වෙස‍ඟේ සිරිය මවමින් එළි දකින වෙසක් මුද්දර | Page 2 | සිළුමිණ

වෙස‍ඟේ සිරිය මවමින් එළි දකින වෙසක් මුද්දර

‍මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් තැපැල් දෙපාර්තමේන්තුව විසින් මුද්දර තුනක් නිකුත් කරනු ලැබුවේ පසුගිය මැයි 07 වැනි දාය. එය බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේදී සිදු කෙරිණි. එම මුද්දර ත්‍රිත්වයේ වටිනාකම් රු.10/-, රු.15/- හා රු.45/- ලෙස දැක්වේ. “අකුසල් දුරු කරමු - කුසල් වඩමු” තේමාව යටතේ සිතුවම් කළ මෙම මුද්දර ත්‍රිත්වයට පාදක වී තිබෙන්නේ කුද්දාල ජාතකයයි. මෙය සිතුවමට නඟා තිබෙනනේ සමන්ති මීරියගල්ල චිත්‍ර ශිල්පිනිය විසිනි. මෙම මුද්දර තුනට අමතරව මුල්දින කවරය හා සමරු පත්‍රිකාව ද ඈ නිර්මාණය කර තිබේ.

ඈ පසුගිය වසරේ දී ද (2018) රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් මුද්දර තුනක් සිතුවම් කළාය. ඊ‍ට පාදක වූයේ චුල්ල සුතසෝම ජාතකයයි. එම මුද්දර තුනෙහි වටිනාකම් වූයේ රු.10/-, රු.15/- හා රු.35/- ය. 2018 වසරේදී ද මෙම වෙසක් මුද්දරවලට අමතරව මුල්දින කවරය සහ සමරු පත්‍රිකාව ද නිර්මාණය කළේ සමන්ති මීරියගල්ල විසිනි.

ඇයට වෙසක් මුද්දර සිතුවම් කිරීමට මග පෑදුනේ 2016 දී කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයෙන් “ලෝක ළමා දිනය” උදෙසා මුද්දරයක් නිර්මාණය කිරීමේ රාජකාරිය ඇයට පැවරීමෙනි. ඉන් අනතුරුව 2017 වර්ෂයේදී ලෝක ළමා දිනයේ නිල ලාංඡනය (logo) නිර්මාණය කිරීම භාර වූයේ ද සමන්ති මීරියගල්ලට ය.

“මම චුටි කාලේ ඉඳලාම අතට අහුවුණ හෑම එකකම චිත්‍ර ඇන්දා. අපේ අම්මා කියනවා මාව ලැබෙන්න කොළඹ සොයිසා රෝහලේ ඉන්න දවස්වල අම්මාට හිතුණෙම ඈත පෙනෙන තොරණ බලන්නලු. මොකද මම මැයි මාසයේ ඉපදිලා තිබෙන්නේ. මම මවුකුසේ ඉන්න කාලෙදීත් චිත්‍රවලට කැමැත්තෙන් ඉන්න ඇති කියලා අම්මා හැමතිස්සේම කියනවා. ඊට පස්සේ අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වා චිත්‍ර විෂයක් හැටියට ඉගෙනගත්තා. උසස් පෙළ දී චිත්‍ර ඉගෙනගත්තේ නැහැ. ඒත් තනිවම චිත්‍ර ඇඳලා ප්‍රගුණ කළා. සිබිල් වෙත්තසිංහ මහත්මියගේ වැඩමුළුවලට සහභාගි වූණා. මම කැමතිම චිත්‍ර ශිල්පීන් හැටියට බන්දුල හරිශ්චන්ද්‍ර සහ සිබිල් වෙත්තසිංහ හඳුන්වන්න පුළුවන්. ඒ නිසා මම ඔවුන්ගේ චිත්‍රවල ආභාසය ගත්තා ද කියලා වෙලාවකට හිතෙනවා.” යනුවෙන් සමන්ති මීරියගල්ල අද පැමිණි ගමන්මගට අඩිතාලම සැකසුණු අයුරු විස්තර කළාය. ඈ චිත්‍ර ශිල්පිනියක් ලෙස භෞතීස්ම ලබන්නේ “චණ්ඩි” ළමා පත්තරයට චිත්‍ර ඇඳීමෙනි. ඈ එම පුවත්පතේ චිත්‍ර ශිල්පිනියක් හා මාධ්‍යවේදිනියක් ලෙස කටයුතු කළාය. පසු කලෙක “යුවති” පුවත්පතට සම්බන්ධ වූවාය. ඊ‍ට අමතරව ඈ ළමා පොත් කවර නිර්මාණය කරන්නීය. දිනමිණ පත්‍රයේ නිදහස් මාධ්‍යවේදිනියක් ලෙස ද නිරත වන ඇගේ මාධ්‍ය දිවියට මේ වන විට වසර 25ක් ගත වී තිබේ. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සංවර්ධන නිලධාරිනියක ලෙස සේවයේ යෙදී සිටින සමන්ති මීරියගල්ල ළමා පොත් කීපයක් ද රචනා කර ඇත. ඒ හැර හඬ කැවීමේ ශිල්පිනියක් හා තේමා ගීත රචිකාවක් වශයෙන් ද සිය කුසලතා ප්‍රදර්ශනය කර ඇත.

“මම ක්ෂේත්‍ර කීපයක නිර්මාණකරණයේ යෙදී සිටිනවා. ඒ අතරින් මුද්දරවලට චිත්‍ර ඇඳීම මට විශේෂයි. මොකද මුද්දරය කියන දේ ලෝකය පුරා යනවා. අපේ රටේ ආගමික හා සංස්කෘතික හර පද්ධතින් ලෝකයට කියාපෑමේ හොඳ මාධ්‍යයක් හැටියට මුද්දරය හඳුන්වන්න පුළුවනි. ඒ නිසා මුද්දරවලට චිත්‍ර අඳින්න මම වඩාත් කැමතියි.” යනුවෙන් පැවසුවේ සමන්ති මීරියගල්ල ය. මේ වන විට ඈ සිතුවම් කළ මුද්දර ගණන හතකි.

Comments