වෙසක් සඳ දෙස බලා­ගෙන ලියා තබමි! | සිළුමිණ

වෙසක් සඳ දෙස බලා­ගෙන ලියා තබමි!

දස දෙස වෙසඟ සඳ මුදු රැස් ගලන පැයේ

ඇස ඇස නැඟෙන සැනසුම අපමණය පියේ

අසදිස අසමසම අසරණ සරණ පියේ

පිසලනු මැනවි මේ ගනඳුර වැසුණු දැයේ

පාස්කු ඉරිදා දසත විහිදී ගිය ත්‍රස්තවාදයේ අඳුරත් භීෂණත්වයේ චණ්ඩ මාරුතයත්, වෙසක් සඳේ සිසිලෙන් හා ශාන්තියෙන් නිවීයේවායි පතමින් ම අද මේ සටහන අරඹමි. සත්තකින් ම අද මුළු මහත් විශ්වයට ම මහා කරුණාවත් ආදරයේ මුදු ගුණයත් තහවුරු කළ අසිරිමත් බුදු තෙමඟුල සිදු වූ උතුම් දිනයයි. මුළු මහත් මානව ශිෂ්ටාචාරය ම අභිනව ප්‍රබෝධයකින් උද්දාමයට පත් කළ සනාතන ධර්මයක පහළ වීම සිදු වූයේ අද වැනි දිනක ය. එහෙත් ලොවට, අපට ඒ උතුම් දහමෙහි ශාන්තිය රිසි ලෙසින් විඳ ගත හැකිද? ආත්මාර්ථයෙන් හා ස්වාර්ථයෙන් නැඟුණු භේදයෙන් වෛරයෙන් ගිනියම් වූ රුදුරු පොළවක අපි සරණාගතයන් වී නොසිටිමුද? බොදුනු කිතුනු මුස්ලිමානු හින්දු ආදි සියල්ලෝම ඒ අනාථභාවයේ ගොදුරු බවට පත්ව නොසිටිත්ද?

ලොව පවත්නා සියලු පදාර්ථයන් ඇතැඹුලක් සේ විමසා දත්, මේ විශ්වයේ පහළ වූ ආශ්චර්යවත් ශාස්තෲවරයකු අසාමාන්‍ය විමුක්තිකාමියකු, ස්වාර්ථය දුරලා පරාර්ථය උදෙසා සියලු භෞතික වටිනාකම් ද නිසරු පුරුෂාර්ථයන් ද අත්හළ මහ පුරුෂයකුගේ අමිල බුදු වදන් හාත්පස ගිගුම් දෙන සුරම්‍ය දේශයක යථාර්ථය කුමක්දැයි සිතෙන හැම මොහොතකම දැසට කඳුළක්, හදට සුසුමක් නොනැඟේද? මේ දේශය විවිධ ආගම් වලින් ද සංස්කෘතික හා උපසංස්කෘතික සම්මතයන්ගෙන් ද යුතුය. ඒ ආගමික සංස්කෘතික ප්‍රවාහය උනුන් පරයා නැඟෙන ගංවතුරක් සේ විය යුතු යැයි සිතන උමතුවූවෝ ද මේ බිම සිටිති. අපට තවමත් අගක්, මුලක් සොයා ගත නොහැකි තරමට ම ඒ වියවුල මුළු මහත් සමාජ හිස මතටම කඩා වැටී තිබේ. සමාජ, දේශපාලන, ආගමික හරය උඩු යටිකුරු කරමින්ද නගර ගම් දනව් වෙනස දුරලමින්ද පැතිර ගිය ඒ මහ විපතින් ගොඩ එන මඟක් සොයමින් මේ සමාජය යහපත් පැහැපත් සොඳුරු තැනක් බවට පත් කළ හැකි වන්නේ ද අන් කිසිවකුට නොව අපට ම ය.

