අන්තවාදය සහරාන්ලා ළඟින් ඉවර වෙන්නෙ නෑ... | සිළුමිණ

අන්තවාදය සහරාන්ලා ළඟින් ඉවර වෙන්නෙ නෑ...

• කාත්තන්කුඩියේ මේ වහාබ්වාදී අන්තවාදය මතු වෙමින් එන්නේ මොන වකවානුවේ ද?

මට මතකයි දෙදහස් හතර, පහ කාලේ ඉඳන්ම ඔය අන්තවාදීන් සුෆිවරුන්ගේ ගෙවල් ගිනි තියලා, කඩ කඩලා, මිනිස්සු කපලා, කොටලා කීප දෙනෙක් මරලා, මහා විනාශයක් කළා. ඒ කාලේත් අන්තවාදීන් කාත්තාන්කුඩිවල ප්‍රසිද්ධියේ අවිආයුධ පරිහරණය කරලා තිබුණා. ඒත් ආරක්ෂක අංශ ඒවා ගැන එතරම් අවධානයක් යොමු කළේ නෑ. එහෙම තමයි මේ ප්‍රශ්න උග්‍ර වුණේ.

• ඔබේ ආගම පදනම් කරගෙන ඔබේ භූමියේ මේ වගේ විකෘති සංවිධාන බිහි වීම ඔබට දැනෙන්නෙ කොහොම ද?

සංවිධානයක් ගොඩනඟා ගන්න කොට රටට සංස්කෘතියට යහපතක් වෙන්න ඕන. එහෙම නැතිව රට විනාශ කරන වැඩවල යෙදෙනවා නම් මොකක්ද ඔවුන් බලාපොරොත්තු වෙන්නේ. ඇත්තටම අපේ මිනිස්සු ඔය සංවිධාන එක එක නමින් ගොඩනඟාගන්නෙ අරාබියට ගිහින් සල්ලි ඉල්ලගන්න . ඔවුන් ගිහින් එක් එක් ව්‍යාපෘතිවලට කියා මුදල් ඉල්ලගෙන එනවා. ඒ අතරේ අරාබිය ඔවුන්ගේ අවශ්‍යතාත් ඉටු කරගන්නවා. ඒ වහබ්වාදය පැතිරවීමට. මේ මහා විනාශයට මුල ඔතැනයි. ඒ අය හදන්නෙ මෙහෙ අරාබි මොඩලයක් හදන්න.

• එහෙම නම් ඒ අරාබි මොඩලයට මුලින්ම විරුද්ධ වෙන්න ඕන අප නොවෙයි ඔබේ සමාජය නේද?.

අපි ඒකට මුළුමනින්ම විරුද්ධයි. ඕන එකෙක් ගිහින් මුදල් ගෙනාවට කමක් නෑ. හැබැයි හදන්න ඕනෙ මෙරට වැසියන්ට ගැළපෙන රටක්. මෙහෙට මොකටද තවත් අරාබියක්.

මුලින්ම කීවානෙ.. විදේශවලින් එක් එක් සංවිධානවලට මුදල් දෙනවා. නමුත් අපි දැනගන්න ඕනෙ අපේ රටට ඔබින දේවල් කරන්න. ලංකාව තියෙන්න ඕනෙ ලංකාව විදිහටයි. අපේ රටට අනන්‍යතාවක් තියෙනවානේ. අපේ රටේ මුස්ලිම්වරුන්ට අනන්‍යතාවයක් තියෙනවා. ඒකටයි අපි කැමැති. නැතිව වෙනත් රටවල මොඩල අපිට වැඩක් නෑ. මේ දේවල් සිදු වන්නෙ වහබ්වාදය පතුරුවන කුඩා කුඩා කණ්ඩායම් විසින් ගොඩනඟාගෙන තියෙන සංවිධාන මඟින්.

• කාත්තන්කුඩියේ මුස්ලිම්වරුන් මේ තරම් වහාබ් වාදීන්ට ආකර්ෂණය වෙන්න හේතුව මොකක් ද?.

