ සැබෑ අරුත සිතට ගනිමු

යාපනය නගරය අත්පත් කරගැනීම පිණිස රිවිරැස මෙහෙයුම ආරම්භ කෙරිණි. ඒ 1995 වසරේදීය. රට-ජාතිය සුරැකීම පිණිස යුදබිමේ පෙරමුණ ගත්, ජාති-ආගම්-කුල භේද නොසැලකූ කර්නල් ෆස්ලි ලෆීර් අණ දෙමින් එල්ටීටීඊ ත්‍රස්තවාදීන් මර්දනය පිණිස හමුදා කණ්ඩායමක් මෙහෙයවාගෙන යන්නට විය. ත්‍රස්තවාදීන් එල්ල කළ අත්බෝම්බ ප්‍රහාර හමුවේ නොසැලෙමින් ත්‍රස්තවාදීන්ට වට කර පහර දී ඔවුන් යටත් කරගැනීමට කර්නල් ලෆීර් ප්‍රමුඛ හමුදා පිරිසට හැකි විය. මිය ගිය ත්‍රස්තවාදීන්ගේ සිරුරු 76ක් ඔවුන්ට හමු වූ අතර, ත්‍රස්තවාදි නායකයෙක් කර්නල් ලෆීර්ගේ අත්අඩංගුවට පත් විය. කර්නල් ලෆීර් ඔහුගෙන් ප්‍රශ්න කළේය.

තමා කැමැත්තෙන් කොටි සංවිධානයට නොබැඳුණු බවත්, බලහත්කාරයෙන් සංවිධානයට බඳවාගනු ලැබූ බවත් ඔහු පැවසීය. තම මවගේ විරෝධතා නොතකා කොටි සංවිධානයේ නායකයන් තමා සටන් මෙහෙයවීම පිණිස යොමු කළ බව ඔහු පැවසුවේය.

පසුව බුද්ධි අංශ මඟින් කළ සොයා බැලීම්වලදී ඒ ත්‍රස්තවාදි නායකයාගේ කතාව සත්‍යය බව කර්නල් ලෆීර්ට වැටහී ගියේය. ඔහු ඒ බව උතුරු ආඥාපතිවරයාටද දන්වා ඒ ත්‍රස්ත නායකයා තම භාරයේ තබාගන්නා බවත් ඉදිරියේදී ඔහු හමුදාවට ලොකු උපකාරයක් විය හැකි බවත් පැවසීය. කර්නල් ලෆීර්ට ඊට අනුමැතිය ලැබුණේ ඔහු ගැන හමුදාවේ බොහෝ දෙනා දන්නා නිසාය. ඉදිරි ප්‍රශ්න කිරීම් හමුවේද ත්‍රස්තවාදියා පැවසූ බොහෝ දේ සත්‍ය බව කර්නල් ලෆීර්ට තේරුම් ගියේය.

“අනේ සර්, මගේ අම්ම පපුව පැළිල මැරෙයි. මම ජීවත් වෙලා ඉන්නව කියල අම්මට පණිවිඩයක් අරින්න,” අවස්ථා ගණනාවකදීම ත්‍රස්තවාදියා වැඳවැටුණේය.

රිවිරැස මෙහෙයුමෙන් ඒ කොටි සාමාජිකයා මිය ගිය බව සිතා පවු‍ලේ අය ශෝකය පළ කරමින් දැන්වීම් අලවා තිබුණු අතර, කොටි සංවිධානයද ගම පුරා ‍පෝස්ටර් අලවා තිබුණේ ඔහුට ගෞරව උපහාර පිණිසය. මේ බව දුටු කර්නල් ලෆීර්, කොටි සාමාජිකයාද සමඟ පිටතට ඇතුළ නොපෙනෙන වාහනයක නැඟී ඔහුගේ නිවෙස පිහිටි යාපනය වලිකාමම් බටහිර ප්‍රදේශයේ සැරිසරන්නට විය. මව හෝ ඥාතියකු දුටුව හොත් තමාට පෙන්වන ලෙසද ඔහු පවසා සිටියේය. අවසානයේ ඔහුගේ ඥාතීන් සිටින ස්ථාන ගැන කර්නල් ලෆීර් දැනගත්තේය. පසුව හමුදාවේ දැනුම් දීම පරිදි ඥාතියකු සවස් වරුවක කර්නල් ලෆීර් සිටින හමුදා කඳවුරට පැමිණියේය. ඒ ඥාතියාගෙන් අදාළ ත්‍රස්තවාදියා පිළිබඳත් ඔහුගේ මව පිළිබඳත් විමසා ත්‍රස්තවාදියාට නොදැනෙන සේ මව කඳවුරට කැඳවාගෙන එන්නැයි ඔහුට දැනුම් දීමට කර්නල් ලෆීර් කටයුතු කළේය.

