‍මෙවර ක්‍රිකට් කිරුළ කාටද? | සිළුමිණ

‍මෙවර ක්‍රිකට් කිරුළ කාටද?

එක්දින අන්තර්ජාතික ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ එංගලන්තයේ සහ වේල්සයේදීය. සුපුරුදු පරිදි සෑම ලෝක කුසලාන තරගාවලියක් ඇරඹීමට පෙර මෙන්ම මෙවරත් ශුරතාව හිමි කරගනු ඇති රටවල් පිළිබඳ සුපිරි ක්‍රිකට් තරු අනාවැකි පළ කර තිබේ.

එහිදී ඔවුන්ගේ පොදු මතයක් ඇත. එනම් සත්කාරක එංගලන්තය සහ ඉන්දියාව මෙවර ලෝක ශුරයන්වීමට ඉදිරියෙන්ම සිටින බවය. ඒ පිළිබඳ පුදුම වීමට දෙයකුත් නැත. එනම් මේ දෙරට වත්මන් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමට අනුව මුල් ස්ථාන හිමි කරගෙන තිබෙන බැවිනි.

ඉයන් චැපල් - ඔස්ට්‍රේලියාව

ඉයන් චැපල්ගේ මතය අනුව එක්දින ලෝක ශුර‍යන් වීමට මෙවර රටවල් පහකට වැඩි අවස්ථාවක් තිබේ. “එංගලන්තය, ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය ලෝක ශුරයෝ වීමට ඉදිරියෙන්ම සිටිනවා. ඒ වගේම පෙරළිකාර දස්කම් දක්වන්න දෙරටකට පුළුවන්. ඒ පාකිස්තානය සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්.”

ඉයන් මයිකල් චැපල් (උපත 1943 සැප්තැම්බර් 26) ක්‍රිකට් ඉතිහාස‍ෙය් විශිෂ්ටතම නායකයකු ලෙස සැලකෙයි. හෙතෙම දකුණත් පිතිකරුවෙකි. එමෙන්ම දකුණතින් පා දඟ පන්දු යැවීය. 1971 සිට 1980 දක්වා එක්දින තරගවලට ක්‍රීඩා කළේය. එහිදී තරග 16කි. ලකුණු 673 කි. කඩුලු 02කි. උඩපන්දු 05කි. ඔහු 1975 ලෝක කුසලාන අනුශූර කණ්ඩායමේ නායකයා වූයේය.

සව්රව් ගංගුලි - ඉන්දියාව

“මගේ අදහස අනුව ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, එංගලන්තය සහ පාකිස්තානය මෙවර ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට තේරෙන කණ්ඩායම් සතර වෙනවා. ඒ වගේම මෙවර තරග දැඩි තරගකාරිත්වයක් ගනියි. ඉන්දියාව ඉතා ප්‍රබල මට්ටමක සිටිනවා.”

සව්රව් චන්දිදාස් ගංගුලි (උපත 1972 ජුලි 08 ) තවත් සාර්ථක නායකයෙකි. වමත් පිතිකරුවෙකි. දකුණතින් මඳ වේග පන්දු යැවීය. අන්තර්ජාතිකව එක්දින තරගවලට ක්‍රීඩා කළේ 1992 සිට 2007 දක්වාය. එහිදී තරග 311 කි. ලකුණු 11, 363කි. කඩුලු 100කි. උඩපන්දුත් 100කි. හෙතෙම එක්දින ලෝක කුසලාන තරගාවලි ත්‍රිත්වයකට ක්‍රීඩා කළේය. ඒ 1999, 2003 සහ 2007 දීය. මින් 2003 අනුශූර කණ්ඩායමේ නායකයාය.

චමින්ද වාස් - ශ්‍රී ලංකාව

“ඉන්දියාව අවසන් පූර්ව වටයට තේරෙනවා. ඔවුන් අවසන් වසර 02 - 03ක කාලයක් ක්‍රිකට් ක්‍රීඩාවේ විශිෂ්ට දස්කම් දක්වනවා. ඔවුන්ගේ කණ්ඩායම ඉතාම සමබරයි. ඔවුන් මෙවර හොඳට ක්‍රීඩා කරයි.”

