මවුකිරි ඇතත් බිඳක් හෝ තොල ගෑමට වාසනාව නැති මේ සිඟිත්තියට පිහිට | සිළුමිණ

මවුකිරි ඇතත් බිඳක් හෝ තොල ගෑමට වාසනාව නැති මේ සිඟිත්තියට පිහිට

ඒ සිඟිති දියණිය සිටියේ ජීවිතය සමග පොරබදමිනි. නාසයෙන් ඇතුළු කළ සිහින් බටයක් සහිතව ඇය උපන් දා සිටම ගත කරන ජීවිතය දකින කාටත් සිතේ මහා වේදනාවක් උපදවයි. සුරතල් පෙනුම සඟවාගෙන එන රිදීමක් ඒ මුවෙහි සැඟවී තිබේ. කිරිකැටි දෑත් විටෙක ගැහෙමිනි. එහෙත් අවට ලෝකයට ඇය සංවේදීය. මම සෙමෙන් ඇය ඇමතීමි.

“චෙනුති...”

සිඟිති දියණිය අසීරුවෙන් හිස ඔසවා බලා වේදනාවෙන් සිනාසුණාය.

“මේක හරිම වේදනාවක්. දරුවාට කන්න ටිකක් දෙන්න බෑ. මට මගෙ කිරි ටිකක් දෙන්න බෑ. අපේ ඇස් ඉස්සරහ මේ පොඩි එකා නැති වෙනවා බලන්නෙ කොහොමද?” චෙනුතිගේ අම්මා අනූෂා රසාදරී ඉකිය සඟවාගෙන හඬ අවදි කළාය. ඇය ගෘහිණියකි. ඇයගේ සැමියා සුභාෂ් වීරක්කොඩි මීරිගම ප්‍රාදේශීය සභාවේ සේවකයෙකි. ඔවුන් පදිංචිව ඉන්නේ වේයන්ගොඩට නුදුරු කුඹල්ඔළුව ගම්මානයේය.

ඇත්තටම එය වටහා ගත නොහැකි කර්මයකි. මරණය පිළිගත හැකිය. එහෙත් මේ දැරිය මේ විඳින්නේ කුමක් ද? ඇයගේ ශරීරයේ අසාමාන්‍ය ලෙස ප්‍රෝටීන් වැඩෙන්නේය. මවු කිරි ස්වලපයක්වත් බීමට ඇයට වාසනාවක් නැත. ඇය ජීවත් වන්නේ විදේශයකින් ආනයනය කළ කිරිවලට සමාන විශේෂ ආහාරයකිනි. ඇයට මෙම කිරි වර්ගය නිර්දේශ කරන්නේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය කේ. පී. වීරසේකර මහත්මියයි. මෙම අහාරමය පානය ඇයට අවශ්‍ය වන්නේ කුමක් නිසාද යන්න වෛද්‍යවරිය ඉතා පැහැදිලිව සිය නිර්දේශයේ සටහන් කර තිබුණාය.

ඇය පෙළෙන්නේ පරිවෘත්තීය පද්ධතියේ උපතින් ඇති වූ රෝගී තත්වයකිනි. එහි ප්‍රතිඵලයක් ලෙස ඇයට ජීවත් විය හැක්කේ වෛද්‍ය නිර්දේශ ප්‍රකාරව ලැබෙන මේ අහාරමය පානයෙන් පමණි. ඒ විශේෂ සංයෝගය සහිත PHENYL FREE නැමැති මෙම කිරි විශේෂය දැනට ලංකාවේ නැත. එය විදේශයකින් ආනයනය කළ යුතුය. කිරි ටින් එකක් ආනයනය කරන විට රුපියල් හයදහසකට අධික මිලක් වැයවේ. එවැනි පිටි ටින් හයක්වත් මේ දැරියට මසකට අවශ්‍ය වේ.