ආගමික හා සංස්කෘතික වටිනාකම් වලින් බෙදා වෙන් කර තිබෙන ලෝකයක සමාජ, දේශපාලන ආකල්ප පිළිබඳ වූ ප්‍රතිවිරෝධතා මැඬ ගනිමින් මානව සංහතියේ සංවර්ධනය සිදු විය යුතු වුවද විවිධ විකෘති හා දුෂ්ට බලවේග විසින් ප්‍රචණ්ඩත්වයට පත් කරන ලද මිනිසා ජයගැනීමට ලොවම අසමත්ව සිටීමේ විපාක අපි අත් විඳිමින් සිටිමු. සමගිය, සාමය, යුක්තිය, පරාර්ථ චර්යාව, සීලය කොතැනකද එතැන සංස්කෘතිය පවතින බව අප තේරුම් ගත යුතුය. සකල මනුෂ්‍ය ප්‍රජාවටත් සියලු සතුන්ටත් දයාව, කරුණාව දැක්විය යුතුයැයි බුදුන් වදාළ ධර්මයෙහි ඇත. එයට පටහැනිව ආගම්, ජාති භේද වලින් අන්ධව මනුෂ්‍යත්වය වර්ධනය කළ නොහැකි බව බුද්ධ වචනයයි. අනෙක් සියලු ආගම්වල හා සංස්කෘතීන් හි හරය වන්නේද ඒ මනුෂ්‍යත්වයට ගෞරව කළ යුතු බව ය. ආගම සිද්ධාන්ත පද්ධතියක් ලෙස ලඝු කරගත් කිසිවකුට කිසිම ආගමක සාරය හඳුනා ගත නොහැකිය.

සමාජයක බහුතර කොටස නොවියත් හෝ නූගත් බව හුවා දැක්වීමට පෙලඹෙත් නම් එතැන ඇත්තේ මහා විපතකි. ආගම්වාදී උමතුව එබඳු නොවියත් පුද්ගලයන් අතර මුල් බැස ගන්නා විෂ බීජයකි. සමස්ත මානව ඉතිහාසය මුළුල්ලේම ඒ ආගමික උමතුව පැතිර තිබුණු බවද සැබෑ ය. ආගම වඩාත් අවිචාරත්වයෙන් යොදා ගත හැක්කේ ද එබඳු නොවියතුන් බහුල සමාජයක ය. දෘෂ්ටිවාද නමැති ජාලයෙන් පුද්ගලයක් බැඳ තැබීමටත්, සමාජ විනාශය සඳහා ඔවුන් භාවිත කිරීමටත් සටකපට සමාජ දේශපාලනය ද සුදානම් ය. පසුගිය දිනවල මෙරටේ ඇතිවූ සියලු ඛේදවාචක තුළ ඇත්තේ ඒ මූග්ධ සමාජ දේශපාලනය බව අද වැනි උතුම් වෙසක් දිනයකදීවත් වටහා ගත යුතු වෙමු.

බුදුන් වහන්සේ විසින් අංගුත්තර නිකායේ අරිය මග්ග වර්ගයෙහි ආර්ය ධර්මය පිළිබඳව කරන ලද විවරණය මෙසේය.

“මහණෙනි ආර්ය ධර්මය යනු කවරේද? ප්‍රාජාඝාතයෙන් වැලකීම, හොරකමින් වැලකීම, කාමයෙහි වරදවා හැසිරීමෙන් වැලකීම, බොරු කීමෙන් වැලකීම, කේලාම් කීමෙන් වැලකීම, පරුෂ වචනයෙන් වැලකීම, ද්වේෂයෙන් වැලකීම, නිවැරදි දැකීම යන ගුණාංග ප්‍රගුණ කිරීම ආර්ය ධර්මය වේ.”

