‘වෙසක් උත්සවයේ ප්‍රභවය හා විකාශය’ | Page 2 | සිළුමිණ

‘වෙසක් උත්සවයේ ප්‍රභවය හා විකාශය’

බෞද්ධයින්ගේ වැදගත්ම ආගමික උත්සවය වෙසක් උලෙළයි. බෝසත් උපත - බුදුබව ලැබීම - බුද්ධ පරිනිර්වාණය වෙසක් පසළොස්වකදා සිදුවිය. ලාංකිකයින්ට වෙසක් පෝය වැදගත් වන සිද්ධි කීපයකි. විජය කුමරු ඇතුළු මුල් ආර්ය පිරිවර සහිතව සිදුවන විජයවතරණ, දෙවනපෑතිස් රජ කල (ක්‍රි.පූ. 250 – 210) රාජාභිෂේක ක්‍රමය හඳුන්වා දීම, දුටුගැමුණු රජු රුවන්වැලිසෑයට මුල්ගල තැබීම වෙසක් පසළොස්වකදා සිදුවී ඇත. ‘නිකාය සංග්‍රහය’ අනුව බෝසත් උපත - බුදුවීම - පිරිනිවන - වීසා නැකැතින් උදා විය. මේ අනුව වීසා නැකතින් වෙසක් පොහොය උදාවීම ඉතා සුබ ලෙස එදා සිංහලයන් සැලකූ බව ‘ශාස්ත්‍රිය ලිපි හා කතා’ ග්‍රන්ථයේදී චාර්ල්ස් ගොඩකුඹුරේ පෙන්වා දෙයි. එහෙත් හැමවිට ම වීසා නැකැතින් වෙසක් උදා නොවෙයි. බුදුන් තුන්වැනි වර ලංකාවට වැඩියේ ද වෙසක්පුර ප‍සළොස්වකදාකයි.

මහාවංශය අනුව දඹදිව අශෝක රජුගේ අනුග්‍රහය ඇතිව දෙවනපෑතිස් රජු පළමු රාජ්‍ය අභිෂේකය වෙසක් පසළොස්වකදා ලැබුවේය. මේ අනුව සිංහල රජුන්ගේ රාජාභිෂේක සම්ප්‍රදාය වෙසක් පෝයදාක ‍ආරම්භ විය. ඒ සිහි කිරීමට අවුරුදු පතා වෙසක් පසළොස්වකදා රජවරු ඔටුන්න ගළවා නැවත අභිෂේකය ලැබීමේ චාරිත්‍රයක් ලංකාවේ තිබූ බව පෙනේ. මේ චාරිත්‍රය අනුව රජවරුන්ගේ ඔටුනු දැරූ කාල සීමාව එදා ගණන් බලා ඇති බව පරණවිතාන මහතා කියයි. උදාහරණ ලෙස ‘අලකේශ්වර යුද්ධය’ වංශ කතාව හා ඔරුවල සන්නස අනුව, කෝට්ටේ හයවන පරාක්‍රමබාහු රජු (ක්‍රි.ව. 1412 – 1467) ඔටුනු පනස් පහක් දැරූ බව කියයි. මේ අනුව වෙසක් උත්සව පනස් පහකදී මේ රජු නැවත නැවත අභිෂේකය ලබා ඇත. දුටුගැමුණු රජු රුවන්වැලිසෑයට මුල්ගල තැබුවේ ද වෙසක් පසළොස්වකදාක වීසා නැකතිනි.

වෙසක් උලෙළේ ආරම්භය දඹදිව දී සිදුවුණු බව පෙනෙයි. අශෝක රජුගේ හතරවන ගිරි ලිපියේ ඒ පිළිබඳ ඉඟියක් එයි. එම ගිරි ලිපිය අනුව රජු රටවැසියන්ට විමාන - ඇතුන් - දිව්‍යමය රූප ප්‍රදර්ශනය කරවා ඇත. පස්වන සියවස ඉන්දියාවට, ආ චීන ජාතික පාහියන් හිමි ඛොටාං නුවරදී අවුරුද්දේ දෙවැනි මාසයේ හෙවත් වෙසක් මස පිළිම පෙරහරක් දුටු බව කියයි.‍ මේ අනුව පාහියන් හිමි දුටුවේ වෙසක් උත්සවයක් බව පෙන‍ී යයි. අශෝක රජුටත් පෙර දඹදිව ඇරැඹුණු වෙසක් උත්සවය දෙවනපෑතිස් රජුකල ලංකාවට පැමිණි බව පෙනී යයි.

