ක්‍රිකට් ලෝක කුසලාන සැණකෙළිය 2019 | සිළුමිණ

ක්‍රිකට් ලෝක කුසලාන සැණකෙළිය 2019

සමාරම්භක තරගය මැයි 30 : එංගලන්තය - දකුණු අප්‍රිකාව

එක් කිරුළක් රටවල් දහයක් තරග හතළිස් අටක්

සිවු වසරකට වරක් පැවැත්වෙන ක්‍රිකට් මහා මංගල්‍යය සත්කාරක එංගලන්තය සහ ක්‍රිකට් ලෝක කුසලාන ඉතිහාසයේ මෙතෙක් අවාසනාවන්ත කණ්ඩායම ලෙස විරුදාවලිය දිනා සිටින දකුණු අප්‍රිකාව අතර ලන්ඩන් ඕවල් පිටියේ පැවැත්වෙන තරගයෙන් 30 දා ආරම්භවෙයි. ශ්‍රී ලංකාව හාපුරා කියා මෙවර තරගාවලියට පිවිසෙන්නේ 2015 ක්‍රිකට් ලෝක අනුශූරයන් වූ නවසීලන්තයට එරෙහිව ජූනි 01 දා කාර්ඩිෆ් පිටියේ පැවැත්වෙන තරගයෙන්ය.

එංගලන්තය, දකුණු අප්‍රිකාව, බ.ඉ‍. කොදෙව්, පාකිස්තානය, නවසීලන්තය, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය, ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව යන රටවල් දහය මෙවර දොළොස්වැනි ක්‍රිකට් ලෝක කුසලාන කිරුළට තරග වැදීමට නියමිත ය. ලීග් ක්‍රමයට මූලික වටයේ තරග පැවැත්වෙන අතර, එහිදී සෑම කණ්ඩායමක්ම, සිය ප්‍රතිවාදීන් සමඟ තරග වැදීමට නියමිත ය. ඒ අනුව මූලික වටයේ තරග 45ක් පැවැත්වේ. මූලික වටයේ ඉහළම ප්‍රසාද ලකුණු ලබා ගන්නා කණ්ඩායම් හතර අවසන් පූර්ව තරග දෙක සඳහා ක්‍රීඩා කරන අතර එකී තරග දෙක පිළිමළුන් පිටු දැකීමේ ක්‍රමයට පැවැත්වේ. එකී තරග දෙකෙන් ජය ගන්නා කණ්ඩායම් දෙක ජූනි 14 වැනිදා ඓතිහාසික ලෝඩ්ස් පිටියේදී 2019 ක්‍රිකට් ලෝක කිරුළ සඳහා සටන් කිරීමට නියමිතයි.

මෙකී තරගාවලියේ මූලික වටයේ සිට අවසන් තරගය දක්වා පැවැත්වෙන තරග 48ම කණ්ඩායම් දහයටම සැහැල්ලුවෙන් බිම තැබිය නොහැකි ය. මන්ද යත් තරගාවලියේ සෑම තරගයක් ම ජය ගනිමින් ඉදිරියට යා යුතු බැවිනි. මුළු තරගාවලිය පුරාම බර තබමින් ඉදිරියට එන කණ්ඩායම් දෙකකට වඩාත් විශ්වාසයෙන් අවසන් මහා තරගය සඳහා පිවිසීමට හැකි වනු ඇත. වඩාත් වැදගත් වන්නේ මෙකී කණ්ඩායම් දහයෙන් මේ දුෂ්කර ව්‍යායාමය ජය ගන්නා කණ්ඩායම ඒ අතර වඩාත් දක්ෂයා බව ද අමතක කළ යුතු නොවේ.

