වෙළෙන්දාටම ගියැයි කී වෙසක් සැමරුම වෙළෙන්දා අතහැර ගිය හැටි | සිළුමිණ

වෙළෙන්දාටම ගියැයි කී වෙසක් සැමරුම වෙළෙන්දා අතහැර ගිය හැටි

විසි වන සියවසේ අගභාගයේ උපන් අප අද ජීවත් වන්නේ විසි එක් වන සියවසේය. ඒ කාලේ ඒ කියන්නේ මීට අවුරුදු තිහ හතළිහකට පෙර වෙසක් උත්සවය පැවැතවුණේ අදට වඩා බොහෝ වෙනස්වය. අප පුංචි කාලයේ නම් වෙසක් උත්සවය වෙනුවෙන් කූඩුවක් සල්ලිවලට ගෙන ආ බවක් නම් මතක නැත. නි‍ෙවසේ තැනුණේ බොහෝ විට අටපට්ටම් කූඩුය; නැති නම් නෙලුම් මල් කූඩුය; නැති නම් තරුය.

අසල වත්තකින් බට ගස් කපාගෙන විත් ගේ ඇතුළේ තබාගෙන සාදන අටපට්ටම් කූඩු බැන්දේ ඔට්ටපාලුවලිනි. ඔට්ටපාලු ගලවා ගත්තේ රබර් ගස්වලිනි. (රබර් ගසේ කැපුම් පාරවල් දිගේ එක් වූ කිරි වියළීමෙන් සැදුණු දේ ඔට්ටපාලු නමි.) එකල කුඩූ හැදුවේ පවුලේ අය එකට එකතු වීය.

කාගෙත් වුවමනාව, උනන්දුව ලස්නට ලොකුම කූඩුව හැදිමටය. මේ අප පුංචි සන්දියේ අත්දුටු දෙයකි.

අසල නිවෙසක අයියා මලෝ දෙදෙනා නි‍ෙවස තුළ තබාගෙන අටපට්ටම් කූඩුවක් සැදුවේ මහත් උජාරුවෙනි. නමුත් වෙසක් දා රාත්‍රියේ ඔවුන් අසරණ වුයේ සාදන ලද විශාල අටපට්ටම් කූඩුව නිවසේ දොරවල්වලින් එළියට ගන්නට බැරිවය. අවසානයේ දවස් ගණනක් තිස්සේ වෙහෙස මහන්සි වී සෑදුව කූඩුව දැල්වූයේ නිවස තුළ තබාගෙනය!

බට පතුරුවලින් සාදා සව් කඩදාසියෙන් සෑදු වෙසක් කූඩු නිසා අප ඉගෙනගත් දේ බොහෝය. එමෙන්ම ජීවිතයේ අනියත බව වටහාගන්නට ද ඉවසිම ප්‍රගුණ කරන්නටද වෙසක් සමය අපට වැදගත් විය. දවස් ගණන් වැය කරමින් සෑදු වෙසක් කූඩු මහ වැස්සකට හසු වීමෙන් විනාශ වීමෙන් හෝ සුළඟට හසු වීමෙන් ගිනිබත් වීමෙන් ඒ දුක ඉවසා සිටින්නට අප පුරුදු වූයේ නිතැතිනි. ඒ එදාය.

අද ඊට වෙනස්ය. දැන් අටපට්ටම් කූඩු එසේ විනාශ වන්නේ නැත. ඒ කූඩුව ඉටි කොළයෙන් ආවරණය කරන බැවිනි. එමෙන්ම එදා ඉටි පන්දම් දල්වා ආලෝක කෙරුණු කූඩුව අද විදුලි බල්බයෙන් ආලෝක කරන බැවිනි. කොහොම වුණත් අප කාර්ය බහුල වීමත් සමඟ වසර කිහිපයක සිට සියලු වෙසක් සැරසිලි වෙළදපළෙන් මිලට ගැනීමට පුරුදුව සිටිමු. වෙසක් කූඩුවේ සිට සියලු වෙසක් සැරසිලි අද වෙළෙඳ පළේ ඇත.

වෙසක් පොහොයට සති කිහිපයක් තිබියදීය අප වෙසක් සඳහා සූදානම් වන්නේ. දැන් නිවෙස්වල සෑදෙන්නේ නැති අටපට්ටම් කූඩු තොග ගණනින් කොළඹ නගරයට ආසන්න තිඹිරිගස්යාය, කිරුළපන ආදි ප්‍රදේශයන් හි මාර්ග දෙපස පමණක් නොව කොළඹින් ඈත ප්‍රදේශවලද මේ දිනවල වෙසක් කූඩු ආදි වෙසක් සැරසිලි වර්ග විකිණීමට තබා තිබෙනු දැකිය හැකිය. සෑම වසරකම ඔවුන් ඒ සඳහා සුදානම් වන්නේ සිංහල අවුරුද්ද අවසන් වීමත් සමඟය.

