වැවුරුකන්නල පිළිම වහන්සේට පණ දුන් පුංචි මිනිසා | සිළුමිණ

වැවුරුකන්නල පිළිම වහන්සේට පණ දුන් පුංචි මිනිසා

විහාරාධිපති හිමියෝ මුලසුනේ වැඩ සිටිති. අසූ අට රියන් පිළිමය ඉදිකරන අන්දම සභාවට පැහැදිලි කරන ලෙස උන්වහන්සේ අප තරුණයාට පැවසූහ. ඔහුට දහදිය දමන්නට විය. හිටගෙන සිටීමට නොහැකි තරමට දෙපා ගැහේ. මේ සභාව ඉදිරියේ කුමක් පැහැදිලි කරන්නද? ඔහු පත්වූයේ මහත් අපහසුතාවකටය. කළයුතු කිසිවක් නැතිතැන සිතට දිරිගත් ඔහු වේදිකාවට ගොඩවිය. බුදු පිළිම වහන්සේ ඉදි කිරීම තමාට කළහැකි බව පැවසූ ඔහු එය සිදු කරන ආකාරය සභාවට පැහැදිලි කළේ දහදියෙන් තෙතබරිත වූ ඇඳුමෙන් යුතුවය. එම පැහැදිලි කිරීම බොහෝදෙනකු වෙත තරුණයා ගැන වූ සැක සංකා දුරු කිරීමට හේතුවිය. එහෙත් ඇතැම් දෙනා තරුණයා පිළිබඳ තවදුරටත් සැකයෙන් විමසීම් කරද්දී විහාරාධිපති හිමියෝ සභාවට කරුණු පැහැදිලි කළහ.

දකුණු ලකට පමණක් නොව මුළු මහත් ශ්‍රී ලංකාවේම ගෞරවයට ලක් වූ පුද බිමක් ලෙස දික්වැල්ල වැවුරුකන්නල බුදු රජ මහ වෙහෙර හැඳින්විය හැක. මෙම පිළිම වහන්සේ අසු අට රියනක් උස අතර මාතර දිස්ත්‍රික්කයේ දෙනියාය වැනි උස්භූමි ප්‍රදේශවලට සැතපුම් හතළිහක් පමණ ඈතට දිස් වෙයි. පිළිම වහන්සේගේ සිරසට ඇතුළත පඩිපෙළකින් නැඟ නේත්‍රා තුළින් අවට පරිසරය දැක ගත හැකිවන සේ කළ අපූරු නිර්මාණයකි.

මෙම ලෝක පූජිත පිළිම වහන්සේ නිර්මාණය කළේ කිසිම දිනෙක මේසන් හැන්දක් අතින් නොඇල්ලූ කවදාවත් පිළිම වහන්සේ නමක් නිර්මාණය නොකළ පුද්ගලයකු විසින් බව කිවහොත් ඔබ මවිත වනු ඇත. එහෙත් එය සත්‍යයකි.

මුරණ්ඩුකම ඉහවහා ගිය තරුණයෙකුට මෙම නිර්මාණය කරන්නට සිතක් පහළ වීම නිසා ප්‍රදේශවාසීන්ද දායක දායිකාවන්ගේ ද එතරම් කැමැත්තක් නොවුණද විහාරාධිපති හිමියන් මෙම තරුණයා පිළිබඳ ඇති හුදු විශ්වාසය මත මෙම භාරදූර කාර්යය පැවරීය. එවකට වයස අවුරුදු 34ක් වූ මෙම ශිල්පියා පලවින්නගේ ගුණපාල මුතුකුමාරණය. ඔහු පවුලේ මුරණ්ඩුවා ලෙස හඳුන්වන අතර යම් කාර්යයක් කිරීමට සිතක් පහළ වුවහොත් මොන සක්‍රයාටවත් එය නතර කළ නොහැකි බව කවුරුත් දනිති.

මාතර සිට දික්වැල්ල දක්වා කිලෝ මීටර් විසි දෙකක් පාපැදියෙන් එන ගුණපාල තරුණයා තමා පසුකර යන මෝටර් රථ පසුකරමින් ගොස් වින්දනයක් ලබයි. උදේ නිවෙසට එන විටද තමාට ඉදිරියෙන් මෝටර් රියක් නොගියේනම් ඔහුගේ හිතට හරි නැත. අකීකරු පුතා නිසා පියා තරහ ගත්තද පුතා අකීකරුකම් කිසිදා නරක වැඩ සඳහා යොදා නොගත්තේය. මේ අකීකරු තරුණයාට මෙතරම් විශාල කාර්ය භාරයක් විහාරාධිපති හිමියන් විසින් පවරනු ලැබීම ගැන දායක දායිකා අනුග්‍රාහකයන් පමණක් නොව නම් දරා ඇති සිත්තර ශිල්පීහුද ද විමතියට පත්වූහ.

