ලෑස්ති වෙනවා දෙන්නම කසාද බඳින්න | සිළුමිණ

ලෑස්ති වෙනවා දෙන්නම කසාද බඳින්න

ඇස් අටක තියුණු බැල්ම කඩු කිණිසි තරමට වේදනාකාරි විය.

“අ.. අනේ.. තුවාලත් වෙලා..” යි ස‍ංවේගයෙන් හූල්ලා වැටෙමින් යුවතිය වෙත යන්නට තැත් කළ ගැහැනිය නවතා ගත් සිරිමාන්න “නංගි කට වහගන්න” යි අණ කළේය.

දුර්වර්ණ රෙදි පටියකින් අතක් වෙලා ගත් අමාලි බලවත් සේ ගිලන් වූවක මෙන් සෝබර හා උදාසීන බැල්මක් හෙළුවාය. ඊට සපුරා වෙනස් අන්දමින් බ්‍රයන් සුපුරුදු කෙළිලොල් තරුණයාගේ භූමිකාව රඟ දක්වන්නට තැත් කළේය.

“මමා..? ඩැඩා...?”

සිය මවුපියන් යෙහෙළියගේ නිවෙසේ දක්නට ලැබීමෙන් තමා විමතියට පත් වූ වග සඟවා ගනිමින් හෙතෙම වියළි සිනාවක් මුවඟ නංවා ගත්තේය.

“බලන්න බ්‍රයන්.. මම මොන තරම් බයවුණාද.. අයියෝ මම බයේ මැරෙන්න ගියා...”

ශ්‍යාමලී බිඳුණු හඬින් ද අඳුරුව ගිය මුහුණින් ද සිය පුත්‍රයා ස්පර්ශ කරන්නට නොඉවසිලිමත් වූවාය. එහෙත් සිරිමාන්න මෙන්ම ඇගේ සැමියා ද ඊට ඉඩ නොදුන්නේය.

“ඔයා දැං යන්න බ්‍රයන්... මටත් මහන්සියි. මම වොෂ් එකක් දාගන්න ඕන..”

සිය පියා මේ කුඩා කණ්ඩායමේ ප්‍රධානියා ලෙස අල්ලන්නට සැරසෙන අඩව්ව අනුමාන කරන්නට අපොහොසත් වූ අමාලි සැහැල්ලුවෙන් පැවසුවාය. එහෙත් ඒ මවාපාන සැහැල්ලුවට යටින් බිය ද සැකය ද මෝදු වෙමින් තිබිණ.

වැඩිහිටි කණ්ඩායම වෙතින් පළවන එදිරිවාදිකම සුළු කොට තැකිය නොහැක.

“වොෂ් එකක් දාගන්න කලින් ලොකු වැඩක් තියෙනවා කරන්න.”

සිරිමාන්න සුපුරුදු අධිපති හඬින් පවසා සිටියේය. බරැති කළුගල් මෙන් ඒ වචන තුරුණු යුවළ මත පතිත විය.

ඒ ලොකු වැඩේ කුමක්දැයි විමසා සිටියේ ඔවුන්ගේ දීප්තිමත් දෙනෙත් මිස වියැළුණු මුව නොවේ. .

“අනේ අයියේ... ඉස්සෙල්ලා අහලා බලමුකෝ මොකක්ද වුණේ කියලා... බයික් එක කැඩුණද... ඇක්සිඩන්ට් එකක් වුණාද. මොනවද වෙන්න බැරි පාරට බැස්සට පස්සෙ කෙනෙකුට.. බලන්න ඉතිං තුවාලත් වෙලානෙ අමාට...”

සුනන්දා අපමණ සිත් තැවුලින් ඉල්ලා සිටියාය. ශ්‍යාමලී ද ඒ ඉල්ලීම ඉත සිතින් අනුමතකරන බව පෙනිණ.