මෙවර සිංහල අවුරුද්ද අවසන් වනවාත් එක්කම පාස්කු ඉරිදා රටට මුහුණපාන්නට වූ ඛේදවාචකය නිසා මෙදා බෞද්ධයන්ට වෙසක් උත්සවය ඇති නැති ගානය. කවදත් වෙසක් උත්සවයේදි මුල්තැන ලැබුණේ ආමිස පුජාවටය.

වෙසක් තොරණ වෙසක් දන්සල වෙසක් පහන් කූඩු ප්‍රදර්ශනය කිරීම ආදි බොහෝ දේ සිදු විණි. නමුදු මෙවර වෙසක් උත්සවයේදි ඒ කිසිවක් නැත. මාස ගණනක සිට වෙසක් සඳහා සූදානම් වූවන්ට විශේෂයෙන්ම සැරසිලි විකිණීමෙන් දිවි ගෙවන්නන්ට සිදු වන්නේ කුමක්ද?

රටේ සිවු දෙසින් පැමිණ ගමට වෙසක් සරසිලි අරන් යන්නන් හමු වීමට ආදි තොරතුරු සෙවීමට අපි කොටුව පිටකොටුව පැත්තේ රවුමක් ගියෙමු.

නුල් කෑල්ලේ සිට සියලු දේ විකිණීමට ඇති පීපල්ස් පාර්ක් ගොඩනැගිල්ලේ පහළ මාලයේ එක් පසෙක ඇත්තේ වෙසක් සරසිලිය. වෙනත් දවස්වලට වෙනත් වෙනත් දෑ විකිණූව ද වෙසක් සමයට ඔවුන්ගේ එකම වෙළෙඳාම වන්නේ වෙසක් කූඩු වෙසක්, බකට්, වෙසක් සුබ පැතුම් පත් බෞද්ධ කොඩි ආදි සබ්බසකලමනාවම විකිණිමය.

“වෙන දා නම් මේ දවස් වෙනකොට ගොඩක් කූඩු විකිණිලා. ඒ වුණත් මේ පාර බිස්නස් අඩුයි. වෙන දා නම් චීන කූඩු තියෙනවා. මෙදා පාර ඒ කූඩු නැති තරම්. තියෙන්නේ කාඩ්බෝඩ් කූඩු. මෙතැන විකුණන්න තියෙන කූඩු ඔක්කෝම මේ රටේ හදපුවා.”

වෙ‍ෙළදසලට පැමිණි අයෙකුට වෙසක් කූඩු පෙන්වන අතරේ රමේෂ් අප හා පැවැසීය.

වෙ‍ෙළදසලක් ඉදිරියේ තැබූ මේසයක් මත සව් කොළ තබා විකුණන උමර් වෙනත් දිනවලට කරන්නේ වෙනත් ව්‍යාපාරයකි.

“වෙසක් කාලෙට මම සව්කඩදාසි විකුණන එක තමයි කරන්නේ. අනෙක් දවස්වලට පපඩම් විකුණනවා. මට දැනෙන විදිහට නම් බිස්නස් අඩුයි. වෙසක් උත්වසවයට දවස් පහක් තියෙද්දි තමයි මමම කොළ විකුණන්න පටන් ගත්තේ. මමත් තොග කඩේකින් අරගෙන ඇවිල්ලා තමයි මේ වෙළදාම කරන්නේ. මහා ලොකු ලාභයක් නැහැ.

උමර් සව්කොළ එකින් එක ගනිමින් පවසයි.

පිපල්ස් පාර්ක් ගොඩනැගිල්ලේ වෙනදා නම් මේ දිනවල විවිධ ගම් පළාත්වලින් පැමිණි පිරිස බොහෝය. ඇතැමෙක් එන්නේ තොග ගණනින් වෙසක් කූඩු සැරසිලි ආදිය රැගෙන යෑමටය. නිලන්ති ලක්මාලි එවැන්නියකි. ඇය පදිංචි වී සිටින්නේ කිරුළපුරයේය. ඇය පැමිණ සිටියේ සිය සැමියා සමඟය. වෙසක් කූඩු තොරමින් සිටි අතරේ ඇය අප හා කතාවට එක් වූවාය.