ඒ අනුව ත්‍රස්තවාදි සාමාජිකයාගේ මව ඥාතියකු සමඟ හමුදා කඳවුරට පැමිණි මොහොතේ කර්නල් ලෆීර් මව කොට වෙනත් ස්ථානකට කැඳවාගෙන ගොස් පුතාට වූ දෙය විමසුවේ කිසිවක් නොදන්නා අයුරිනි. එල්ටීටීඊ කොටි ත්‍රස්තවාදීන් තම මව හෝ පියා හෝ වුවත් මරාදමන ම්ලේච්ඡ පිරිසක් බවත් ඔවුන්ට මානව හිතවාදයක් නැති බවත් ඇය පැවසූ අතර ඔවුන් නිසා තමාට පුතා නැති වූ බව කියමින් ඒ මව දෙස් -දෙවොල් තබමින් බැණවදින්නත්, ත්‍රස්තවාදී නායකයන් සියලු දෙනාට ශාප කරන්නත් විය.

කඳුළු වගුරවමින් හඬමින් විලාප දුන් ඇයගේ ඒ විලාපය බලා සිටින්නට කර්නල් ලෆීර්ට නොහැකි විය. ඔහු වහා තම භාරයේ සිටි ඇයගේ පුතු ඇය ඉදිරිපිටට ගෙන්වූයේය. ඇස් අදහාගත නොහැකි වූ ඒ මව වැලි සහිත බිම පෙරළෙමින් කර්නල්වරයාගේ පාවහන් පවා සිඹිමින් වැල්ලේ වැලි පවා කන්නට වූයේ තමාට පුතු ජීවත් වනු දැක වාවාගත නොහැකි වූ නිසාය. තම දරුවා බදාගෙන හඬන්නට වූ ඒ අම්මා ඉදිරියේ ත්‍රස්තවාදියකු වූ පුතාද හඬන්නට විය. මවට කතා කළ කර්නල් ලෆීර් පුතා රැගෙන යන්නැයි මවට පැවසීය. එමෙන්ම ත්‍රස්තවාදියාටද නැවත කිසිදු ආකාරයක ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරත නොවන්නට අවවාද කෙළේය. ඒ මොහොතේ දරු කැක්කුමෙන් පිරී ගිය ඒ අම්මා තම පුතු සතුටින් ගෙදර කැඳවාගෙන යනු ඇතැයි කර්නල් ලෆීර් සිතුවද සිදු වූයේ හාත්පසින්ම වෙනස් දෙයකි. තම පුතු ගෙදර කැඳවා ගෙන යෑම ඇය ප්‍රතික්ෂේප කළාය. දෙමළ බසද ‍මැනැවින් හුරු-පුරුදු කර්නල් ලෆීර් ඒ ගැන මවගෙන් ඇගේ බසින්ම විමසීය.

“ඇයි පුතා එක්ක යන්නෙ නැත්තෙ?”