මේවා බෞද්ධයන්ට පමණක් නොව සියලු මානව වර්ගයාගේ ම යහපත උදෙසා හේතු වන ගුණාංග ලෙස හැඳින්විය හැකිය. සිත, කය හා වචන යහපත් වීම සඳහා මේ ගුණාංග සමාජයට අවශ්‍ය වේ. බෞද්ධ සංස්කෘතිය යනු මානව සංස්කෘතිය නමැති මහා ග්‍රන්ථයෙහි එක් පරිච්ඡේදයක් බව වෙනත් ආගමික නායකයෝ ද පිළිගනිති. කිතුනුවන්ගේ ඉවසීමේ ගුණය බුදුදහමෙන් ලද ආභාසයක් බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ සඳහන් කරති. ඒ නිහතමානී ගුණය ආගමික උන්මාදයෙන් දිව යන නරුමයන්ට නොඇසෙන බව සැබෑ ය. එහෙත් සමාජ මතු මහලේ වැජඹෙන සියලු සමාජ, දේශපාලන ක්‍රියාකාරීන්ට ඒ හඬ ඇසිය යුතුය. බෞද්ධ, හින්දු, කතෝලික, ඉස්ලාම් ආදී බෙදුම් රේඛා මකා දැමිය යුතු බවද කාදිනල්තුමන්ගේ අවධාරණයයි. ශ්‍රී ලංකාවේ උද්ගතව තිබෙන නොසන්සුන් වාතාවරණය ගැන සඳහන් කරන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලය ප්‍රකාශ කරන්නේත් ආගම් භේදයකින් තොරව හැම ශ්‍රී ලාංකිකයකුගේ ම අයිතීන් සුරැකීමට දේශපාලනඥයන් ආරක්ෂක අංශ හා ප්‍රජානායකයන් ඇතුළු සියලු දෙනාම එක්සත්ව ක්‍රියා කළ යුතු බව ය.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සිය වෙසක් දින පණිවිඩයෙන් අවධාරණය කරන්නේත් බලය පිණිස උනුන් වනසා ගැනීම ඉක්ම වූ අපරිමිත සාමයෙන් පිරිපුන් සමාජයක් ගොඩනංවා ගැනීම උදෙසා මේ වෙසක් දිනයෙහි සියල්ලන් ම ඇප කැප වී ක්‍රියා කළ යුතු බව ය.

“භීතිය, සාමය, අන්තරා විරහිත අන්‍යොන්‍ය විශ්වාසය සහිත මෛත්‍රී සහගත සමාජයක උදාව පිණිස භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ වෛරයෙන් වෛරය නොසන්සිඳේ අවෛරයෙන්ම සන්සිඳේ යන සනාතන සත්‍යය කෙරෙහි අප යළි යළිත් අපගේ සිත් පිහිටුවාලීම කෙරෙහි වීර්යවත් විය යුත්තේ මෙබඳු මොහොතකය.”

ශ්‍රී ලංකාවේ සියලු ජාතීන් අතර එකමුතුකම හා එක්සත්භාවය ඇති කිරීම වෙනුවෙන් හැකි ඕනෑම කටයුත්තක් ක්‍රියාවට නැංවීමට තමන් සූදානම් බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් මහතා ද සඳහන් කරයි.

