දේශපාලන වුවමනාවට මිනුවන්ගොඩ, මීගමුව, කුලියාපිටිය ගිනි තැබූ චණ්ඩි හැංගිලා | සිළුමිණ

දේශපාලන වුවමනාවට මිනුවන්ගොඩ, මීගමුව, කුලියාපිටිය ගිනි තැබූ චණ්ඩි හැංගිලා

පාස්කු ප්‍රහාරයත් සමග ඇවිලුණු ගින්න දල්වා තබා ගැනීමට පිරිසක් දේශපාලනික උත්සාහයක් දරන බව පැහැදිලිය. මහනුවර නගරයට බොම්බ වාහනයක් පැමිණි බවට මුදාහල කට කථාව ඔවුන් දැරූ එවැනි එක් තැතකි. කළුතර බදුරලියේ පාසලකට ඉකුත් සිකුරාදා (24) උදෑසන අත්බෝම්බ 13 ක් සහිත පාර්සලයක් දමාගොස් තිබුණේ ද නැවතත් පාසල් වසා දැමීමේ සැළසුමක් මත වන්නට පුළුවන.

මේ කඩාකප්පල්කාරීන් පසුපස දැනටමත් පොලිසියත් හමුදාවත් බුද්ධි අංශත් පන්නමින් සිටී. එසේම 13 වෙනිදා වයඹත් , මිනුවන්ගොඩත් ගිනි තැබූ අපරාධකරුවන්ද නීතිය හමුවට ගෙන ඒමේ පොලිස් මෙහෙයුම්ද මේ වන විටත් ක්‍රියාත්මකය.

මෙහිදී රටේම අවධානය මේ වන විට යොමුවී ඇත්තේ මිනුවන්ගොඩ දෙසටය. ඒ වෙන කිසිවක් නිසා නොව, මිනුවන්ගොඩ ගැටුම් වලට සැකපිට අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටින සැකකරුවන් අතර පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද සිටින බැවිනි. මිනුවන්ගොඩ පොලිසිය පවසන්නේ මධුමාධව අරවින්ද පමණක් නොව, ගැටුම් වලට ඝෘජුවම සම්බන්ධ බවට හෙළිවී ඇති 15 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට නියමිත බවය. ඒ අය අතර සිටින වැඩි දෙනෙක් මිනුවන්ගොඩින් පිට අයය. ඔවුන් සියළු දෙනාගේම ගුවන් ගමන් තහනම් කිරීමටද පොලිසිය මේ වන විටත් කටයුතු කර හමාරය.

පොලිසිය පවසන පරිදි ඔවුන් මේ වන විට සිය ගේ දොර පවා අතහැර සැඟවී සිටී. මධුමාධව අරවින්ද ඇතුළු එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට බස්නාහිර පළාත් උතුරුදිසා නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගේ මෙහෙයැවීමෙන් කණ්ඩායම් කිහිපයක්ද මේ වන විට පත්කර හමාරය. බස්නාහිර පළාත් උතුරුදිසා අපරාධ කොට්ඨාශයත් කැලණිය කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයත් ඇත්තේ ඒ අතරය. 13 වෙනිදා මිනුවන්ගොඩ ඇවිලෙන විට මධුමාධව අරවින්ද මිනුවන්ගොඩ පැත්තේ සැරිසැරූ බව කියන ජිප් රථයද බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. පොලිසිය පවසන්නේ 13 වෙනිදා මධුමාධව සමග කඩවත පැත්තේ ජීවත්වන එම ජිප් රථයේ හිමිකරු ඇතුළු සිව් දෙනෙක් මිනුවන්ගොඩ සැරිසරා ඇති බවය. ඔවුන් ද මේ වන විට සිටින්නේ සැඟවී සිටින්නේය.

මධුමාධව ඇතුළු පිරිස පස්සේ පොලිසිය පන්නන්නට ගන්නේ 13 වෙනිදා සිදුවුණු ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ඒවන විටත් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතකර සිටි සැකකරුවන් 32 දෙනෙකුට ඇප ලබාදීමට අවශ්‍ය පියවර ගැනීමෙන් අනතුරුවය. පොලිසිය පවසන්නේ ඒ අය අතර ප්‍රචණ්ඩ ක්‍රිය වන්ට කිසිසේත්ම සම්බන්ධකම් නැති පුද්ගලයින්ද සිටින බව වැඩිදුර විමර්ශන වලින් හෙළිවූ බවය. මහේස්ත්‍රාත් අධිකරණයෙන්ම ඔවුන්ට ඇප ලබාදෙන්නට හැකියාව ලැබී ඇත්තේ සාමාන්‍ය නීතියෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණු නිසාය. ඒ අය අතර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු දෙදෙනක්ද සිටියහ. ඔවුන් දෙදෙනා නියෝජනය කළේ එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණය.