වර්ණකුලසූරිය පටබැඳිගේ උෂාන්ත ජෝශප් චමින්ද වාස් (උපත 1974 ජනවාරි 27) වමත් පිතිකරුවෙකි. එමෙන්ම වමතින් මඳ වේග පන්දු යැවීය. 1994 – 2008 දක්වා එක්දින තරගවලට ක්‍රීඩා කළේය. එහිදී තරග 322 කි. ලකුණු 2025 කි. කඩුලු 400 කි. උඩපන්දු 60 කි. ඔහු 2006 වසරේදී ශ්‍රී ලංකා නායකත්වයත් දැරීය. හෙතෙම එක්දින ලෝක කුසලාන තරගාවලි සතරකට ක්‍රීඩා කළේය. ඒ 1996 (ශූරතාව) , 1999, 2003 (අවසන් පූර්ව) සහ 2007 (අනුශුරතාව) වශයෙනි.

ඔයින් මෝර්ගන් - එංගලන්තය

“එංගලන්තය සහ ඉන්දියාව තමයි ‍ලෝක ශුරයන් වීමට ඉදිරියෙන්ම සිටින රටවල්. අනෙක් රට තමයි පාකිස්තානය. ලෝක කුසලානයට පෙර පාකිස්තානය සමඟ පැවැති එක්දින තරගාවලිය හොඳ මට්ටමක තිබුණා. එය අපි ජය ගත්තා. ඒ වුණත් පාකිස්තානයේ දස්කම් ඉතා ඉහළ මට්ටමක තිබුණා. ඔවුන් වත්මන් චැම්පියන්ස් කුසලාන ශුරයෝ.”

වත්මන් ලොව අංක 01 එක්දින කණ්ඩායමේ නායකයාය. ඔයින් ජෝශප් ජෙරාඩ් මෝර්ගන් (උපත 1986 සැප්තැම්බර් 10) අයර්ලන්තයේ උපත ලබා මුලින්ම එරට නියෝජනය කළේය. වමත් පිතිකරුවෙකි. තරග 222කි. ලකුණු 6977 කි. උඩපන්දු 79 කි. 2007, 11, 15 ලෝක කුසලාන තරගාවලියන්ට සහභාගි විය. මින් 2007 දී අයර්ලන්තය වෙනුවෙනි. 2015 එංගලන්ත නායකයාය.

බ්‍රයන් ලාරා - බටහිර ඉන්දීය කොදෙව් දූපත්

“ඉන්දියාව සහ පාකිස්තානය අවසන් තරගයට සුදුසුකම් ලබනවා. එහිදී ඉන්දියාව ජය ගන්න පුළුවන්. ඉන්දියාව මීට වසර 15කට පමණ පෙර ශක්තිමත් වූයේ ඔවුන්ගේ රටේදී විතරයි . දැන් එය වෙනස්. මෙවර අවසන් තරගය 2017 චැම්පියන්ස් කුසලානය වගේ වේවි. ඒ වුණත් මේ ගමන ඉන්දියාව ජය ගනිවී.”

බ්‍රයන් චාර්ල්ස් ලාරා (උපත 1969 මැයි 02) වමත් පිතිකරුවෙකි. දකුණතින් පා දඟ පන්දු යැවීය. නායකයෙකි. අන්තර්ජාතිකව 1990 – 2007 දක්වා එක්දින තරගවලට ක්‍රීඩා කළේය. තරග 299කි. ලකුණු 10,405 කි. කඩුලු 04කි. උඩපන්දු 120කි. 1992, 1996 (අවසන් පූර්ව), 1999 (නායක), 2003 සහ 2007 (නායක) ලෝක කුසලාන තරගාවලියන්ට ඔහු සහභාගි වූයේය.

ජොන්ට් රෝඩ්ස් - දකුණු අප්‍රිකාව

“මම හිතන විදිහට මෙවර තරගාවලිය විවෘතයි. ඉන්දියාවට විශිෂ්ට ක්‍රීඩකයන් 15ක් සිටින්න පුළුවන්. ඒ වුණත් එහෙම කිවහැකි තවත් කණ්ඩායම් 06 ක් සිටිනවා. මෙවර ලෝක කුසලානයට ඉතා ප්‍රබල කණ්ඩායම් සහභාගි වනවා. ලෝක කුසලානය හිමි කරගැනීමට ඉදිරියෙන්ම සිටින රටවල් 06 අතරට බටහිර ඉන්දීය කොදෙව් අයත් වෙන්නේ නැහැ.”