“නෑ ... ඊයෙ රෑ කොහෙද හිටියෙ මොනවද කළේ කියන එක හාර හාර අවුස්සලා බොරු ගොඩකින් කන් දෙක පරවා ගන්න මට කිසිම ඕනකමක් නෑ.”

සිය සොහොයුරාගේ තීරණය වෙනස් කළ නොහැකි බව වටහා ගත් සුනන්දා කඳුළක් පිස දැමුවාය. දෙවසරකට පෙර අතුරුදහන්වූ නෑනන්ඩිය සිහි කරමින් “අනේ ඔයා කොහෙද චම්පා....?” යි කෙඳිරුවාය.

“ලෑස්ති වෙනවා දෙන්නම කසාද බඳින්න.”

සිරිමාන්නගේ හඬ උස්ව හා තිරසාර ලෙස නැගිණ.

චූදිතයෙකු හට මරණීය දණ්ඩනය ලබා දුන් විනිසුරුවරයෙකු මෙන් ඔහු තරුණයා ද තරුණිය ද දෙස බැරෑරුම් බැල්මක් හෙළුවේය.

“වට්?” යි පළමුව හඬ නඟා ඇසුවේ බ්‍රයන් ය.

“පිස්සුද?” යි විමතියෙන් නොව කෝපයෙන් ප්‍රශ්න කළ අමාලි කාමරයට වදින්නට තැත් කළාය. ඇය කිසිවෙකුගේ මුහුණ බැලීමට ප්‍රිය නොකළාය. ඇ‍ඳේ වැතිර දිගු රැයක මතකයේ යළි යළි නිමග්න වීමේ දැඩි අවශ්‍යතාවෙන් මිරිකුණාය.

“පිස්සුත් හැදෙයි තමා තවදුරටත් මේ විගඩම දිහා බලාගෙන සද්ද නොකර හිටියොත්... යාළුවෙක් කිය කියා ඇවිදිනවා. දැං ඊයෙ රෑ තිස්සේත් උඹලා අම්මව හෙව්වද...?”

සිරිමාන්න ඉවසීමේ ඉමතෙක් සපැමිණි වග කියා පාන්නේ ඒ උඹලා යන ආමන්ත්‍රණයයි. අමාලි මඳක් තැති ගත්තාය.

“මමී... මොකක්ද මේ කියන්නෙ? මැරි කරන්න...? මම? අමාව? අයියෝ මමා... අපි යාළුවෝ විතරයිනෙ...”

බ්‍රයන් සිය මව දෙස ආයාචනාත්මක බැල්මක් හෙළුවේය. ඇය මහත් සංවේගයෙන් බලා සිටියා පමණි.

“තවත් ඔය බොරුව විශ්වාස කරන්න කියලද බ්‍රයන් ඔය කියන්නෙ? කරුණාකරලා අමාලිව බාරගන්න... රැයක් ගෙදර ආවෙ නැති ගෑනු දරුවෙක්ව මට බාරගන්න බෑ.”

සුනන්දා පුටුවක් මත කඩා වැටුණේ හඬ නඟා හඬමිනි. ඇය සනසන්නට ශ්‍යාමලී පවා උත්සු නොවූවාය. ඇය සිය පුත්‍රයා විශ්වාස කරන්නට කැමැත්තෙන් බලා සිටියාය.

“ඩැඩා..?”

අන්ත අසරණ වූ තරුණයා සිය පියා වෙත හැරුණේය. එහෙත් පිළිසරණක් වෙනුවට ඔහු ලද්දේ අතුල් පහරකි. කෝපයෙන් වෙව්ලන මිනිසා වෙත කඩා පනිමින් ශ්‍යාමලී බෙරිහන් දුන්නාය.

“එපා... අනේ එපා..”

අමාලි වහාම බ්‍රයන් ආවරණය වන සේ ඉදිරියට ආවාය. ඇය සුපුරුදු නොහික්මුණු යුවතිය බවට පත් කරවන්නට ඒ එක් අතුල් පහර සෑහිණ.