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ ජාතික තව්හිද් ජමාත්, ජමාතෙයි මිල්ලාතු ඊබ්‍රහිම් හා විල්ලයාත් අස් සෙයිලානි යන අන්තවාදී සංවිධාන 3ක් තහනම් කිරීමට මෛත්‍රී ජනාධිපතිවරයා පියවර ගෙන ඇත්තේ ද රටේ ජාතින් අතර සමගිය තහවුරු කිරීමට හා අන්තවාදය මැඬලීමට බවද නිසැකය. පසුගිය දිනවල චීනයේ ජගත් සමුළුවකට එක් වූ ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට චීන ජනාධිපති ෂී ජින් පින් මහතාගෙන් ද මෙරටේ ත්‍රස්තවාදය දුරලීම සඳහා අගනා සහායක් ලැබී ඇත. ත්‍රස්තවාදය මෙරටින් මුලිනුපුටා දැමීමට අවශ්‍ය කටයුතු සඳහා රුපියල් කෝටි 150 ක විශේෂ පරිත්‍යාගයක් කළ චීන රජය සිය පෙරදිග මිතුරා වන ශ්‍රී ලංකාව සමඟ නිරන්තර සහයෝගයෙන් සිටින බවට ප්‍රතිඥාවක්ද දී ඇත. මෛත්‍රී ජනාධිපතිවරයාගේ චීන සංචාරයේ අරමුණ වූයේ ජගත් රාජ්‍ය නායකයන් ද එක් වන ආසියානු ශිෂ්ටාචාර පිළිබඳ සමුළුවකට සහභාගි වීමට ය. චීනය මෙන්ම ශ්‍රී ලංකාව ද ස්වකීය ශිෂ්ටාචාර ගමනේ දී බෞද්ධ සංස්කෘතිය සමඟ හිමිකර ගත් සාරධර්ම හා මානුෂික හර පද්ධතීන් ගෙන් සුපෝෂණය වූ බව නිසැක ය. ඒත් ඒ සංස‍්කෘතික හුය පට සිඳලීම සඳහා ගෝලීය ත්‍රස්තවාදයත් වෙනත් සංස්කෘතික ආක්‍රමණත් ඉතිහාසය මුළුල්ලේ ම සිදු වී තිබේ. පසුගියදා උද්ගත වූ මුස්ලිම් අන්තවාදී ප්‍රහාරයේ අග්නිජාලාව තුළ දිඳුළන්නේ ද ඒ ම්ලේච්ඡ අනතුර බව අපි දනිමු. ඒ අනතුරෙන් රටත් සියලු ම ජනතාවත් මුදා ගැනීමේ මානුෂික මෙහෙයුමේ නියමුවා බවට මෛත්‍රී ජනාධිපතිවරයා පත්ව සිටියි. දේශපාලන ප්‍රතිවාදීන්ගේ වාග් ප්‍රහාර වලින් ද ආගම්වාදී හා ජාතිවාදී මෝඝ පුරුෂයන්ගේ අශිෂ්ට ප්‍රහාර වලින් ද බිඳී ගිය ජනතා ආධ්‍යාත්මය සුපුෂ්පිත කිරීමේ අභියෝගය සුළු පටු නොවන බව අපි සියල්ලෝ ම වටහා ගත යුතු වෙති. මානව වර්ගයාගේ යහපත, විමුක්තිය උදෙසා කැපවීම හැම ආගමකම හරය වුව ද ආගමික සංහිඳියාව අද කෙමෙන් ඈත්වෙමින් තිබෙන බව ද රහසක් නොවේ.

මේ ලොව කෙබඳු නුවරක කවර ගමක ජීවත් වුවද විද්‍යා තාක්ෂණයේ අනේක විධ මෙවලම් වලින් සන්නද්ධ වුවද පුද්ගල ජීවිතය තුළ ඇත්තේ අසංතෘප්ත හැඟීම් සමුදායක් බව අප දෑස් අබියස සනාථ වෙමින් තිබේ. පුද්ගලයා යනු තෘෂ්ණාවෙන් භරිත වූ ධන ලෝභී, කාම ලෝලී, ප්‍රචණ්ඩ සාහසිකත්වය කරා සැණකින් යොමු කළ හැකි රූපකායක් බව බුදුන් වහන්සේ නොයෙක් වර අවධාරණය කළහ. පුද්ගල මනස හා ලෝක ස්වභාවය පිළිබඳ ව බුදුන් වහන්සේගේ අනාවරණය අද විද්වත් ලෝකයම අනුමත කර තිබේ. බුදුන් වහන්සේ කිසිවිටෙක ආත්මනාශය හෙවත් තමන් විනාශ කර ගැනීම අනුමත නොකළහ. අගාමික අන්තවාදය විසින් වල්මත්වු සමාජයක් බුදුන් වහන්සේ ජීවමානව සිටි සමයෙහිද විය. පුද්ගලයාගේ ක්‍රියා කලාපය විනිශ්චය කළ යුත්තේ පිවිතුරු බව, බුද්ධිය හා මුලාවෙන් තොරවීම යන කරුණු මත පදනම්ව බව බුදුහු වදාළහ. භගවත් ගීතාවේ දැක්වෙන්නේ ද ගැටුම හටගන්නේ බුද්ධිය හා හැඟීම් අතර බව ය. එනිසා සිත ශක්තිමත් කළ යුත්තේ සාමය සහජීවනය යන පදනම මත ය.