ජොනතන් නීල් ‘ජොන්ට්’ රෝඩ්ස් (උපත 1969 ජුලි 27) දකුණත් පිතිකරුවෙකි. එහෙත් හෙතෙම වඩාත්ම ප්‍රචලිත වූයේ විශිෂ්ටතම පන්දු රකින්නකු වශයෙනි. එක්දින තරගවලට 1992 – 2003 අතර ක්‍රීඩා කළේය. තරග 245කි. ලකුණු 5935 කි. උඩපන්දු 105කි. ඔහුට ලෝක කුසලාන තරගාවලි සතරකි. ඒ 1992 (අවසන් පූර්ව), 1996, 1999 (අවසන් පූර්ව) සහ 2003 වසරවලදීය.

කපිල් දේව් - ඉන්දියාව

ඉන්දියාව බිහි කළ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසට කපිල් සැලකෙයි. ඒ ඔහුගේ තුන් ඉරියව් දක්ෂතා හේතුවෙනි. එමෙන්ම ඔහු ඉන්දීය මංගල ක්‍රිකට් ලෝක කුසලාන ජයග්‍රහණයේ නායකයාය. “ඉන්දියාව තමයි මෙවර ඉදිරියෙන්ම සිටින කණ්ඩායම. ඔවුන්ට යොවුන් සහ අත්දැකීම් සහිත ක්‍රීඩකයන් සිටිනවා. ඔවුන් සමබරයි. ලෝක ශූරයන් වීමට හැකියාව තිබෙන රටවල් සතර අතර ඉන්දියාව ඉදිරියෙන්ම සිටිනවා. අනෙක් රටවල් වන්නේ එංගලන්තය සහ ඔස්ට්‍රේලියාවයි. සතරවැනි රට බවට පත් වීමට නවසීලන්තය, පාකිස්තානය සහ දකුණු අප්‍රිකාව අතර තරගයක් තිබෙනවා.” කපිල් දේව් ර‍ාම්ලාල් නික්හාන්ජ් (උපත 1959 ජනවාරි 06) දකුණත් පිතිකරුවෙකි. දකුණතින් මඳ වේග පන්දු යැවීය 1978 – 1994 දක්වා එක්දින තරගවලට ක්‍රීඩා කළේය. එහිදී තරග 225 කි. ලකුණු 3783 කි. කඩුලු 253කි. උඩපන්දු 71කි. 1979, 1983 (නායක), 1987 (අවසන් පූර්ව -නායක) සහ 1992 ලෝක කුසලාන තරගාවලියන්ට ක්‍රීඩා කළේය.

නසාර් හුසේන් - එංගලන්තය

“එංගලන්තය, පාකිස්තානය, නවසීලන්තය සහ ඉන්දියාව මෙවර ලෝක කුසලාන ශූරයන් වීමට ඉදිරියෙන්ම සිටින රටවල්. එංගලන්තයට සිය රටේදී තරග කරන නිසා පීඩනය වැඩියි. ඒත් ඔවුන් විශිෂ්ට කණ්ඩායමක්. ඒ වගේම මම හිතනවා. නවසීලන්තය සහ පාකිස්තානය මිනිසුන්ව පුදුමයට පත් කරයි. ඉන්දියාව දෙස බැලුවහොත් ඔවුන් ඉතා හොඳින් සංචාරය කරනවා.” නසාර් හුසේන් (උපත 1968 මාර්තු 28 ) උපත ලැබුවේ ඉන්දියාවේය. ඔහුගේ පියා ඉන්දීය මුස්ලිම් ජාතිකයෙකි. මව ඉංග්‍රීසි ජාතික කතකි. හුසේන් පවුල ඔවුන්ගේ ස්ථිර පදිංචියට තෝරා ගත්තේ එංගලන්තයයි. නසාර් 1989 – 2003 දක්වා අන්තර්ජාතිකව එංගලන්තය නියෝජනය කළේය. එක්දින තරග 88 කි. ලකුණු 2332කි. උඩපන්දු 40 කි. ඔහු දකුණත් පිතිකරුවෙකි. එමෙන්ම නායකත්වයත් දැරීය. 1999 සහ 2003 ලෝක කුසලාන තරගාවලියන්ට සහභාගි වුයේය. 2003 නායකයාය.

 

Comments