වැද­ගත් තොර­තුරු රැසක් හෙළි කළ ඉකුත් සතියේ හමුදා මෙහෙ­යුම් | Page 3 | සිළුමිණ

වැද­ගත් තොර­තුරු රැසක් හෙළි කළ ඉකුත් සතියේ හමුදා මෙහෙ­යුම්

ත්‍රස්ත කල්ලි පූට්ටු කළ මහ මොළකරුත් අත්අඩංගුවට

ගුවන් හමුදා මෙහෙයුම්වලට ගුවන්යානා සහායත්

ආරක්ෂිත නිවාස, අන්තවාදී පුහුණු කඳවුරු, ආයුධ තොග රැසක් අනාවරණය වෙයි

සේවය හැර ගිය සෙබළු 11,000ක් යළි සේවයට

කාන්තාවන් 10ක් අත්අඩංගුවේ

සයුරේ ආරක්ෂාවද තර කෙරේ

යුද හමුදාව හැර ගිය 11,000කට අධික පිරිසක් නැවත රට රැකීම පිණිස යුද හමුදාවට එක් වූ බව පසුගිය සතියේ අපට වාර්තා විය. එසේ එක් වූයේ දැනට යුද හමුදාවෙන් නීත්‍යනුකූලව ඉවත් නොවූ හෝ නිවාඩු ලබා ආපසු නොපැමිණි අය වන අතර මෙතරම් විශාල පිරිසක් එලෙස යළි සේවයට වාර්තා කළ ප්‍රථම වතාව මෙය බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා පවසා සිටී. ඔවුන් එසේ පැමිණ ඇත්තේ පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවත් සමඟ යළි ත්‍රස්තවාදය හිස එසවීමට එරෙහිව නැඟී-සිට රට රැකගැන්ම උදෙසාය.

මේ අතර පසුගිය සතිය තිස්සේ ත්‍රිවිධ හමුදාව, විශේෂ කාර්ය බළකාය හා පොලීසිය සිදු කළ සෝදිසි මෙහෙයුම්වලින් හෙළි වූ විශේෂතම තොරතුරුවලින් එකක් වූයේ ඌව කුඩාඔය ජංගලිවත්තේ අක්කර පහක වත්තක තිබී අවි ආයුධ තොගයක් හමු වීම හා කොච්චිකඩේ, ශාන්ත අන්තෝනි දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ බෝම්බකරු ඒ ස්ථානයට පැමිණි වෑන් රථය හා සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමයි. එමෙන්ම ප්‍රහාර සම්බන්ධව අත්අඩංගුවට ගත් සැකකරුවකු ISIS සංවිධානයට ඍජුවම සම්බන්ධ බවට අනාවරණය වීමත් ඔහු මේ ප්‍රහාරයන්ගේ ඉංජිනේරු මොළකරු වී ඇති බව අනාවරණය කරගැනීමත් බෙහෙවින් වැදගත් විය.

ඌව කුඩාඔය යනු යුද හමුදාවේ විශේෂ පුහුණු කඳවුරක් පිහිටි ප්‍රදේශයක් වන අතර, යුද හමුදා ගරිල්ලා සටන් මෙන්ම කැලෑව තුළ සිදු කෙරෙන බහුතර පුහුණු කිරීම් එහිදී සිදු කෙරේ. එවන් පසුබිමක පසුගිය 12 ඉරුදින කුඩාඔය පෙදෙසින් හමු වූ දෑ අතර විවිධ වර්ගවල ජීව උණ්ඩ, දුම්බෝම්බ, කිණිසි, දැළිපිහි, කෙටේරි, කඩු ඇතුළු ආයුධ තොගයක් වූයේය. අවි ආයුධ තොගය සමඟ එහි හිමිකරුද අත්අඩංගුවට ගනු ලැබූ අතර, ඔහුගේ පුතා ගුවන් හමුදාවේ ගුවන් නියමුවකු ලෙස යහපත් කල් ක්‍රියාවෙන් සේවාව කොට, ඉන් ඉවත් වී පෞද්ගලික ගුවන් සමාගමක ගුවන් නියමුවකු ලෙස සේවය කරන්නකු බවට හෙළි විය.