“ඔය ගොල්ලන්ට මොකද මේ වෙලා තියෙන්නෙ? කොල්ලෙකුයි කෙල්ලෙකුයි රෑ ගෙදර ආවෙ නෑ කියලා... කොහේ හරි හිටියා කියලා සිද්ධ වෙන්නෙ ඒ එකම දේ විතරයි කියලා හිතන්න කොහොමද ඔයගොල්ලෝ...? කොල්ලෙකුයි කෙල්ලෙකුයි අතරෙ එච්චරයිද සිද්ධ වෙන්න පුළුවන්...? ඇත්තටම මොන මිනිස්සුද ඔයාලා?”

ඔවුන් නිරුත්තරව බලා සිටියදී ඇය සිය මිතුරා තල්ලු කරගෙන ‍වාගේ මිදුලට බැස්සාය.

“අමා...” යි සුනන්දාගේ හැඬුම්බර හඬ යතුරු පැදියේ කර්කශ හඬින් යටපත්ව ගියේය.

“ගියා නේද? ආයෙත් ගියා නේද?”

පියවි සිහිය ලද්දෙකු මෙන් සිරිමාන්න හිටි හැටියේ කෑගැසුවේය.

සිය මිතුරියගේ නිර්භීතකම අදහාගත නුහුණ බ්‍රයන් පවා කෙඳිරි ගෑවේය. ඇය නැවත කතා කළේ ඔහුගේ නිවෙස ඉදිරිපිටදීය. යතුරු පැදියෙන් බට තරුණයා අතකින් හිස අල්ලා ගනිමින් “ඕ... මයිගෝඩ්” යි දෙවියන් සිහි කළේය.

“ඒ ‍ගොල්ලන්ට පිස්සු” යි වැඩිහිටියන් හෙළා දුටු ඇය “මට පුදුම ඔයාගෙ මමයි ඩැඩයි ගැන. අපේ තාත්තා නම් ඉතිං හැමදාම ඔහොමනේ. ප්‍රින්සිපල් කෙනෙකුගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නත් බෑනේ...” යි පැවසුවේ ඔහු අස්වසාලන බැල්මකුත් එක්කමය.

“අපි දැං මොකද කරන්නෙ අමා...?”

“වෙන මොනා කරන්නද? ඒ ගොල්ලො කියන්නෙ අපට බඳින්න කියලනේ... ඉතිං බඳිමු..”

ඔහු නෙරා ගත් දෑසින් ඇය දෙස බලා සිටියේය.

“ඒ.. ඒ කියන්නෙ ඔ.. ඔයා කැමතිද මාව බැරි කරන්න?”

ඒ බැල්මෙන් ද ස්වරයෙන් ද ඇය මහත් සේ විනෝද වූවාය.

“ඔයාව බඳිනවට වඩා හොඳයි කෝච්චියට බෙල්ල තියන එක” යි ඇය හඬ නඟා හිනැහුණාය. ඒ සිනාවට හවුල් නොවූ ඔහු ඒ මේ අත සක්මන් කළේය.

“මාව බැන්දොත් නරක් වෙලා තියෙයි. තමුසෙට කවදාවත් හොයාගන්න බෑ මං වගේ කොල්ලෙක්...” යි ඔහු කීවේ නොමනාපයෙනි.

“අනේ ඔයා හරි හොඳයි බ්‍රයන්... ඒත් ඉතිං මට ඔයා යාළුවෙක් විතරනේ. අපේ මේ මෝඩ වැඩිහිටියන්ට තේරෙන්නෙ නෑනේ අපි දෙන්නා හොඳ යාළුවෝ කියලා. යාළුකමක් ගැන හිතාගන්නත් බැරි මහ සම්ප්‍රදායික ගතානුගතික මිනිස්සු...”

“ඔය කතා වැඩක් නෑ බං... අපි දැං මොකද කරන්නේ?” යි ඔහු නොඉවසිල්ලෙන් ඇසුවේය.

 

ලබන සතියට‍...

 

අදහස්