මහාවංශය, ඇතුළු ලාංකික වංශ කතාවල පළමුවරට වෙසක් උත්සවයක් ගැන සඳහන් වනුයේ දුටුගැමුණු රජු කලයි. (ක්‍රි.පූ. 161 – 137) වෙසක් උලෙළ රාජ්‍ය අනුග්‍රහය ඇතිව පළමු වරට සකස් වූයේ දුටුගැමුණු රජු කළ බව සිතිය හැක. “මහාවංශය හා පූජාවලිය” අනුව දුටුගැමුණු රජු වෙසක් උත්සව විසි හතරක් පවත්වා ඇත. මහාවංශය හා මහාවංශ ටිකාව අනුව භාතිකාභය රජු (ක්‍රි.පූ‍ 19 - ක්‍රි.ව. 9) වෙසක් උලෙළ පවත්වමින් කිරිබත් පූජාව මහාදාන දීම් කර ඇත. වසභ රජු (ක්‍රි.ව‍. 67 – 111) වෙසක් උත්සව හතළිස් හතරක් පැවැත්වූ අතර ඒ පින්කම් හේතුවෙන් වසභ රජුගේ ආයුෂ ද වැඩි වූ බව බෞද්ධ සාහිත්‍යය දක්වයි. වෝහාරතිස්ස රජු (ක්‍රි.ව. 214 - 236) අවුරුදු පතා තුන් සිවුරු පූජා කළ වෙසක් උලෙළ පැවැත්වූ බව මහාවංශය කියයි. ගෝඨාභය රජු (ක්‍රි.ව. 256 – 286) මහා වෙසක් පූජා කළ අතර ජෙට්ඨතිස්ස රජු මහා විහාර හා පෙරහර කොට වෙසක් උත්සවය කළ බව මහාවංශය සඳහන් කරයි. දළ මුගලන් හෙවත් තුන් වැනි මුගලන් රජු (ක්‍රි.ව. 618 – 623 බොහෝ වෙසක් චාරිත්‍ර ඉටුකර ඇත. තුන්වැනි සේන රජු (ක්‍රි.ව. 853 – 887) දුප්පත් රටවැසියා හා එක්ව බත් - වස්ත්‍ර දන් දුන් බව මහාවංශය පෙන්වා දෙයි. පොළොන්නරුවේ මහා පරාක්‍රමබාහු රජු (ක්‍රි.ව. 1153 – 1187) වෙසක් උත්සව පැවැත්වූ බව ‘පූජාවලිය’ සඳහන් කරයි.

චූලවංශයේ වෙසක් උත්සව ගැන සටහන්වලදී ‘වෙසඟ කෙළි’ (වෙසා - ඛ ඛීලං) යයි සඳහන් වේ. මේ අනුව මුලදී ආගමික කටයුතුවලට සීමා වූ වෙසක් උලෙළ පසු කළ වනවිට මහායානයේ පැතිරීම - හින්දු භක්තිවාදය පැතිර යාම, නිසා ආගමික මුහුණුවර ඉක්මවා ගොස් සැණකෙළියක මුහුණුවර ගත් උත්සවයක් විය. ‘ශාස්ත්‍රීය ලිපි හා කතා’ ග්‍රන්ථයේ චාර්ල්ස් ගොඩකුඹු‍රේ කියන පරිදි නම වන සියවසට පමණ පසු වෙසක් උලෙළ ජාතික සැණකෙළියක් වී ඇත. ප‍ූජාවලිය හා සුළු රාජාවලිය අනුව පොළොන්නරු කල වනවිට වෙසක්, උලෙළට දියකෙළියක් ද එකතු වී ඇත. එදා වෙසක් උත්සවවලදී සිල්වතුන් හා දුඟියන්ට කිරිබත්, පිදීම - භික්ෂූන්ට තුන් සිවුරු පිදීම මහා විහාර පහේ පෙරහර පැවැත්වීම රටවාසීන් හා දුඟී මඟීන්ට බත් - වස්ත්‍ර පූජාව - පන්සල් යාම - සිල් සමාදන් වීම - ධර්ම දේශනා පැවැත්වීම - දන්සල් දීම - වන්දනා ගමන් යාම සිදු විය. ශ්‍රී පාද වන්දනා සමය වෙසක් මහෙන් නිම වෙයි.