ඌව කුඩාඔය අවි තොගය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී ඔහු විනෝදාංශයක් ලෙස ගිනි අවි පතරොම් හා අනෙකුත් භාණ්ඩ එකතු කළ බව පැවැසූ අතර මේ වන විට ඒ සම්බන්ධව විශේෂ විමර්ශනයක් පැවැත්වේ. එසේම මේ සැකකරුට අයත් ඌව කුඩාඔය ගොවිපොළක් ඇති නමුත් එයින් ආදායමක් ලබාගැනීමට පවා ඔහු කටයුතු කර නැති බවද හෙළිව ඇත. ඔහුගෙන් දිගින් දිගටම ප්‍රශ්න කිරීමේදී ඔහුට අයත් දෙහිවල සරණංකර මාවත පිහිටි දෙමහල් නිවෙසක රහසිගත ලෙස සඟවා තිබූ වායු රයිෆල්, ගිනි අවි කොටස් හා ජීව උණ්ඩ සමඟ තවත් භාණ්ඩ රැසක් සොයාගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයට හැකි විය. එහිදී බෝර-12 සජීව පතරොම් 22ක්, බෝර-12 හිස් පතරොම් කොපු 90ක්, ආමර් මැගසින් උණ්ඩයක්, ටී-56 සජීව පතරොම් 3ක්, 4.5 සජීව පතරොමක්, මි.මී. 9 ජීව උණ්ඩ දෙකක්, සරඹ උණ්ඩ 2ක්, හඳුනා නොගත් ජීව උණ්ඩ 3ක්, විදේශීය පිස්තෝල අවියක කොටසක්, ෂොට්ගන් අවි පිරිසුදු කිරීමේ කට්ටල 2ක්, විදේශයක නිෂ්පාදිත අංකයක් නැති වායු රයිෆල් 2ක්, වායු රයිෆල් සඳහා භාවිත කරන උණ්ඩ පිරවීමට යොදාගනු ලබන ඊයම් කැබලි පිරවූ ටින් එකක්, වායු රයිෆල් සඳහා භාවිත කරන ගස් ටියුබ් දෙකක් තිබී සොයාගෙන ඇත.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් තාක්ෂණික සහාය ලබාදුන් බවට සැලකෙන 24 හැවිරිදි ආදීල් අමීස් නම් මෘදුකාංග ඉංජිනේරුවරයකු සම්බන්ධයෙන් ඉන්දීය බුද්ධි අංශ වසර 3ක් තිස්සේ නිරීක්ෂණය කර ඇති බව මේ වන විට වාර්තා වේ. මේ මෘදුකාංග ඉංජිනේරුවරයා ISIS සංවිධානය සමඟ ඍජු සම්බන්ධකම් පවත්වා ඇතැයි වූ වාර්තා අනුව යමින් ඉන්දීය බුද්ධි අංශ ඔහු පිළිබඳ නිරතුරුවම අවධානයෙන් සිට ඇත.

පාස්කු ප්‍රහාරයෙන් දින 4කට පසු -එනම්: පසුගිය 25 වැනිදා- විශේෂ කණ්ඩායමක් විසින් ආදීල් අමීස් අත්අඩංගුවට ගෙන ඇත. මේ වන විට සිදු කරනු ලබන විමර්ශන සඳහා ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය සහ ගුජරාට් ප්‍රාන්ත පොලීසිය බුද්ධි තොරතුරු සපයමින් සිටී. මේ සැකකරු බ්‍රිතාන්‍යයේ සරසවි කිහිපයකින් උපාධි ලද අයකු බවට ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුම් විශේලේෂණය කිරීමේදී තොරතුරු අනාවරණය වී ඇති නමුත් ඒ සරසවි මේ දක්වා ඔහුගේ ශිෂ්‍ය භාවය තහවුරු කර නැත.

ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය පෙන්වා දෙන්නේ ආදීල් අමීස් අන්තවාදි ඉස්ලාමීය සංවිධාන සමඟ සම්බන්ධකම් පවත්වන බවට එරට අධිකරණය හමුවේ චෝදනා දෙකක්ද ඔහුට ගොනු කර ඇති බවයි. පාකිස්තානයේ අහමාබාද්හි පිහිටි කතෝලික දේවස්ථාන ඉලක්ක කරගෙන ප්‍රහාර සිදු කළ ඉස්ලාමිය අන්තවාදී කණ්ඩායමක සාමාජිකයන් දෙදෙනකු සමඟ සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කරගන්නා ලද තොරතුරු හුවමාරුව ඉන් එක් චෝදනාවක් වන අතර ඉන්දියාව තුළ අන්තවාදය පැතිරවීමට අන්තර්ජාලය ඔස්සේ ක්‍රියා කිරීම අනෙක් චෝදනාවයි. එසේම ඔහු සමග සම්බන්ධකම් පැවැත්වූ බව කියන ඉන්දීය මුස්ලිම් ජාතිකයන් තිදෙනකුට එරෙහිව දිල්ලි අධිකරණයක් හමුවේ නඩු පවරා තිබේ. පාස්කු දා බෝම්බ ප්‍රහාරය සිදු කළ ජාතික තව්හිද් ජමාත් සංවිධානය සහ ජමාතේ මිල්ලතු ඊබ්‍රාහිම් නම් අන්තවාදි ඉස්ලාමීය සංවිධාන අතර අතර අතරමැදියා ලෙස කටයුතු කර ඇත්තේද ආදීල් අමීස්ය.

කෙසේ වුවත් ආදීල් ප්‍රකාශ කර ඇති සියලු කරුණු අසත්‍ය බවට මේ වන විට විමර්ශනයේදී හෙළි වී ඇත. එහෙත් පාස්කු ඉරුදින දෙහිවල ප්‍රදේශයේ බෝම්බය පුපුරුවාගෙන මියගිය අබ්දුල් ලතීෆ් මොහොමඩ් ජමීල් සමඟ කිට්ටු සම්බන්ධකම් පවත්වා ඇති ආදීල් ප්‍රහාරයට සතියකට පමණ පෙර, ප්‍රධාන පෙළේ හෝටල් දෙකක බෝම්බ ප්‍රහාර එල්ල කළ ඊබ්‍රාහිම් සොහොයුරන් කොළඹ පැවති උත්සවයකදී හමුව ඇති බවටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් තහවුරු කරගෙන තිබේ. ආදීල්, ඊබ්‍රාහිම් සොහොයුරන් සහ මේ ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු වන සහරාන් හෂීම් එක්ව වනාතවිල්ලුව ප්‍රදේශයේ ඉඩමක් බද්දට ගෙන එහිදී සිය පුහුණු කඳවුර පවත්වාගෙන ගොස් ඇති අතර, මාවනැල්ලේ බුදු පිළිමවලට හානි පැමිණවීම සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරද්දී පසුගිය ජනවාරි මාසයේදී ඒ ඉඩම වටලා සිදු කළ සෝදිසියකදී පුපුරන ද්‍රව්‍ය ඇතුළු උපකරණ රැසක් සොයාගැනීමට හැකි විය. පාස්කු ප්‍රහාරයෙන් දින 4කට පසු අලුත්ගම පිහිටි ආදීල් අමීස්ගේ නිවෙසක් අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් වටලනු ලැබූ අවස්ථාවේ ඔහු භාවිත කළ පරිගණක සියල්ලෙහි දත්ත මකාදමා තිබූ බව විමර්ශන නිලධාරීන්ට දැනගත හැකිව තිබේ.