“මම පුතාට ආදරෙයි මහත්තයො.. මගේ දරුවා මැරුණා කියලා හිතාගෙන මම ඒ වෙනුවෙන් දාන පින්කම් පවා කළා.. නැති වුණු ඒ දරුවා මට ලැබුණෙ මහත්තය නිසා. මම මේ දරුව එක්කගෙන ගියොත් සංවිධානෙ තිරිසන්නු ආයෙත් එයාව අරං යයි. ඊට වඩා මගේ දරුවා මහත්තයලා ගාව ඉන්න-එක මට සතුටක්..” ඇය තම තරුණ දරුවා හමුදාවටම බාර දී නික්ම ගියාය.

සටන් බිමේ සතුරාටත් මානුෂීය ගුණාංග පෙන්වූ කර්නල් ලෆීර්ගේ මනුස්සකම නිසාම හමුදාවට ස්වේච්ඡාවෙන්ම උදවු කරන්නට එකී කොටි සාමාජිකයා කැප වුණේය. පසුව හෙතෙම විශේෂ බළකායේ ඔත්තුකරුවකු ලෙස පුහුණු කරන්නට කර්නල් ලෆීර් කටයුතු කළේය. හමුදා පාලන ප්‍රදේශවල සිවිල් ජනතාව අතරේ සැඟවී සිටින එල්ටීටීඊ ත්‍රස්තවාදීන් හඳුනාගැනීම සඳහා කර්නල් ලෆීර් හට ඔහු බොහෝ සේ උපකාරී විය.

අප මේ විස්තර කළේ යුදබිමේදී අපට අසන්නට ලැබුණු එක් සංවේදනීය පුවතක් ගැන පමණි. තිස් වසකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවම වසාගෙන සිටි කුරිරු ත්‍රස්තවාදීන් ගෙන ගියේ ජනවාර්ගික අරගලයක් නොව; වෙනම රාජ්‍යයක් හදාගෙන තමන් බලවතුන් වීමට දරන ලද ප්‍රයත්නයක් බව ඒ කතාවෙන් මනාව පැහැදිලි වේ. ශ්‍රී ලංකා යුද්ධ හමුදාව යනු උතුරේ දෙමළ ජනතාව ඉවක් බවක් නැතිව ඝාතනය කරන සිංහල හමුදාවකැයි ත්‍රස්තවාදීන් ලෝකයා හමුවේ පවසා සිටියද එය එසේ නොවන බව එදා ඒ දෙමළ ජාතික මව ප්‍රකාශ කළාය. අද 10 වන වරට අප සමරන්නේ ත්‍රස්තවාදි නායකයකු මිය ගිය දිනයක් හෝ ඔහු මෙලොවින් තුරන් කිරීමේ සතුට හෝ නොවේ. තවත් අයකුගේ විපතකදී තුටු වන මානසිකත්වයක් හෝ සංකල්පයක් හෝ මේ රටෙහි නැත. අප මේ අවස්ථාවේ සමරනුයේ සිංහල, දෙමළ, මුස්ලිම් යන මේ තුන් ජන කොට්ඨාසයටම එක්ව බියෙන් සැකෙන් තොරව ජීවත් විය හැකි වාසනාව උදා වූ දිනයයි.

අවසන් සටනේදී හමුදා පාලන ප්‍රදේශවලට නොයන ලෙස කොටි ත්‍රස්තවාදීන් 2009 මැයි මාසයේ මුල සිටම ජනතාවට බලහත්කාරකම් කරද්දී ඒ බලහත්කාරකම් ගණනකට නොගත් දෙමළ ජනතාව හමුදා පාලන ප්‍රදේශවලට පෝලිමේ එන්නට පටන් ගත්හ. එසේ කිරි දරුවන් කර පින්නාගෙන දියමංකඩ ගොහොරුවල පවා බැසගෙන එන තමන්ගේම ජනතාවට වෙඩි තැබීමට තරම් කොටි සංවිධානය ම්ලේච්ඡ වූ බව අද ලොවම දනී.