මධුමාධවගේ පැත්තෙන් පවසන්නේ මේ සිදුවන්නේ පොලිස් කුමන්ත්‍රණයක් බවය. ඇප නොලැබෙන ලෙස තමන්ව සිරකරලීමට පොලිසිය සූදානම්වන බවද ඔහු පවසන්නේය. එයින් බේරීමට මධුමාධව දැන් පිහිට පතා ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයෙනි. ඒ තමාව අත්අඩංගුවට ගැනීම වලකාලමින් අතුරුතහනමක් ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කිරීමෙනි. මධුමාධව අරවින්ද වෙනුවෙන් එම පෙත්සම ඉදිරිපත්කර ඇති නීතීඥ තුෂාර දිසානායක පෙන්වා දෙන්නේ ඉදිරිජනාධිපතිවරණය ඉලක්කරමින් ප්‍රචාරක රැස්වීම් සංවිධාන කටයුතුවල ඒ දිනවල මධුමාධව අරවින්ද යෙදී සිටි බවය. 11 සහ 12 යන දිනවල මධුමාධව අරවින්ද එකී කටයුතු වල නිරතවෙමින් අත්තනගල්ල, මීරිගම, ඉඹුල්ගොඩ, අලව්ව, වේවැල්දෙණියේ සැරිසැරූබවත් 13 වෙනිදා මිනුවන්ගොඩ පැමිණියේත් එවැනි කටයුත්තකට බවත්ය. දිවුලපිටියේ රැස්වීමක් පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නාලක සමරතුංග නැමැති මිතුරෙක්ව 13 වෙනිදා රාත්‍රී 7.00 ට හමුවූ බවද ජංගම දුරකතනයක මධුමාධව අරවින්දගේ රුව සටහන්ව ඇත්තේ යැයි පැවසෙන්නේ එසේ දිවුලපිටියට ගොස් පැමිණෙමින් සිටියදී බවත් ඔවුන් කියන්නේය.

පොලිසිය නම් පවසන්නේ මධුමාධව අරවින්දට එරෙහිව සාක්ෂි රැසක් ඇති බවය. විද්‍යාත්මක සහ පරියේෂණාත්මක සාක්ෂි ගොන්නක්ම ඒ අතර ඇති බැවින් ඊට බොරු කරන්නට නොහැකි බව උසස් පොලිස් නිලධාරිහු කියති. මධුමාධව නිවැරදිනම් කටඋත්තරයක් ලබාදෙන්නට යැයි කී අවස්ථා තුනක්ම මග හැරියේ ඇයි දැයි පොලිසිය පැත්තෙන් නගන පැනයකි. එහෙත් පොලිසිය ඒ පැනය ඔහුට යොමුකරන්නේ මුල්ම දැනුම්දීමට අනුව 15 වෙනිදා ඔහු මිනුවන්ගොඩ පොලිසියට පැමිණ පැය තුනක් රස්තියාදුවී තිබියදීය. කෙසේ වෙතත් මිනුවන්ගොඩ ගිනි තැබුවාට අත්අඩංගුවට ගැනීමට සොයන 15 දෙනාගෙන් මේ වන විට අත්අඩංගුවට ගන්නට එපා යැයි කියා අධිකරණයට ගොස් ඇත්තේ මධුමාධව පමණි.

13 වෙනිදා මිනුවන්ගොඩ මෙන්ම ආරච්චිකට්ටුවේද ගැටුම් ඇවුළුණේ‍ය. පොලිසිය පවසන්නේ සංවිධානාත්මකව යම් පිරිසක් ජනතාව කුපිතකල බවය. එම කණ්ඩායම මේ වන විට හඳුනාගෙන ඇති බැවින් ඉදිරි දෙසතිය තුළ ඔවුන්ව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවත් ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධන සඳහන් කරන්නේය. ඒ අය අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු දෙතුන් දෙනෙක්ම සිටින බව හඳුනාගෙන ඇතැයිද පොලිසිය කියන්නේය. මේ වන විට ඔවුහු සැඟවී සිටිති.

කුලියාපිටිය පොලිස් අධිකාරී සමන් සිග්‍රේරා මහතාද සදහන් කරන පරිදි කුළියාපිටිය, නාරම්මල, බිංගිරිය, හෙට්ටිපොල ආදී ප්‍රදේශවල සිදුවුණු ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලට ඝෘජුවම සම්බන්ධ සැකකරුවන් මේ වන විටත් පොලිසිය හඳුනාගෙනය. ඔවුන්ද මේ වන විට සිටින්නේ නිවෙස් අතහැර සැඟවීය.

අදහස්