මීට අමතරව කොච්චිකඩේ දේවස්ථානයට ප්‍රහාරය එල්ල කළ බෝම්බකරු ඒ ස්ථානයට පැමිණ ඇත්තේ කිංස්බරි හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ පුද්ගලයාට අයත් වාහනයකින් බවට පසුගිය 15 වැනිදා හෙළි කරගැනීමට ආරක්ෂක අංශ සමත් විය. WP-PJ 4080 අංක දරන මේ වෑන් රිය පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් දිගින් දිගටම පරීක්ෂණ සිදු කරගෙන යෑමේදී කිංස්බරි හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බකරු සමඟ මේ වෑන් රිය මිලට ගැනීමට හා රථයේ ආසන සකස් කිරීමට තවත් පුද්ගලයකු සම්බන්ධ වී ඇති බවද අනාවරණය වූ අතර, ඒ පුද්ගලයා 15දා අත්අඩංගුවට ගනු ලැබීය. එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ නව කාත්තාන්කුඩි ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් ආදම් ලෙබ්බේ නම් අයෙකි. මේ වෑන් රියේ ලියාපදිංචි හිමිකරු වන්නේ කොළඹ කිංස්බරි හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක් යන අයයි.

අප්‍රේල් 21 බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් මේ වන විට කාන්තාවන් 10 දෙනකු ඇතුළුව පුද්ගලයන් 85 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර, එයින් 65 දෙනකු (කාන්තාවන් 8ක් සමඟ) අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව සහ 20 දෙනකු (කාන්තාවන් 2ක් සමඟ) ත්‍රස්ත විමර්ශන ඒකකය ප්‍රශ්න කරමින් සිටියි. ඒ අතර සයින්දමරුන්දු ප්‍රදේශයේදී පිපිරීමට ලක් වූ නිවෙසේ සිටි සහරාන් හෂීම්ගේ බිරිය වන ෆාතියා සාදියාද සිටින අතර ඇය භාරයේ දියණියද සිටී. එමෙන්ම ආරක්ෂක අංශ සිදු කළ මෙහෙයුම්වල වැදගත් ප්‍රතිඵලයක් වන්නේ මේ ප්‍රහාරවලට සම්බන්ධ අන්තවාදී සංවිධානයේ සාමාජිකයන් භාවිත කළ බව කියන ආරක්‍ෂිත නිවාස 17ක් දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් සොයාගැනීමට හැකි වීමයි. ඒ නිවාස පාණදුර (සරික්කාලමුල්ල), මල්වාන, කොළඹ 06 මයූර පෙදෙස, කළගෙඩිහේන (තිහාරිය), මීගමුව (කටුවාපිටිය), කුලියාපිටිය (සුභාරතිපුර), කටුපොත, නින්දවූර්, ශාන්ත අන්තෝනි පාර කොළඹ 03, පන්සල පාර ගල්කිස්ස, සයින්දමරුන්දු 9, කොච්චිකඩේ (දළුවකොටුව), වනාතවිල්ලුව, හෙට්ටිපොළ, එඬේරමුල්ල, වාලච්චේන (රිදීතැන්න) යන ප්‍රදේශවල පිහිටා ඇත. වාලච්චේන මුස්ලිම් ජන ප්‍රදේශයක් වන නමුත්, රිදී තැන්න යාබද සිංහල ගම්මානයකි. අන්තවාදීන් ඉතා සූක්ෂ්ම ලෙස මේ ආරක්ෂිත නිවාස පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් එය ඉතා හොඳ උදාහරණයක් බව නැඟෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතා සිළුමිණට කීය.

එසේම මේ අන්තවාදීන් පුහුණු කඳවුරු ලෙස පවත්වාගෙන ගිය හා වැඩමුළු පැවැත්වූ ස්ථාන 7ක්ද සොයාගන්නට ආරක්ෂක අංශ සමත්ව තිබේ. ඒ කඳවුරු හා වැඩමුළු පැවැත්වූ ස්ථාන ලෙස හඳුනාගෙන ඇත්තේ වනාතවිල්ලුව, හම්බන්තොට, නුවරඑළිය, මහනුවර (අරුප්පල), මල්වාන, කාත්තාන්කුඩි හා වාලච්චේන ප්‍රදේශ වේ.