‘මන්දාරම්පුර පුවත’ ඉතිහාසය කාව්‍ය අනුව දෙවැනි රාජසිංහ රජු (ක්‍රි.ව. 1636 – 1687) වෙසක් දා රටවැසියා හා එක්ව මහනුවර දළදා මැඳුරේ පුදපූජා පවත්වා ඇත. මුංකොටුවේ රාල ලිවූ ‘සඟරාජවත’ ග්‍රන්ථය අනුව කීර්ති ශ්‍රී රාජසිංහ රජු (ක්‍රි.ව. 1747 – 1782) වෙසක්දා සිරකරුවන් නිදහස් කර තිබේ. මුල් කාලවල පහන්වැට දැල්වීම - තොරණ බැඳීම ගැන සටහනක් නැත. රොබට් නොක්ස්ගේ ‘ලංකා විස්තරය’ අනුව පහන්වැට දැල්වූයේ ඉල් මස කාර්තික උලෙළටයි. පොළොන්නරු යුගයට පසු වංශකතාවල වෙසක් උලෙළ ගැන සටහන් සොයා ගැනීම අසීරු ය. රොබට් නොක්ස් හා ඩේවි වෙසක් ගැන සඳහන් නොකිරීමෙන් මේ වනවිට ලංකාවේ වෙසක් උලෙළ යටපත්ව තිබූ බව චාර්ල්ස් ගොඩකුඹු‍රේ කියයි‍. මේ අදහස මුළුමනින් ම නිවැරැදි නැත. හේතුව වංශ කතාවල අඩුවෙන් වෙසක් උලෙළ ගැන සඳහන් වීමයි. සෙංකඩගල කල ලියවුණු ‘නරේන්ද්‍රචරිතාවලෝකනප්‍රදීපිකාව’ අනුව කීර්ති ශ්‍රී රාජසිංහ රජු වෙසක් උත්සව දහ අටක් පවත්වා ඇත. රාජාධිරාජසිංහ රජු (ක්‍රි.ව. 1782 – 1798) වෙසක් උත්සව ඉටු කළ බව ‘සුළු රාජාවලිය’ කියයි. ‘නරේන්ද්‍රචරිතාවලෝකනප්‍රදීපිකාව’ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු (ක්‍රි.ව. 1798 – 1815) වෙසක් උත්සව කළ බව කියවෙයි.

පෘතුගීසි හා ඕලන්ද යුගවල වෙසක් උලෙළ පහත රටින්, යටපත්ව ගියේය. 1815 පසු උ‍ඩරට ද එය යටපත්විය. එයට හේතුව ක්‍රිස්තියානිය පැතිර යාමයි.

ඉන්පසු පානදුරාවාදයෙන් ඇතිවූ ප්‍රබෝධය - 1885 ඕල්කට්තුමා පැමිණ පරම විඥාණාර්ථ බෞද්ධ සමාගම පිහිටුවීම - 1885 බෞද්ධ කොඩිය ආරම්භය - මිගෙට්ටුවත්තේ ගුණානන්ද හා හික්කඩුවේ සුමංගල වැනි හිමිවරුන්ගේ කැපවීම - සරසවි සඳරැස වැනි පත්‍ර කළ සටන නිසා යළිත් ජාතික ප්‍රබෝධයක් ඇති විය. වෙසක් පෝය රජයේ නිවාඩුවක් බවට පත් විය. 1894 ඇල්බට් ද සිල්වා ‘වෙසක් දූතයා’ නවකතාව ලියා ඇත.

1885 අධි වෙසක් පසළොස්වකදා පළමු වරට ෂඩ් වර්ණ බෞද්ධ කොඩිය උත්සවාකාරයෙන් එසවීය. වෙසක් කඩදාසිවලින් සැරසිලි කිරීම - වෙසක් සුබ පැතුම් යැවීම - ඉටි පහන් දැල්වීම - බකට් හා වෙසක් කූඩු දැල්වීම - නත්තල් - කැරොල් ආශ්‍රයෙන් බෞද්ධ භක්ති ගීත කණ්ඩායම් වීදි සංචාරය මෑත ඉතිහාසයේ බෞද්ධ ප්‍රබෝධය නිසා එක්වූ සංස්කෘතිකාංග කීපයකි.

 

වත්තේගම හිටපු 

කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ

එස්.කේ.ජයවර්ධන

අදහස්