ඥානසාර හිමි වැඩසිටි නාලක සිල්වා සිටි ප්‍රභූවරුන් යමින් එමින් සිටි බන්ධනාගාර රෝහල | සිළුමිණ

ඥානසාර හිමි වැඩසිටි නාලක සිල්වා සිටි ප්‍රභූවරුන් යමින් එමින් සිටි බන්ධනාගාර රෝහල

වෙසක් පොහෝ දින මෙන්ම ජාතික නිදහස් දින කලක් තිස්සේ සිරගතව සිටින රැඳවියන් බලාපොරොත්තු සහගතවන දිනය. ඒ ජනාධිපති පොදු සමාව යටතේ තමන්ට නිදහස ලැබේ යැයි ඔවුන් බලාපොරොත්තු තබාගෙන සිටිනා බැවිනි. නමුදු ජනාධිපති පොදු සමාව යටතේ බොහෝ විට සමාව ලැබෙන්නේ තෝරාගත් පිරිසකටය. ඒ සුළු වැරදිවලට දඩ මුදල් ගෙවාගැනීමට අපහසුව සිටින සිරකරුවන්ට හා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නීති ප්‍රකාරව තෝරාගන්නා සිරකරුවන්ට පමණය.

මෙවර වෙසක් පොහෝ දා බන්ධනාගාර ගත රැඳවියන් 762 දෙනෙකුට ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලැබිණි. නිදහස ලැබූ සිරකරුවන්ට නම් එය වාසනාවන්ත දිනයක් විය. විශේෂත්වය වන්නේ එදින රටේ බොහෝ දෙනෙකුට කුහුල දනවන දිනයක් වීමය. එදින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ටද නිදහස ලැබෙනු ඇතැයි උන්වහන්සේගේ නිදහස අපේක්ෂා කළ පිරිස බලාපොරොත්තු වූහ.

ඥානසාර හිමිගේ නිදහස

අධිකරණයට අපහාස කිරීම හේතු කොටගෙන ඥානසාර හිමියන්ට බරපතළ වැඩ සහිතව සය අවුරුදු දඬුවමක් නියම වු දා සිටම ඔවුන් හඬ නැඟුවේ උන් වහන්සේට නිදහස ලබාදෙන ලෙසය. විටින් විට යම් යම් සංවිධාන ද උන්වහන්සේට නිදහස ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලිම් කළ අවස්ථා තිබිණි. කෙසේ වෙතත් වෙසක් පොහොය දින හෝ උන්වහන්සේට නිදහස ලැබේයැයි බලාපොරෝතු තබාගෙන සිටියවුන්ගේ සිත් රිදිණි.

පොහොය ගෙවී සතියක් යන්නට මත්තෙන් එනම් ඉකුත් බ්‍රහස්පතින්දා ඥානසාර හිමිට ජනාධිපති සමාව යටතේ නිදහස ලැබිණි. එදින විද්‍යුත් මාධ්‍ය මෙන්ම මුද්‍රිත මාධ්‍ය ද බලාසිටියේ කොයි මොහොතේ හෝ ඥානසාර හිමි සිරගෙදරින් නිදහස් වී එනු දැකීමටය. ඒ නිසා මාධ්‍යකරුවෝ එදින සිරගෙදර ප්‍රධාන ගේට්ටුව අසල මුරකරුවන් වී සිටියහ. නමුදු එදින සන්ධ්‍යාවේ බන්ධනානාගාර ප්‍රධානින් විමසන විට දැන ගන්නට ලැබුණේ ඒ අවස්ථාව වන විටත් උන්වහන්සේ නිදහස් කිරීම සදහා අනුමැතියක් ලැබී නැති බවය.

කෙසේ වෙතත් එදින සන්ධ්‍යාවේ නිදහස ලැබු ඥානසාර හිමියෝ නිදහස ලබා ප්‍රධාන ගේට්ටුවේ සිටි සියල්ලන් මඟහරිමින් සිරගෙදර පිටුපස දොරටුවකින් පිටත්ව ගියහ. නිදහස ලබා පැමිණෙන හිමියන් පිළිබද වාර්තා කිරීමට පැමිණි මාධ්‍ය සගයන්ට අමතරව බොදුබල සේනා සංවිධානයේ සාමාජික භික්ෂුන් වහන්සේ මෙන්ම ඥානසාර හිමියන්ගේ මැණිය ද වැලිකඩ සිරගෙදර ප්‍රධාන දොරටුව අබියස රැඳී සිටි පිරිස අතර වූහ.

නිදහස ලැබූ ඥානසාර හිමියෝ ප්‍රථමයෙන්ම ගොස් තිබුණේ ඉත්තෑපාන ධම්මාලංකාර නායක ස්වාමීන් වහන්සේ බැහැදැකීමටය. එතැනදී උන්වහන්සේ ඉත්තෑපානේ හිමියන් බැහැ දැක මාධ්‍යද අමතා සිය විහාරස්ථානය වෙත වැඩියහ.