නැ‍ඟෙනහිර පළාතේ යුද හමුදාව විසින් සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී මඩකලපුව කාත්තාන්කුඩි ප්‍රදේශයේ ඉස්ලාම් පල්ලියක් අසල කලපුවේ තිබියදී ටී-56 ගිනි අවියක්, ටී-56 උණ්ඩ 136ක් ඇතුළු ආයුධ රැසක් සොයාගෙන තිබේ. යුද හමුදාවට ලද ඔත්තුවක් අනුව 11 වැනි සිංහ රෙජිමේන්තුවේ නිලධාරීන් පිරිසක් පැමිණ කලපුවේ සඟවා තිබුණු මේ ආයුධ සොයාගෙන තිබේ. අත්අඩංගුවට ගෙන ඇති ආයුධ හා උපකරණ සියල්ල කාත්තාන්කුඩි පොලීසියට භාරදී ඇත.

එමෙන්ම නාවික හමුදාව විසින් අක්කරපත්තු මොරවෙඩි කලපුවේ සිදු කළ මෙහෙයුමේදී තියුණු ආයුධ හා හඳුනානොගත් අත්බෝම්බයක්, පරිගණකයක්, ලැප්ටොප් පරිගණකයක් හා දුරදක්නයක් සොයාගෙන ඇති අතර, ඒ සියල්ල අක්කරපත්තුව පොලීසියට භාර දී තිබේ. තලාතුඔය මාරස්සන ප්‍රදේශයේ ඉවත දමා තිබූ මිමී39 උණ්ඩ 365ක් මැගසින් 3ක් හිස් පතුරම් කොපු 72ක්ද නාවික හමුදාව සිදු කළ මෙහෙයුමකදී සොයාගෙන ඇත.

මේ අතර ගුවන් හමුදාව කොළඹ, පාලවිය, සීගිරිය හා කොළඹ ගුවන් හමුදා නිලධාරීන් හා සෙසු නිලයන් උපයෝගි කරගෙන ගුවන් මඟින් සිදු කරනු ලබන මෙහෙයුම් ඔස්සේ අන්තවාදීන් මෙන්ම කලහකාරීන් අත්අඩංගුවට ගැනීමට කටයුතු යොදා ඇතැයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘෘප් කපිතාන් ගිහාන් සෙනෙවිරත්න මහතා පවසයි.

විශේෂයෙන්ම ගුවන් මඟින් ලබාගන්නා ඡායාරූප සාක්ෂි ලෙස යොදාගන්නා බවත්, නීති විරෝධී ලෙස ගුවන්ගත කරනු ලබන ඩ්‍රෝන කැමරා සම්බන්ධව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවත් ඒ මහතා පවසයි.

ආරක්ෂක අංශ මේ වන වට පෙන්වා දෙන්නේ මේ අන්තවාදීන් විසින් සිදු කරන්න උත්සාහ කළ ඉදිරි අන්තවාදි කටයුතු සියල්ල පාහේ මේ වන විට වළක්වාගන්නට හැකි වූ බවයි. ආරක්ෂක අංශ පැය 24ම සුපරීක්ෂාකාරි වීම නිසා අන්තවාදීන්ට කිසිදු අපරාධයක් සිදු කරන්න හැකියාව නොලැබුණු බවද ත්‍රිවිධ හමුදාපතිවරු පවසති. නුවරඑළිය බ්ලැක්පූල්හි නිවෙසක තිබී හමු වූ ලැප්ටොප් පරිගණකයේ නම් සඳහන් අන්තවාදීන් 60 දෙනාගෙන් 40ක් පමණ මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තා වේ.