කොටි ත්‍රස්තවාදීන්ගේ බොහෝ ක්‍රියා ගැන දන්නා, සාමය සංහිඳියාව අගය කළ නායකයන් ජීවත්ව සිටීම පවා කොටි ත්‍රස්තවාදීහු අනුමත නොකළහ. ඔවුහු ඒ නායකයන්, සමාජ විචාරකයන් ඝාතනය කළේ එහෙයිනි. විශේෂයෙන්ම 1975 වසරේ ජූලි මස 25 වැනිදා ත්‍රස්තවාදීන් විසින් යාපනය නගරාධිපතිවරයාව සිටි ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා මහතා ඝාතනය ලෝකයම පිළිකුලට බඳුන් විය. ත්‍රස්තවාදීන් එලෙස දෙමළ ජාතික නායකයන් ඝාතනය කළේ වරක් දෙවරක් නොවේ. යාපනය ප්‍රථම නගරාධිපතිනිය වූ සරෝජනී යොගේස්වර්න් මැතිනිය 1998 මැයි 17 දාත්, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නීලන් තිරුචෙල්වම් 1999 ජූලි 29 දාත් එලෙස ඝාතනය කෙරිණි. රාජිනී තිරාණගම මහත්මිය කොටි සංවිධානයේ ක්‍රියාකාරකම් විවේචනය කරමින් කෘතියක් සම්පාදනය කළ විද්වතියකි. එය ඇයටද කොටින් අතින් මරණය කරා යන්නට හේතුවක් විය.

එසේම එල්ටීටීඊය 1998 සැප්තැම්බර් 29 දින යාපනයේ සිට රත්මලාන දක්වා පියාසර කළ ලයන් එයාර් ගුවන් යානයට ප්‍රහාර එල්ල කරමින්, එහි සිටි දෙමළ ජාතිකයන් 48 දෙනකු ඇතුළු කාර්ය මණ්ඩලයේ 7 දෙනකු ඝාතනය කිරීමට කටයුතු කළේය. සියලු ජාතීන් සමඟිව දිවි ගෙවිය යුතුය යන සංකල්පය මත සිටි හිටපු විදේශ ඇමැති ලක්ෂ්මන් කදීර්ගාමර් මහතා ඝාතනය කළේද ත්‍රස්තවාදීන් විසින් කලින් කළ සැලසුමකට අනුවය. එසේම ඩග්ලස් දේවානන්දා මහතා කළුතර බන්ධනාගාරයේදී ඝාතනයටද සැලසුමක් තිබුණු බව අනාවරණය වූයේ ඒ මහතා බන්ධනාගාරයේ එල්ටීටීඊ රැඳවියන් බැලීමට ගිය අවස්ථාවක කළ පහර දීම ගැන පරීක්ෂණ මෙහෙයවද්දීය.

2006 ජූනි 21 දා මාවිල් ආරු සොරොව්ව වසා ගොවි ජනතාවට වතුර ලබාගැනීමට ත්‍රස්තවාදීහු බාධා කළහ. මේ නිසා දහස් ගණන් ජනතාවගේ ගොවිතැන් පාළු වී ගියේය. මේ අවස්ථාවේ මානුෂීය මෙහෙයුමක් ක්‍රියාත්මක කරන්නට එවකට හමුදාපති ධුරය දැරූ, වත්මන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් පියවර ගන්නා ලදි. මාවිල් ආරු ත්‍රස්තවාදීන්ගෙන් මුදාගනු ලැබීය. ඒ මඟින් නැඟෙනහිර පළාතේ සිංහල-දෙමළ-මුස්ලිම් ජනතාවට යළි වගා බිම් සකස් කරගත හැකි විය. 2007 වසරේදී නැඟෙනහිර පළාත ත්‍රස්තවාදීන්ගෙන් සම්පූර්ණයෙන්ම මුදාගන්නට හමුදාවෝ සමත් වූහ.

ඒ සමඟම ත්‍රිවිධ හමුදාව විසින් අවසන් සටනද ආරම්භ කරන ලද්දේ ත්‍රස්තවාදීන් කිසිදු ලෙසකින් හෝ ජනතා මතයට හිස නොනමන බව තේරුම් ගත් නිසාය. කිසිදු ආකාරයක දේශපාලන විසඳුමකට ඔවුන් එකඟ නොවන බවට ඒ අවස්ථාව වන විට පැහැදිලි ලකුණු පහළව තිබිණි.