රෝහලේ ජීවිතය

2018 අගෝසතු 08 දින ඥානසාර හිමියන්ට සිර දඬුවම් නියම විය. ඥානසාර හිමියන්ට සිරදඬුම් නියම වීමත් සමඟ සමාජයේ ඊළඟට ඇති වූ කතාබහ වුයේ සිරගෙදරදී ඥානසාර හිමියන් කුමන ඇඳුමක් අඳිනු ඇතිද කියාය. කවර තරාතිරමේ අයෙකු වුව සිරගෙදරට නියම වූ විට ඒ තැනැත්තා බන්ධනාගාර නිතීවලට යටත් වේ. එනිසා සිර ගෙදරදී ඇඳිය යුතු ඇඳුම ජම්පරයයි. නමුදු ඥානසාර හිමියෝ සිරගෙදර ගත කළ කාලය තුළ ජම්පරය ඇඳීම ප්‍රතික්ෂේප කළහ.

සිරගෙදරට ගිය පළමු හෝ අවසන් භික්ෂුව වන්නේ ඥානසාර හිමි නොවේ. මීට පෙර අවස්ථාවල මෙන්ම අතීතයේද අපේ භික්ෂූන් වහන්සේ රට වෙනුවෙන් අරගල කොට සිරගතව සිට ඇත. කුමන හේතුවක් මත සිරගත වන භික්ෂූන්වහන්සේ නමකට වුවත් දඬුවම නියම වී පැමිණි විට එක්කෝ තම චීවරය සිරගෙදර ස්ටෝරුව අසල ඇති බෝගසේ පටලවනු ලැබේ. නැති නම් තමන් බැලීමට පැමිණි අයෙකු අතේ එය පන්සලට යවනු ලැබේ. ඔවුන් දඬුවම ගෙවී අවසානයේ සිරගෙදරින් පිටව ගොස් ඇතැම් විට යළි පැවිදි දිවියට එළැඹෙනු ඇත. ඇතැමෙකු සිරගෙදරින් පිටව යන විට සිවුරු හැරයනු ඇත. කෙසේ වුවත් බලපත්‍ර මත නිදහස ලැබූ විට සිරගෙදරින් ඉල්ලිමක් නොකර හිතුමනාපේට සිවුරු දැරීමේ හැකියාවක් නැත.

ගිහියකු සිරගත වූ විට අච්චුව අවුරදු දෙකකට වැඩි නම් සුද්දාගේ නීතියට අනුව සිරකරුගේ ඇඳුම් වෙන්දේසි කර ඒවා රජයේ මුදල් වලට බැර කළ යුතුය. ඒ නීතිය එලෙස සාදා ඇත්තේ නැති නම් ඒ ඇඳුම් දිරා යන බැවිනි. දඬුවම ඊට අඩු නම් සිරකරුගේ ඇඳුම් ස්ටෝරුවේ තැන්පත් කර තබනු ලැබේ.

කෙසේ වුණත් “අසනීප තත්වයෙන් පසු වීම නිසා“ ඥානසාර හිමියන් සිර ගතවූ දා සිටම දවස ගෙවූයේ බන්ධනාගාර රෝහලේය.

හිරගෙදර හා නිදහස ගැන තවත් කතා

බන්ධනාගාර රෝහලේ වැඩ වාසය කරමින් හිඳි නිදහස් වූ ඥානසාර හිමියන් ගැන සතුටු වන ජනතාවම පසුගිය දිනවල ඇතැම් ප්‍රභුන්ගේ සිරෙන් නිදහස් වීම ගැන කතා කළේ පිළිකුලෙනි. හිරගෙදර හා නිදහස කවටකමට ලක් කළ අවස්ථාවක් පසුගිය දා රටම දැක්කේය. එසේ කවටකම් කළ එක් අයෙකු වූයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ය. පසුගිය දිනවල මුහුණු පොත කැලඹූ ඔහුගේ පින්තුරයට කාගෙත් අප්‍රසාදය පළ කෙරිණි. බෙල්ලට කොලර් එක දමාගන රෝද පුටුවෙන් පැමිණි නාලක ඇප ලබා පිට වී යන්නේ රෝද පුටුවෙන් නැඟිටිමින් කොලර් එකද ගලවමිනි. මෙතරම් දිනක් ඔහු කළේ බොරු රඟපෑමක් බව පෙනිණි. නාලක සිල්වා යනු එක් චරිතයක් පමණි. අනාදිමත් කලක සිට සිරගෙදරට යන එන ප්‍රභූන් එවැනි රඟපෑම් කළ අවස්ථා බොහෝය. පුදුමය නම් හිරගෙදරට නියම වන සාමාන්‍ය පුද්ගලයන් සිරගේ තුළ දවස ගෙවද්දි සමාජ වරප්‍රසාද සහිත අය සිර ගතවු විට එක්වරම රෝහල් ගතවීමය.

බන්ධනාගාරයට නියමවූවෙකු එසේ රෝහල් ගතවන්නේ කෙලෙස ද?. ඔබට හා මට ඇති ප්‍රශ්නය එයය.