මේ අතර කොළඹ සිනමන් ග්රෑන්ඩ් හෝටලය තුළදී මරාගෙන මැරෙන බෝම්බය පුපුරවාගත් වැල්ලම්පිට්ය තඹ කර්මාන්තශාලා හිමිකරු වූ මොහොමඩ් ඊබ්‍රාහීම් ඉන්සාෆ් අහමඩ් සිහිකරමින් ආගමික වතාවත් සිදු කිරීම සදහා පැමිණි බවට සැක කරන පූජකවරයකු ඇතුළු පුද්ගලයන් පස් දෙනකු බෝම්බකරුගේ බිරියට අයත් කොල්ලුපිටිය මල්පාරේ පිහිටි සුඛෝපභෝගි දෙමහල් නිවෙසේදී අත්අඩංගුවට ගැනීමද පසුගිය සතියේ සිදු වූ විශේෂ සිදුවීම් අතර විය. දෙමහල් නිවෙස තුළ තිබී ඩ්‍රෝන කැමරාවක්ද වැටලීම සිදු කළ කොල්ලුපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

යුද හමුදා ඇඳුමක් ඇඳගත් පුද්ගලයෙකු තුන්මෝදර ප්‍රදේශයේ කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදු වන අවස්ථාවේ එහි රැඳී සිටින වීඩියෝ දර්ශන කිහිපයක් පිළිබඳ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව මේ වන විට අවධානය යොමු කර ඇති අතර, ඒ සම්බන්ධව පරීක්ෂණ පවත්වන යුද හමුදාව යම් හෝ තොරතුරක් වේ නම් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකායේ හදිසි ඇමතුම් අංක 011-2514280 වෙත වහා දන්වා සිටින ලෙස හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා පවසා සිටී.

නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා පසුගිය 15 දා අදහස් දක්වමින් පවසා සිටියේ ගොඩබිම මෙන්ම සාගරයේද ආරක්ෂාව පිළිබඳ නාවික හමුදාව කටයුතු කරන බවත්, මේ කටයුතුවලදී වෙනත් නීති විරෝධී ක්‍රියාවලට සම්බන්ධ පිරිස්ද අත්අඩංගුවට ගත් බවයි. ඒ අනුව පසුගිය 11 වැනිදා කේරළ ගංජා කිලෝග්රෑම් 74ක් හා 15 වැනිදා කිලෝග්රෑම් 78.5ක් සමඟ ඒවා ප්‍රවාහනය කළ බෝට්ටු හා පුද්ගලයන් අත්අඩංගුවට ගත් බවත් ඔහු පැවසීය. මේ අතර, නාවික හමුදාවට ඕනෑම තොරතුරක් දැනුම් දීමට 011-2449719, 077-2201365 අංක පැය 24ම විවෘතව ඇති බවද ඒ මහතා දැනුම් දී සිටී.

ආරක්ෂක අංශ හා පොලීසිය මේ වන විට රටම ආවරණය වන පරිදි සිදු කරන මෙහෙයවීම් මෙන්ම වැටලීම් හා ක්ෂණික සෝදිසි කිරීම් හමුවේ අන්තවාදීන්ගේ අරමුණු සියල්ල අඩපණ වී ඇති අතර, කටුනායක ගුවන් තොටුපොළ හරහා විදේශගත වන්නන් කෙරෙහිද දැඩි අවධානය යොමු කර ඇත. විශේෂයෙන්ම නැඟෙනහිර කාත්තාන්කුඩි පෙදෙස ආශ්‍රිත මෙහෙයුම් මේ වන විට වැඩි කර ඇති අතර, සියලු නිවාස හා පල්ලි මෙන්ම සැකකටයුතු සියලු ස්ථාන පරීක්ෂා කිරීමට ත්‍රිවිධ හමුදාවම කටයුතු යොදමින් තිබේ. ඊට ජනතා සහයෝගයද නොඅඩුව ලැබීම මෙහි විශේෂත්වයයි.

Comments