ගමක ගොවි පවුලක අතීත සශ්‍රීකත්වය කියන දැකුම් අතර දුක්ඛිත වර්තමානයක සුන්බුන් මම දකිමින් හිඳිමි. නිවෙසේ තැනක් දිරාපත්ය. මැද සාලයේ තැන්පත් කර ඇති විශාල ඡායාරූපයකි. ඒ සේයාරුවේ හුරුබුහුටි දියණියක් මනරම්ව සිනාසෙමින් උන්නාය.

“ මේ මගෙ ලොකු දුව. එයා ලැබුණෙ 2011 දි. අනේ ලොකු දරුවත් ඉපදිලා අවුරුදු එක හමාරයි ගියේ. එයා නැති වුණා. ඉපදිලා මාස දෙකක් යනකොට කිරි වමනය යන්න පටන් ගත්තා. නිතරම දරුවා අඬනවා. ඒ අතර එකපාරටම අපස්මාර ගතිය ආවා. අපි දුව අරන් කොළඹ රිප්වේ ආර්යා ළමා රෝහලට ගියා. එහිදී දරුවට ප්‍රතිකාර කළේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය පද්මකාන්ති විජේසූරිය මහත්මිය. ඒත් ලොකු දුව නැති වුණා.

චෙතුනි ඉපදිලා මාස තුනක් වෙනකම් හොඳට හිටියා. ඉන් පස්සේ නැතිවුණු ලොකු දරුවට තිබුණ රෝග ලක්ෂණ චෙතුනිටත් පෙනෙන්න ගත්තා. වෛද්‍යවරිය කිව්වා මේ පෙනෙන්න තියෙන්නෙ කලින් දරුවට හැදුණු රෝග ලක්ෂණම තමයි කියා. විශේෂ රුධිර පරීක්ෂණයක් තියෙනවා. දරුවා රාගම රෝහලට ඇතුළත් කරන්න කියලා. දරුවා පරීක්ෂණ කීපයකට ලක් කළා. ඒ පරීක්ෂණවලින් කිව්වෙ එයාගෙ ඇඟේ ප්‍රෝටීන් සීඝ්‍රයෙන් වර්ධනය වෙනවා කියලයි. ඒ එක්කම දරුවාගෙ ස්නායු දුර්වලකමක් ආවා. වෛද්‍ය උපදෙස් මත මවු කිරි දෙන එක නැවැත්තුවා. කිරි පිටි එකක් ලියලා දුන්නා. දරුවා නැවත යම් මට්ටමකට අරගන්න පුළුවන් වෙන්නේ මේ ආහාරයෙන් විතරයි කියන එක වෛද්‍යවරු කියනවා. ”

දරුවා නිරාහාරව මිය යනතුරු අම්මා කෙනෙකුට බලා සිටිය හැකි නොවේ. මසකට කිරි පිටි සඳහා පමණක් වැය වන මුදල රුපියල් තිස් හය දහසකට ආසන්නය. මාසිකව සිදුවන රුධිර පරීක්ෂණ වෙනුවෙන් තවත් විසි දහසක්වත් වැය වන බව ඒ අම්මා අපට කීවාය. මෙතෙක් ගමේ හිතවතුන්ගේත්, ඥාති මිත්‍රාදීන්ගෙත් පිහිටෙන් ඇය සිය උපරිමය කැප කර දරුවා ජීවත් කළාය. දැන් අවසාන කාර්තුවට පැමිණ තිබේ. දරුවාගේ ජිවිතය රක්ෂා කර ගැනීමට ඇයට ලතෙත් ඔබ වෙත සිය දෑත් දිගු කරන්නට සිදුවී තිබෙන්නේය.

හැකිනම් ඒ අම්මාට කතා කර ඒ ළදැරියට ජීවත් වෙන්න උදව්වක් කරන්න. ඔබ වැනි කාරුණික මිනිසුන් කතා කරන තුරු ඇය 0719060986 දුරකථන අංකයේ රැඳී සිටින්නීය.

අදහස්