එවකට විහාරාධිපති වහන්සේ ලෙස වැඩ සිටි දික්වැල්ලේ විමලසේන හිමියන් දායක සභාවට පැවසුවේ තමන් ගුණපාල තරුණයා ගැන කුඩා කල සිට දන්නා බවත් ඔහු වැඩකට අතගැසුවොත් මැරීගෙන හරි එය නිසිලෙසින් නිම කරන බවට තමන් වහන්සේට හොඳින්ම විශ්වාස බවත්ය.

දායක සභාව සැලැස්ම ඉල්ලයි

1966 මාර්තු 06 වැනි දින බුදු පිළිම වහන්සේ තැනීමේ මුල්ගල් තැබීමට නියමිතව තිබුණි. ඒ වෙද්දී පිළිම වහන්සේ නිර්මාණය කිරීමේ කාර්යය ගැන සොයා බලන උදවිය එන්න එන්නම වැඩි වූ බව නිර්මාණ ශිල්පී ගුණපාල මහතා පවසයි.

මුල්ගල් තැබීමේ දිනය ළංවෙද්දී විහාරාධිපති දික්වැල්ලේ හිමි වෙත දායක දායිකා හා ගමේ ප්‍රභූ පිරිසගෙන් එල්ලවන පීඩා දැඩි වන්නට විය. ඒ සැවොම විමසූයේ මෙවන් බාරධූර කාර්යයක් තරුණයකුට පැවරීම සුදුසු ද යන්නය. අවසානයේ තීන්දු කෙරු‍ණේ දායක සභාවේ රැස්වීමකදී බුදු පිළිම වහන්සේ තැනීම පිළිබඳ කරුණු ඉදිරිපත් කරන ලෙසය. අදාළ දිනයේ පන්සල් ධර්ම ශාලාවට ගමේ ප්‍රභූහු, දායක සභාව පමණක් නොව ඔහු ඉගෙන ගත් පාසලේ විදුහල්පතිවරයා හා ගුරුවරු ද කලාකරුවෝද අවට පන්සල්වල හිමිවරු ද එක්රොක් වූහ. රැස්වීමේ අරමුණ වූයේ මෙවන් කර්තව්‍යයක් ගුණපාල තරුණයාට කළහැකිද යන්න විමසීමය.

තරුණයාට තමන් අත ගැසීමට යන කාර්යය පිළිබඳ විශ්වාසයක් තිබුණත් ‘මට පුළුවන්ය’ කියා පාසලේ විදුහල්පතිතුමා ඉදිරියේ පැවසීම අපහසුය. ජීවිතයේ කෙදිනකවත් ඔහු මෙතරම් අපහසුතාවට පත්වූ දිනයක් නැතිතරම්ය.

විහාරාධිපති හිමියෝ මුලසුනේ වැඩ සිටිති. අසූ අට රියන් පිළිමය ඉදිකරන අන්දම සභාවට පැහැදිලි කරන ලෙස උන්වහන්සේ අප තරුණයාට පැවසූහ. ඔහුට දහදිය දමන්නට විය. හිටගෙන සිටීමට නොහැකි තරමට දෙපා ගැහේ. මේ සභාව ඉදිරියේ කුමක් පැහැදිලි කරන්නද? ඔහු පත්වූයේ මහත් අපහසුතාවකටය. කළයුතු කිසිවක් නැතිතැන සිතට දිරිගත් ඔහු වේදිකාවට ගොඩවිය. බුදු පිළිම වහන්සේ ඉදි කිරීම තමාට කළහැකි බව පැවසූ ඔහු එය සිදු කරන ආකාරය සභාවට පැහැදිලි කළේ දහදියෙන් තෙතබරිත වූ ඇඳුමෙන් යුතුවය.