බුදුන් වහන්සේ මිනිස් සන්තානය හා සොබා දහම අතර පවත්නා බැඳීම මෙන්ම ඒ ඔස්සේ පුද්ගලයා සතු වන ආධ්‍යාත්මික වර්ධනය පිළිබඳව ද නොයෙක් තැන්හි පෙන්වා වදාළහ. ආර්ථික හා භෞතික දියුණුවට වඩා ආධ්‍යාත්මික සංවර්ධනයේ අගය බුදුන් වහන්සේ නිතරම අවධාරණය කළහ. බුදු දහම වසර දෙදහස් හයසියයකට පමණ පෙර ඉන්දියාව පසුබිම්ව විග්‍රහ කළත් එය ලොවට ම පොදු දහමක් විය. අපේ රටේ බුදු දහම ලාංකික ලක්ෂණ වලින් අලංකාර වී තිබෙන අතර ජපානය, චීනය, බුරුමය නිබ්බතය ආදී රටවල ද ඒ ඒ සංස්කෘතික පසුබිම අනුව එය වර්ධනය වී තිබේ.

අද අප මුහුණ දී සිටි එක් උභතෝකෝටිකයක් වන්නේ ආගමික අන්තවාදය විසින් පතුරුවනු ලබන භීෂණයට මුහුණ දිය හැක්කේ කෙසේද? යන්නයි. බුදුන් වහන්සේ අම්බලට්ඨිකා රාහුලෝවාද සූත්‍රයෙහි මෙබඳු උපදේශයක් දෙති.

“ඔබ සෑම ක්‍රියාවක් කරන විටත් හැම වචනයක් ම පවසන විටත් හැම සිතුවිල්ලක් ම සිතන විටත් නැවත නැවත ප්‍රත්‍යවේක්ෂණය කරන්න. ඔබට යමක් කිරීමට අවශ්‍ය වූ විට එය තමාගේ හෝ අනුන්ගේ හෝ දෙපක්ෂයේ ම විපතට හේතු වේද? එයින් දුකක් පීඩාවක් සිදු වේද? යන්න ප්‍රත්‍යවේක්ෂණය කළ යුතුය. ප්‍රත්‍යාවේක්ෂණයෙන් එය දුකට නොව සැපතට පමණක් හේතු වේ යැයි නිශ්චිතව හැඟෙයි නම් එය කිරීමේ වරදක් නැත.”

ලෝකය හා සමාජය නිශ්චය කිරීමට බුදුන් වහන්සේ විසින් දල්වන ලද ප්‍රඥාලෝකය අතිශයින් ම ප්‍රබල ය. හොඳ නැතහොත් යහපත සඳහා වු මානව සමාජයක් ගොඩනඟා ගැනීමට එයටත් වඩා උපදේශයක් අවශ්‍ය ද? ඉස්ලාම් ආගමික ඉගැන්වීම් අල්ලාගේ කැමැත්තට ඉඩ දෙයි. එහෙත් බුදුන් වහන්සේ නිදහස් චින්තනයට ඉඩ දිය යුතු බව අවධාරණය කරති. කාලාම සූත්‍රයේ එන විවරණය වෙනත් කිසිදු ආගමක නොදැක්වෙයි. අප ඒ කරුණ අවධාරණය කරන්නේ අනෙක් ආගම් වලට ගැරහීමට නොව බුදු දහම හා චින්තන නිදහස පිළිබඳ පවත්නා දැඩි සබඳතාව තහවුරු කිරීමට ය.