අවසන් එක් දින ශ්‍රේණිගත කිරීම්වල (මැයි 15 දා) ප්‍රථම ස්ථානය එංගලන්තයට හිමිව තිබේ. එංගලන්තය 1979 – 1987 සහ 1992 අනුශූරයන් බවට පත්ව තිබේ. ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි ස්ථානය ඉන්දියාවට හිමිව තිබේ. ඉන්දියාව 1983 සහ 2011 දී ක්‍රිකට් කිරුළ දිනා ගෙන ඇති අතර 2003 දී අනුශූරයන් වී තිබේ. ශ්‍රේණිගත කිරීම්වල තෙවැනි ස්ථානය දකුණු අප්‍රිකාවට හිමිව තිබේ. සිවු වැනි ස්ථානය හිමි කරගෙන තිබෙන්නේ නවසීලන්තයයි‍. නවසීලන්තය 2015 දී අනුශූරයන් බවට පත්ව තිබේ. පස් වැනි ස්ථානය හිමිව තිබෙන්නේ ඕස්ට්‍රේලියාවටයි. ඕස්ට්‍රේලියාව 1987, 1999, 2003, 2007 සහ 2015 දී ලෝක ක්‍රිකට් කිරුළ පස් වතාවක් දිනාගෙන තිබේ‍. 1975, 1996 අනුශූරයන් ඕස්ට්‍රේලියාවයි. ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල හය වැනි ස්ථානය පාකිස්තානයට හිමිව තිබෙන අතර, 1992 ක්‍රිකට් කිරුළ දිනාගෙන ඇත්තේ ද පාකිස්තානයයි. 1999 අනුශූරයන්ද පාකිස්තානයයි. හත්වැනි ස්ථානයට බංග්ලාදේශයට හිමිව තිබේ. අට වැනි ස්ථානය හිමි කරගෙන තිබෙන බ.ඉ. කොදෙව්වන් 1975 – 1979 පිට පිට ප්‍රථම සහ දෙවැනි ක්‍රිකට් ලෝක කුසලාන දිනාගෙන තිබෙන අතර, 1983 පැවැති තෙවැනි ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේදී අනුශූරයන් විය. ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල නව වැනි ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිබේ. 1996 ක්‍රිකට් කිරුළ දිනූ ශ්‍රී ලංකාව 2007 සහ 2011 දී පිට පිට අනුශූරයෝ වූහ. දහවැනි ස්ථානය ඇ‍ෆ්ගනිස්තානයට හිමිව තිබේ.

මෙවර ක්‍රිකට් කිරුළට තරග වදින රටවල් අතරින් වැඩිම අන්තර්ජාතික තරග සංඛ්‍යාවකට ක්‍රීඩාකර ඇත්තේ ඉන්දියාවයි. ඉන්දියාව 1974 – 2019 දී තරග 966 කට ක්‍රීඩාකර ජයග්‍රහණ 500 ක් හිමි කරගෙන තිබේ. අන්තර්ජාතික එක්දින පිටියේ වැඩිම තරග සංඛ්‍යාවක් ජය හිමි කරගෙන තිබෙන්නේ ඕස්ට්‍රේලියාවයි. 1971 – 2019 දී ඕස්ට්‍රේලියාව තරග 932 කට ක්‍රීඩා කර ජයග්‍රහණ 566 ක් හිමි කර ගෙනතිබේ. හොඳම ජයග්‍රහණ ප්‍රතිශතයකට හිමිකම් කියන්නේ දකුණු අප්‍රිකාවයි. දකුණු අප්‍රිකාව 1991 – 2019 දී තරග 610 කට ක්‍රීඩා කර තිබෙන අතර, ජයග්‍රාහී ප්‍රතිශතය 64.14 කි.

ක්‍රිකට් ලෝක කුසලාන තරග ඉතිහාසයේ වැඩිම තරග සංඛ්‍යාවකට ක්‍රීඩා කර ඇත්තේ ඕස්ට්‍රේලියාවයි. තරග 84 කි. ජයග්‍රහණ 62 කි. ජයග්‍රහණ 50 කට වඩා හිමි කර ගෙන තිබෙන්නේ ද ඕස්ට්‍රේලියාවයි. වැඩිම පරාජයන් සංඛ්‍යාවකට හිමිකම් කියන්නේ ශ්‍රී ලංකාවයි. ශ්‍රී ලංකාව තරග 73 කට ක්‍රීඩා කර ජයග්‍රහණ සහ පරාජයන් 35 බැගින් හිමිකර තිබේ.

ශූරයන්ට ඩොලර් මිලියන හතරක්

මෙවර ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි.සී‍.සී.) විසින් පිරිනමන මුළු ත්‍යාග මුදල ඇමෙරිකානු ‍ඩොලර් මිලියන 10 කි. එහිදී ලෝක ශූරයන්ට මිලියන 4 ක මුදලක් හිමිවනු ඇත. අනුශූරයන්ට මිලියන 2 කි. එමෙන් ම අවසන් පූර්ව තරගවලදී පරාජය වන කණ්ඩායම්වලට හිමිවන මුදල 1, 600,000 කි. ඒ කණ්ඩායමකට 800,000 බැගිනි.

ලීග් වටයේදී පැවැත්වෙන මුළු තරග ගණන 45 කි. එහිදී තරගයක් ජය ගැනීම වෙනුවෙන් කණ්ඩායමකට හිමිවන මුදල ඇමෙරිකානු ඩොලර් 40,000 කි. මේ අතර ලීග් වටයෙන් ඉවත් වන කණ්ඩායම් 06 ට හිමිවන මුළු මුදල 600,000 කි. ඒ කණ්ඩායමකට 100,000 බැගිනි. ගියවර එනම් 2015 ලෝක ශූරයන් වූ ඕස්ට්‍රේලියාවට හිමිවූ ත්‍යාග මුදල ඇමෙරිකානු ඩොලර් 3,975,000 කි. අනුශූර නවසීලන්තයට 1,750,000 ක මුදලකි.