අසූව දශකයේ මුල සිටම මේ පළාත්වල සිටින මුස්ලිම් තරුණයන් අරාබිකරයට රැකියා සඳහා ගියා. තව අරාබියෙන් ශිෂ්‍යත්ව පිරිනැමුණා. ඔවුන් ඒ මුදල්වලට ආකර්ෂණය වුණා. සම්ප්‍රදාය ප්‍රතික්ෂේප කරන ඔවුන්ගේ රැඩිකල් ඉගැන්වීම් ඔවුන්ව ආකර්ෂණය කළා. ඇත්ත නම් ඔය වහාබ්කාරයන් නිසා වැඩිපුරම දුක් වින්දෙ මුස්ලිම් ජනතාවමයි. ඒ අය මුස්ලිම් ප්‍රජාව අතර විශාල ප්‍රශ්න ඇතිකරමින් සිටියේ. එහෙත් ඒවා රටේ වෙනත් ජනකොට්ඨාස අතරට ගියේ නෑ. මම පෞද්ගලිකව මට වෙච්චි අසාධාරණයක් ගැන කියන්නම්.

2011 මැතිවරණයේදී වැඩිම මනාප ගත් තැනැත්තාට තමයි මුළු ලංකාවේම නගර සභාවල නගරාධිපතිකම දුන්නෙ. ඒත් කාත්තාන්කුඩිවල වැඩිම මනාප ගත් මට දුන්නෙ නියෝජ්‍ය නගරාධිපතිකම. ඒකට බලපෑවේ වහාබ්වාදීන්ගේ විරෝධතාවයි. ඒ මම සුෆි මුස්ලිම් කෙනෙක් නිසා. ඒත් මම ඒක එතරම් හිතන්නෙ නෑ.

• වහාබ්වාදීන් සම්ප්‍රදායික මුස්ලිම්වරුන්ට ප්‍රශ්න ඇති කරද්දි ඔබ නීතයේ පිහිට පැතුව නැත්තෙ ඇයි?

ඇයි නැත්තේ. ඒත් පහුගිය කාලේ ඔය වහාබ්වාදීන් නිසා අපේ ජනතාවට වන ප්‍රශ්න ගැන පොලිසියවත් හමුදාවවත් බැලුවේ නෑ. ඒ අය දැක්කෙ ඒ ප්‍රශ්න අපේ ආගමේ ඇතුළේ වන ගැටලුවක් ලෙසයි. ඒ නිසා ඔවුන් ඒවට වැඩිපුර අවධානයක් යොමු කළේ නෑ. ඒකත් මේ අපරාධකරුවන්ට ඉදිරියට එන්න විශාල ලෙස බලපෑවා.

ඔය සහරාන් ගැන ගන්න. මේ මනුස්සයා ඉන්න කාලේ මේ කාත්තාන්කුඩිවල හැම පාරකම වාගේ දවස් දෙක තුනකට සැරයක් රැස්වීම් පවත්වනවා. එයා කියන්නෙම මිනිස්සු කුපිත වෙන කතා. ගහන්න, මරන්න කියන වචන තමයි එයාගේ කතාවල වැඩිපුරම තියෙන්නෙ. ඉතින් මිනිස්සු මෙයාට විරුද්ධව, මෙයාගේ රැස්වීම් පැවැත්වීමට විරුද්ධව පොලිසියට පැමිණිලි කරනවා. පොලිසිය උසාවි යනවා. අන්තිමට උසාවියෙන් කියන්නෙ, එයා රැස්වීමක් කරන්න යන්නෙ “පොලිසිය හෝ විශේෂ කාර්ය බළකාය යොදවලා හරි ආරක්ෂාව දෙන්න“ කියායි. උසාවිය බොහෝ අවස්ථාවල නියෝග දුන්නෙ ඒ විදිහට.

2011 වගේ වෙන කොට සහරාන්ලාගේ අන්තවාදය දැඩිව හිස එසවීමට පටන්ගත්තා. ඒ පිරිස බොහෝම කුඩා ප්‍රමාණයක් තමයි මේ කාත්තාන්කුඩිවල ඉන්නෙ. ඒ අයට විරුද්ධව වැඩිපුරම නැඟී සිටියේ සුෆි මුස්ලිම්වරුන් වන අපියි. මෙහේ සිටින අනෙත් සාමාන්‍ය මුස්ලිම් වැසියන් ඔවුන්ගේ අන්තවාදයට විරුද්ධව නැඟී සිටියේ නැහැ. ඒක සිදු වුණ ලොකු අඩුවක්.