“මම ස්වයං රැකියාවක් කරන කෙනෙක්. කැඳ කඩයක් කරනවා. වෙසක් කාලයට වෙසක් කූඩු හදනවා. පුංචි කාලේ ඉඳලම මම වෙසක් කූඩු හදනවා. ඒවා විකුණනවා. අම්මා තාත්තාගෙන් තමයි වෙසක් කූඩු හදන්න ඉගෙන ගත්තේ. අපිට බට ගස් නෑ. සල්ලිවලට බට ගස් ගෙනැල්ලා කූඩු හදන්නේ. කිරුළපන පොලිසිය අසල බෝ ගහ ළඟ තමයි අපි කූඩු විකුණන්නේ. වෙනදා නම් සති දෙකක් විතර තියෙද්දි කඩ දාන්න පටන් ගන්නේ. ඒත් අද තමයි (13) අපි කඩ දාන්න ගත්තේ.

අනෙක් අයට තවම අනුමැතිය ලැබිලා නැහැ. ඒ හරියේ වෙසක් කාලෙට වෙසක් කූඩු විකුණන කඩ දහනවයක් තියෙනවා. මිනිස්සු වැඩිපුර කැමති අටපට්ටම් කූඩුවලට. සමහරු නම් අලවලා සරසපු කූඩු ගෙනියනවා. ඒත් ගොඩක් දෙනා සරසලා නැති කූඩු විතරයි ගෙනියන්නේ.

අපි දැන් කාලෙක ඉඳලා කාඩ්බොඩ් කූඩුත් ගෙනියනවා. මේවාටත් ඉල්ලුමක් තියෙනවා. මෙදා පාර වෙසක් නැති වුණාට නිවෙස්වල නම් වෙසක් සැරසිලි තියෙනවා. අපි උදේ පටන් රෑ එළිවන තුරු බිස්නස් කරනවා. එත් දැන් රටේ තියෙන තත්ත්වයත් එක්ක මෙදා පාර මොනවා වෙයිද කියන්න බැහැ.” නිලන්ති කියන්නේ කනස්සල්ලෙනි.

නිලන්ති මෙන්ම වෙසක් සැරසිලි විකුණන තවත් බොහෝ අය සිටින්නේ කනස්සල්ලෙනි. රටේ පවතින තත්ත්වයත් සමඟ මිනිසුන් දැන් සිංහල කඩවලින්ම පමණක් බඩු මිලදී ගත යුතුයැයි යන ප්‍රචාරයක් ගෙන යමින් සිටී. ඇතැමෙකු එය එලෙසම පිළිපදිනු පෙනේ.

“මම මුස්ලිම් මිනිහා. එත් පුංචි කාලේ ඉඳලා හැදුණේ සිංහල මිනිස්සු එක්ක. අපිට ජාති බේදයක් ආගම් බේදයක් නැහැ. වෙසක් එකට සිංහල අය දන්සල් දෙනකොට මම ඒවාට උදව්වෙලා තියෙනවා. පුංචි කාලේ අපි පන්සලේ කූඩු හදන්නත් ගියා. ඒත් බලන්නකො දැන් මේ වෙච්ච දේ. අපි කාලයක් තිස්සේ වෙසක් එකට වෙසක් සැරසිලි විකුණනවා.

මෙදා පාර කඩේට මිනිස්සු එනවා අඩුයි. බෞද්ධ අය නැතිව අපට කොයින්ද වෙසක් බිස්නස්. අපි කැමති නැහැ මේ විදිහට බෙදිලා ඉන්න” නම කියන්නට මෙන්ම ඡායාරූපයකට ද පෙනී සිටින්නට අකමැති වූ ඔහු පැවැසුවේ කනගාටුවෙනි.

කවුරුන් මොනවා කිව්වත් මේ රටේ කිසිවෙකුට බෙදි වෙන් වී සිටින්නට නොහැකි බව පසක් වුයේ පිටකොටුවේ රවුමක් ගිය විටය. බොහෝ වෙසක් සැරසිලි අලෙවි කරන්නේ මුස්ලිම් හා දෙමළ ජනතාවය. දුර බැහැර පළාත්වල සිට පැමිණෙන බෞද්ධයෝ කිසිදු බේදයක් නැතිව මේවායින් භාණ්ඩ මිල දී ගෙන යති.

අදින් වසර දෙදහස් පන්සිය ගණනකට පෙර සියලු සත්වයන් දුකින් මුදාලීම සඳහා බුද්ධත්වයට පත් බුදුන්වහන්සේ ඉගැන්වූයේ ද ආදර්ශයෙන් පෙන්වා දුන්නේද සියලු සත්ත්වයන්ට මෙත් වඩන්නටය.

සැබැවින්ම මේ වෙසක් දිනයේ දී ප්‍රතිපත්ති පුජාවට මුල්තැන දෙමින් බෞද්ධයන් වන අප කළ යුත්තේ ජාති ආගම් බේදයෙන් තොරව සැමට මෙත් වැඩීමය. එය අද රට පත් වී තිබෙන මේ අසීරුතාවෙන් ගොඩ ඒමට මහත් පිටිවහලක් වනු ඇත.

 

ඡායාරූප - ශාන් රූපස්සර

අදහස්