ශ්‍රී ලංකාවේ දස්කම්

ජූනි 01 නවසීලන්තය සමඟ කාර්ඩිෆ්හිදී

1979 – 2015

තරග - 10 ජය - 06 පරාජයන් - 04

ජ‍ූනි 04 ඇෆ්ගනිස්තානය සමඟ කාර්ඩි‍ෆ්හිදී

2015 – 2015

තරග - 01 ජය - 01

ජූනි 07 පාකිස්තානය සමඟ බ්‍රිස්ටල්හිදී

1975 – 2011

තරග - 07 ජය - 0 පරාජයන් 07

ජූනි 11 බංග්ලාදේශය සමඟ බ්‍රිස්ටල්හිදී

2003 – 2015

තරග - 03 ජය - 03

ජූනි 15 ඕස්ට්‍රේලියාව සමඟ ඕවල්හිදී

1975 – 2015

තරග - 09 ජය - 01 පරාජයන් - 07 නොවිසිඳුණු - 01

ජූනි 21 එංගලන්තය සමඟ ලීඩ්ස්හිදී

1983 – 2015

තරග - 10 ජය - 04 පරාජයන් - 06

ජූනි 28 දකුණු අප්‍රිකාව සමඟ වෙස්ටර් ලී ස්ට්‍රිට්හිදී

1992 – 2015

තරග - 05 ජය - 01 පරාජයන් - 03 නොවිසිඳුණු - 01

ජූලි 01 බ.ඉ. කොදෙව් සමඟ වෙස්ටර් ලි ස්ට්‍රිට්හිදී

1975 – 2007

තරග - 06 ජය - 02 පරාජයන් - 04

ජූලි 06 ඉන්දියාව සමඟ ලීඩ්ස්හිදී

1979 – 2011

තරග - 08 ජය - 04 පරාජයන් - 03 නොවිසිඳුණු - 01

2003 - 2015 ශ්‍රී ලංකාව සතු සුවිශේෂ වාර්තා

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 2003 - 2015 අතර පැවැති ක්‍රිකට් ලෝක කුසලාන හතරේදී ම ලෝක වාර්තා හතරක් පිහිටුවීමට සමත්ව තිබේ.

1. 2003 දී ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේදී චමින්ද වාස් බංග්ලාදේශයට එරෙහිව තරගයේ පළමු පන්දු තුනේදී ම කඩුලු ත්‍රිත්වයක් වාර්තා කිරීම

2. 2007 දී ලසිත් මාලිංග දකුණු අප්‍රිකාවට එරෙහිව පන්දු හතරකදී පිට පිට කඩුලු හතරක් බිඳ දැමීම.

3. 2011 දී උපුල් තරංග සහ තිලකරත්න ඩිල්ෂාන් සිම්බාබ්වේට එරෙහිව පළමු කඩුල්ලට ලකුණු 282 ක සම්බන්ධතාවක් පැවැත්වීම

4. 2015 දී කුමාර සංගක්කාර පිට පිට තරග හතරකදී බංග්ලාදේශයට නොදැවී ලකුණු 105, එංගලන්තයට නොදැවී 117, ඔස්ට්‍රේලියාවට 104 සහ ස්කොට්ලන්තයට 124 ක් වශයෙන් ශතක රැස් කිරීම


ක්‍රිකට් කිරුළේ සුවිශේෂ මතක

වැඩිම ලකුණුලාභියා

සචින් තෙන්දුල්කාර් - ඉන්දියාව‍
තරග 45
ලකුණු 2278
ශතක 06
අර්ධ ශතක 15

වැඩිම කඩුලුලාභියා

ග්ලේන් මැග්‍රා -ඔස්ට්‍රේලියාව
තරග 39
කඩුලු 71
සාමාන්‍යය 18.19

කඩුල්ල පිටුපස වැඩිම දවා ගැනීම්

කුමාර සංගක්කාර - ශ්‍රී ලංකාව
තරග 37
උඩපන්දු 41
ස්ටම්ප් 13
එකතුව 54

පිටියේ වැඩිම උඩපන්දු 

රිකී පොන්ටිං - ඔස්ට්‍රේලියාව 
තරග 45 උඩපන්දු 28

හොඳම කඩුලු අතර සම්බන්ධතාව

ක්‍රිස් ගේල් සහ මාලන් සැමුවෙල්ස් 
(බ:ඉ: කොදෙව්) දෙවැනි කඩුල්ලට ලකුණු 372 සිම්බාබ්වේට එරෙහිව 2015 දී.

Comments