එම පැහැදිලි කිරීම බොහෝදෙනකු වෙත තරුණයා ගැන වූ සැක සංකා දුරු කිරීමට හේතුවිය. එහෙත් ඇතැම් දෙනා තරුණයා පිළිබඳ තවදුරටත් සැකයෙන් විමසීම් කරද්දී විහාරාධිපති හිමියෝ සභාවට කරුණු පැහැදිලි කළහ.

ජීවිතයේ පළමුවරට නෙළූ පිළිමය

මේ අතරේ සභාවෙන් තවත් අභියෝගයක් එල්ලවිය. පිළිම වහන්සේ තැනීමේ සැලසුම ඉදිරිපත් කරන ලෙසය. තරුණයාට යළිත් දහදිය දමන්නට විය. දෙදිනක් ඇතුළත සැලසුම ඉදිරිපත් කරන ලෙසට එවිට සභාවෙන් නියම කෙරිණ.

සභාව විසිර ගියේය. එහෙත් තරුණයා එදින නිවෙසට නොගොස් පන්සලේම නතර විය. බුදුගෙයි රැය පහන් කරමින් එකදිගට කල්පනාවේ නිමග්න වූ ඔහු මහ රෑ එක්වරම නැගිට බිම සැලසුම අඳින්නට වූයේය. එදා එලෙස තව සිතේ පහල වූ සැලසුම ගැන ගුණපාල මහතා අදටත් පුදුමවෙයි.

“මං කවදාවත් ප්ලෑන් ඇඳලා නෑ. ප්ලෑන් අඳිනවා දැකලත් නෑ. බුදුගෙයි නිදාගෙන සිටිද්දී එකපාරටම හිතට ආ දෙය එතැන තිබූ ගල්කූරු කෑල්ලකින් බිම ඇන්දා. මට පහුවදා හරිම සතුටුයි. ලොකුහාමුදුරුවන්ට සැලැස්ම පෙන්නුවාම උන්වහන්සේටත් හරි සතුටුයි. පස්සේ ඒක කඩදාසියක ඇඳලා දායක සභාවට ඉදිරිපත් කළා. මං කවදාවත් පිළිම නෙළලා නෑ. මේ වැඩේට අත ගැහුවේ ආසාවට. පිළිමය හදන්න මට වසර දොළහකුත් මාස හතක් ගියා. පන්සලෙන් තේ එකක්වත් නොබීයි මං මේ පිළිමය හැදුවේ.”

මේ වෙද්දී 86 වැනි වියේ පසුවන ඔහු හොඳ හොඳ මානසික හා ශාරීරික සෞඛ්‍යයකින් යුතුව සැදෑ සමය පසු කරන්නේ අහස උසට ඉදිකළ පිළිම වහන්සේ දෙස බලමින් සතුටු කඳුළු හෙළමිනි.

ඔහුගේ දෑතේ ඇති නොමැකුණු කරගැට තවමත් ඊට සාක්ෂි දරයි.

ගුරුපත්වීමත් එපා කියයි

ඔහුගේ බිරිය කරුණා සමරනායකය.

“මෙයාටත් මටත් ගුරු පත්වීම් හම්බ වූණා. එයා ගියේ නෑ. මටත් යන්න දුන්නේ නෑ. ඉස්කෝලේ පත්වීමට ගියාම මේ පිළිමය ඉදිකරන්නේ කොහොමද ඇහුවා. ඉතිං මමත් ගෙදර නතර වුණා.

මං උදේ හතරට නැගිටලා බත් එකක් හදල දෙනවා. ඒකත් අරගෙන මෙයා යනවා. ආපහු දවල්ටත් එහෙම හදල දෙනවා. මොකද මෙයා පන්සලෙන් කවදාවත් කන්නේ නෑ. මෙයා හරිම අකීකරුයි. කිව්වොත් කිව්වාමයි. මෙයාට සල්ලි පෙන්නන්න බෑ. රත්තරන් බඩුවලට ආස නෑ. අල්ප ජීවිතයකට තමයි එදා ඉඳල ඇලුම් කළේ” බිරිය පවසන්නීය. පුරා වසර පනස් තුනක් තිස්සේ බෞද්ධ ජනතාවගේ වන්දනාවට පාත්‍රවෙමින් රුහුණේ අභිමානය ලොවට දායක කරන්නට ගුණපාල මුතුකුමාරණ කලාකරුවා තැනූ අසු අට රියන් බුද්ධ ප්‍රතිමා වහන්සේට හැකියාව ලැබී ඇත්තේය.

අදහස්