අච්චු ලැබු හිරකරුවන් රඳවා තැබෙන්නේ ඔවුන්ගේ තරාතිරම අනුවය. ප්‍රභුන්, රජයේ සේවකයන්, හමුදා පොලිස් නිලධාරීන්ව K වට්ටුවේ රඳවා තැබේ. K වාට්ටුව යනු සංස්කෘතික, කලා අංශයේ රැඳවියන් සිටි ශාලාවය. M වාට්ටුවේ සිටින්නේ පොලිස්, හමුදා, රජයේ සේවකයන්, විදේශිකයන් ආදීහුය. කිසිවිටෙකත් ප්‍රභුන් චැපල් වාට්ටු පැත්තේ යවන්නේ නැත.

ඇතැමෙකු උසාවියෙන් දඬුවම් ලබා කෙළින්ම යන්නේ රෝහලටය‍. සිරගත වූවෝ බොහෝවිට අධි රුධිර පීඩනය, දියවැඩියාව, ආදී රෝග වලට මෙන්ම මානසික ආතතීන්ට ගොදුරු වෙති. ප්‍රභූ කෙනෙකු සිරගත වන විට ඔහුගේ නිතිඥයාගේ මාර්ගයෙන් අධිකරණයට දැනුම් දෙන්නේ තමන් රෝගී වී සිටින බවත් එවැනි රෝග ඇති බවත් ඒ සඳහා ප්‍රතිකාර ගන්නා බවත්ය.

නීතිඥවරුන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන්නේ එම තැනැත්තාට ප්‍රතිකාර කරන බව කියන වෛද්‍යවරුන්ගේ වාර්තාවකි. එවිට අධිකරණය විසින් ඒ බව බන්ධනාගාරයට දැනුම් දෙනු ලැබේ.

කෙසේ වුවත් දඬුවම් නියම වූ කෙනෙකු පැමිණි විට ඒ පුද්ගලයාගේ භාරකාරයා වන්නේ බන්ධනාගාරයයි. උසාවියට රෝගී තත්වයක් ඇතැයි කී පුද්ලගයාව බන්ධනාගාර වෛද්‍යවරයාට පෙන්වීම කරනු ලැබේ. සවස් වී සිරකරු බන්ධනාගාරයට ගෙනාවේ නම් බන්ධනාගාර රෝහලේ රාත්‍රි සේවා මුරයේ සිටින වෛද්‍යවරයා ගෙන්වා සිරකරු පෙන්වීම කරනු ලබයි. දියවැඩියාව අධිකව ඇති බව හෝ වෙනත් ලෙඩ රෝග ඇතැයි වෛද්‍යවරයාට සිරකරු පැවැසුව හොත් ඒ පිළිබඳ පරීක්ෂණ කිරීමට වෛද්‍යවරයාට බන්ධනාගාරය තුළ කිසිදු පහසුකමක් නැත. වෛද්‍යවරයා අත ඇත්තේ හෘද ස්ඵන්දනය බැලීම සඳහා වූ වෙදනළාව පමණි. මේ නිසා වෛද්‍යවරයාට සිදු වන්නේ සිරකරු බන්ධනාගාර රෝහලට ඇතුළත් කරන ලෙස දන්වා සිටීමය.

එසේ ඇතුළත් වන සිරකරු ඇතැම් විට කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවට ඇතුළත් වේ. සිරකරු රෝහල් ගත කළ විට ඔහුගේ ආරක්ෂාවට බන්ධනාගාර නිලධාරියෙක් ද යොදවනු ලබයි. බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ විට ද සිරකරුගේ ආරක්ෂාවට කෙනෙකු යොදවයි.

ඉන්පසු සිරකරු යළිත් බන්ධනාගාරයට එවනවාද එසේත් නැති නම් රෝහල් ගත කර තබනවාද යන්න තිරණය වන්නේ වෛද්‍යවරයාගේ තීරණය අනුවය. ඇතැමෙකු එය තීරණය කරගන්නේ තම බලපුළුවන්කාරකම අනුවය. ඇතැම් දේශපාලනඥයන් සිරගත වුයේ රෝහල් ගතවීමට අවශ්‍ය සියලු කටයුතු ද සුදානම් කරගෙනය. ඒ නිසා ඔවුන් උසාවියෙන් හිර ගෙදරට නොව උසාවියෙන් රෝහලට ගිය ඇත්තන් ලෙස නම් කෙරුවාට ද කමත් නැතැයි සිතේ.

පසුගිය කාලයේ බන්ධනාගාර ගතව සිටි දේශපාලනඥයන් , සල්ලිකාරයන් හා වෙනත් ප්‍රභූන් ගැන විමසිල්ලෙන් බලන විට මේ තත්ත්වය වඩාත් පැහැදිලි වනු ඇත. මේ මොහොත වන විටත් සිරගතවූ බොහෝ ප්‍රභූන් සිටින්නේ රෝහල් ගතවය. එදා මෙන්ම අද ද සිර ගත වී සිටින හා සිටි ප්‍රභුන්ගේ ඇතුළේ කතා බොහෝය. ඒ කතාබහ පසුවටය.

අදහස්