අවසන් සටන ජයග්‍රාහි නිමා කරමින් ත්‍රස්තවාදීන් පරාජය කරන්නට ශ්‍රී ලාංකීය හමුදාවෝ සමත් වූහ. ඒ 2009 වසරේ මැයි 18 දිනය. මේ අවසන් සටනට සම්බන්ධ වූ ත්‍රිවිධ හමුදාව මානුෂීය ලෙස ක්‍රියා කළ ආකාරය කෙරෙහි ලෝකයේම අවාධානය යොමු විය. තම බත් පත අසරණ වූ දෙමළ ජාතික වැසියන්ට දෙමින්, දෙපයින් ඇවිද යෑමට නොහැකි වයෝවෘද්ධ දෙමළ වැඩිහිටියන් තම දෝතින් ඔසවාගනිමින් රණවිරුවන් මේ මානුෂීය ජයග්‍රහණය අත් කරගත්තේ ‘මානුෂීය මෙහෙයුම’ යන්න වචනයට සීමා නොකරමිනි.

උතුරේ කිළිනොච්චියේ සිට ධර්මපුරම් දක්වා එක් රැයින් ගමන් කළ අපේ හමුදාව ජනතාවට හානි නොවන සේ ත්‍රස්තවාදීන්ගෙන් ජනතාව මුදාගත්හ. අවසන් සටන සිදු වූයේ මුලතිව් නන්දිකඩාල් කලපුව අසලදීය. වෙල්ලමුල්ලි වයික්කාල් අසලදී එල්ටීටීඊ සංවිධානයේ නායකයා වූ වේලුපිල්ලේ ප්‍රභාකරන් තම ම්ලේච්ඡත්වය නිමා කරමින් අවසන් ගමන් ගියේය.

ඒ නිදහස අපේ ලක් මව අපට උරුම කර දීමට ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ සහ සිවිල් ආරක්ෂක බළකායේ 27,937ක පිරිසක් ජීවිත පූජා කර තිබේ. එසේම 20,242 පිරිසක් ආබාධිත තත්ත්වයට පත්ව ඇත.

අදින් වසර 15කට පමණ පෙර කොටුව දුම්රිය පොළට පැමිණි මා දුටුවේ මාගේ මිතුරකුගේ භාර්යාව දුම්රියේ ඉදිරි මැදිරියකත් මිතුරා පසු පස මැදිරියකටත් නැඟුණු ආකාරයයි. මම ඒ ගැන මිතුරාගෙන් විමසූ විට ඔහු පැවසුවේ ‘බෝම්බයක් පුපුරලා ගියොත් දරුවන්ට දෙන්නගෙන් එක්නෙක් හරි ඉන්නව නේ’ යන්නයි.

අප අද සැමරිය යුත්තේ ඒ නිදහසේ විජයග්‍රහණයයි. එහිදී අප සිංහල-දෙමළ-මුස්ලිම් මේ සියලු දෙනාම එකම ලාංකික පිරිසක් යන සංකල්පයට මුල් තැන දී කටයුතු කළ යුතුය. ශ්‍රී ලංකා හමුදාවන් උතුරු පළාතෙන් වහා ඉවත් විය යුතුයැයි බෝඩ්-ලෑලි උස්සාගෙන ආ මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීවරයා පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු හමුදාව උතුරේ සිටිය යුතු බව හඬ නඟා කියන්නේ ඇයි? දේශපාලන වශයෙන් හමුදාව ඉවත් විය යුතු බව ඔහු පැවසුවත් හමුදාව උතුරේ දෙමළ ජනතාවගේ නිහඬ ආරක්ෂකයා මෙන්ම නිහඬ සේවකයකු ලෙසද කටයුතු කරන බව ඔහුද දන්නා නිසාය.

සේයාරුව - රුක්මල් ගමගේ

(අවසන් සටනේදී ගත් සේයාරුවකි)

Comments