• සූෆි මුස්ලිම්වරුන්ට මේ අන්තවාදීන්ගෙන් ප්‍රහාරයක් ගැන මුලින්ම මාධ්‍ය වාර්තා කරන්නේ වර්ෂ 2017 දි. එම ප්‍රහාරයට ඔබත් ලක්වුණා ද?

ඒ 2017 මාර්තු 10 දා. මං එදා අපේ සුෆි නායකයාත් සමඟ දකුණු ඉන්දියාවේ නාකුර් දර්හාත්වල සුෆිවරුන්ගේ වාර්ෂික විශේෂ උත්සවයකට සහභාගි වෙමින් හිටියේ. එදා හවස පහට විතර අපිට ඇමැතුමක් ආවා කාත්තාන්කුඩිවල අලියාර් හන්දියේ කලබලයක් කියලා. සහරාන් කරන්නෙම සුෆි මුස්ලිම්වරුන් ගැවසෙන ප්‍රදේශවලට ඇවිත් පාර අයිනක අට්ටාලයක් අටවාගෙන රැස්වීම් පවත්වලා මිනිස්සු කුපිත කරන එක.

කොටින්ම කීවොත් සහරාන්ට තියෙන්නෙ කිසිම චාරයක් නැති භාෂාවක්. ඒ වගේම මොහු තවත් කියනවා, රටට ගරු කරන්න එපා, ජාතික කොඩියට ගරු කරන්න එපා කියන කතා. එදා ප්‍රශ්නෙදි සහරාන්ගේ කීපදෙනෙක් අත්අඩංගුවට ගත්තා. නමුත් සහරාන් පැනලා ගියා. එදා ඉඳලා සහරාන් සැඟවුණු ජීවිතයක් ගත කළේ.

අපි කියන්න තියෙන ඉහළම වගකිවයුතු තැන්වලට වගේම සියලුම ආරක්ෂක අංශවලට දැනුම් දුන්නා මේ සහරාන්ලාගේ ක්‍රියාකලාපය ගැන. ෆයිල් ගණන් තොරතුරු ලබාදුන්නා. නමුත් වැඩක් වුණේ නෑ. ඒ අය මේ අන්තවාදීන්ගේ ක්‍රියාකලාපයන් ඒ හැටි ගණන් ගත්තෙ නෑ.

ඔවුන්ගේ විනාශකාරී හැසිරීම තහවුරු කරන සිදුවීම් රැසක් වුණා. ගිය අවුරුද්දෙ හරියටම මේ වගේ නෝම්බි කාලෙ කාත්තාන්කුඩිවල අලියාර් හන්දියේ කුඩා තේ කඩයක් පවත්වාගෙන ගිය ෆලනි බබා කියන වයසක සුෆි මුස්ලිම් වැසියෙක් වෙඩි තියලා මරලා දැම්මා. කාත්තාන්කුඩිවල එහෙම වෙඩිල්ලක් පත්තු වුණේ හරියටම අවුරුදු දහයකට පස්සෙ. ඔහු තමයි අලියාර් හන්දියේ සහරාන්ලාගේ රැස්වීමට දැඩි විරෝධතාවක් පෑවේ. ඔහුගේ ඝාතනය ගැන අදටත් කවුරුත් කතා කරන්නෙවත්, හොයා බලන්නෙවත් නෑ. ඒක කළේත් සහරාන්ලාගේ පිරිස වග හැමෝම දන්නවා. ඊට පස්සෙයි වවුනතිව්වල පොලිස් නිලධාරින් දෙදෙනා මැරුවේ. මේ සිද්ධි දාමය අපූරුවට එකට එකක ගළපා ගන්න තිබුණා.

• මේ අන්තවාදීන් අඩපණ කරන්න මුස්ලිම් සමාජයෙන් ප්‍රමාණවත් සහයෝගයක් ලැබුණෙ නෑ කියන අදහස තියනවා.

ඒ චෝදනාව නම් ප්‍රතික්ෂේප කරනවා. අප අපට කළ හැකි මට්ටමින් හැම දෙයක්ම කළා. හොඳම උදාහරණය වව්නතිව් පොලිස් නිලධාරීන්ගේ ඝාතනය. ඒ පිටිපස්සෙ ඉන්නෙ අයි.එස්. කාරයො කියන මතයත් සමාජයෙ තිබුණනෙ. ඒ මතය ආවේ නිකම්ම නෙමෙයි නේ.