කාලාමයන්ගේ කේසපුත්ත නිගමෙහිදී ඔවුන් විසින් බුදුන්ගෙන් අසන ලද ප්‍රශ්න මෙන්ම බුදුන් වහන්සේ ඒවාට දෙන ලද පිළිතුරුවලින් ද සමලංකෘත වු කාලාම සූත්‍රය බෞද්ධ චින්තනයේ උච්චතර ප්‍රකාශනයක් බව අද ජගත් විද්වත්හු ද පිළිගනිති. කිසියම් දෙයක් විශ්ලේෂණය කළ යුත්තේ නිරවුල් හා නිදහස් මනසකින් බව බුද්ධ වචනයයි. තමන්ගේ විශ්වාස හා බැඳීම්වල සිරකරුවකු වීම ඒ නිදහස් චින්තනයට බාධාවක් බව එහි අර්ථයයි. බුදුන් වහන්සේ පෙන්වා වදාළ පරිදිම එබඳු බැඳීම් නිසා සත්‍යයේ රුවන් දොර වැසෙයි. අද සමාජය තුළ උද්ගතව තිබෙන ව්‍යාකූලත්වයට ප්‍රබල හේතුවක් වී ඇත්තේ ද එබඳු සමාජ දේශපාලන ආගමික හා වෙනත් බන්ධන වලින් මිදීමට අපහසු වීම ය. තම පක්ෂයට තම බල අරමුණට පක්ෂපාතී වු සමාජයක අපි සිරව සිටිමු. විවිධ දේශපාලන හා පෞද්ගලික න්‍යාය පත්‍ර වලට අනුකූලව සත්‍යය අඳුරේ තැබීම වරදක් පමණක් නොව අපරාධයක් බව ද පිළිගත යුතුය. ලාභ අපේක්ෂාවෙන් රෝගී වු සමාජ ක්‍රියාකාරකම් සිදුවන්නේද එබඳු වාතාවරණයක ය.

චීනයේ බීජිං නුවර පැවති ආසියානු ශිෂ්ටාචාර පිළිබඳ ජගත් සමුළුව ඇමතූ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඉතා ව්‍යක්තව හා සුපැහැදිලිව සඳහන් කළේ අද සමාජය පීඩනයට පත්ව තිබෙන විවිධ ගැටුම්, අසහනකාරී ආවේගයන් මැඬගත හැකි වන්නේ හැම කෙනෙකුගේම සංස්කෘතික අනන්‍යතාවට, ජාතිකත්වයට හා ශිෂ්ටාචාරයට ගෞරව කිරීමෙන් බව ය. විවිධ ගෝලීය දර්ශනයන් තුළ අපට අනන්‍යවූ ශිෂ්ටාචාරයක් හා සංස්කෘතියක් තිබෙන අතර ඒවාට එල්ල වන අභියෝග වලට මුහුණ දීම සඳහා ලොවම අත්වැල් බැඳ ගත යුතු බවද මෛත්‍රී ජනාධිපතිවරයා කියා සිටියේය. ලෝකය හා සමාජය දෙස විවිධ දෘෂ්ටීන් වලින් බැලීමට තිබෙන නිදහසට අපි ගරු කරමු. එහෙත් කිසිවකුට අප සතු සංස්කෘතික උරුයමන්ට හා ශිෂ්ටාචාරයට උඩින් පැන යා හැකිද යන්න නම් ප්‍රශ්නයකි. මෛත්‍රී ජනාධිපතිවරයා එහිදී පළ කළ අදහස් වලින් බිඳකි මේ.