අපිට මේ අන්තවාදි වැඩ ගැන තවත් ඕනෑ තරම් තොරතුරු කියන්න පුළුවන්. ඒත් දැනටත් අපිට තියෙනවා ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්න. කොහොම වුණත් එකක් පැහැදිලිව කියන්නම්. ඔය සහරාන්ලාගේ අයට නම් නැවතත් නැඟිටීමක් නැහැ. ඒත් සහරාන්ලාගේ අන්තවාදී කණ්ඩායම් පමණක් නොවෙයි, තව තව එවැනි අන්තවාදී කණ්ඩායම් ඕනෙ තරම් මේ පළාත්වල සිටිනවා. ඒ අය ගැන ආරක්ෂක අංශ දැඩි අවධානයක් යොමු කළ යුතුයි. නැති නම් තවත් සහරාන්ලා ඉදිරියට එන්න පුළුවන්. ඒ වැරැදුණු තැනින් පාඩමක් ඉගෙනගෙන මුළු රටේම සිටින අන්තවාදීන් ගැන අවධානයෙන් සිටිය යුතුයි.

• ඔබ කියන්නෙ සහරාන්ලා නැති වුණත් තවමත් අන්තවාදයේ අවදානම ඉවර නෑ කියලා ද?.

පැහැදිලිවම ඔව්. කාත්තන්කුඩියේ තැනින් තැන මතු වී වර්ධනය වෙමින් ඇති මේ සෑම අන්තවාදී ප්‍රවණතාවක් පිළිබඳම ආරක්ෂක අංශ අවධානය යොමු කළ යුතුයි. අපව ආරක්ෂා කරන්න. මේ රටට අහිතකර පිලල අයින් කරලා දාන්න ශ්‍රී ලාංකිකයො විදිහට අපි උදව් කරන්නම්.

• මේ අන්තවාදීන්ට උඩගෙඩි දෙන දේශපාලකයො කවුද?. ඇයි ඔබට කෙළින්ම කියන්න බැරි?

ඕනෙ කෙනෙකුට තේරෙනවානේ මේ කතාව. ඔබත් දන්නවා මාත් දන්නවා මේ පසුපස ඉන්න දේශපාලකයො ගැන. සහරාන් වගේ කෙනෙකුට මේ වගේ ඉදිරියට එන්න අනිවාර්යයෙන්ම දේශපාලන හයියක් තියෙන්නම ඕනෙ කියා. නමුත් ඒ කවුද කියලා මගෙන් අහන්න එපා. අන්තවාදීන්ට සහාය දෙන දේශපාලකයෝ මේ පළාතේ විතරක් නෙමෙයි, මුළු රටේම ඉන්නවා.

• දේශපාලකයෙක් විදිහට ඔබ රටේ අනාගතය දකින්නෙ කොහොමද?.

මං 2011 දේශපාලනයට ආවෙ අහම්බෙන්. ජාති, ආගම් බේදයකින් තොරව සියලු දෙනාට වැඩ කිරීමයි මගේ අරමුණ වුණේ. මගේ දර්ශනය ප්‍රැන්සිස් බේකන්ගේ දර්ශනය. මං හොඳට ව්‍යාපාරවල නිරත වෙලා හම්බ කරලා දේශපාලනයට ආව කෙනෙක්. නැතිව දේශපාලනයෙන් හම්බ කරන්න ආවේ නෑ.

මේ රටේ ඇති ගැටලුවලට රටක් වශයෙන් අප සියලු දෙනාම වගකිවයුතුයි. අපේ රටේ මිනිස්සු මුදල්වලට හරිම කෑදරයි. ඒ දුර්වලතාව හඳුනාගෙනයි මේ අන්තවාදීන්, ත්‍රස්තවාදීන් අපේ රටට රිංගන්නෙ. පසුව ඔවුන්, ඔවුන්ගේ අභිලාෂයන් ඉටු කරගන්නවා. රටේ මිනිස්සු ගහමරා ගන්නවා. මේ විදිහට ගියොත් තව අවුරුදු සීයක් ගියත් අපේ රට හදන්න බැහැ.

අදහස්