“අප කුඩා රටක් වුවත්, කුඩා ජාතියක් වුවත් අපට තිබෙන අනන්‍යතාව, පෞඩත්වය ශ්‍රී ලංකා ඉතිහාසය විශේෂයෙන් වසර පන්දහසකට වැඩි දීර්ඝතම කතාවක් සඳහන් වෙනවා. ශ්‍රී ලාංකික ශිෂ්ටාචාරය ගොඩනැඟී ඇත්තේ වසර 2600කට වැඩි බෞද්ධ ශිෂ්ටාචාරයකට අනන්‍ය වූ බෞද්ධ ශිෂ්ටාචාරයේ පදනම මත. විශේෂයෙන් බෞද්ධ දර්ශනයන් යනු ආගමක් නොව දර්ශනයක් යන ප්‍රතිපත්තියේ පිහිටා කටයුතු කරන අවස්ථාවකයි.”

ලංකාව සිංහල බෞද්ධ රටක් නොවේ යැයි කියද්දී අත්පොළසන් දෙන අය සිටියත් ඒ කිසිවකුට වුවද ජනාධිපතිවරයාගේ මේ අදහස් ප්‍රතික්ෂේප කළ හැකි යැයි අපි නොසිතමු. සත්තකින් ම අද සිංහල, දෙමළ, මුස්ලිම් ආදි සියලු ජන කොටස් වලට අවශ්‍යව ඇත්තේ ත්‍රස්තවාදයේ බියත් ආගමික අන්තවාදයේ අඳුරත් පරාජය කර නිදහසේ ජීවත්විය හැකි දේශයක් නිර්මාණය කර ගැනීම ය. සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක සිහිනය ඒ සියල්ලෝම දකිමින් සිටිති. මිනිස් ක්‍රියාකාරිත්වයට පදනම් වන්නේ කාලය හා සම්ප්‍රදාය විසින් සංශෝධනය වන උසස් සමාජ ක්‍රමයක් බිහිකර ගැනීමේ අරමුණ ය. පැරණි සමාජ ක්‍රමය හා ඇතැම් වටිනාකම් අවිචාරයෙන් වැළඳ ගැනීමද බුද්ධිමත් ක්‍රියාවක් නොවන බව අප වටහා ගත යුතුය. බෞද්ධ දෙමළ හින්දු මුස්ලිම් භේද සියල්ල සමාජය උසි ගැන්වීම සඳහා සමහරු අවි ලෙස අතට ගනිති. මහා කරුණාව සහ මහා ප්‍රඥාව මත ගොඩනැඟුණු බෞද්ධ සමාජය තුළ සියලු ජාතීන්ට නිදහසේ ජීවත් වීමට කිසිදු බාධාවක් නැත. ජාති, ආගම්, කුල, ගෝත්‍ර ආදී සියලු භේදයන්ගෙන් කොටු වු පුද්ගල සමාජයට ඉන් නිදහස් වනතෙක් ලෞකික වශයෙන් මෙන්ම ආධ්‍යාත්මික වශයෙන් ද සැනසීමක් නොමැති බව බුදුහු අවධාරණය කළහ. සමානත්වයෙන් හා සහජීවනයෙන් තොර වූ දේශපාලන අනාථයන් ගෙන් සමාජ සේවයක් අපේකෂා කළ නොහැකි බව ද අප සිහියේ තබා ගත යුතුය. සමාජවාදය, ප්‍රජාතන්ත්‍රවාදය වචන වලට පමණක් සීමා වූ අබුද්දස්ස යුගය අවසන් කර ප්‍රතාපවත් උතුම් මානව සමාජයක් උදා කර ගැනීමේ සත් චේතනාව මේ උතුම් වෙසක් පුන් පසළොස්වක දා සියලු ජන හදවත් තුළ රැව් දේවායි පතමින්ම ඈත අහස් කුස සුදිලෙන වෙසක් සඳ දෙස බලා නිවී සැනසෙත්වායි ලියා තබමි.

අදහස්